ඊයේ (18) මෙරටින් නව මරණ 170 ක්

ඊයේ (18) මෙරටින් නව මරණ 170 ක්

*********************************************

ඊයේ (18) මෙරටින් නව මරණ 170 ක්

(19.08.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ නංවමින් ඊයේ (18) මෙරටින් මරණ 170 ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 6,604 ක් ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (17) සිදුවූ බවට ඊයේ (18) තහවුරු කරන ලද කොරෝනා මරණ 170 න් 130 ක්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්.

ඊට පිරිමි පුද්ගලයන් 60 ක් සහ කාන්තාවන් 70 ක් ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව අවුරුදු 30 ත් 59 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් 40 දෙනෙකුද, මිය ගිය පිරිසට ඇතුළත්.

වයස අවුරුදු 60 ඉක්ම වූ පිරිස් වැඩි වශයෙන් මිය යාමට හේතුව ඔවුන්ට එන්නත් නොලැබීම බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ වයස අවුරුදු 60 ඉක්ම වූ යම්කිසි අයෙකු එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් එය ලබා ගැනීමට අවස්ථාව පවතින බවයි.

එමෙන්ම ඊයේ (18) නව ආසාදිතයින් 3,676 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 369,359 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (18) වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 3,660 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 16 දෙනකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 46,397 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 316,528 ක්.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ගෙවුණු මාසයක කාලය තුළ කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හය (6) දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය සහ එහි ආපනශාලා සියල්ල ඊයේ (18) සිට වසා දමා තිබෙනවා.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට සහ සේවකයින්ට ආහාර පිටතින් ගෙන ඒමට තාවකාලිකව අවසරය ලබාදී ඇති බවයි.

ආහාරපාන පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට පෙර ඒවා දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙසද ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, සේවකයන් සහ මාධ්‍යවේදීන් ඇතුලු 275 දෙනෙකුට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කොරෝනා පරීක්ෂණ සිදු කෙරුණු අතර, පාර්ලිමේන්තුවේ විවිධ අංශවල සේවකයින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව එහිදී හඳුනාගැනුනා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු අවම සේවකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වාගෙන යාමටයි තීරණය කෙරුණේ ෴

++++++++++++++++++++

(19.08.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

මේ අතර බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 50 කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදියි. ඒ හේතුවෙන් සැක කටයුතු රෝග ලක්ෂණ පවතින්නේ නම් මහන්සි වී වැඩ කටයුතු සිදුකිරීමකින් තොරව කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ෴

++++++++++++++++++++

(19.08.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සලකා බලා සාප්පු සංකීර්ණ ඊයේ (18) සිට වසා තබන ලෙස නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සාප්පු සංකීර්ණ විවෘතව තැබිය හැකි නමුත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 25 ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත යුතු බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම වෙළඳ සංකීර්ණවලට ඇතුළත් විය හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ සංශෝධිත මාර්ගෝපදේශවල සඳහන් ෴

(19.08.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, නිවසක සිටින එක් (1) අයෙකුට පමණක් දෛනික අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යාමට අවසර දී ඇත.

නමුත් රැකියා කරන අයට කිසිදු බාධාවකින් තොර ව තම රැකියා සඳහා පිටත් විය හැකි බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

++++++++++++++++++++

(19.08.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් එළැඹෙන 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කිලිනොච්චිය නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බව කිලිනොච්චිය වෙළඳ සංගමය පවසනවා.

කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම පාලනය කිරීම උදෙසා අදාළ තීරණය ස්වෙච්ජාවෙන් ගත් බව ද කිලිනොච්චිය දිස්ත්‍රික් වෙළඳ සංගමය පැවසුවා.

කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ගත වූ දිනය තුළ දී පුද්ගලයින් 200 කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත ව ඇති බවට කිලිනොච්චිය වෙළඳ සංගමයේ නියෝජිතයින් සඳහන් කළා.

මේ අතර පවතින අවදානම් තත්ත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ද සුරකීම වෙනුවෙන් අනුරාධපුර නගරයේ සහ සියලු උප නගර වල කඩ සාප්පු සහ වෙළඳ සැල් වසා දැමීමට අනුරාධපුර වෙළඳ සංසදය ද තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++

(19.08.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් රෝගීන්ගේ රෝගී තත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ ප්‍රතිකාර කිරීම සඳහා හඳුන්වාදුන් නව ක්‍රමවේදය අද (19) සිට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වනවා.

ඊට අදාළ තොරතුරු දුරකථනය මගින් සපයා දිය යුතු අතර, එය සිදුකළ යුතු ආකාරය දැක්වෙන මාධ්‍ය නිවේදනයක් ‘කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය’ විසින් අද (19) මාධ්‍ය වෙත යොමුකළා.

අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ ස්වසන අපහසුතා ඇති රෝගීන් A ලෙසත්, උණ තත්වයෙන් පෙළෙන රෝගීන් B ලෙසත්, කිසිදු රෝග ලක්ෂණ නොමැති රෝගීන් C ලෙස වර්ගීකරණය කරමින් කෙටි පණිවුඩ අංක 1904 ට යොමුකළ යුතුයි.

එලෙස එස්.එම්.එස්. පණිවුඩ මගින් ලබාගන්නා තොරතුරු ‘කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය’ මගින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත යොමුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.

රෝගීන් ලබාදෙන තොරතුරු වර්ගීකරණය කර දුරකථන අංක 247 මගින් සම්බන්ධ වී රෝග තත්වය නිශ්චය කර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනවා.

ඒ සඳහා ගිලන් රථ සේවා සහ අනෙකුත් පහසුකම්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සළසනු ඇති.

නිවෙස් නිරෝධායනයට යොමු කරවන වෛද්‍ය කණ්ඩායමක් දුරකථනයෙන් සම්බන්ධ වී අවශ්‍ය සේවා ලබාදෙන අතර, මේ සඳහාම පමණක් වෙන් කර ඇති දුරකථන අංක 1390 හරහා එම පහසුකම් සළසා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියා.

එම නව ක්‍රමවේදයට අදාළ වැඩිදුර තොරතුරු පහතින් :

+++++++++++++++++

(19.08.2021 – facebook.com/newslk)

නිවසේ සිටම ප්‍රතිකාර ලබාගන්නා COVID-19 රෝගියෙකු, වහාම රෝහල්ගත කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද?

නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසුබවට තෝරාගෙන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, වෛද්‍ය උපදෙස් අනුව COVID-19 රෝගයට ප්‍රතිකාර ලබන අයෙක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

• උපරිමයෙන් විවේක ගැනීම,
• ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම,
• පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගැනීම,
සහ
• රෝගය උත්සන්න වන බවට වන ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම මේවායින් ප්‍රධාන වනවා.

විවේකීව සිටියදී හෝ අඩි දහයක් දොළහක් (10-12) පමණ ඇවිද යද්දී හති වැටේ නම් හෝ හුස්ම ගැනීමට අපහසු බවක් දැනේ නම්, එය එම රෝගියා වහාම රෝහල්ගත කළ යුතු තත්ත්වයක සිටින බව බව පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයක්. අට වාරයක් – දහ වාරයක් (8-10) පමණ පුටුවකින් හිඳ ගැනීම හා නැගිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයකදී හතියක් ඇතිවේ දැයි පරික්ෂා කිරීමත් මෙහි දී කරන්න පුලුවන්.

රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි pulse-oximeter උපකරණයක් නිවසේ ඇත්නම් එය ආධාරයෙනුත් අපට රෝගියාගේ තත්වය ගැන අදහසක් ලබාගන්න පුලුවන්. මෙවැනි අවස්ථාවක සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% ට වඩා අඩු අගයක් ගන්නා බවට පෙනේනම් වහාම රෝහල්ගත වීමට කටයුතු කළ යුතුය. එවන් උපකරණයක් නැතිනම් පෙර කී අවදානම් ලක්ෂණ පමණක් සලකා බලා වුවත් රෝහල්ගතවීම ගැන වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉක්මනින් කළ යුතුයි.

මෙයට අමතරව,

• නිතර පවතින පපුවෙහි බර ගතිය හෝ පපුව වේදනාව
• තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි විජලනයේ ලක්ෂණ
• සිහි කල්පනාව වෙනස් වීම

යනාදී රෝග ලක්ෂණ ද කොවිඩ් ආසාදිතයෙකු වහාම රෝහල් ගත යුතු අවස්ථාවට පැමිණ ඇති බවට සාධක වෙනවා.

එමෙන් ම, රෝගියා මුල සිට පෙන්නුම් කළ රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුණු වීම හෝ අසාමාන්‍ය ලෙස කල්පැවතීමක් සිදු වේ නම් එවැනි රෝගීනුත් රෝහල් ගත කිරීම පිළිබඳ සලකා බැලීම සිදු වෙනවා.මෙවන් අවස්ථාවකට ඔබ හෝ ඔබ විසින් රැකබලාගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයා පත්වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ හැර උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියමකෙරෙන ඖෂධ නිවසේ සිටම ලබාගැනීම කළ හැකියි.

ඉහත සඳහන්කල කිසිම රෝග ලක්ෂණයකින් හෝ සරළ පරීක්ෂාවකින් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව නිගමනය කරන්න නොහැකි බවත්, රෝග නිශ්චය කළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත නිසි අවස්ථාවේ සිදු කෙරෙන PCR හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ මඟින් පමණක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි ෴

++++++++++++++++++

(19.08.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරස පාලනය සඳහා මේ වන විට ලෝ පුරා සිදුකෙරෙන එන්නත් කරනයේ දී තෙවැනි (3) එන්නත් මාත්‍රාවක් පිළිබඳ ව මෙතෙක් කිසිදු අවශ්‍යතාවක් මතු වී ඇති බවට වර්තමාන දත්ත හරහා පෙන්නුම් නො කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් ජිනීවාහි දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියා.

ඇය මෙම අදහස් පළ කළේ අමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළුව ලොව රටවල් ගණනාවක් කොරෝනා වයිරස පාලනය සඳහා තෙවෙනි (3) එන්නත් මාත්‍රාවක අවශ්‍යතාව පිළිබඳව සඳහන් කිරීමෙන් අනතුරුව වීම විශේෂ සිද්ධියක්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ස්වාමීනාදන් කියා සිටියේ මේ වන විට සමස්ත ලෝකයා ම සිදු කළ යුතු ව ඇත්තේ එන්නත් අත්‍යාවශ්‍ය ම පුද්ගලයින්ට එන්නත් මාත්‍රා ලබා දී ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය තහවුරු කිරීම බවයි.

මේ දක්වා එන්නත් මාත්‍රා එකක් (1) සහ දෙකක් (2) ලබාදෙන එන්නත් ලොව පුරා ක්‍රියාත්මක වන නමුත් තෙවෙනි (3) මාත්‍රාවක් ලබා දීම හෝ ඒ හරහා ඇති කෙරෙන අතිරේක ප්‍රතිශක්තිකරණ හැකියාව පිළිබඳ පැහැදිලි දත්ත තොරතුරු නොමැති බවයි ඇය සඳහන් කරන්නේ.

එසේ හෙයින් මේ වනතුරුත් ඒ ආකාරයේ තෙවෙනි (3) මාත්‍රාවකට යාමේ අවශ්‍යතාවක් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය නො දකින බවයි ඇය මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇනම් කියා සිටියේ තවමත් ලොව පුරා දිළිඳු රටවලට එන්නත් බෙදීයාමේ අසමතුලිතතාවක් දක්නට ලැබෙන බවයි.

මෙහි දී උදාහරණ ගෙන එමින් අදහස් දැක්වූ වෛද්‍ය ඇනම් ජොන්සන් සමාගමට චෝදනාත්මක මුඛයෙන් කියා සිටියේ අප්‍රිකාවට ලබා දිය යුතු එන්නත් මාත්‍රා තොගයක්ම යුරෝපා රටවල් වෙත හරවා යැවීම අනුමත කළ නො හැකි ක්‍රියාවක් බවයි.

එන්නත් අත්‍යාවශ්‍ය සමාජ කොටස් වහා හඳුනාගෙන එම සමාජ කොටස් වෙත එන්නත් ලබාදීම අත්‍යාවශ්‍යයෙන් ම සිදු කළ යුතු ක්‍රියාවක් බවට යි වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇනම් අවධාරණය කරන්නේ ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි

(19.08.2021 – cbsl.gov.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අගෝස්තු මස 18 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. මීට අමතරව, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2.0කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. වැඩිදියුණු වූ ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයයේ, ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා මෙම තීරණ ගනු ලැබීය.

The Central Bank of Sri Lanka tightens its Monetary Policy Stance
.
(19.08.2021 – cbsl.gov.lk)
.
The Monetary Board of the Central Bank of Sri Lanka, at its meeting held on 18 August 2021, decided to increase the Standing Deposit Facility Rate (SDFR) and the Standing Lending Facility Rate (SLFR) of the Central Bank by 50 basis points each, to 5.00 per cent and 6.00 per cent, respectively. In addition, the Monetary Board decided to increase the Statutory Reserve Ratio (SRR) applicable on all rupee deposit liabilities of licensed commercial banks (LCBs) by 2.0 percentage points to 4.00 per cent, with effect from the reserve maintenance period commencing on 01 September 2021. These decisions were made with a view to addressing the imbalances on the external sector of the economy and to preempt the buildup of any excessive inflationary pressures over the medium term, amidst improved growth prospects.
.
+ [FULL TEXT]

(19.08.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිපත්ති පොලී අනුපාතකයන් ඉහළ දැමීමෙන් ඉදිරියේදී ණය සහ තැන්පතු පොලී අනුපාතික ඉහළ යනු ඇතැයි මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කළා.

ඊයේ (18) රැස්වූ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් ඉහළ දැමීමට තීරණය කළ අතර, ඒ අනුව සියයට 4.5 ක මට්ටමේ තිබූ ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 5 දක්වා ඉහළ දැමුණු අතර, සියයට 5.5 ක මට්ටමේ පැවති ස්ථාවර ණය පහසුකම් අනුපාතය ඉහළ දැමුණේ සියයට හය (6) දක්වායි.

එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද ලබන මස 01 වනදායින් ආරම්භවන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට හතර (4) දක්වා පදනම් ඒකක දෙකකින් (2) ඉහළ නැංවීමටයි පියවර ගැනුණේ.

භාණ්ඩ ආනයනය කිරීමේදී ණයවර ලිපි විවෘත කිරීමේදී ඇති වී තිබෙන ගැටළු නිරාකරණය කිරීම සදහා රජය සමග සාකච්ඡා කරමින් සිටින බවයි මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, වරායේ ගබඩා තුළ දැනට රදවා ඇති ආහාර ද්‍රව්‍ය ඇතුළත් සියළු බහාලුම් වල ඇති ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනුම් දී තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (19) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ කළ සාකච්ඡාවකදී මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළ බවයි ෴

******************************************

(19.08.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ගැටලුව ගැන සාකච්ඡාවට පත් කළ අමාත්‍ය අනුකමිටුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නො කළහොත් අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

සිය ගැටලු සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (18) අමාත්‍ය අනු කමිටුව සමඟ අවසන් වරට සාකච්ඡා කරනු ලැබුවා.

ඒ, එම අනු කමිටුවේ සාමාජික අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදි යි.

එහි දී අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව ලබන සිකුරාදා (20) රජයට ලබාදෙන බව දැනුම් දී ඇති බවයි එම සාකච්ජාවට එක් වූ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ.

මේ අතර, වැටුප් ගැටලුව මුල්කරගනිමින් ගුරුවරුන් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (19) දින 39 ක් ගතවනවා ෴

******************************************

(19.08.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මාතර – පොල්හේන වෙරළ තීරයට මිය ගිය තල් මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා.

එම සත්ත්වයා මිය ගිය ආකාරය පිළිබදව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර, පොළොන්නරුව – මින්නේරිය – රත්මලේ ප්‍රදේශයේ පවතින කසළ ආහාරයට ගැනීමට පැමිණෙන වන අලි හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

එම ප්‍රදේශයට කසළ ගෙනැවිත් දමන්නේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් බවයි වාර්තා වන්නේ. කසළ ආහාරයට ගැනීම සඳහා මේ දිනවල අලි 6 දෙනෙකු පමණ පැමිණෙන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *