නීතිවිරෝධී අයුරින් වයස් සීමාව නොතකා දරුවන් පිරිසකට ෆයිසර් එන්නත ලබාදුන් මධ්‍යස්ථානයක්

නීතිවිරෝධී අයුරින් වයස් සීමාව නොතකා දරුවන් පිරිසකට ෆයිසර් එන්නත ලබාදුන් මධ්‍යස්ථානයක්

*********************************************

නීතිවිරෝධී අයුරින් වයස් සීමාව නොතකා දරුවන් පිරිසකට ෆයිසර් එන්නත ලබාදුන් මධ්‍යස්ථානයක්

(26.08.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී අයුරින් වයස් සීමාව නොතකා දරුවන් පිරිසකට ෆයිසර් එන්නත ලබාදුන් එන්නත් මධ්‍යස්ථානයක් පිළිබඳව හලාවත ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහිදී පිට පළාත්වලින් පැමිණි පුද්ගලයින් සඳහා ද එන්නත් ලබාදී ඇති බවටයි වාර්තා වුණේ.

හලාවත – කොක්කාවිල රජයේ විද්‍යාලයේදී ඊයේ (25) ක්‍රියාත්මක වූ මෙම එන්නත් මධ්‍යස්ථානය තුලදී ෆයිසර් එන්නත ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, එහි පැමිණි පිරිස් චෝදනා කළේ මෙම මධ්‍යස්ථානය නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවන බවයි.

එසේම, ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවුරුදු 60 ට වැඩි පිරිසට හා ගැබිනි මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩසටහන් ඊයේ (25) ක්‍රියාත්මක වුණා.

ඒ යටතේ ආනමඩුව – කන්නන්ගර විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයේ ඉතිරි වූ එන්නත් ප්‍රමාණය අවුරුදු 30 ට වැඩි පිරිස් වෙත ලබාදීමට සෞඛ්‍ය අංශ තීරණය කිරීමත් සමඟ රැස්ව සිටි පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා වුණා.

මේ අතර, දංකොටුව – මැටිකොටුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (25) පැවති එන්නත්කරණ වැඩසටහනකදී තමන්ට අසාධාරණයක් වූ බව පවසා පුද්ගලයෙකු දංකොටුව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 2,39,650 කට ඊයේ (25) දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 15,548 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 93,434 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 6332 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 805 දෙනෙකුට ලබා දී තිබෙනවා.

එමෙන්ම, මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (25) 73,308 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 48,320 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාවද 196 කට ලබාදී තිබෙනවා.

මෙරට තුල සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 7948 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 4,07,768 ක්.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 114 දෙනෙකුට පසුගිය පළමුවනදා (01) සිට ඊයේ (25) දක්වා කාලය තුල කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළා.

කොරෝනා ආසාදිත වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 2,139 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 351,069 ක් ෴

++++++++++++++++++++++

(26.08.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ එන්නත්කරණය ලැබූ ඉන්දීය සංචාරකයින් සඳහා සැප්තැම්බර් පළමුවනදා (01) සිට ශ්‍රී ලංකාව විවෘත වන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

එලෙස, දිවයිනට පැමිණෙන ඉන්දීය සංචාරකයන් ගුවන්තොටුපලේ දී කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතු අතර ඔවුන් තරු තුනේ (3) හෝ ඊට ඉහළ මට්ටමේ හෝටලයක නතර විය යුතුයි.

ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය ලබන පළමුවනදා (01) සිට චෙන්නායි, මුම්බායි සහ බැංගලෝරය වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, ලබන මස අවසානයේ නවදිල්ලියට තවත් අමතර ගුවන් ගමන් දෙකක් (2) යොදවනු ඇති.

මීට අමතරව, කොළඹ සහ මදුරෙයි, තිරුචිරාපල්ලි, ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් වෙත ගුවන් ගමන් ද යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගෝලීය අලෙවි හා බෙදා හැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත වෙත ප්‍රකාශ කර ඇත්තේ ෴

++++++++++++++++++

(26.08.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය අගෝස්තු 24 වන දින ප්‍රකාශයට පත් කරන ලද සතිපතා වසංගත රෝග විද්‍යා වාර්තාවට අනුව මෙරට කොරෝනා රෝගින් සංඛ්‍යාව 40.3% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

එම සතිය තුළ මෙරටින් ආසාදිතයන් 35,032 ක් වාර්තා වී තිබුණා.

දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් ඉලක්ක කරමින් නිකුත් කර තිබූ මෙම වාර්තාවට අනුව මාලදිවයිනේද නව ආසාදිතයන් වාර්තාවීම 5.2% ක වර්ධනයක් වාර්තා කළ අතර එරටින් වාර්ථා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 822 ක්.

නැගෙනහිර ටිමෝර්-ලෙස්තේ රාජ්‍යයෙන් නව ආසාදිතයන් 1651 එම සතිය තුළ වාර්තා වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එය පෙන්වා දී තිබුණේ 59.4% ක වර්ධනයක් ලෙසින්.

මේ අතර එම සතිය තුළ ඉන්දියාවෙන් වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාව වන 231,658 ක් වාර්තා වුවද එය සාපේක්ෂව 10.3% ක අඩුවීමක් ලෙසයි වාර්තා කර තිබුනේ.

එමෙන්ම නව ආසාදිතයන් 142,138 වාර්තා වූ තායිලන්තයේද එම අගය 5.7% කින් අඩු වූ අතර ආසාදිතයන් 125,102 ක් වාර්තා වූ ඉන්දුනීසියාවේ එම අගය 33.6% කින් අඩු වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම වාර්තාවට අනුව කෝවිඩ් වෛරස ව්‍යාප්තියෙන් දැඩි ලෙස බැට කෑ ඉන්දුනීසියාව සහ ඉන්දියාව ගෙවී ගිය සතිය තුළ වෛරස ව්‍යාප්ති පාලනයේ කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබෙනවා.

එම සතිය තුළ ඉන්දුනීසියාවෙන් කලාපයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වූ මරණ 8,784 ක් වාර්තා වූවද එය 16% ක අඩුවීමක් ලෙසයි වාර්තා වන්නේ.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉන්දියාවෙන් එම සතිය තුලදී මරණ 3,142 ක් වාර්තා වූවද එය ද 6.6% අඩුවීමක්.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිල්ලට ගත් පසුගිය 24 වෙනිදායින් අවසන් වූ සතිය තුල ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවව 1,327 ක් වන අතර එය 34.7% ක වර්ධනයක් ලෙසටයි මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප හයෙන් (6) සමස්තයක් ලෙස අඩුම කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සටහන් කරනු ලබන්නේ අග්නිදිග ආසියානු කලාපය තුළයි.

මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වාර්තාව හරහා පෙන්වා දෙන්නේ ෴

+++++++++++++++++

(26.08.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොර ව පාර්ලිමේන්තුවේ දී සම්මත වූයේ පසුගිය අගෝස්තු 17 වනදායි.

කොරෝනා තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කළ ඇතැම් ක්‍රියාවන් නියමිත කාලසීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයන්ට නො හැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් හා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නො හැකි වන අවස්ථාවක දී විකල්ප අධිකරණ නියම කිරීම සඳහා විධිවිධාන සැලසීම මෙහි අරමුණයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(26.08.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ කාර්යසාධක බළකාය සඳහා ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත්කර තිබෙනවා.

උප කුලපතිවරයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. පී. මහලියනආරච්චි, මහාචාර්ය එම්.ඩී.ළමාවංශ, මහාචාර්ය පී.එම්. සී. තිලකරත්න, මහාචාර්ය ඒ. රමීස්, මහාචාර්ය ආර්.යු.එස්.කේ රත්නායක, ආචාර්ය ජේ.එල්. රත්නසේකර, දීපා ලියනගේ සහ ඕෂධ සේනානායක යන අය මෙලෙස නව සාමාජිකයින් ලෙස පත්කරනු ලැබුවා.

මීට අමතරව, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනුම්පතිවරයා ද නම් කර තිබෙනවා ෴

******************************************

(26.08.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි.

ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට එම වැසි සහිත කාලගුණයෙන් බලපෑම් එල්ලවනු ඇති.

මීට අමතර ව ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද තද වැසි ඇතිවීමට ඉඩකඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

අද (26) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 82.5 ක වර්ෂාපතනයක්, ගාල්ල-නෙළුව ප්‍රදේශයට ඇදහැලී තිබුණා.

මිනුවන්ගොඩ ප්‍රදේශයට මිලිමීටර් 73 ක වර්ෂාපතනයක් සහ ගම්පහට මිලිමීටර් 60.5 ක වර්ෂාපාතනයක් ද ලැබී තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ත්, 50 ත් අතර අගයක් ගනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ද සුළඟේ වේගය ඉහළ යනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හෝ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

******************************************

(26.08.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල් කන්නයේ දේශීය අර්තාපල් අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, මෙවර දේශීය අර්තාපල් අස්වනු සදහා ඉහළ මිලක් ලැබී ඇති බව ගොවීන් පවසනවා.

මේ අතර බස්නාහිර පළාතේ කාබනික වගාවලින් සරු අස්වැන්නක් ලබා ගැනීමට හැකි ව තිබෙන බව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

නිරෝධායන ඇඳිරි නීතිය පැවතුණත් කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොර ව පවත්වාගෙන යාමට රජය අවසර ලබා දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව කාබනික පොහොර භාවිතාවෙන් වගා කටයුතු සිදුකිරීමට ගොවීන් වැඩි උනන්දුවක් දක්වන බව ද දැකිය හැකියි.

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ කාබනික වගාව සඳහා ගොවීන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ සාර්ථක ප්‍රතිඵල ලබා ලබාගැනීමට සමත් වී තිබෙනවා.

බණ්ඩාරගම පින්නවල වෙල්යායේ පුරන් වූ කුඹුරු අක්කර පහක් (5), කාබනික පොහොර පමණක් යොදා වගාකර තිබූ අතර, එහි දී සාර්ථක අස්වැන්නක් ලබා ලබාගැනීමට හැකි වී තිබෙනවා.

එහි දී, යොදාගෙන තිබුණේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් නිෂ්පාදනය කරනු ලබන ‘මිහිලක් කාබනික දියර පොහොර’ යි.

ඒ අනුව අක්කරයකට වී බුසල් 67 ක සරු අස්වැන්නක් ලබා ලබාගැනීමට ගොවීන්ට හැකි වී තිබෙනවා.

******************************************

(26.08.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

පේදුරුතුඩුව – මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ දී රුපියල් මිලියන 41 ට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද (26) අලුයම එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසියක දී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා නිරීක්ෂණයට ලක් කෙරුණා.

එම අවස්ථාවේ එහි සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 139 ක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

එහි සිටි අවුරුදු 22 හැවිරිදි සහ 26 හැවිරිදි පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා (2) නාවික හමුදා භාරයට ගැනීමෙන් අනතුරු ව පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

(26.08.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු මෙරට සිටින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි හමු වී තිබෙනවා.

ඊයේ (25) දින මෙම හමුව සිදුව ඇති අතර, එහි දී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු වූ බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා වසංගතය පාලනය කිරීම, අධ්‍යාපන, තාක්ෂණික හා වෘත්තීය පුහුණුව මෙන්ම, ආර්ථික හා ආයෝජන අංශවල සහයෝගිතාව ඉහළ නැංවීම කෙරෙහි ද මෙම හමුවේ දී සාකච්ඡා වී තිබෙනවා ෴

******************************************

(26.08.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික සේවා අධිකාරිය අනුරාධපුර සහ අම්පාරේ සිදුකළ වැටලීම්වල දී නීතිවිරෝධී ලෙස වී රැස් කර තිබූ ගබඩා 20 කට මුද්‍රා තබා තිබෙනවා.

අද (26) පෙරවරුවේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

එහි දී මුද්‍රා තැබූ වී ගබඩා හිමිකරුවන් තමන් සතු වී තොග රජයේ සහතික මිල යටතේ වී අලෙවි මණ්ඩලයට ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා.

පොළොන්නරුව, අම්පාර, අනුරාධපුර ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීතිවිරෝධී ව වී ගබඩා කරන ස්ථාන වැටලීම පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් ඊයේ (25) සිට සිදුකරනු ලබනවා ෴

******************************************

මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට දැනුම්දීමක්

(26.08.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වර්ෂයේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට බෙදාදීම සිදු නො කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම ජනතාවට දැනුම් දෙන්නේ තමන් 2020 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් 2021 වර්ෂය සඳහා ද එම ලිපිනය යටතේ ලියාපදිංචි කිරීමට ක්‍රියාකරනු ඇති බවයි.

ඒ සඳහා කිසිදු ආකෘතියක් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

2020 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය මේ දිනවල සෑම ග්‍රාම නිලධාරි කාර්යාලයක ම ප්‍රදර්ශනය කිරීමටයි නියමිත ව තිබුණේ.

එහෙත් නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් එම කටයුතු ද නැවත දැනුම්දෙනකුරු කල් දමා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ 2021 වර්ෂය සඳහා ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය
( https://elections.gov.lk/ ) මගින් පරීක්ෂා කර බැලිය හැකි බවයි.

තමන්ගේ නම නිර්දේශ වී නොමැති නම්, ඒ සඳහා කඩිනමින් ග්‍රාම නිලධාරි වෙත දැනුම් දෙන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා ෴

******************************************

(26.08.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශක අද (26) ඉතිහාසයේ ඉහළ ම අගය සලකුණු කරමින් 8920.71 ක් ලෙස සටහන් වුණා.

ඊට පෙර වාර්තා වූ ඉහළම අගය වන්නේ පසුගිය ජනවාරි 27 වනදා සටහන් වූ 8812.01 ක අගයයි.

ප්‍රධාන පෙළේ සමාගම් 20 ක් නියෝජනය කරන ‘එස්.ඇන්ඩ්.පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි’ දර්ශකය ද 3341.2 ක් ලෙස සටහන් වූ අතර, කොටස් වෙළඳපොලේ අද (26) දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 10.5 කට ආසන්නයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *