කිලෝ 290 ක හෙරොයින් කොස්ගොඩ සුජීගේ බවට සැක

කිලෝ 290 ක හෙරොයින් කොස්ගොඩ සුජීගේ බවට සැක

*********************************************

කිලෝ 290 ක හෙරොයින් කොස්ගොඩ සුජීගේ බවට සැක

(01.09.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී ජාත්‍යන්තර මුහුදේ සිට රැගෙන එනු ලැබූ රුපියල් මිලියන 2,321 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 290 මෙරටට එවා ඇත්තේ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ‘කොස්ගොඩ සුජී’ නැමැත්තා බවට පොලීසිය සැක පළ කරනවා.

මොහු විසින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් මෙරට මුහුදු තීරය වෙත මෙම මත්ද්‍රව්‍ය තොගය එවා ඇත්තේ බහුදින යාත්‍රාවකින්. ජාත්‍යන්තර ජාවාරම්කරුවන් බහුදින යාත්‍රාවට මෙම මත්ද්‍රව්‍ය තොගය පටවා ඇත්තේ මාලදිවයින් මුහුදේදී බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව පෙරේදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290 යි ග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඔවුන් අවුරුදු 30 ත්, 37 ත් අතර වයස්වල පසුවන අහුංගල්ල, බලපිටිය සහ හබරාදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම හෙරොයින් තොගය උර 10 ක පාර්සල් 259 ක් ලෙස සකස් කර බහුදින ධීවර යාත්‍රාවේ සූක්ෂමව අසුරා තබා තිබෙනවා.

නාවික හමුදාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ බහුදින යාත්‍රාව බේරුවල ධීවර වරායේ සිට ගැඹුරු මුහුදට යාත්‍රා කර ඇත්තේ පසුගිය ජුලි මස 30 වන දා බවයි ෴

******************************************

(01.09.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්‍රදේශයේ දී එගොඩඋයන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමකින් හෙරෝයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස 43 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචි සැකකාරිය සතුව තිබී, හෙරෝයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක් තිබුණු බව යි පොලිසිය වාර්තා කළේ.

සැකකාර කාන්තාව අද (01) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ එගොඩඋයන පොලිසිය විසින් සිදු කරනු ඇති.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වල දී හෙරෝයින් ළඟ තබාගත් පුද්ගලයින් හතර දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 23, 36, 40 සහ 53 යන වයස්වල පසුවන්නන් ෴

******************************************

(01.09.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

සීනි, ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මෙන්ම ඇතැම් ද්‍රව්‍යවල මිල ඉහළ යෑම සම්බන්ධයෙන් කතාබහට ලක්වන මොහොතක සිමෙන්ති කොට්ටයක මිල ද ඉහළ ගොස් ඇති බව වාර්තාවනවා.

රුපියල් 950 ත්, 1005 ත් අතර මිලකට අලෙවි වූ, සිමෙන්ති කොට්ටයක මිල මේ වන විට රුපියල් 1100 ඉක්මවා ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එහෙත් කිසිදු අවස්ථාවක තම අධිකාරිය සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම් වෙත අවසර ලබාදී නොමැති බව එම ප්‍රකාශකයා කියා සිටියා.

මේ අතර, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130 කට අලෙවි කිරීමත් සමඟ පසුගිය දින කිහිපයේ ඇතැම් සතොස වෙළදසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, සතොස වෙළදසැල් තුළ ප්‍රමාණවත් තරම් සීනි තොග නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා ෴

******************************************

(01.09.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් පළ ව ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ, මෙරට තුළ රසායනික පොහොර තහනමට සමගාමී ව ඉදිරියේ දී ජෛව පලිබෝධනාශක ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි.

ඒ සඳහා දේශීය ආනයනයකරුවන් ලියාපදිංචි කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව ඔහු සදහන් කළා ෴

******************************************

(01.09.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල අසළ අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර එය අන්තර්ජාලයට මුදා හැරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි පරිඝනක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (01) එම දියඇල්ල ආසන්නයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.

මෙම අසභ්‍ය වීඩියෝපටය පසුගිය දා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ අතර, දම්සක් පදනම විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඊයේ (31) ලිපියක් ද යොමු කර තිබුණා.

දරුවන් ඔන්ලයින් තාක්ෂණයට යොමු වී ඇති මොහොතක මෙවැනි දර්ශන නැරඹීමට යොමුවුවහොත් එය ඛේදජනක තත්ත්වයක් බවයි එම පදනමේ සභාපති පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් එමගින් පෙන්වා දී තිබුණේ.

මෙම අසභ්‍ය වීඩියෝ පටයේ සිටින තරුණයා සහ තරුණිය මුදල් ඉපයීමේ අපේක්ෂාවෙන් මීට පෙර මීමුරේ ප්‍රදේශයේ ද මෙවැනිම වීඩියෝවක් සිදුකර ඇති බව දම්සක් පදනම අදාළ ලිපියේ දක්වා තිබෙනවා ෴

******************************************

(01.09.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇදිරි නීතිය පවතින අවස්ථාවේ තම අටමස් (8) බිළිදා යාබද නිවස ඉදිරිපිට ගසක් ආසන්නයේ තබා සූදු ක්‍රීඩාවේ නිරත වූ මවක් ඇතුළු 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගැනීමේ පුවතක් හොරණ – මිල්ලනිය – කටුගහදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සූදු ක්‍රීඩාවේ නිරත වූ එම මව ඇතුළු අනෙකුත් පිරිස හිස්ලූ ලූ අත පළා ගොස් ඇති අතර පසුව පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තම දරුවා අසළ නිවසක සිටින බවටයි. කෙසේ වෙතත්, අදාළ බිළිදා එම නිවස ආසන්නයේ ගසක් යට තබා මෙම කාන්තාව සූදු ක්‍රීඩාවේ නිරත වී ඇති බවට පොලීසිය කළ සොයා බැලීමේදී අනාවරණ වුණා.

මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය පවතින අවස්ථාවේ කිසියම් පිරිසක් විසින් වයෝවෘද්ධ මව්වරුන් දෙදෙනෙකු (2) මහ මඟ දමා යාමේ පුවතක් ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

නිට්ටඹුව පොදු වෙළද සංකීර්ණය ආසන්නයේ සහ හැටන් පොදු වෙළදපළ ආසන්නයේ මෙලෙස මෙම මව්වරුන් දමා ගොස් ඇති බව සඳහන්.

නිට්ටඹුව පොදු වෙළද සංකීර්ණය ආසන්නයේ දමා ගොස් සිටි මව සදහන් කළේ තමන් අනුරාධපුර – රාජාංගණය හන්දිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි ෴

******************************************

(01.09.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

= සියලුම රජයේ සේවකයන්ට ‘අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ’ ප්‍රතිලාභ =

විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (31) සඳහන් කළා.

දැනට එම ප්‍රතිලාභ හිමි වන්නේ 2016 ජනවාරි මස 01 දිනෙන් පසු රජයේ සේවයෙන් විශ්‍රාම ගත් අය සඳහා බව කී ඇමැතිවරයා ඔවුන්ට වයස අවුරුදු හැත්තෑව (70) වන තෙක් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා දෙන බවද කියා සිටියා.

දැනට පවතින ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ සියලුම විශ්‍රාමිකයන්ට අදාළ වන පරිදි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා ෴

******************************************

(01.09.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

කාබනික දියර පොහොර නිෂ්පාදනය පළාත් කිහිපයක ම ආරම්භ වී ඇති අතර, මේ වනවිට බස්නාහිර පළාතේ දිනකට ලීටර 5,000 ත් 10,000 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නයනානන්ද නීල්වල මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට වගාබිම් රැසක සිදුකළ සමීක්ෂණ තුළින් වී වගාව, එළවළු, පලතුරු වගාව මෙන්ම තේ වගාව සඳහා ද මෙම කාබනික දියර පොහොර ප්‍රතිඵලදායක වී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම, කාබනික දියර පොහොර භාවිත කරමින් මෙරට වගා කළ නො හැකි ‘රතු දෙළුම්’ විශේෂය වගා කිරීමේ පර්යේෂණයක් ද සාර්ථක වී තිබෙනවා ෴

******************************************

සිතුල්පව්ව විහාරයට නිධන් සොරුන්ගෙන් හානි

(01.09.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික සිතුල්පව්ව විහාරස්ථානයේ කුඩා ස්ථූපයට නිධන් සොරුන් විසින් හානි සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් (1) පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් හතරදෙනෙකු (4) පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර මිහින්තලේ පුරාවිද්‍යා භුමියට අයත් රාජගිරි ලෙන පිහිටි කන්දේ නිධන් හෑරූ පුද්ගලයින් 12 දෙනෙකු පොලීසිය ඊයේ (31) අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ සඳහා යොදාගත් උපකරණ ද සමඟයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 සහ 52 යන වයස්වල පසුවන කළුතර, අනුරාධපුර, එප්පාවල, බදුරලිය, වස්කඩුව සහ තෙඹුවන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(01.09.2021 – 10:50 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විභාගය සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පත් කර තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නම් කර ඇති අතර සෙසු විනිසුරුවරුන් වන්නේ මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා සහ නවරත්න මාරසිංහයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නඩු මෙම විශේෂ මහාධිකරණය හමුවේ විභාග වනු ඇති ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(01.09.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 625 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සමග වාහන 63 ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 62,710 ක්.

මේ අතර ඊයේ (31) දිනය තුළ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13 ක දී පුද්ගලයින් 1410 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහි දී පරීක්ෂාවට ලක් වූ වාහන සංඛ්‍යාව 858 ක් ෴

++++++++++++++++++++

(01.09.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 194 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9000 ඉක්මවා ගියා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9,185 ක් ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ (31) තහවුරු කරන ලද මරණ 194 න් 146 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් වනවා.

එමෙන්ම, වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 45 දෙනෙකු ද කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, ඊයේ (31) මෙරටින් නව ආසාදිතයන් 4,221 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,40,302 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (31) හඳුනාගත් නව ආසාදිතයන් සියලුදෙනා ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් රෝගීන් 56,961 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,74,156 ක්.

දැනට කොරෝනා ආසාදිතයින් සදහා ඇඳන් 39,160 ක් වෙන් කර ඇති අතර ඉන් 33,396 කම ආසාදිතයින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

මීට අමතරව කොරෝනා දැඩි සත්කාර ඒකකවල පුද්ගලයින් 97 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

මේ අතර, වකුගඩු රෝගියෙකුට කොරෝනා ආසාදනය වූයේ නම් ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීම අනිවාර්ය බව මාළිගාවත්ත ජාතික වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය අර්ජුණ මාරසිංහ මහතා ප්‍රකාශ කළා.

දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදුකෙරෙන එන්නත්කරණ කටයුතු කඩිනම් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ වන විට දෙවන (2) මාත්‍රාව ලබාදීම බොහෝ ස්ථානවල සිදුකෙරෙන අතර එය නියමිත ස්ථානයේම නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

ලබන සතිය වන විට තවත් එන්නත් මිලියන 4 ක් මෙරටට ලැබීමට නියමිත අතර එමගින් අවුරුදු 30 ඉක්ම වූ පිරිස් සඳහා ලබාදෙන එන්නත්කරණය පූර්ණ ලෙස අවසන් කිරීමට හැකි වනු ඇති බවට මෙහිදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා ෴

++++++++++++++++++

(01.09.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

අද (01) සිට පුත්තලම දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන්වලින් ග්‍රාම නිලධාරීවරුන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, මහවැව – කොස්වාඩිය, සරස්වතී විද්‍යාලයේ ඊයේ (31) පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු විසින් එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ෴

++++++++++++++++++

(01.09.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු ම ආර්ථික මධ්‍යස්ථාන අද (01) සහ හෙට (02) තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම කටයුතු සිදුකළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

වැඩිහිටි දීමනාව හා මහජන ආධාර ලබාදීම ඇතුළු කටයුතු සඳහා අද (01) සහ හෙට (02) දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කර තැබීමට පියවර ගෙන තිබෙනවා.

++++++++++++++++++

(01.09.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ අදත් (01) දිවයිනේ ප්‍රදේශ රැසක ම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවෙනවා.

+++++++++++++++++

(01.09.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 5,11,142 කට ඊයේ (31) කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 41,166 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 4,42,237 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 4,018 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 485 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 169 දෙනෙකුට ලබාදී ඇති අතර, ඊයේ (31) එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 21,405 ක්.

එසේම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 17 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 1,645 කට ලබා දී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *