මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25 ක ත්‍යාගයක්

මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25 ක ත්‍යාගයක්

*********************************************

මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25 ක ත්‍යාගයක්

(18.08.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු සැපයීම නිසා ප්‍රහාරයකට ලක් ව මේ වනවිට ආබාධිත තත්ත්වයේ පසුවන මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් මහතාට රුපියල් ලක්ෂ 25 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින්.

මොහොමඩ් තස්ලින් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් මෙම මුදල පරිත්‍යාග කළ බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

එම අවස්ථාවට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ද එක් ව සිටියා ෴

******************************************

(18.08.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

පියෙකු විසින් සිය 33 හැවිරිදි දියණියගේ හිසට උදලු මිටකින් පහර දී ඝාතනය කළ පුවතක් ගාල්ල – රුක්අත්තන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සැකකාර පියා පහරදීම සිදුකරන අවස්ථාවේ දී බීමතින් සිට ඇති අතර, දියණිය සහ පියා අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙනු යි මෙම පහරදීම සිදු ව ඇත්තේ.

සැකකාර පියා බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

******************************************

(18.08.2021 – 18:01 +0530 – hirunews.lk/sinhala)

යාල රක්ෂිතයේදී ඇතෙකු ඝාතනය කර කපාගෙන ගොස් තිබූ දළ යුගළ සොයාගෙන තිබෙනවා.

ඒ කතරගම ගෝතමීගම ප්‍රදේශයේ ඉඩමක දමාගොස් තිබියදීයි.

මීට පෙර මෙම මෙම ඇතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනුණේ පොරොවක් ගිනි අවියක් සහ ඇතාගේ වලිගය ද සමගින්.

පසුගිය 15 වනදා යාල රක්ෂිතයේ ගෝතමීගම සමෘද්ධි වැව ආසන්නයේදීයි මෙම ඇතා ඝාතනය කර තිබුණේ.

ඝාතනයෙන් අනතුරුව එම සත්වයාගේ දළ සහ වලිගය සැකකරුවන් විසින් කපාගෙන ගොස් තිබුණා.

මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඇතාගේ හිසට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

මියගොස් ඇත්තේ අඩි 6 ක් පමණ උසැති ඇතෙක්.

සොයාගත් දළ යුගළ අඩි 3 යි අගල් 6 ක් උස අතර වට ප්‍රමාණය අගල් 7 ක්.

තංගල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකය මෙම සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා.

******************************************

(18.08.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

දළදා සමිදුන් උදෙසා ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව පවත්වනු ලබන මී පැණි පූජාව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී අද (18) සිදුකරනු ලැබුවා.

******************************************

(18.08.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානියට වගකිව යුතු සියළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ, මීට අදාළ නඩුව අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ කැදවූ අවස්ථාවේදියි ෴

******************************************

(18.08.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී තවත් අමාත්‍ය මණ්ඩල සශෝධනයක් සිදුවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ අලෙවි කිරීමේ සමාරම්භක උත්සවයට අද (18) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(18.08.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක් වුණු ‘ධම්මික පැණිය’ වළ දමන බවට මේ දිනවල සමාජ මාධ්‍යය වීඩියෝවක් පැතිර යනවා.

මෙම ‘ධම්මික පැණිය’ පසුගියදා සායනික පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන් අතිරේක ආහාරයක් ලෙස හෝ භාවිතයට නුසුදුසු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කරනු ලැබුවා.

++++++++++++++++++++++

(18.08.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 2188 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,16,528 ක්.

මේ අතර, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට ඔහු නිරෝධායනය සඳහා යොමු වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මීට අමතර ව වව්නියාව – උතුර ප්‍රාදේශීය ලේකම්වරයාට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා ෴

++++++++++++++++++++++

(18.08.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

කටුනායක – ඇවරිවත්ත – සුමිත්‍රාරාම විහාරස්ථානයේ අද (18) පැවති කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මධ්‍යස්ථානයට පැමිණ සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විහාරස්ථානයේ හිටි පිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා තනා ඇති ආවරණ මන්දිරය තුළ බැඳ තිබූ බඹර වද ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඒ වනවිට ප්‍රදේශවාසීන් 3000 කට ආසන්න පිරිසක් එහි රැඳී සිට ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

බඹර ප්‍රහාරයට ලක් වූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා ෴

++++++++++++++++++++

(18.08.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා රුසියාවේ නිෂ්පාදිත එන්නතක් වන ස්පුට්නික්-වී එක් (1) එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයක දී එක් (1) මාත්‍රාවකින් ඉතා හොඳ ප්‍රතිශක්තිකරණ හැකියාවක් ලැබෙන බව හෙලිවූයේ යැ යි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඔහු කියා සිටින්නේ එක් (1) මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 327 දෙනෙකුගෙන් සමන්විත නියැදියක් ආශ්‍රයෙන් සිදුකළ මෙම පර්යේෂණයේ දී ඔවුන් පළමු (1) මාත්‍රාවෙන් පසුව 88.7% ප්‍රතිශක්තිකරණ හැකියාවක් සිය දේහයන් තුළ නිපදවා ගෙන තිබූ බවයි.

මෙම ප්‍රතිශක්තිකරණ හැකියාව පළමු (1) මාත්‍රාව ලබා ගෙන සති හතරකට (4) පසු ව සිරුර තුළ ඇති වන බවයි ඔවුන් වැඩි දුරටත් නිරීක්ෂණය කර ඇත්තේ.

එමෙන්ම ස්පුට්නික් පළමු (1) මාත්‍රාවෙන් පසු වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ හැකියාව 82.6% ක් ලෙස දක්නට ලැබුණු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.

ලොව බොහෝ රටවල් මේ වනවිටත් ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව පමණක් ලබා ගන්නා අතර එය ‘ස්පුට්නික් ලයිට්’ වශයෙන් හැඳින්වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ මෙම නවතම පර්යේෂණය අනුව ඔවුන් සඳහන් කරන්නේ ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රාවත් ලබා ගැනීමට හැකි නම් එය ශරීරය තුළ අතිශය උසස් මට්ටමේ ‍ප්‍රතිදේහ ප්‍රමාණයක් නිර්මාණය කරන බවයි.

එබැවින් ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ ස්පුට්නික්-වී එන්නත් එක් (1) මාත්‍රාවක් පමණක් යහපත් ප්‍රතිශක්තිකරණයක් සඳහා ප්‍රමාණවත් වුව ද එහි දෙවෙනි (2) මාත්‍රාවත් ලබා ගත හැකි නම් එය අතිශය වාසිදායක තත්වයක් නිර්මාණය කරන බවයි.

මෙම පර්යේෂණ කණ්ඩායමට ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් වන මහාචාර්ය ග්‍රැහැම් ඔග්, මහාචාර්ය ඇලයින් ටවුන්සෙන්ඩ් යන විද්‍යාඥයින් ඇතුළත් වුණා ෴

++++++++++++++++++

(18.08.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

රාගම – උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වීමෙන් අද උදෑසන මියගොස් තිබෙනවා.

41 වැනි වියෙහි පසු වූ අදාළ වෛද්‍යවරයා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කිසිවක් ලබා ගෙන නො මැති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ෴

++++++++++++++++++

(18.08.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් 33 හැවිරිදි ගර්භණී කාන්තාවක් ගම්පහ රෝහලේ දී මියගොස් තිබෙනවා.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ෴

++++++++++++++++++

(18.08.2021 – 18:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයෙන් හඳුනා ගැනෙන නව කොරෝනා ආසාදිතයින් ගෙන් 90% ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

2019 දෙසැම්බරයේදී චීනයේ වුහාන් නගරයෙන් සොයා ගත් මුල් කොරෝනා වයිරසයට වඩා සියයට සියයක (100%) සම්ප්‍රේෂණය හැකියාවක් ඇති නව ඩෙල්ටා ප්‍රභේදය මුහුණු ආවරණ පැළඳ නොමැති කෙනෙකුට ආසාදනය වීමට තත්පර පහක් (5) ප්‍රමාණවත් බවත්, පැය කිහිපයක් ඇතුළත ආසාදිත පුද්ගලයාට එය තම මුළු පවුලට ලබා දිය හැකි බවත් වෛද්‍ය ‍ජිවන්දර මහතා පෙන්වා දෙනවා.

මේ නිසා සමාජ දුරස්ථභාවය, අත් සේදීම වැනි කොවිඩ්-19 මාර්ගෝපදේශ තදින් අනුගමනය කළ යුතු බවටයි වෛද්‍ය ‍ජිවන්දර මහතා අවධාරණය කරන්නේ.

මේ වනවිට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුන හැරුණු විට යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල, මහනුවර, අම්පාර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මේ දක්වා ඩෙල්ටා ආසාදිතයන් හමුවී තිබෙනවා.

කෙසේ වෙතත් අධි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති මෙම ප්‍රභේදය තවමත් බස්නාහිර පළාතෙන් පිටත වසංගත මට්ටමෙන් තවමත් ව්‍යාප්ත වී නොමැති බවයි ආචාර්ය ජීවන්දර මහතා අවධාරණය කරන්නේ.

ඔහු පවසන්නේ තවමත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් හමු වන්නේ එතරම් භයානක නොවන සහ අඩු සම්ප්‍රේෂණ හැකියාවක් ඇති ඇල්ෆා ආසාදිතයින් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100 කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති මෙම මාරාන්තික වයිරසය පාලනය කිරීම සඳහා වහ වහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී ඉතාම ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වීමේ අවදානමක් ඇති බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ෴

++++++++++++++++++++++

(18.08.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 2428 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 368,111 ක් ලෙසටයි.

හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 42,721 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 316,528 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වයිරස් ආසාදිත මරණ 6434 ක් වාර්තාවී තිබෙනවා ෴

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා ෴

++++++++++++++++++

(18.08.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 170 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6604 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කළ මෙම මරණ අතරට කාන්තාවන් 86 ක් සහ පිරිමි පුද්ගලයන් 84 ක් අයත්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *