පැයකට කොරෝනා මරණ 5 යි – ඇඳිරි නීතිය දැම්මොත් අමතර කොවිඩ් මරණ 1200 ක් වලක්වා ගත හැකියි

පැයකට කොරෝනා මරණ 5 යි – ඇඳිරි නීතිය දැම්මොත් අමතර කොවිඩ් මරණ 1200 ක් වලක්වා ගත හැකියි

*********************************************

පැයකට කොරෝනා මරණ 5 යි – ඇඳිරි නීතිය දැම්මොත් අමතර කොවිඩ් මරණ 1200 ක් වලක්වා ගත හැකියි

(11.08.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

පැයකදී මෙරට සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළා.

මේ අතර කඩිනමින් රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළහොත් ඉදිරි දින 20 තුළ අමතර කොවිඩ් මරණ 1200 ක් වලක්වා ගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

එමගින් ඔහු පෙන්වා දෙන්නේ තීරණ ගැනීම දින 05 කින් හෝ ප්‍රමාද වීම අවම වශයෙන් මරණ 700 කට හේතුවනු ඇති බවයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් මෘතදේහ අදාහනය සඳහා පොලිසියට බලය ලබාදීමේ තීරණයක් ගෙන තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ ආසාදිතයින් පිළිබඳ සංඛ්‍යාලේඛනවල පරස්පරතාවක් පවතින බව ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණ වුණා.

මෙරට සමස්ත ආසාදිතයන් අතරින් දෙවැනියට (2) වැඩිම ආසාදිතයන් පිරිස වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ගණන 58,943 ක්.

එම පසුබිම තුළ ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (10) රැස්වුණේ එම දිස්ත්‍රික්කය තුළ ඉහළ යන කොවිඩ් අවදානමට පිළියම් සෙවීමටයි.

එහිදී ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපත් කළ දත්ත නිරීක්ෂණයේදී එම දිස්ත්‍රික්කයේ ආසාදිතයින් හඳුනාගැනීම සහ ඒවා වාර්තා කිරීම අතර පරස්පරයක් ඇති බව අපට නිරීක්ෂණය වුණා.

අගෝස්තු මාසයේ පළමු දින 8 තුළ ආසාදිතයින් 12,555 දෙනෙකු හඳුනාගත් බව එහි දැක්වුණත් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය දිනපතා මාධ්‍යයට නිකුත් කළ දත්ත වාර්තා අනුව පෙනී යන්නේ එම දින 8 දී වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 3729 දෙනෙකු පමණක් බවයි.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයට වාර්තා නොවූ ආසාදිතයින් ගණන 8826 ක්.

එම සාකච්ඡවේදී කොවිඩ් මෘතදේහ ආදාහනයට ගත් නව තීරණයක් පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කරුණු අනාවරණ කළා.

පසුගිය 09 වැනිදා සිදුවූ කොවිඩ් මරණ 118 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (10) තහවුරු කළ අතර එය දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.

වාර්තා වු මරණ 118 අතරින් 101 ක්ම අවුරුදු 60 ඉක්මවූවන් වීම විශේෂත්වයක්.

ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340 ක් දක්වා ඉහළ ගියා.

පසුගිය 05 වැනිදා සිට 09 වැනිදා දක්වා පමණක් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් තිබෙනවා.

එය මෙරට දින 5 ක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.

එසේම මෙහි අවසන් දින දෙකේදී මරණ 100 ද ඉක්මවමින් වාර්තා වී තිබුණා.

ඒ අනුව අගෝස්තු 08 සහ 09 යන දින දෙකේදී පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 229 ක්.

ඉන් 191 ක්ම අවුරුදු 60 ඉක්මවා ගිය පුද්ගලයින්

මේ අතර කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අක්කර 3 ක වපසරියකින් යුතු එම භූමියේ මෘත දේහ 2000 කට වැඩි සංඛ්‍යාවක් භූමදානය කිරීමේ හැකියාව පවතින බවයි.

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම භූමිය මෘතදේහ භූමදාන කිරීමට සුදුසු ස්ථානයක් බවට දන්වා ඇති අතර ඒ සඳහා තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලබා ගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

මේ වනවිට කොවිඩ් මෘත දේහ භූමදාන කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඕට්ටමාවඩි ප්‍රදේශයේ තවදුරටත් ඉඩකඩ ඇත්තේ තවත් මෘතදේහ 500 කට ආසන්න ප්‍රමාණයක් මිහිදන් කිරීම සඳහා පමණක් බවයි වාර්තා වන්නේ.

මේ අතර වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති කේ.කරුණානන්දරාසා මහතා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර පසුගිය සතිය තුල ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයන් බවට සඳහන් කරමින් ආසාදිතයින් 3,223 ක් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවට එකතු කිරීමට වසංගත රෝග විද්‍යා අංශය ඊයේ (10) රාත්‍රියේ කටයුතු කර තිබුණා.

මේ අතර කොවිඩ් ආසාදිතව මේ වන විට ප්‍රතිකාර ලබන ගර්භනී සහ පසු ප්‍රසව මව්වරුන් ගණන 700 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

මේ අතර බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවුරුදු 2 ට වැඩි දරුවන් සඳහා නිවසේ සිට ප්‍රතිකාර කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.

මේ අතර මෙරටතුළ සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (11) 300,000 ය ඉක්මවා ගියේ තවත් 2244 ක් සුවය ලැබීමත් සමඟයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තු මහජන සබඳතා කවුලු අද (11) සිට ලබන 20 වනදා දක්වා වසාදමා තිබෙනවා.

එහි සේවයේ නියුතු නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදිත වීම ඊට හේතුවයි.

සායනික පරීක්ෂණවලින් ශක්‍යතාව තහවුරු නොවීම නිසා කෑගල්ලේ ධම්මික පැණියට ලබා දී තිබූ තාවකාලික බල පත්‍රය අහෝසි කර තිබෙනවා.

තවත් ස්පුටින්ක් වී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 15,000 ක් අද (11) අළුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 428,535 ක්.

විවිධ රෝගවලින් පීඩා විඳින වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් බස්නාහිර පළාතේ අද (11) සිට ක්‍රියාත්මකයි.

එන්නත ලබාගැනීම සදහා පැමිණිය යුතු දිනය සහ වේලාව කෙටි පණිවුඩයක් මගින් ලබාදෙන අතර 1906 දුරකථන අංකය අමතා තම තොරතුරු ලබා දීමෙන් වේලාවක් වෙන් කර ගත හැකියි.

මේ අතර බස්නාහිර පළාත තුළ වෙසෙන ආබාධ සහ 60 ට වැඩි පුද්ගලයින් වෙනුවෙන් එන්නත් ලබා දීමේ ජංගම වැඩසටහනක් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් අද ආරම්භ කළා.

මේ අතර වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම පොලිසිය හා කොළඹ මහනගර සභා සීමාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ගේ මැදිහත්වීමෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සිදූ වුණා.

මේ අතර කොවිඩ් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කරමින් මිල නියාමන ගැසට්ටුවක් හෙට (12) නිකුත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය පවසනවා.

එසේම ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 95% කට කුමන හෝ එන්නතකින් එක් (1) මාත්‍රාවක් හෝ ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කයට අමතර ව නැගෙනහිර පළාතේ ද කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යා ලේඛනවල පරස්පරතාවක් ඇති බව අද (11) අනාවරණ වුණේ, නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ දත්ත අනුව යි.

නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ සංඛ්‍යා දත්ත එසේ වූවත්, වසංගත රෝග විද්‍යා අංශය ගත වූ දිනයට අදාළ ව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ, මඩකලපුවෙන් 45 ක්, ත්‍රිකුණාමලයෙන් 71 සහ අම්පාරෙන් 78 ක් ලෙසයි.

+++++++++++++++++++

(11.08.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) දිනයේ සිදුවූ තවත් කොරෝනා මරණ 124 ක් අද (11) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

අද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 736 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (11) දිනට මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2890 ක් ලෙසයි සඳහන් වන්නේ ෴

++++++++++++++++++

(11.08.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ හඳුනා නොගත් මෘතදේහ 40 ක් භූමදානය කිරීමට අදාළ මරණ පරීක්ෂණ අද (11) පස්වරුවේ අවසන් කෙරුණා.

මෙලෙස ගොඩ ගැසී තිබුණේ 2017 වසරේ සිට එක්රැස් වූ මෘත දේහයි.

කොවිඩ් මරණ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ බස්නාහිර පළාතේ රෝහල් ආශ්‍රිතව ඇති මෘත ශරීරාගාරවල දේහයන් ගොඩ ගැසී ඇති බව පසුගිය දිනවල හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණය කළා.

මේ අතර, මෘත දේහ 58 ක් පමණක් රඳවා තැබීමේ හැකියාව ඇති කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය තුළ මෘතදේහ මේ වනවිට 77 ක් ගොඩ ගැසී ඇති බව ඊයේ (10) අධිකරණයේදී හෙළි වුණා.

එම මෘත දේහ අතරින් 21 ක් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයි.

මේ අතර, ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති මෘතදේහ 77 න් 40 ක්ම 2017 වසරේ සිට ගොඩ ගැසී ඇති හඳුනා නොගත් මළසිරුරු බව මරදාන පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබුණා.

මරදාන පොලිසිය ඉල්ලීමක් තිබුණේ එම මළසිරුරු භූමදානය කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙසෙයි.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (10) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් එම මළසිරුරු භූමදානය කිරීම සඳහා අවසර ඉල්ලා සිටියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ මළසිරුරු මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව එම ඉල්ලීම සඳහා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන් අතර, එම මළසිරුරු පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු අද (11) සිදු කෙරුණේ මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේයි.

ඒ අනුව එම ඉල්ලීම සඳහා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන් අතර, එම මළසිරුරු පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (11) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර එය මේ වනවිට අවසන් වි තිබෙනවා.

මේ අතර, රෝහල්වලදී මෙන්ම නිවෙස්වලදී ද කොවිඩ් ආසාදිතව පුද්ගලයින් මියයාම සම්බන්ධ තොරතුරු පසුගිය දිනවල වාර්තා වුණා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසක හදිසි මරණයක් සිදු වුවහොත් කළයුතු දේ පිළිබඳව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මියගෙන් අප විමසා සිටියා.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(11.08.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala)

2022 අයවැය සඳහා පසුපෙල මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීමේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සංවිධානය කර තිබූ මෙම හමුවේදී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යයන් පිළිබඳව පසුපෙල මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා ලබාගෙන තිබෙනවා.

එම කාර්යයන් මගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව පසුපෙල මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බව සඳහන්.

දේශීය කාබනික කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අපනයන නිෂ්පාදනය ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශය වෙත ග්‍රාමීය ජනතාවගේ දායකත්වය ලබා ගැනීම සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගා සිටුවීම, සංචරණ ක්ෂේත්‍රය නගා සිටුවීම, ධීවර ක්ෂේත්‍රය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම, මල් සහ විසිතුරු පත්‍ර වගාකරුවන් නගා සිටුවීම, සත්ත්ව නිෂ්පාදන අංශය වර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි පසුපෙල මන්ත්‍රීවරුන් මෙහිදී යෝජනා ඉදිරිපත් කර තිබුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එවකට රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස් වෙතින් අයවැය යෝජනා සකස් කිරීමේදී අදහස් ලබා ගැනීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

එය ඉතා සාර්ථක ප්‍රගතියක් පෙන්වූ බැවින් මෙවර අයවැය සකස් කිරීමේදී උපරිමයෙන් විවිධ අංශවල අදහස් ලබා ගන්නා බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ.

මෙහිදී පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ වනවිට වාර්තා පළ වනවා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පාර්ශව කිහිපයකගෙන් විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ එවැනි සාකච්ඡාවක් පවතින අතර, අවසන් ස්ථාවරයක් හෝ ඒ පිලිබඳ දින වකවානු මෙතෙක් ප්‍රකාශයට පත්වී නොමැති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *