නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

*********************************************

නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

(01.09.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියා.

අද (01) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනු යි ජනරාල්වරයා ඒ බව සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය හා මරණ සම්බන්ධව ලැබෙන දත්තවල ගැටලු පිළිබඳ ව සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බව හා යම් ලෙසකින් දත්තවල ප්‍රමාදයක් හෝ වැරදීමක් සිදු වුවහොත් කඩිනමින් ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ජනරාල්වරයා අවධාරණය කරනවා.

මරණ සංඛ්‍යාව අඩු කරගැනීම සඳහා එන්නත ලබා නො ගත් සුළු පිරිස හා නිධන්ගත රෝග ඇති සියලු දෙනා කඩිනමින් එන්නත්කරණයට යොමු විය යුතු බවට යි ජනරාල්වරයා සඳහන් කරන්නේ.

මෙතෙක් එන්නත ලබා නො ගත් සුළු ප්‍රතිශතයක් රට පුරා බෙදී යාම මත, අවදානම් සහගත හා සංකූලතා ඇති පිරිස මිය යන බවත්, මරණ සංඛ්‍යාව සියයට (100) අඩුවෙන් පවත්වාගෙන යාමට ඔවුන්ව ඉක්මනින් එන්නත්කරණය සඳහා යොමු කළ යුතු බවත් වෛද්‍යවරයාගේ නිර්දේශය යි.

පවතින අවදානම සමඟ නැවත රට විවෘත කිරීමට නම් රෝගය මර්දනය කිරීමට හා කළමනාකරණය කිරීමට සුදුසුම තීරණ හා මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කළා.

එක් එක් ආයතන හා කර්මාන්ත භාර ව සිටින බලධාරින් හා සියලුම ජනයා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ව්‍යසනකාරී තත්ත්වය පාලනය කරගැනීමට සහාය දක්වන ලෙසට ජනරාල්වරයා සියලුම කණ්ඩායම්වලින් ඉල්ලා සිටියා.

නැවත රට විවෘත කළ ද පවතින අවදානම අඩු කරගත හැක්කේ, සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කරමින් හා කඩිනමින් එන්නත්කරණයට යොමු වීමෙන් පමණක් බවයි වෛද්‍යවරයාගේ විශ්වාසය.

+++++++

+++++++++++++++++

(01.09.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් දිවයිනේ සියලුම දරුවන්ට කිසිදු ගැටලුවකින් තොරව අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කඩිනමින් ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා.

මාධ්‍ය ආයතන වල ද සහයෝගය ඇතිව සියලුම ශ්‍රේණි වල සියලුම විෂයයන් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අමාත්‍යාංශය නිලධාරීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය :

“කොරෝනා වසංගතය හේතුවෙන් රටේ අනෙකුත් කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයටත් විශාල බාධා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

මුළුමහත් රටම ආවරණය වන පරිදි සෑම දරුවකුටම සමාන අවස්ථා ලැබෙන පරිදි ජාති ආගම් සංස්කෘතික කිසිදු භේදයකින් තොරව දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් අපි සම තලයක් නිර්මාණය කරනවා” ෴

++++++++++++++++++

(01.09.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති මගින් පසුගියදා සිදුකළ අනාවරණයෙන් පසු මෙරට තුළ ලියාපදිංචි කර ඇති ‘ඔක්සිමීටර’ හෙවත් ‘ඔක්සිජන් මාපක’ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

පසුගියදා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයට එක්වෙමින් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් අනුරුද්ධ රණවක මහතා කියා සිටියේ ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දී ඇති ඔක්සිමීටර ප්‍රසිද්ධ නොකිරීමෙන් ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර වෙළඳපලේ අලෙවි වෙමින් පවතින බවයි.

මෙම අනාවරණයෙන් පසු ලියාපදිංචි කර ඇති ඔක්සිමීටර, ඖෂධ නියාමන අධිකාරිය විසින් ඊයේ (31) අදාළ වෙළඳ නාමය, ආනයනකරු සහ නිෂ්පාදකයාගේ නාමයන්ද සහිතව සිය වෙබ් අඩවියට එක් කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරට තුළ අලෙවියට අවසර හිමිවී ඇත්තේ වෙළඳ නාම දෙකක (2) ඔක්සිමීටර සඳහා පමණක් වන අතර, පෞද්ගලික සමාගම් තුනකට (3) හදිසි අවශ්‍යතාව මත ඔක්සිමීටර ගෙන්වීමට අවසර ලබාදී ඇති බව එහි දක්වා තිබෙනවා.

මේ අතර පසුගිය දින කිහිපයේ ආහාර, ඖෂධ පරීක්ෂකවරුන් සිදුකළ වැටලීම්වලින් ලියාපදිංචි නොකළ, ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර 5,200 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම ‘හිරු සී.අයි.ඒ.’ මගින්ද මෙවැනි කොළඹ ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර අලෙවි කරන ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් පසුගියදා තොරතුරු අනාවරණ කළා.

මේ අතර, ඊයේ (31) මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා ඖෂධ වෙළද සංගමයේ සභාපති කපිල ද සොයිසා මහතා කියා සිටියේ ජාතිය ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොලද ඖෂධ සහ වෛද්‍ය උපකරණ අලෙවි නොකිරීමට සිය සාමාජිකයින් දැනුවත් කළ බවයි.

+++++++

++++++++++++++++

(01.09.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වළක්වාලිය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර කොරෝනා රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාමත් සමග ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බවයි මෙරට ඔක්සිජන් නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම් දෙකෙන් එකක් වන ‘ගෑස් වර්ල්ඩ් පෞද්ගලික සමාගම’ ප්‍රකාශ කළේ.

ඔක්සිජන් ඉල්ලුම ඉහළ යාමත් සමඟ සිංගප්පූරුවේ ආනයනය කළ ද්‍රව ඔක්සිජන් ටොන් 40 ක් මාබිම පිහිටි ‘ගෑස් වර්ල්ඩ් පෞද්ගලික සමාගමේ’ කර්මාන්තශාලාව වෙත ඊයේ (31) රාත්‍රියේ රැගෙන විත් තිබෙනවා.

මෙරට ඔක්සිජන් නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදීත් සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට සිදුව ඇති බවයි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පරාක්‍රම හේරත් මහතා සඳහන් කළේ.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,185 දක්වා ඉහළ ගියේ තවත් කොරෝනා මරණ 194 ක් ඊයේ (31) වාර්තා වීමත් සමඟයි.

අගෝස්තු 01 වන දා වන විට සමස්ත කොරෝනා මරණ 4,508 ක් ලෙස දැක්වුණා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ අතරින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගත වූ මාසය (අගෝස්තු) තුළ වීම විශේෂත්වයක්.

මේ අතර බණ්ඩාරවෙල – මකුල්ඇල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 80 ක පමණ පුද්ගලයෙකු ඊයේ (31) නිවසේදී මිය ගොස් ඇති අතර එය සාමාන්‍ය මරණයක් ලෙස සලකා අවසන් කටයුතු සිදුකිරීමට ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් සූදානම් කර තිබෙනවා.

එහෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ නිවැසියන්ට සිදුකළ කොරෝනා පරීක්ෂාවකදී අනාවරණ වී ඇත්තේ එම නිවසේ සිටි සිව් (4) දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

පසුව මිය ගිය පුද්ගලයාට ද කොරෝනා පරීක්ෂාවක් සිදුකළ අතර, ඔහුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට හෙළිවුණා.

මේ අතර, ඊයේ (31) දිනයේදීත් මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 5,11,142 කට කොරෝනා එන්නත ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 41,166 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 4,42,237 දෙනෙකුට ලබාදී ඇති බවයි.

මීට අමතරව ඇස්ට්‍රාසෙනෙකා, මෝර්ඩනා සහ ෆයිසර් යන එන්නත් ද ඊයේ (31) දිනයේදී ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ 60 ට වැඩි හා නිධන් ගත රෝග පවතින සියළු දෙනා එන්නත් ලබා නොගතහොත් මරණ සංඛ්‍යාව 100 ට අඩුවෙන් පවත්වාගෙන යාමට නොහැකි වන බවයි.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(01.09.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක ම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100 බැගින් නිෂ්පාදනය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ සඳහා සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකට ම රුපියල් ලක්ෂ 10 බැගින් වෙන් කර දී ඇති බවයි ඔහු කියා සිටියේ.

එසේම, ගොවීන්ට අවශ්‍ය කාබනික නයිට්‍රජන් සහ පොටෑසියම් මේ වනවිටත් ආනයනය කර තිබෙනවා.

ඒ අනුව සෑම ගොවියෙකුට ම එම පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට ලබන 15 වනදාට පෙර රුපියල් 7,500 ක මූලික ගෙවීම ලබා දී අවසන් කළ යුතු බවයි ඔහු ගොවිජන සේවා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ ෴

******************************************

(01.09.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala)

වත්තල – මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී පසුගියදා සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 4,800 අද (01) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගැනුනා.

ඒ අනුව එම සීනි තොගය සතොස සහ සමූපකාර හරහා ඉදිරියේදී අලෙවි කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත භාරදෙන බවයි එම අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා කියා සිටියේ.

මේ අතර අඩු මිලට වී මිලදී ගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලු වී තොග රාජසන්තක කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

කුරුණෑගල කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීම සඳහා අද (01) අමාත්‍යවරයා එහි පැමිණි අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එලෙස රාජසන්තක කරන වී තොග සහල් බවට පත් කර රුපියල් 97 බැගින් ලබාදීමට පියවර ගන්නා බවයි.

******************************************

(01.09.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිදුකර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදියි ඔහු මේ බව කියා සිටියේ.

හෙටට (02) යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් අද (01) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ලේ දන්දීමේ පිංකමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව මත ඉදිකිරීමට සැළසුම් කර තිබූ ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

******************************************

(01.09.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් වෘත්තීය සමිති කුමන තීරණය ගත්ත ද මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන් දරුවන් ගැන සිතා ඉගැන්වීම් කටයුතු සඳහා එක්වනු ඇතැ යි තමන් විශ්වාස කරන බව, ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සාමාජික අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන තුරු ඔවුන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට ගනු ලැබූ තීරණය ඇතුළු අනෙකුත් නිර්දේශ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින්.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුව ඉදිරිපත් කළ නිර්දේශවලට අනුව පසුගිය සඳුදා (30) රැස් වූ අමාත්‍ය මණ්ඩලය මොවුන්ගේ වැටුප් විෂමතා නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන අයවැයෙන් ඉවත් කරන තුරු මාස දෙකක් (2) සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට අනුමැතිය ලබා දුන්නා.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එම තීරණයට එකඟතාව පළ කළේ නැහැ.

ඒ අනුව ඔවුන් තවදුරටත් ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනයක නිරත වනවා.

එවන් පසුබිමක යි අමාත්‍ය අනු කමිටුවේ නියෝජිතයන් දෙදෙනෙකු (2) අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් එහි නිර්දේශ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරනු ලැබුවේ.

******************************************

(01.09.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව – මහපැලැස්ස ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවසේ නිදා සිටියදී අද (01) අලුයම ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි කාන්තාවක්. මියගිය කාන්තාව සිය 17 හැවිරිදි පුත්‍රයා සමඟ නිවසේ සිට තිබෙනවා.

මෙම කාන්තාවගේ සැමියා මීට වසර කිහිපයකට පෙර ඇය හැර ගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *