අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

*********************************************

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

(03.08.2021 – colombotoday.com)

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකළ අරන්තලාව භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සඳහන් කළේ, එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ජීවිතය ගලවා ගත් භික්ෂුන් වහන්සේගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව, රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නා ය.

ඒ, එම ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ජීවිතය ගලවා ගත් රිදිමාලියද්ද දහම් සෙවන ආරණවාසී පූජ්‍ය ඇඳා උල්පත බුද්ධසාර හිමියන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (03) කැඳ වූ අවස්ථාවේදී ය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් 1987 ජුලි 02 වැනිදා සිදුකළ එම ද්විත්ව ඝාතනයට සම්බන්ධ මේ වන විට ජීවත්ව සිටින ත්‍රස්තවාදින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි, බුද්ධසාර හිමියන් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එම අමානුෂික ප්‍රහාරයෙන් භික්ෂුන් වහන්සේ 31 නමක් හා සිවිල් පුරවැසියන් තිදෙනෙකු (3) ඝාතනය වූ බවත් , තමන් වහන්සේ ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් බරපතළ තුවාල ලැබූ බවත් පෙන්වාදී තිබූ පෙත්සම්කාර හිමියන් තමාට සිදුව හානියට වන්දියක් ලෙස රුපියල් කෝටි 02 ක මුදලක් ගෙවීමට රජයට නියෝගයක් කරන්නැයි ද ඉල්ලා තිබේ.

එම ඝාතනවලට මුල් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන නායකයින් කිහිපදෙනෙකු සටන් ක්‍රියාමාර්ග අත්හැර මේ වන විට දේශපාලනයට පිවිස ඇති බවත් ‘විනයාග මුර්ති මුරලිදරන්’ හෙවත් ‘කරුණාඅම්මාන්’, ‘සිවනෙතතුරෙයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලයාන්’ ඒ අතරින් කිහිප දෙනෙකු වන බව ද පෙත්සම්කාර හිමියන් ගොනු කළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් ය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් සුරේෂ් සලෙයි හා නීතිපතිවරයායි.

පෙත්සම ලබන ඔත්තොම්බර් 12 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේ ය ෴

******************************************

(03.08.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මාර්ග අංක 138 : හෝමාගම – පිටකොටුව සහ මාර්ග අංක 174 : කොට්ටාව – බොරැල්ල පෞද්ගලික බස් රථ, ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

සංචරණ සීමා පනවා තිබූ කාලයේ බස් රථ ධාවනය නොකිරීම නිසා බස් රථ හිමියන්ගෙන් ගාස්තු අය කිරීමට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

(03.08.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව ‘අන්තරේ’ ආරම්භ කර ඇති විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුම අසල මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

විරෝධතාකරුවන් අද (03) දහවල් මෙම පාගමන ආරම්භ කරනු ලැබුවේ රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිටින්.

මේ හේතුවෙන් රාජගිරිය අවට මාර්ගවල රථ වාහන තදබදයක් පැවතුණා ෴

******************************************

(03.08.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ ජනාධිපති කොමිසම විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාරට එරෙහිව සිදුකර ඇති නිර්දේශ මත ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) තහනම් නියෝගයක් නිකුත් කළා.

ඔහු විසින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අවසර ලබා දෙමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, කොමිසමේ සභාපතිවරයාට, සාමාජිකයින්ට, ලේකම්වරයාට මෙන්ම නීතිපතිවරයාට අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් නොතීසිද නිකුත් කරනු ලැබුවා.

අද (03) මෙම පෙත්සම සළකා බලනු ලැබුවේ නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ බී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේයි ෴

******************************************

(03.08.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ දැනට ක්‍රියාත්මක කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල සඳහා ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතනයක් විසින් සහයෝගය දැක්වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශිෂෝකා පළාතේ පූජි නගරයේ පිහිටි කාබනික නිෂ්පාදන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිදුකළ සාකච්ඡාවකින් පසුවයි ඔවුන් විසින් මෙලෙස කැමැත්ත පළ කර ඇත්තේ.

එම ආයතනය විසින් මෙරට කෘෂිකාර්මික වගාවන් සඳහා දැනුම සහ තාක්ෂණය මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය ලබාදීමට එකඟතාවද පළ කළ බව පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

[ සේයාරූ ]

******************************************

(03.08.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ – වටරැක මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් මාස පහක (5) බිළිඳෙකු ඇතුලු තුන්දෙනෙකු (3) අද (03) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු, එහි ගමන්ගත් මාස පහක (5) බිළිදෙකු සහ ඔහුගේ මිත්තනියයි.

අනතුරින් බිළිඳාගේ මව බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

******************************************

අපරික්ෂාකාරීව රිය ධාවනයේ අවසානය – CCTV සාක්ෂිය (03.08.2021)

******************************************

(03.08.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින්.

එහිදී ජනාධිපතිවරයාට විශේෂ හමුදා උත්තමාචාරයක්ද පිළිගන්වා තිබෙනවා. එහිදී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා විසින් ගුවන් සාංග්‍රමික බල සේනාවේ ඉදිරි සැළසුම් පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ගුවන් සාංග්‍රමික බල සේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිවරයා යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියද විවෘත කරනු ලැබුවා.

******************************************

2021 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය මාර්ගගත ක්‍රමයට

(03.08.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරට අදාළව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිවීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලීම් කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් අද (03) රාජගිරිය මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේදී ආරම්භ වුණා.

ඒ අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වන මෙරට පුරවැසියන් ලියාපදිංචි කිරීම, පවතින ඡන්ද හිමි නාමලේඛනයේ දෝෂ ඇත්නම් ඒවා නිවැරදි කිරීම සහ පදිංචියේ වෙනස්කම් සිදුවී ඇත්නම් එය සටහන් කිරීමද මේ යටතේ සිදු කෙරෙනවා.

මීට අමතරව පසුගිය වර්ෂයේ ලියාපදිංචි නොවූ ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමද මෙම වැඩපිළිවෙල යටතේ සිදු කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව මාර්ගගත ලියාපදිංචියට අදාළ තොරතුරු සපයා ගැනීම මැතිවරණ කොමිසන් සභාවේ https://elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැකියි ෴

******************************************

ගෑස් සිලින්ඩරයක් ගිනි ගත්තොත් කළ යුතු දේ (03.08.2021)

@@@@@@@@@@@@@@@

(03.08.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1902 ක් සුවය ලබා අද (03) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 287,770 ක් දක්වා ඉහළ ගියා ෴

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් 1406 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 315,175 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(03.08.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

ලබන සිකුරාදා වනතුරු බලශක්ති අමාත්‍යාංශය වසා දමන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මීට හේතු වී ඇත්තේ අමාත්‍යවරයාගේ කාර්යාලයේ නිලධාරීන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමයි.

තමන් සම්බන්ධයෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තමන්ට වෛරසය ආසාදනය වී නැති බවත් කෙසේ වෙතත් ආරක්ෂිත පියවරක් වශයෙන් ලබන සිකුරාදා දක්වා සිය කාර්යාලය වසා දැමීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම අමාත්‍ය ගම්මන්පිල මහතා ඔහුගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තමන් අද (03) දින සිට ස්වයං නිරෝධායනය ට යොමු වන බවයි ෴

++++++++++++++++++

(03.08.2021 – 17:40 +0530 – hirunews.lk/sinhala)

“ගුරුවරුන්ට කොවිඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවත් ලබා දී ක්‍රමානුකූලව පාසල් විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍යවරයා සැරසෙද්දී අමාත්‍යාංශ ලේකම්වරයා ගැබිණි ගුරු මාතාවන්ට පවා පාසලට පැමිණීම අනිවාර්ය කෙරෙන චක්‍රලේඛයක් නිකුත් කළේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නදැයි ‘ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය’ ප්‍රශ්න කරනවා.

‘ජාතික නිදහස් පෙරමුණ’ට අනුබද්ධ ‘ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරයේ’ ප්‍රධාන ලේකම් ඉන්දික කළුආරච්චි මෙසේ ප්‍රශ්නකර සිටියේ ඔවුන් අද (03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

මෙතෙක් කොවිඩ් වසංගත අවදානම පහව නොගොස් තිබියදී කිසිදු සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට කැඳවීමෙන් ‘ගුරු පොකුරු’ නිර්මාණය විය හැකි බවට ඔහු අනතුරු අඟවනවා.

එසේ වුවහොත් ඉදිරි මාසයේ දී හෝ පාසල් පද්ධතිය නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විවෘත කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරෙන බවටයි ඔහු පවසන්නේ.

ආණ්ඩුව සහ ගුරුවරයා අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වන මෙම චක්‍රලේඛය අහෝසි කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් මෙම තත්ත්වය දඩමීමා කරගනිමින් අවස්ථාවාදී දේශපාලන කල්ලි ගුරුවරයා තම බල උවමනාවේ ගොදුරක් කර ගැනීමට මඟ පාදා ගනු ඇති බවත් ‘ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරයේ’ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙනවා.

එසේම වසර 24 ක් පුරා නොවිසඳුනු තම ගැටළුවට රජය සාධනීය විසඳුම් ඉදිරිපත් කරමින් සිටියදී සහ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව මෙම වෘත්තීය අරගලය දෙස සුබවාදීව බලමින් සිටියදී, ආණ්ඩුව අභ්‍යන්තරයේම සිටින තවත් පිරිසක් ගුරුවරයාගේ අභිමානයට නිගා කරමින් ගැටුමක් නිර්මාණය වන සේ කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *