මාකොළ වාහන උකස්පොළ – ‘අද දෙරණ උකුස්සා’ගේ අනාවරණයක්

මාකොළ වාහන උකස්පොළ – ‘අද දෙරණ උකුස්සා’ගේ අනාවරණයක්

*********************************************

මාකොළ වාහන උකස්පොළ – ‘අද දෙරණ උකුස්සා’ගේ අනාවරණයක්

(03.08.2021 – 19:43 +0530 – sinhala.adaderana.lk)

මාකොළ ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය වාහන උකසට ලබාගන්නා ස්ථානයක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ පසුගිය දිනක රටට හෙළිදරව් කළේය.

එම මධ්‍යස්ථානය භාරයේ රඳවාගෙන තිබූ වාහන ඒවායේ අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙයි.

ෆිනෑන්ස් සමාගම්වලට අය වියයුතු වාරික නොගෙවීම නිසා එම සමාගම් විසින් රැගෙන යාමේ අවදානමක් ඇති වාහන උකස්ගෙන තබා ගන්නා මාකොළ ප්‍රදේශයේ මෙම ස්ථානය පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ පසුගිය වසරේ (2020) සැප්තැම්බර් 18 වනදා අනාවරණ කළේය.

මෙම කටයුත්ත පවත්වාගෙන ගොස් තිබුණේ නිසි නීතිමය පටිපාටීන්ගෙන් තොරව බව හෙළිවුනි.

යතුරුපැදි, මෘත ශරීර රැගෙන යන මෝටර් රථ, ගිලන් රථ මෙන්ම අධි සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු සියලුම වර්ගයේ වාහන 174 ක් එහි අංගනයේ ඇති අයුරු දැකගත හැකිවිය.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ ඒකකය ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකළ අතර මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද පවරනු ලැබීය.

අධිකරණය නියෝග කළේ එම වාහන පරම අයිතිකරුවන් වෙත හා ලියාපදිංචි අයිතිකරුවන් වෙත මුදාහරින ලෙසය.

ඒ අනුව වාහන 66 ක් හැර සෙසු වාහන සියල්ල ඒවායේ හිමිකරුවන් වෙත පොලිසිය විසින් මුදාහරිනු ලැබීය.

එම වාහන අතරින් 20 ක් රජයේ රස පරීක්ෂක වෙත යොමුකළේ ඒවායේ චැසි අංක වෙනස්කර ඇත්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහාය.

ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ක්‍රියා රටට අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙන් ෴

******************************************

විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල උණුසුම් තත්ත්වයක්

(03.08.2021 – 14:33 +0530 – sinhala.adaderana.lk)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ලේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එම විරෝධතාවය සංවිධානය කර තිබෙන අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී පොලීසිය ඔවුන්ගේ පාගමන අවහිර කර තිබුණි.

එහිදී උණුසුම්කාරී තත්ත්වය හටගත් අතර විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පොලීසියේ මාර්ග බාධක ඔසවා විසිකිරීමට උත්සහ ගෙන තිබුණි.

පසුව ඔවුන් මිනීපෙට්ටියක් එම ස්ථානයේ ගිනි තබමින් විරෝධය දැක්විය.

******************************************

අධිකරණයේ වැසිකිළියක් තුළදී අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

(03.08.2021 – colombotoday.com)

බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකුට අධිකරණයේ දී ඇප සම්බන්ධයෙන් විරුද්ධ නොවී සිටීමට අල්ලස් වශයෙන් රුපියල් විසිපන්දාහක (25,000) මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සාලියවැව පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ වැසිකිළියක් තුළදී අද (03) අත්අඩංගුවට ගනු ලැබ තිබේ .

වයස අවුරුදු දාහතරක (17) දැරියක සිය පියා විසින් දූෂණය කරනු ලැබූ බව කියන මෙම සිද්ධියට අදාළ සැකකාර පියා ට ඇප ලබාදීම සඳහා අධිකරණයේ දී විරුද්ධ නොවී සිටීමට සැකකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ අල්ලස් මුදල ඉල්ලා ලබා ගනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පවසයි .

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබියදී සැකකාර පියා ගේ පාර්ශවයෙන් පැමිණ මෙම අල්ලස් මුදල ලබා දීමට කටයුතු කර ඇතැයි ද කොමිසම පවසයි .

අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලකට අනුව එහි උපාය දූතයන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සැකකරුට අදාල අල්ලස් මුදල ලබා දෙන අවස්ථාවේදී එනම් එම අධිකරණයේ වැසිකිළියේදී සැකකරු අත්අඩංගුවට ගත් බව ද කොමිසම සඳහන් කරයි.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴

******************************************

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(03.08.2021 – colombotoday.com)

රුපියල් කෝටි හතරාමාරකට (4½) අලෙවි කිරීමට ගිය ගජමුතු යුගලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ වැටලීම් නිලධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව පසුගියදා (31) කැකිරාව පොලිස් බල ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිතුල්හිටියාව පදිංචි එම්. සනෝජ් දිල්ෂාන් කුමාර නැමැති 21 ක් හැවිරිදි තරුණයෙකි.

මෙම ජාවාරම්කරු සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) සිට ඇති බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී මෙම තිදෙනා (3) ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බවත්, පලාගිය සැකකරුවන් දෙදෙනා (2) මරදන්කඩවල සහ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු (2) බවට හදුනාගත් බව විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ වැටලීම් නිලධාරීන් කියයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ සිට පැමිණි ගැණුම්කරුවෙකු ලෙස පොලිස් උපාය දූතයන් යොදවා මෙම වැටලීම සිදු කර ඇත ෴

******************************************

ප්ලග් පොයින්ට් එකේ සිට ඇමති නිළ නිවසේ තිබූ බඩු රිෂාඩ් ගලවාගෙන ගිහින් – පොදු දේපොළ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

(02.08.2021 – colombotoday.com)

කර්මාන්ත අමාත්‍යවරයාට රජයෙන් ලබා දෙන ඇමති නිළ නිවසේ බඩු මුට්ටු හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ගලවාගෙන ගොස් ඇති බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (02) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදි.

නිවසේ තිබූ ප්ලග් පොයින්ට් පවා මෙලෙස ගලවාගෙන ගොස් ඇති බවත් වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් කර පොදු දේපොළ පනත ප්‍රකාරව රිෂාඩ් බදුයුදීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සුදත්ත හිමියෝ ආරක්ෂක අංශවලින් ඉල්ලීම් කරන ලදි.

මේ පිළිබඳව සුදත්ත හිමියෝ සිදුකල සම්පුර්ණ ප්‍රකාශය :

******************************************

ගුරු වැටුප් විෂමතාවයේ ඇත්ත පැත්ත – තිස්ස ජනනායක (01.08.2021)

******************************************

(04.08.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී සිටින ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශ හතරකින් (4) රථ පෙළපාලියකින් අද (04) කොළඹට පැමිණෙන බව එම වෘත්තිය සමිති පවසනවා.

මීගමුව මාර්ගයේ වැලිසර ප්‍රදේශයෙන්, නුවර මාර්ගයේ කඩවත අධිවේගී පිවිසුම අසළින්, හයිලෙවල් මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයෙන්, ගාලු පාරේ මොරටුව නගරයෙන් එම රථ පෙළපාලි ආරම්භවීමට නියමිතයි.

අද (04) පෙරවරුවේ මෙම රථ පෙළපාලි එම ස්ථානවලින් පිටත්වන අතර, පසුව එම පෙළපාලිය කොළඹට පැමිණ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කරන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊයේ (03) දිනයේදීද ගුරු හා විදුහල්පතිවරුන් සිය ගැටළු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමඟ සාකච්ඡාවක නිරතවූ අතර, එයද විසඳුමකින් තොරව අවසන් වුණා.

ඒ අනුව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවත්, අද (04) දින එහි දිගුවක් ලෙස රථ පෙළපාලි ඔස්සේ කොළඹට පැමිණෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@

ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටි විස්ස (20) ඉක්මවයි

(04.08.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා තිබෙනවා.

එය දැක්වුණේ 20,02,17,364 ක් ලෙසයි. මේ අතර, මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (03) 6 වන දිනටත් 2000සේ සීමාව ඉක්මවා ගියා. එය දැක්වුණේ 2425 ක් ලෙසයි.

ඊයේ (03) මෙරටින් හදුනා ගත් නව ආසාදිතයින් 2425 දෙනාත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 3,16,219 ක් ලෙසයි.

නව ආසාදිතයින්ගෙන් 2423 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු (2) ද ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 28,878 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,82,770 ක්.

තවත් කොරෝනා මරණ 74 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4,645 දක්වා ඉහළ ගියා.

+———

මේ අතර අතුරුගිරිය – පෝරේ ශ්‍රී මහා විහාරය ඇතුලු විහාරගණයේ අධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රුක්මළේ ධම්මකිත්ති නායක හිමියන් කොරෝනා ආසාදනය වීමෙන් අපවත්වී තිබෙනවා.

උන්වහන්සේ අපවත්වනවිට 63 වියේ පසුවුණා.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ, ඊයේ (03) පස්වරුවේ ඔහුට ඇතිවූ දැඩි හිසරදය හේතුවෙන් සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකදියි.

තමන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවට ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් ද එක් කර තිබෙනවා. පසුගිය සතියේ සිට ඊයේ (03) දිනය දක්වා ඔහු ඇසුරු කළ රාජ්‍ය නිලධාරින් ඇතුලු සියලුදෙනා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි අමාත්‍යවරයා එම සටහනෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් පසු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ද ඊයේ (03) සිට ස්වයං නිරෝධායනයට යොමුවුණා.

මේ දක්වා එක් (1) එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති පුද්ගලයන් එන්නත්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙලක් නුදුරේදීම ආරම්භ කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

සමාජය තුළ කොරෝනා වෛරසය කොතරම් දුරට ව්‍යාප්තව පැවතුණද නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ පුරුදු පිළිපැදීමෙන් වෛරසයෙන් ආරක්ෂාවිය හැකි බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි 20 ඉක්මවා ගොස් තිබෙනවා.

එය දැක්වුණේ 20,02,17,364 ක් ලෙසයි. ලොව සමස්ත මරණ සංඛ්‍යාව 42,58,213 ක් ලෙස සටහන් වුණා ෴

+++++++++++++++++++++

(04.08.2021 – 06:43 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ගතවූ පැය 24 ක කාලය තුල පුද්ගලයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53,143 ක් වන බවයි.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13 කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 5494 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

පුද්ගලයන් 133 ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝණය කර ගමන් කිරීමට පැමිණීමේදී පැමිණි වාහන 53 ක් ද සමග අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබෙනවා.

පොලිසිය දැනුම් දෙන්නේ මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ෴

++++++++++++++++++++

(04.08.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala)

ගිරිඋල්ල – පුස්කොළදෙනිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ නිවසකට රාජකාරී සදහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමට තැත්කර කෙළගැසීමේ සිද්ධියකට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ 48 හැවිරිදි සැකකරු ආසාදිත පුද්ගලයාගේ පියා බවයි.

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අදළ නිවසට රාජකාරී සඳහා ගොස් තිබුණේ ඊයේ (03) දිනයේයි.

එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කළ සැකකරු බීමතින් සිට ඇති බවට ගිරිඋල්ල පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මීට පෙර මෙවැනිම සිද්ධියක් අටළුගම ප්‍රදේශයෙන් පසුගිය වසරේදී වාර්තා වූ අතර එම සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුට නඩු පැවරීමෙන් අනතුරුව වසර 6 ක සිර දඬුවමක් නියම කෙරුණා ෴

(04.08.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ගිරිඋල්ල – පුස්කොලදෙනිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකුගේ නිවසට රාජකාරී සදහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමට තැත්කර කෙළගැසීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද (04) පස්වරුවේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

++++++++++++++++++++

(04.08.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

අද (04) සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පොලිස්පතිට ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථවලද සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කරන බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර, එය සැළකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

මේ ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කරමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය සදහා බස් රථ ගාස්තුව සියයට 20 කින් වැඩි කර දීමට ද පසුගිය කොරෝනා වසංගත තත්ත්වය ආරම්භයේදීම කටයුතු කළ බවයි.

ඒ හේතුවෙන් රථ වාහන රියදුරන්ට හා බස් රථ හිමිකරුවන්ට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනයට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔහු කියා සිටියේ නිරෝධායන නීති නොතකා ධාවනය කරන බස් රථවල ධාවන බලපත්‍ර අවලංගු කිරීමට ද පොලීසියට උපදෙස් ලබාදී ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *