‘ඔන්ලයින් ක්‍රීඩා’ ළමයින්ගේ අධ්‍යාපනයට සිදුකර ඇති බලපෑම ගැන සොයාබැලීමක්

‘ඔන්ලයින් ක්‍රීඩා’ ළමයින්ගේ අධ්‍යාපනයට සිදුකර ඇති බලපෑම ගැන සොයාබැලීමක්

*********************************************

‘ඔන්ලයින් ක්‍රීඩා’ ළමයින්ගේ අධ්‍යාපනයට සිදුකර ඇති බලපෑම ගැන සොයාබැලීමක්

(27.08.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථන හෝ පරිගණක භාවිතයෙන් Online තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන් Online ක්‍රීඩා වැනි දෑ කෙරෙහි යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව පසුගිය කාලයේ වාර්තා වුණා.

Online ක්‍රීඩා ළමයින්ගේ අධ්‍යාපනයට සිදුකර ඇති බලපෑම කෙතරම්ද? මේ ඒ පිළිබඳ අප කළ සොයාබැලීමක්.

කොවිඩ්-19 වසංගතය පැතිරයාමත් සමග අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වුණා.

කොවිඩ් හේතුවෙන් වසර එක හමාරකට (1½) ආසන්න කාලයක් පාසල් පද්ධතිය වසා තිබීම හේතුවෙන් ළමුන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව සිදුකරගෙන යාම සඳහා විකල්ප ක්‍රමවේද වෙත යොමුවීමට සිදුවුණා.

ඊට විසඳුමක් වූයේ ‘මාර්ගගත ක්‍රමය’ හෙවත් Online තාක්ෂණයයි.

පාසලට ගොස් සිදුකළ ඉගෙනීම් කටයුතු නිවසට සීමා වී ජංගම දුරකතන හෝ පරිගණක භාවිතයෙන් සිදුකිරීම දරුවන්ට නුහුරු අත්දැකීමක් වී තිබුණා.

වසංගතයත් සමග ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම්වලින් දරුවන් දුරස් වී ඇති බව ද බොහෝ අවස්ථාවල වාර්තා වූ කරුණක්.

Online තාක්ෂණයත් සමග ළමා ක්‍රියාකාරකම් අඩපණ කිරීමට සමත් විවිධ දෑ දරුවන්ට සමීප වීම ඊට හේතුවී තිබුණා.

ඒ අතරින් ළමයින් වැඩිපිරිසක් යොමු වී තිබුණේ විවිධ Online ක්‍රීඩාවලට යි.

ළමයින් ජංගම දුරකතනයෙන් විවිධ ක්‍රීඩා කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක්වීමේ අතුරු ප්‍රතිඵලයක් පසුගිය දිනවල මාතර – රොටුඹ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ Online ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටි මෙම සිසුවාට අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙස ඔහුගේ මව්පියන් අවවාද කර ජංගම දුරකතන භාවිතය සීමා කිරීමත් සමඟ යි.

එයින් සිත්තැවුලට පත් සිසුවා මව්පිය අවවාදයට එහා ගිය අනුවණ තීරණයකට එළැඹ තිබුණේ සිය දිවිසැරිය නිමාකරමින්.

නවීණ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අනාගතය ජයගැනීමට සිදු ව ඇති මෙවන් වකවානුවක වෙනත් දෑ කෙරෙහි යොමුවීමෙන් වළක්වාගැනීමට කටයුතු කිරීම මව්පියන් සතු වගකීමක්.

+++++++++++++++++++

(27.08.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කළ ද, පවතින ක්‍රමවේදය යටතේ අත්‍යාවශ්‍ය සේවා හා අනෙකුත් සේවා පවත්වාගෙන යාමට හා රැකියා සඳහා පිටත්ව යාමට අවසර හිමිවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේයි පසුගිය සිකරාදා රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදියි දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවේ.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ අද (27) පැවති කොවිඩ් කාර්ය සාධන බලකා රැස්වීමේදී පවතින ඇඳිරි නීතිය ලබන 06 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි.

මෙම කාලසීමාවේදී දැනට පවතින ක්‍රමවේදයට අනුව අත්‍යවශ්‍ය සේවා, අපනයන ක්ෂේත්‍ර මෙන්ම කෘෂිකර්ම ඇතුලු අනෙක් සේවාවන් පවත්වාගෙන යාමට අවසරය හිමි වනවා.

යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන් රැකියා සඳහා යන අයට ඊට අවසර හිමිවන බවයි.

+++++++++++++++++++

(27.08.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2122 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,53,191 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ අයට දෙවන (2) මාත්‍රාව ලබාදෙන ස්ථානයකදී එය ලබාගැනීමට අවස්ථාව

(27.08.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

කිසියම් කරුණක් හේතුවෙන් කොවිඩ් මර්දන එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ අය වෙනුවෙන් දෙවන (2) මාත්‍රාව ලබාදෙන ස්ථානයකදී එය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අනාවරණ වී තිබෙනවා.

මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30 ට වැඩි කිසියම් අයෙක් හෝ ප්‍රදේශයක් ඇත් නම් ඒ බව දන්වා අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එන්නත ලබාගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම පැවැත්වුනේ.

එහිදී එන්නත්කරණ වැඩපිළිවෙලහි ප්‍රගතිය පිළිබඳ දීර්ඝව සමාලෝචනයට ලක්ව තිබෙනවා.

මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේ දී ද ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

වයස අවුරුදු 60 ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාධනය වුවහොත් හැකි ඉක්මණින් රෝහල් ගත කළ යුතු අතර එසේ රෝහල්ගත වන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලබා ඉක්මණින් රෝහල්වලින් පිටව යාම වාර්තා වන බවයි පෙන්වා දී ඇත්තේ.

කොවිඩ් ආසාධිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු මිය ගිය හොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීම කෙරෙහි, මෙහිදී විශේෂ අවධානය යොමු ව තිබෙනවා.

නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාලෝචනය කෙරුණු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජාතික ආර්ථිකය ද කළමනාකරණය කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාවය අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙහිදී පෙන්වා දුන් බවයි.

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට ස.තො.ස මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිළි කළ අතර දිවයිනම ආවරණය වන පරිදි ජනතාවට දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබාදීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් මෙම රෝගයෙන් වැළකී සිටීමේ වගකීම මහජනතාවට පැවරෙන බවයි කොවිඩ් මර්දන කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.

එමෙන්ම දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් මස 06 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට ද මෙම කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

(27.08.2021 – 15:02 +0530 – lankacnews.com)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල වන දත්ත හදිසියේ අතුරුදහන් වීම පිටුපස පසුගිය රජයට සම්බන්ධ දේශපාලනඥක් සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු සිටින බවට බරපතල සැකයක් මතුව ඇත.

පසුගිය රජය සමයේ මෙම දේශපාලනඥයා සම්බන්ධ වූ බවට සැලකෙන ඖෂධ වංචා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඇරඹීමත් සමග ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල දත්ත ගබඩාව මැකීයාම පිටුපස අබිරහසක් ඇති බව අධිකාරියේ ඉහල නිලධාරියෙක් පැවසීය.

2015-19 රජයේ ආයතනවල සිදු වූ වංචා විමර්ශනය පිලිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි කර ඇත්තේ ‘ට්‍රට්සුසුමැබ්’ නම් පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධය වංචනිකව ගෙන්වීම මගන් පමණක් රජයට රු මිලියන 850 ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.

2018 වර්ෂයේදී මෙම දත්ත ගබඩාව පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගමකට ටෙන්ඩර් කැඳවා භාර දී තිබූ අතර එකී පෞද්ලිගලික සමාගමේ පරිගණක තාක්ෂණ ශිල්පියකු මෙම දත්ත ගබඩාව මකා දමා ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

repoter

******************************************

(27.08.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

වාරියපොළ – වෙරපොල ප්‍රදේශයේ ඉඩමක සිදුකරන ටයර් පිලිස්සීමක් හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත් ව සිටින බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඊට නිසි විසඳුමක් ලබාදෙන ලෙසයි.

කුරුණෑගල වාරියපොළ පොලිස් වසමේ වෙරපොල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පවත්වාගෙන යන මෙම ටයර් පිලිස්සිමේ කාර්මාන්ත ශාලාව හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ප්‍රදේශවාසින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ටයර් පිලිස්සිම නිසා ඇතිවන දුමාරය සහ ටයර් පිලිස්සිමෙන් ඇතිවන අපද්‍රව්‍ය අවට නිවෙස් වෙත එන බවයි.

ප්‍රදේශවාසින් පවසන්නේ මෙම ස්ථානයේ භාවිතයට නොගත් ටයර් පවා පුළුස්සන බවයි.

අවස්ථා කිහිපයකදිම මේ සම්බන්ධයෙන් කාර්මාන්ත ශාලවේ හිමිකරුවන් සහ බලධාරින් දැනුවත් කලද මෙතෙක් විසදුමක් හිමි නොවු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ ටයර් තුල රැදෙන ජලය මගින් ඩෙංගු මදුරුවන් බෝවිමේ අවදානමකටද මුහුණ දෙන බවයි.

ඇතිවන අපහසුතා පිළිබඳව ප්‍රදේශවාසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ඔවුන් දැනුම් දී සිටියේ තාවකාලිකව කාර්මාන්ත ශාලවේ වැඩ අත්හිටුවන ලෙසයි.

******************************************

(27.08.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

තලෙයිබාන් සංවිධානය සඳහා මෙතෙක් ජාත්‍යන්තර පිලිගැනීමක් හිමිවී නැතත්, ජනතාව වෙනුවෙන් එක්ව වැඩ කළ යුතු බව ශ්‍රී ලංකාවේ, ඇෆ්ගනිස්ථාන තානාපති අශ්රෆ් හයිදාරි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී මෙරට ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තලෙයිබාන් සංවිධානය තවමත් තම කාර්යාලය සමග සම්බන්ධ වී නොමැති බවයි.

******************************************

(27.08.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී-ජෙන්හොන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.

කතානායක නිල නිවසේදී ඊයේ (26) මෙම හමුව පැවති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

වත්මන් කොරෝනා තත්ත්වය පාලනය සඳහා දෙරටම උපරිම කැපවීමකින් කටයුතු කරන මොහොතේ මෙරට කොරෝනා පාලනය සඳහා චීන රජය නිරතුරුවම සිය සහය ශ්‍රී ලංකා රජයට ලබාදෙන බව චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු ලෙස චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව කතානායකවරයා ද මෙහිදී සිය කෘතවේදීත්වය චීන රජය වෙත පළ කිරීමටයි කටයුතු කර ඇත්තේ ෴

******************************************

(27.08.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවනවා.

ඌව පළාතේත් අම්පාර මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් සවස 2 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් 50 ක් පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි.

මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීමේ හැකියාවක් ද පවතිනවා.

මේ පිළිබඳ ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම්දෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *