අමෙරිකාව සහ මෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

අමෙරිකාව සහ මෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ


අමෙරිකාව සහ මෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

(14.11.2025 – 21:51 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (14) අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.

අමෙරිකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි Julie Chung සහ මොන්ටානා ජාතික ආරක්‍ෂක බලකායේ විධායක ජෙනරාල් බ්‍රිගේඩියර් Trenton Gibson විසින් මෙම ගිවිසුමට අත්සන් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියා කොන්තා විසින් අත්සන් තැබීය.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ 13 වැනි දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කරන බව වාර්තා වේ.

එහිදී, සභාව ඇමතු නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර ප්‍රකාශ කළේ, මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවය.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ මිත්‍රත්වය, සහයෝගීතාවය සහ ත්‍යාගශීලීභාවය ගැඹුරින් අගය කරන අතර, ශ්‍රී ලංකාව මෙම හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්‍ෂා කරන බව ද එහිදී ඔහු සඳහන් කළේය.

+++

SINHALA – මාධ්_ය ප්_රචාරණය සදහා by poornima

+++


නොවැම්බර් 24 සිට බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ අවස්ථාව

(14.11.2025 – hirunews.lk)

එළඹෙන නොවැම්බර් මස 24 වැනිදා සිට බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් රථ ගාස්තු ගෙවීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙනවා.

මේ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (14) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

මෙම නව පහසුකම හඳුන්වාදීමත් සමඟ, බස් රථවල ගමන් ගන්නා මගීන්ට මුදල් භාවිතයෙන් තොරව (Cashless) ගෙවීම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා ෴


සුවසැරිය හදිසි වෛද්‍ය ශිල්පීන්ට ජාත්‍යන්තර පුහුණුවක් – 1990 ට යතුරුපැදියක්

(14.11.2025 – hirunews.lk)

1990 සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන ඊයේ (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ නිරීක්ෂණයට ලක් වුණා. පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමක විශේෂ අධීක්ෂණය යටතේ එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විල් බ්‍රෝටන් මහතාගේ ප්‍රධානත්වයෙන් දින පහක් (5) පුරා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන මේ වන විට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා වැයවන ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ අදාළ විද්වත් කණ්ඩායම විසින් දරනු ලබන අතර මෙරටින් කිසිදු මූල්‍ය දායකත්වයක් ලබා නොගැනීම විශේෂත්වයක්.

මෙම විශේෂ පුහුණු වැඩසටහන් මාලාව සිව්වන (4) වරටත් පවත්වනු ලබන අතර, එය සාර්ථකව නිමකරන හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා දීමට නියමිතය. මෙම අවස්ථාවට සුවසැරිය පදනමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශ්‍රීලාල් ද සිල්වා, පුහුණු වැඩසටහන් ප්‍රධානී ස්ටැනෝෂන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. ‘ජීවිතයක් සුරැකීම’ ප්‍රමුඛ අභිමතාර්ථය කරගනිමින්, මුලින් ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඇරඹුණු ‘සුවසැරිය’ හදිසි ගිලන් රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබනවා.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ සුවසැරිය ගිලන් රථ බලඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සැලසුම් හා ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවයි. එමෙන්ම මෙම සේවාවට ලෝකයේ පවත්නා නවීනතම තාක්ෂණය එක්කරමින් එය නව්‍යකරණයට ලක් කිරීමට ද කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ යටතේ ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර තවත් ගිලන් රථ 100 ක් ලබාගැනීමටත්, ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ගිලන් රථ 20 ක් ණය ආධාර යටතේත්, 25ක් ප්‍රදානයක් ලෙසත් ලැබීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළා.

මේ අතර, සුවසැරිය පදනමේ සභාපති මේජර් (විශ්‍රාමික) නිරෝෂන් රත්නායක පැවසුවේ පදනම සඳහා දස අවුරුදු (10) සැලැස්මක් සකස්කර ඇති බවයි. මෙම දස අවුරුදු (10) සැලසුමේ ප්‍රමුඛතම කාර්යය වන්නේ හදිසි ඇමතුම ලද විගස, ගිලන් රථය පැමිණීමට ගතවන කාලය තුළදී අදාළ ස්ථානයට යතුරුපැදි ආශ්‍රයෙන් නිලධාරීන් යැවීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමයි. 1990 සුවසැරිය පදනම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනතකින් බලාත්මක කර තිබෙනවා ෴


2026 වසරේ ප්‍රධාන පාසල් විභාග දින වකවානු නිවේදනය කෙරේ

(14.11.2025 – hirunews.lk)

2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය අනුව, 2026 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එම වසරේ අගෝස්තු 09 වන දිනත්, 2026 උසස් පෙළ විභාගය එම වසරේ අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, 2026 සාමාන්‍ය පෙළ විභාගය එම වසරේම දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17 දක්වා පැවැත්වෙනු ඇති.

මීට අමතරව, 2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගය 2026 වසර ආරම්භයේදී, එනම් පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතයි ෴


ළමයෙකුට පහර දුන් බව කියන විදුහල්පතිවරයෙකුට ඇප

(14.11.2025 – hirunews.lk)

පාසල් ළමයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගනූ ලැබූ විදුහල්පතිවරයෙක් ඇප මත මූදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාආරච්චි පසුගිය දා නියෝග කළා.

සැකකරුට රු. ලක්ෂ තුන (3) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට අධිකරණයෙන් නියම වූවා.

නාරාහේන්පිට ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් එසේ ඇප මත මූදා හැර තිබුණා.

සිද්ධියට අදාලව ළමා ආරක්ෂණ අධිකාරිය බී-වාර්තාවක් මඟින් අධිකරණයට වැඩිදුර කරුණු දැක්වූවා ෴


කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් විමර්ශනයට නියෝග

(14.11.2025 – hirunews.lk)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන ‘කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා’ නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ බැංකු ගිණුම් සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා අද (14) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියේ පළමුවැනි (1) සැකකරු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.

මෙම සිද්ධියේ දෙවන (2) සැකකරුගේ බිරිඳගේ වාහනය මුදා හරින ලෙසට එම අවස්ථාවේදී දෙවැනි (2) සැකකරු වෙනුවෙන් අධිකරණය පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ස්ථීර මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන ලෙස දන්වා සිටියා.

සිද්ධියට අදාළ පළමු සැකකරුගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවූවා ෴


අල්ලස් ගත් අක්කරපත්තුවේ මිනින්දෝරුවරයා රිමාන්ඩ්

(14.11.2025 – hirunews.lk)

අක්කරපත්තු දිසා අධිකරණයේ පවතින නඩුවකට අදාලව විත්තිකාර පාර්ශවයට වාසියක් සලසා දීමට කටයුතු කරන බව පවසා රුපියල් ලක්ෂ තුනක (3) අල්ලසක් ලබා ගත් බව කියන අක්කරපත්තුවේ බලයලත් මිනින්දෝරුවරයෙක් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (14)නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද (14)පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අඩලච්චේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියෝග කළා.

අක්කරපත්තුව දිසා අධිකරණයේ ඉඩමක් සම්බන්ධයෙන් පවතින නඩුවට අදාලව එම නඩුවේ විත්තිකාර පාර්ශවයට වාසියක් ලැබෙන පරිදි කටයුතු කිරීමට මෙම සැකකරු මීට පෙර අවස්ථා දෙකකදී (2) ද රුපියල් විසිදහක (20,000) මුදලක් ලබාගෙන ඇති බවත් ඉන් පසුව රුපියල් ලක්ෂ පහක් (5) ඉල්ලා එය රුපියල් ලක්ෂ තුන (3) දක්වා අඩුකර ඇති බවද විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, පැමිණිලිකරුට එම දිසා අධිකරණයේ නඩුවක් පවතින බවයි.

පැමිණිලිකරු යම්කිසි පිරිසක් සමඟ ඉඩමක් සම්බන්ධයෙන් පවතින ආරවුලක් සඳහා අක්කරපත්තුව දිසා අධිකරණයේ නඩුවක් විභාග වන බවත් එම අධිකරණයෙන් ලැබුණු නියෝගයකට අනුව එම ඉඩම මැනීමට බලයලත් මිනින්දෝරුවරයෙකුට නියෝග කර තීබූ බවයි.

මෙම පැමිණිලිකරු එම දිසා අධිකරණයේ විභාග වන නඩුවේ විත්තිකරු වන අතර ඔහුට වාසි වන පරිදි මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයට අවශ්‍ය කටයුතු සලසා දීමට මෙසේ අල්ලස් මුදල් ඉල්ලා සිටි බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සඳහන් කර සිටියේ, සුදුසු ඇපයක් මත තමසේවා දායකයා මුදා හරින ලෙසයි.

දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසමට නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව නොවැම්බර් 18 යළි කැඳවීමට නියමිතයි ෴


‘හොර ලන්ච් ෂීට්’ කර්මාන්තශාලා 500 ක් රට පුරා

(14.11.2025 – hirunews.lk)

ප්‍රමිතියෙන් තොර, තහනම් කරන ලද ලන්ච් ෂීට් නිෂ්පාදන කර්මාන්තශාලා 400 ත් 500 ත් අතර සංඛ්‍යාවක් දිවයින පුරා නීති විරෝධීව හා හොර රහසේ පවත්වාගෙන යන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

ප්‍රමිතියෙන් තොර මෙම ලන්ච් ෂීට් මෙරට නිෂ්පාදනය හා භාවිතය තහනම් කර ඇති පසුබිමක, මෙලෙස හොර රහසේම ඒවා ක්‍රියාත්මක වෙමින් පැවතීම ගැටලු සහගත තත්ත්වයක් බවද මෙම ලන්ච් ෂීට්, ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතයට ගත නොහැකි ආකාරයේ පොලිතින් ලෙස රජය විසින් සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවද එස සංගමය කියනවා.

රජය විසින් කොම්පෝස්ටබල් (compostable), ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලන්ච් ෂීට් විශේෂයක් හඳුන්වා දුන්නද, එය යුරෝපය ඇතුළු බටහිර රටවලට යෝග්‍ය බවත්, එය මෙරට තුළ භාවිතයට නොගැළපෙන බවත් එම සංගමය පෙන්වා දෙනවා.

තවද, එම විකල්ප ලන්ච් ෂීට් නිෂ්පාදනය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා වෙළඳසල් ඒවා භාවිතය ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා, එම නව ලන්ච් ෂීට් මෙරට තුළ නිෂ්පාදනය නොකෙරෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂණ කුමාර පෙන්වා දෙනවා.

මේ වන විට නීති විරෝධීව නිෂ්පාදනය කරන ලන්ච් ෂීට්වල ප්‍රමිතිය මෙන්ම තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට තරම් තාක්ෂණික දැනුමක් මධ්‍යම පරිසර අධිකාරියේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට නොමැති බවද ඔහු අවධාරණය කරනවා.

මේ වන විට යකඩ, කාඩ්බෝඩ්, ටයර්, රෙදිපිළි, කඩදාසි ඇතුළු සෑම අබලි ද්‍රව්‍යයක්ම මෙරට තුළ ප්‍රතිචක්‍රීකරණය සිදුකෙරෙමින් පවතින පසුබිමක, ලන්ච් ෂීට් සඳහා ද එවැනි වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ කාර්යභාරයක් බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා අවධාරණය කරනවා ෴


වත්මන් ආණ්ඩුව BRICS සමුළුවට සහභාගි නොවීම පාඩුයි

(14.11.2025 – hirunews.lk)

වත්මන් ආණ්ඩුව BRICS සමුළුවට සහභාගි නොවීම අනුමත නොකරන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති වෛද්‍ය සමන් වීරසිංහ පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රුසියාව විසින් මෙරට ඉදිකිරීමට බලාපොරොත්තු වන න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව වත්මන් ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් විසින් පිරිනමන රුසියාවේ සිවිල් පුරවැසියෙකුට හිමි වන ඉහළම ගෞරව නාමය වන මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය පසුගියදා වෛද්‍ය සමන් වීරසිංහට හිමි වුණා.

+


විදෙස් කතගේ පොකැට්ටුවේ රු. ලක්ෂ 3 කට විද්ද සුපිරි හෝටල් සේවකයා දැලේ

(14.11.2025 – hirunews.lk)

කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි හෝටල් කාමරයක රැඳී සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් ලක්ෂ තුනකට (3) අධික මුදලක් සොරාගත්තැයි කියන එම හෝටලයේ සේවකයකු කොටුව පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රධාන පෙළේ හෝටලයේ සේවකයකු වන වයස අවුරුදු 41 ක කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තම ‍මුදල් පසුම්බියේ තිබූ ඩිරාම් සහ යුරෝ මුදල් (මෙරට මුදලින් රුපියල් 330,000/=) අස්ථානගත වී ඇති බවට අදාළ පැමිණිලිකාර විදෙස් කත ඊයේ (13) සංචාරක පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතික කාන්තාව තවත් කාන්තාවක් සමඟ අදාල හෝටලයේ විශේෂ අමුත්තන් ලැඟුම් ගන්නා කාමරයක නවාතැන්ගෙන සිට තිබුණා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී විදෙස් ජාතික කාන්තාවන් එහි කාමරයේ නොමැති අවස්ථාවක මෙම සොරකම සිදුකර ඇති බවත් සොරාගත් විදෙස් මුදල් ජා ඇල ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයකින් මාරුකර ඇති බවටත් අනාවරණය වී ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *