ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි

ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි

*********************************************

ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි

(28.08.2021 – 06:15 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන තබමින් පවසන්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ (27) දින සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවක දී තමන්ට ද රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බවයි.

++++++++++++++++++

(28.08.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට විසින් මිලදී ගන්නා ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් අද (28) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.

මේ අතර චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලකාවේ ත්‍රිවිධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක (3,00,000) තොගයක් ද මෙරටට රැගෙන ඇවිත් ඇති බවට තොරතුරු වාර්තා වනවා ෴

++++++++++++++++++++

‘බලු පණු බෙහෙතෙන්’ කොරෝනා මෙල්ලයි.. පරීක්‍ෂණ සාර්ථකයි.. පේරාදෙණි මහාචාර්ය හෙලි කරයි..

(28.08.2021 – 09:20 +0530 – lankacnews.com)

කොරෝනා වයිරසය මර්දනය සඳහා ‘අයිවර්මෙක්ටින්’ නම් ඖෂධය සාර්ථක ප්‍රතිඵල දක්වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙය සතුන්ගේ උදරාබාධ සහ මැක්කන් මර්දනය සඳහා ලබාදෙන ඖෂධයක් වුවත් එමගින් වෛරසයන් මර්දනය කිරීමේ හැකියාවද සහිත බවයි.

කොරෝනා ආසාදිතයන් සඳහා මෙම ඖෂධය ලබා දී දැනටමත් ලොව රටවල් කිහිපයක්ම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇතැයිද ඒ මහතා කියා සිටී.

දෙරණ නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

+++++++++++++++++

(28.08.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000 දීමනාව මේ වනවිට පවුල් 5,75,520 ක් සදහා ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

පසුගිය 23 දින සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පළමු අදියර සඳහා මෙම දීමනාව ගෙවීම ආරම්භ කළා.

නිරෝධාන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මුළු පවුල් 20,38,530 ක් මෙම දීමනාව සඳහා තෝරා ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3,76,531 ක්, ගම්පහ 3,45,847 ක්, කළුතර 55,425 ක්, මහනුවර 1,37,475 ක්, කුරුණෑගල 1,07,677 ක්, රත්නපුර 1,07,291 ක් , ගාල්ල දිස්ත්‍රික්කයේ 38,269 ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 66,476 ක් ජීවනෝපාය අහිමි වූ පවුල් තෝරාගෙන ඇති බව සඳහන්.

මෙම දීමනාව ලබාදීම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ෴

++++++++++++++++++++++

(28.08.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් මෙතෙක් තහවුරු කළ දිනක වැඩි ම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (27) වාර්තා වුණා.

ඒ අනුව පෙරේදා (26) දිනයේ දී සිදු ව ඇති එලෙස ඊයේ (27) තහවුරු කළ මරණ සංඛ්‍යාව 214 ක්.

අගෝස්තු 26 වනදා සිදු වූ කොරෝනා මරණ 214 ක් ඊයේ (27) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර, ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8371 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්ම වූ 2 වන අවස්ථාව මෙය යි.

ඊයේ (27) තවත් කොරෝනා ආසාදිතයින් 4591 දෙනෙකු හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 30 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,16,961 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා ආසාදිතයින් 2122 දෙනෙකු ඊයේ (27) සුවය ලබා රෝහල්වලින් පිට ව ගියා.

මේ අතර චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.3 ක් අද (28) අලුයම දිවයිනට රැගෙන ආවා.

අලුයම 05:20 ට පමණ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙම එන්නත් තොගය රැගෙන එනු ලැබුවා.

එම එන්නත් තොගයට ලක් රජය මඟින් මිළදී ගත් එන්නත් මාත්‍රා 20,00,000 මෙන්ම, චීන මහජන විමුක්ති හමුදාව, ශ්‍රී ලංකා හමුදාවන්ට පරිත්‍යාග කරන ලද සයිනොෆාමි එනනත් මාත්‍රා 3,00,000 ක් ඇතුළත්.

අද (28) ලැබුණු එන්නත් තොගය සමඟ අගෝස්තු මාසයේ මිලියන 7 ක් හා මේ දක්වා මිලියන 18 ක් සයිනොෆාම් එන්නත් මෙරටට ලැබී ඇති බවයි කොලඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු‍ පුරවැසියන් එන්නත්කරණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

එම වයස ඉක්ම වූ සෑම අයකුගේ ම දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඉතා කඩිනමින් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළා.

කොරෝනා මර්දනයෙහි තාක්ෂණික වගකීම වසංගත රෝග ඒකකයට පැවරෙන බවත් එම වගකීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලික අවධානය යොමු විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහි දී පෙන්වා දී තිබෙනවා.

මේ අතර යාපනයේ පදිංචි වී. ත්‍යාගේන්ද්‍රන් විසින් ඉටුකම, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10 ක් ද පරිත්‍යාග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා ෴

+++++++++++++++++++

(28.08.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

බහුතර පිරිසකට කොරෝනා එන්නතේ මාත්‍රා දෙක (2) ම ලබා දුන් පසු ව වුව ද වයිරසය සම්බන්ධයෙන් මතුවන තත්වයන් පිළිබඳව ද සෞඛ්‍ය අංශ අවධානයෙන් සිටිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඊයේ (27) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ මෙන්ම ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද එහිදී අදහස් පළ කළා.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 06 වනදා සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට මෙම රැස්වීමේ දී තීරණය කෙරුණා.

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කළ ද අත්‍යවශ්‍ය සේවා ඇතුළු රැකියා කටයුතු සඳහා තවදුරටත් අවසර හිමිවන බවයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර තොග වෙළඳාම සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) විවෘත ව තැබෙනවා ෴

+++++++++++++++++

(28.08.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ, පුද්ගලයින් 667 දෙනෙකු හා වාහන 63 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති ගණන 60,288 දෙනෙක්.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කොට ඇති මාර්ග බාධක 13 කින් බස්නාහිර පළාතට ඇතුළු වූ වාහන 641 ක් සහ පුද්ගලයින් 901 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කරන ලද බස්නාහිර පළාතින් පිට වූ වාහන ගණන 500 ක්.

බස්නාහිර පළතෙන් පිට වූ පුද්ගලයින් 1128 දෙනෙකු ද පොලිසියේ පරීක්ෂාවට ලක් වී තිබෙනව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්‍යාලය දැනුම් දෙනවා.

++++++++++++++++

(28.08.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, මෙතෙක් දිවයිනේ සිදුකළ එන්නත්කරණ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එය 2021-08-27 වනදා පස්වරු 08:30 දක්වා සිදුකළ එන්නත්කරණ ක්‍රියාවලියේ වාර්තාව යි.

ඒ අනුව මේ වනවිට කොවිශීල්ඩ් පළමු (1) මාත්‍රා 1,364,244 ක් සහ දෙවන (2) මාත්‍රා 88,234 ක් ලබා දී තිබෙන අතර, සයිනොෆාම් එන්නතේ පලමු (1) මාත්‍රා 9,689,350 ක් සහ දෙවන (2) මාත්‍රා 5,199,526 ක් ලබා දී ඇති බව වාර්තා වනවා.

ස්පුට්නික්-වී එන්නත ලබා දී තිබෙන්නේ පළමු (1) මාත්‍රා 1,59,088 ක් සහ දෙවන (2) මාත්‍රා 25,489 ක් වශයෙන්.

මේ අතර ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රා 3,06,341 ක් සහ දෙවන (2) මාත්‍රා 1,81,759 ක් ද එන්නත්කරණ වැඩසටහන යටතේ ජන්තාවට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නත් ලබා දී තිබෙන්නේ පිළිවෙළින් පළමු (1) මාත්‍රා 7,71,459 ක් සහ දෙවන (2) මාත්‍රා 5,84,024 ක් වශයෙන් වන අතර, සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයින්ට සයිනොෆාම් එන්නත පළමු (1) මාත්‍රා 2,865 ක් ද දෙවන (2) මාත්‍රා 2,435 ක් ද ලබා දී ඇතැ යි වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මෙරට ජනගහනයෙන් සියයට 57 ක පමණ ප්‍රතිශතයකට මේ වනවිට එන්නත් මාත්‍රා දෙක (2) ම ලබා දී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අතර, කඩිනමින් එන්නත්කරණය සඳහා යොමුවන ලෙසයි මෙතෙක් කොරෝනා මර්දන එන්නත් ලබා නො ගත්, වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට යුද හමුදාපතිවරයා දැනුම් දෙන්නේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 23 ක් අද (28) පෙරවරුවේ මෙරටට රැගෙන ආවා.

මේ අතර, මෙතෙක් තහවුරු කළ දිනක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන මරණ 214 ඊයේ (27) වාර්තා වූ අතර ඒ සමගින් මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 8371 ක්.

මේ අතර, හික්කඩුව – දොඩන්දූව රෝහණ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයේදී ඊයේ (27) උණුසුම් තත්ත්වයක් හට ගත්තා ෴

+++++++++++++++++++

(28.08.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින්ගේ ගණන 292 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවතම දත්ත වාර්තා සඳහන් කරන්නේ, මෙම ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් සිදුවන බවයි.

එමෙන්ම කොළඹ නගරය තුළ සියයට සියයකින් පැතිර යන්නේ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ශල්‍ය ජෛව විද්‍යා අධ්‍යයන අංශය සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඇල්ෆා ප්‍රභේදය අභිබවා ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතින බව මෙම පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම සිදුකළ මෙම පරීක්ෂණය මගින් වැඩිදුරටත් අනාවරණ කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ අලුතින් පැතිර යන්නේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් විය හැකි බවයි.

ජයවර්ධනපුර සරසවියට ලද සාම්පල පරීක්ෂා කිරීමේ දී නව ඩෙල්ටා ආසාදිතයින් 292 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

මෙම වර්තාව පිළිබඳව අප කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ මෙරට ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙල සියයට 80 ක ඉලක්කයට පැමිණි පසු සැප්තැම්බර් අවසානය පමණ වනවිට රෝගයේ යම් පාලනයක් බලාපොරොත්තු විය හැකි බවයි.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(28.08.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ දී මහ ඇමති එම්.කේ. ස්ටාලින් එහි වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා නිවාස ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු, කටයුතු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 317 ක සුභසාධන පැකේජයක් ඊයේ (27) ප්‍රකාශයට පත් කළා.

ඔවුන්ගේ සුභසාධනය සඳහා කමිටුවක් ඉක්මනින් පිහිටුවනු ඇති අතර, දිගු කාලීන විසඳුම් සෙවීම සඳහා කටයුතු කළ යුතු බවයි මහ ඇමති ස්ටාලින් එහි දී සඳහන් කර ඇත්තේ.

ප්‍රකාශයක් කරමින් මහ ඇමතිවරයා කියා සිටියේ කඳවුරුවල සිටින අයගේ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම, අධ්‍යාපනය හා රැකියා අවස්ථා සහතික කිරීම සඳහා ඉන්දිය රුපියල් මිලියන 12.25 ක් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මිලියන 43.61 ක් ඇතුළත් ව යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 261.54 ක් වැය කරන බවයි.

1983 සිට මේ දක්වා කාලය තුළ දෙමළ දෙමළ වැසියන් 3,04,269 ක් තමිල්නාඩුවට පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් පවුල් 18,944 කට අයත් පුද්ගලයින් 58,822 ක් ප්‍රදේශ 29 පුරා ඇති කඳවුරු 108 ක රඳවා සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ලියාපදිංචියෙන් පසු 34,087 දෙනෙකු වෙනත් ස්ථානවල ජීවත් වනවා ෴

******************************************

(28.08.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ලබන සතියේ සිට සීනි මිල අඩු කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, වෙළඳපොළේ ඉහළ ගොස් ඇති සීනි මිල සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තී අංශය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.

සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා ඊයේ (27) ප්‍රකාශ කළේ සීනි මිල අඩු කළ නො හැකි බවයි.

එසේ ම මේ මොහොතේ තමන් සතු ව පවතින්නේ සති දෙකකට හෝ තුනකට (2-3) ප්‍රමාණවත් සීනි තොග පමණක් බව ද ඔහු අනාවරණ කළා.

මෙරට සීනි මිල පිලිබඳ ව මේ වනවිට ඇතිව තිබෙන්නේ දැඩි සංවාදයක්.

සති කිහිපයක් තුළ සීනි කිලෝවක් රුපියල් 100 කට වැඩි මිලකින් ඉහළ යාම ඊට හේතුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *