විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්

විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්

*********************************************

විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්

(01.09.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෛනික කොවිඩ් ආසාධිතයින් ලෙස රෝගීන් 5,000 ක් පමණ වාර්තා වූවද විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක් පමණ සිටින බව කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

එමනිසා පනවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති දෙකකට (2) හෝ දීර්ඝ විය යුතු බව තම පෞද්ගලික මතය බවයි ඇය පවසන්නේ.

අද (01) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම අදහස් පළ කලා.

(01.09.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස පාලනය සඳහා භාවිත කරන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මගින් ඇති කරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇති කරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකට වඩා වැඩි බව පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ පවතින තත්වය අනුව තවත් සති දෙකකටවත් (2) සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරස පාලනය සඳහා භාවිත කරන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මගින් ඇති කරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇති කරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකට වඩා වැඩි බවයි.

එම එන්නත් දෙකට අදාළව බෙල්ජියමේ සිදුකරන ලද අධ්‍යයනයක් උපුටා දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර අද (01) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 2884 දෙනෙකු සොයාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

සති හයකට (6) පෙර කොවිඩ් ආසාදිතව සිටි ගැබිණි මාතාවක් පුත්තලම මූලික රෝහලේදී සාර්ථක සිසේරියන් සැත්කමකින් අනතුරුව තුන් (3) නිවුන් දරුවන් බිහිකර තිබෙනවා.

එම දරුවන් තුන්දෙනා (3) ඉතා නිරෝගී තත්වයේ පසුවන බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.

මේ අතර රට වසා තැබීමෙන් පමණක් පවතින තත්වය පාලනය කළ නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

පවතින ආකාරයට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් කිසිදු පළක් නොවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ සංචරණ සීමා තවත් සති දෙකක්වත් (2) දීර්ඝ කළ යුතු බව කොළඹදී අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

+++++++++++++++++++

(01.09.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් නිෂ්පාදිත කිසිදු එන්නතකට ප්‍රතික්‍රියා නොකරන කොරෝනා ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

‘මූ’ ලෙස හඳුන්වන මෙම නව කොවිඩ් විකෘති ප්‍රභේදය ප්‍රථම වරට හඳුනාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ කොළොම්බියාවෙන්.

මෙතෙක් නිෂ්පාදිත කිසිදු එන්නතකට එය ප්‍රතික්‍රියා නො දක්වන අතර, ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම මඟින් වෛරස ව්‍යාප්තිය අවම කරගත හැකි බැවින් ඒ පිළිබඳ ව අවධානය යොමුකරන ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා ෴

++++++++++++++++

(01.09.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

‘ෆිට් වයිපර්’ නම් සර්ප විශේෂයේ විෂ කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ කරගෙන තිබෙනවා.

සායනික පරීක්ෂණවලට අනුව එමඟින් මිනිස් ශරීරයේ කොරෝනා වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් අනුමැතිය ලබාදී නැහැ ෴

+++++++++++++++++

(01.09.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

කෝවිඩ් වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතේ එක් (1) මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් (2) වඩා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මේ බව හෙළි වී ඇත්තේ මෙම එන්නත් 2 අලලා බෙල්ජියමේ දී කරන ලද අධ්‍යයනයකින් පසුව යි ෴

++++++++++++++++

(01.09.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

අවසන් කොවිඩ් මරණ දෙදහස (2000) වාර්තා වීමට ගත වී ඇත්තේ දින දහයක් (10) වැනි ඉතා කෙටි කාලයක් බව, කොවිඩ් මරණ පිළිබඳ දත්ත වාර්තා පෙන්නුම් කරනවා.

කොවිඩ් මරණ දත්ත වාර්තාවලට අනුව මෙරට පළමු කොවිඩ් මරණ දහස (1000) වාර්තා වීමට දින 418 ක් ගත වී තිබෙනවා.

ඊට සාපෙක්ෂ ව මේ වනවිට කොවිඩ් මරණවල ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව, අගෝස්තු මස 21 සිට ගෙවුණු දින දහය (10) තුළ මෙරට කොවිඩ් මරණ දෙදහසක් (2000) වාර්තා වනවා ෴

+++++++++++++++++

(01.09.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 2060 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,76,216 ක්.

තවදුරටත් පුද්ගලයින් 54,901 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබනවා.

මේ අතර, යාපනය – කයිතඩි ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 44 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඒ, සිදුකළ හදිසි කොරෝනා පරීක්ෂාවකදියි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2884 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,43,186 ක් ලෙසටයි ෴

++++++++++++++++

(01.09.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනය වන පොලිස් නිලධාරීන් සඳහා තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් අද (01) විවෘත කෙරුණා.

කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදීපා ශාලාවේදී විවෘත කෙරුණු මෙම නිරෝධායන මධ්‍යස්ථානය ඇදන් 75 කින් යුක්ත වන අතර එය අද (01) විවෘත කෙරුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

+++++++++++++++++

(01.09.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගින් සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ‘තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක’ දෙකක් (2) ප්‍රදානය කර තිබෙනවා.

මෙම උපකරණ දෙක (2), ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමන්‍ය ඉංජිනේරු හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංග එක් වී සිදු කළ නිෂ්පාදනයක්.

මෙම උපකරණ දෙක ප්‍රදානය කිරීම සිදු වුණේ, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික කොවිඩ් මර්දන කාර්‍ය සාධක බලකායේ කොවිඩ් වැළැක්වීමේ නිර්දේශවලට අනුකූලව යි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මෙම ඔක්සිජන් තෙරපි යන්ත්‍ර දෙක (2), අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා සූරියාරච්චි මහත්මියට හා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය හර්ෂ ගමගේ මහතාට නිල වශයෙන් භාරදීම සිදු වුණා.

++++++

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(01.09.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

දැවිතෙල් ජාවාරම හරහා මෙරටට අහිමිවන විදේශ විනිමය නැවත ලබාගැනීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර නීතිය අනුව නෞකාවක එක්වන දැවිතෙල් අවසන් වරාය විසින් භාරගත යුතු අතර, පරිසරයට වන හානිය සැළකිල්ලට ගෙන නැව විසින් අදාළ රටට මුදලක් ගෙවිය යුතුයි. කෙසේ වෙතත් මෙතෙක් මෙරට සිදු ව ඇත්තේ නෞකාවලට මුදල් ගෙවා ඔවුන් බැහැර කරන දැවිතෙල් මිලදී ගැනීම පමණක් බවයි පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවර ගැනීමට යෝජනා කිරීම සඳහා යි අදාළ කමිටුව පත්කර ඇත්තේ ෴

******************************************

(01.09.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 07 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළා.

ඊට අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරයා අධිකරණයට රැගෙනවිත් තිබුණේ නැහැ.

නඩුවේ 07 වන සැකකරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බැවින් මෙම නඩුව කෙටි දිනයකදී කැඳවන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

රිෂාඩ් බදියුදීන් කර්මාන්ත අමාත්‍යවරයාව සිටි සමයේ කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් අබලි ද්‍රව්‍ය පාස්කු ප්‍රහාරයේ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් අහමඩ් නමැත්තාට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්තශාලාවට ලබාදී අයථා ලෙස උපයා ගත් මුදල් ත්‍රස්තවාදි ක්‍රියා සඳහා යෙදවීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.

නඩුවේ සෙසු සැකකරුවන් වන නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු පිරිස ද මේ මස 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මෙහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පත් කර තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නම් කර ඇති අතර සෙසු විනිසුරුවරුන් වන්නේ මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා සහ නවරත්න මාරසිංහයි ෴

******************************************

(01.09.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළදපළේ සියළු කොටස් මිල දර්ශකය අද (01) ඒකක 9000 ඉක්මවනු ලැබුවා.

දිනය නිමා වන විට එය දැක්වුණේ ඒකක 9163.13 ක් ලෙසයි.

‘එස්.ඇන්ඩ්.පී ශ්‍රී ලංකා ටුවෙන්ටි’ මිල දර්ශකය ඒකක 3440.50 ක් ලෙස දැක්වුණා ෴

******************************************

(01.09.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

අවිවාහක තෙමස් (3) ගැබිනියක් විසින් තම ගෙවත්තේ වළ දැමූ බව කියන බිළිඳු කළලයක් නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ගොඩගෙන තිබෙනවා.

මෙම කාන්තාව තම නිවසේ මල් පාත්තියක් තුල වළලා තිබියදීයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ.

26 හැවිරිදි අවිවාහක තරුණිය නීති විරෝධී ගබ්සාවකින් පසු ප්‍රතිකාර ලබාගැනීමට නුවරඑළිය මහ රෝහලට ඇතුලත් වී ඇති අතර එහිදී වෛද්‍යවරුන් කළ පරීක්ෂාවකදී සිද්ධිය පිළිබඳ අනාවරණ වී තිබෙනවා.

අනතුරුව වෛද්‍යවරුන් නුවරඑළිය පොලිසියට කළ දැනුම්දීමක් මත පොලිසිය සැකකාරියගේ නිවස පරීක්ෂා කිරීමේදී කළලය වළ දැමූ ස්ථානය හඳුනාගෙන ඇතැයි සඳහන්.

අනතුරුවයි එය මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ගොඩගෙන ඇත්තේ.

ප්‍රේම සම්බන්ධතාවක් මත මෙම තරුණිය ගැබ්ගෙන ඇති අතර අනතුරුව ගබ්සාවක් සිදුකර ඇතැයි මූලික විමර්ශණවලදී පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

ගොඩ ගත් කළලය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමු කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ තරුණිය මේවන විට නුවරඑළිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා ෴

******************************************

සහල් සහ සීනි සඳහා හෙට (02) සිට උපරිම සිල්ලර මිලක් – වැටලූ සීනි තොග සතොසට

(01.09.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala)

සහල් හා සීනි සඳහා හෙට (02) සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මේ අතර සීනි ආනයනකරුවන් විසින් සඟවා තිබියදී අත්‍යවශ සේවා කොමසාරිස් භාරයට ගත් සීනි තොග සතොස සහ සමුපකාර අලෙවිසැල් හරහා වෙළඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

වෙළඳපොල තුල කෘතිම සීනි හිගයක් මවා පාමින් මිල ඉහළ දැමීමටයි සීනි ආනයනකරුවන් කටයුතු කර තිබුණේ.

ඒ හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් සිදු කර අත්අඩංගුවට ගත් සීනි තොග අද (01) නිල වශයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෙත භාරදී තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ නීති විරෝධී ආකාරයෙන් මෙලෙස පවත්වාගෙන යන අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගබඩා සියල්ල වැටලීමට සහ එම භාණ්ඩ තොග රජයේ සහතික මිලට සතොස හා සමුපකාර අළෙවිසැල් හරහා පාරිභෝගිකයා වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සලසා ඇති බවයි.

මේ වන විට වෙළදපළේ සීනි හිගයක් ද පවතින අතර, ඒ හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එවන් පසුබිමකයි සීනි ගෙන්වන ලද ඇතැම් පුද්ගලයින් සහ සමාගම් සීනි තොග පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකළ ස්ථානවල ගබඩා කිරීම සිදුකළේ.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය විසින් එවැනි සීනි සැගවූ ගබඩා 5 ක් මේ වන විට වැටලීමට ලක් කළ අතර ඒවායේ තිබී සීනි මෙට්‍රික් ටොන් 12,255 ක් සොයා ගනු ලැබුවා.

එමෙන්ම, රජය විසින් පෙරේදා (30) සිට සතොස හරහා දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 130 ක මිලකට අලෙවි කිරීමට ද පියවර ගත්තේ පාරිභෝගිකයින් මුහුණ පා ඇති දුෂ්කරතාවන් සැලකිල්ලට ගනිමින්. මේ හේතුවෙන් අදත් (01) සතොස අලෙවිහල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ සහල් සහ සීනි සදහා හෙට (02) සිට උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි.

කෙසේ වෙතත් අද (01) දිනයේදීත් සතොස වෙළදසැල්වලට සීනි මිලදී ගැනීම සදහා පැමිණ සිටි පාරිභෝගිකයින් චෝදනා කළේ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි සීනි නොමැති බවයි.

මේ අතර, අඩු මිලට වී මිලදී ගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලු වී තොග ද රාජසන්තක කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඒ, කුරුණෑගල කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් අද (01) නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *