රෝහල් වලට රෝගීන් ඇතුළත් කරගැනීමේදී සිදුකරන කොරෝනා පරීක්ෂණ නවතී

රෝහල් වලට රෝගීන් ඇතුළත් කරගැනීමේදී සිදුකරන කොරෝනා පරීක්ෂණ නවතී

*********************************************

රෝහල් වලට රෝගීන් ඇතුළත් කරගැනීමේදී සිදුකරන කොරෝනා පරීක්ෂණ නවතී

(24.07.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල්වලට රෝගීන් ඇතුලත් කරගන්නා අවස්ථාවේ බාහිර ප්‍රතිකාර අංශයේ දී සිදුකරන කොරෝනා පරීක්ෂණ මේ වන විට මුළුමනින්ම නතර කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා.

කෙසේ වෙතත් රෝහල් තුළින් හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රෝහල් තුළ කොරෝනා පරීක්ෂණ, හෙද හෙදියන් විසින් මීට පෙර සිදුකළ අතර පසුව එම කාර්යයන් වලින් ඔවුන් ඉවත්වුණේ හෙද වෘත්තිය සමිති ගනු ලැබූ තීරණයකට අනුවයි.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් විසින් සීමිත පරීක්ෂණ සංඛ්‍යාවක් මේ වනවිට රෝහල් තුළ සිදුකරනු ලබනවා.

මීට පෙර රෝහල්ගත කරන අවස්ථාවේදීම රෝගීන් බාහිර ප්‍රතිකාර අංශයේදී කොරෝනා පරීක්ෂණයන්ට භාජනය කෙරුණු අතර, රෝහල්ගත කිරීමෙන් පසුව ද තවදුරටත් අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කොරෝනා පරීක්ෂණ සිදුකළා.

මේ සම්බන්ධයෙන් විමසීමට අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වුණේ ඔවුන් දුරකථනවලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

මේ අතර, මෙරටින් වාර්තා වන ඩෙල්ටා ආසාදිතයින් ගණන ද ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා. ඒ අනුව මෙතෙක් හමුවී ඇති ඩෙල්ටා ආසාදිතයින් ගණන 68 ක්.

මේ අතර අදත් (24) දිස්ත්‍රික්ක 21 ක මධ්‍යස්ථාන 215 කදී එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර මැණික් ව්‍යාපාරිකයන් සහ එම කර්මාන්තයේ නිරත පිරිස් සඳහා එන්නත් ලබාදීම අද (24) රත්නපුර නගරයෙන් ආරම්භ කෙරුණා.

අද (24) දිනයේත් ආසාදිතයන් 1,220 ක් අලුතින් හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 2,94,332 ක් ලෙසයි.

මේ අතර කොරෝනා ආසාදනය වී සිටි තවත් 957 දෙනෙකු අද (24) සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,66,665 දක්වා ඉහළ ගියා.

+++++++++++++++++++++

(24.07.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 52 ක් මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4054 ක් ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (23) තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 26 ක් සහ කාන්තාවන් 26 ක් ඇතුලත්.

++++++++++++++++++++

(25.07.2021 – 06:05 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඊයේ (24) දිනයේදී පුද්ගලයන් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව පනස් දෙදහස (52,000) ඉක්මවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

නිරෝධායන නීති කඩන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා සැකකරුවන් හතලිස් හය දහසකට (46,000) පමණ පිරිසකට නඩු පවරා ඇති අතර තවත් හයදහසකට (6000) පමණ නඩු පැවරීමට නියමිතව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නිරෝධායන නීති තවදුරටත් ක්‍රියාත්මක වන අතර පළාත් සංචරණ නියෝග ද තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව ඔහු කියාසිටියා.

මේ අතර ඊයේ (24) දිනයේ බස්නාහිර පළාතෙන් ඇතුලුවන සහ පිටවන ස්ථාන 13 කදී පවත්වන ලද මාර්ග බාධකවලදී පුද්ගලයන් 7644 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ ඔවුන් පැමිණි වාහන 4120 ක් ද සමගින්.

එහිදී පැමිණි වාහන 99 ක් ද සමග 150 දෙනෙකුට අවවාද කර යළි හරවා යවා තිබෙනවා.

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙනුයි පොලිසිය මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අතර හෙට (26) දිනයේ සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයන් මෙන්ම මුව ආවරණ නිසියාකාරව නොපළඳින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

විශේෂයෙන් කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආශ්‍රිතවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ෴

@@@@@@@@@@@@@@@@

(24.07.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් නිවසට වී සිටින සිසුවෙකු සූර්ය බලයෙන් ධාවනය කෙරෙන පරිසර හිතකාමී ත්‍රිරෝද රථයක් නිර්මාණය කර තිබෙනවා.

ඔහු කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් පිරනවන්.

මීට පෙර මෙම සිසුවා මෙවැනි ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් සූර්ය බලයෙන් ධාවනය වන පාපැදියක්, පොල් කඩන යන්ත්‍රයක් සහ පොල්ගෑමේ යන්ත්‍රයක්ද නිෂ්පාදනය කර තිබෙනවා.

නිර්මාණය සිදුකළ සිසුවා ප්‍රකාශ කළේ සූර්ය බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිෂ්පාදනය කිරීම, තමාගේ මීළඟ අරමුණ බවයි ෴

******************************************

(24.07.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++

(24.07.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අදත් (24) ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා.

හැටන් නගරයේ පැවැත්වූ විරෝධතාවයට එක්වූවන් ප්‍රකාශ කර සිටියේ ඉෂාලිනී දැරියට සාධාරණයක් ඉටු කරන ලෙසට සහ ප්‍රාදේශීය මට්ටමින් ළමාරක්ෂක අධිකාරියේ කාර්යාලයක් පිහිටුවන ලෙසට ද පියවර ගන්නා ලෙසටයි.

+++++++++++

රැදවුම් නියෝග ලැබු රිෂාඩ්ගේ බිරිඳ කිරුළපන පොලීසියට – රිෂාඩ් රෝහලෙන් යළි CIDයට

(24.07.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ පවුලේ විවිධ පාර්ශවයන්ට දැනට අත්අඩංගුවේ පසුවන ඩයගම ප්‍රදේශයේ පදිංචි තැරැව්කරු විසින් දරුවන් 11 දෙනෙකු මෙහෙකාර සේවය සඳහා ලබාදී ඇති බවට අද අධිකරණයේදී අනාවරණය වුණා.

ඒ මන්ත්‍රීවරයාගේ නිවසේදී මෙහෙකාර සේවයේ යෙදී සිටි වයස අවුරුදු 16 ක දැරියක් පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අද (24) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමේදියි.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා සහ තැරැව්කරු ඊයේ (23) අලුයම අත්අඩංගුවට ගැණුනු අතර මෙම නිවසේ මීට පෙර සේවය කළ තරුණියකට අතවර කිරීමේ චෝදනාව මත රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ද එදිනම අත්අඩංගුවට ගැණුනා.

සැකකරුවන් බොරැල්ල පොලිසිය විසින් අද (24) පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට ඉදිරිපත් කළ අතර එහිදී මොවුන් හතර දෙනාම (4) පැය 48 ක් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා.

එමෙන්ම මොවුන් ලබන සඳුදා (26) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකරුවන් රැගෙන ආ රථය අධිකරණ භූමිය වෙත ඇතුළු කිරීමට අවසර ඉල්ලා ඇති නමුත් පොලිස් නිලධාරීන් ඊට ඉඩ ලබා දී නැහැ.

මේ හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරුවන් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ගොස් යනු ලැබුවා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ මෙම සැකකාරියගේ නිවසේ මෙහෙකාරියක වශයෙන් කටයුතු කළ 16 හැවිරිදි හිෂාලිනී ජූඩ් නැමැති දැරියගේ මරණය ඛේදවාචකයක් බවයි.

දරිද්‍රතාවය සහ ආර්ථික අපහසුතා හේතුවෙන් බැට කන දරුවන් ප්‍රභූවරුන්ගේ දරුවන් බලා ගැනීමට ගෙන ඒමේ ජාලයක් ක්‍රියාත්මක බවත් මෙම සිද්ධියේ තැරැව්කරුද එම ජාලයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

දැරියගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇය ලිංගික ප්‍රවේශයන්ට ලක්ව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මව ලබාගත් රුපියල් 30,000 ක ණය මුදලක් ගෙවා දැමීම සඳහා මෙම දැරිය මෙහෙකාර සේවයට පැමිණ ඇති බවත් 2004 වසරේ නොවැම්බර් 14 වැනිදා උපත ලද මියගිය දැරිය ඇයගේ වයස අවුරුදු 16 සම්පූර්ණ වී දින 4 කින් පසු එනම් 2020 වසරේ නොවැම්බර් 18 වනදා මන්ත්‍රිවරයාගේ නිවසට මෙහෙකාර සේවයට රැගෙනවිත් ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

තවදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම සිදුවීම නූතන ළමා වහල් වෙළෙඳාමට හොඳ උදාහරණයක් බවයි.

බදියුදීන් පවුලට මෙහෙකාර සේවය සඳහා ලබා දුන් සියලු‍ ළමයින්ගේ වැටුප් ගෙවා ඇත්තේ මෙම තැරැව්කරුගේ ගිණුමටයි.

ඔහු විසින් අදාළ දරුවන්ගේ මව්පියන්ට මුදල් ලබාදී ඇති බව අනාවරණය වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ.

එහෙත් එම මුදල්වලින් කොටසක් මෙම තැරැව්කරු තබා ගෙන ඇති අතර ඉන් පිළිබිඹු වන්නේ මොහු මෙම දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ආදායමක් උපයා ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

මෙම ක්‍රමය වර්තමානයේ බහුලව ක්‍රියාත්මක වන බවද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර මෙම දැරිය අදාළ නිවස තුළ දැඩි ලෙස කෲරත්වයට භාජනය වීම පිළිබඳ සංවේදී අනාවරණයක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සිදු කළා.

දැරියට එම නිවසේ මුළුතැන්ගෙයට පිටත ස්ථානයක පිහිටි අඩි 6 යි 4 ප්‍රමාණයේ කුඩා කාමරයක නවාතැන් ගැනීමට සිදුව ඇති බවත් එම කාමරයට විදුලිය සැපයුම තිබුණත් ආලෝකය ලැබී නොමැති බවත් ඔහු සඳහන් කළා.

විදුලි පංකාව අක්‍රියව පැවති අතර, මාස 8 ක් තිස්සේ රාත්‍රී කාලයේදී ඇය තනිවම එහි ගත කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ.

මෙහිදී රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් සැකකරුවන්ට එරෙහිව ගොනු ඇති චෝදනා නිවැරදිද යන්න පිලිබඳ සොයා බැලීමක් කළ යුතු බවයි.

රටේ නීති සකස් කරන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ස්ථානය සිටින රිෂඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තමාගේ නිවසේ බාලවයස්කාර දැරියක් සේවය කරන බව දැන සිටිය යුතු බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා සාධාරණ ලෙස සහ කිසිවක් නොසඟවා කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා එම සිද්ධියට සම්බන්ධ නැති බවයි.

දැරිය සිය දිවි හානි කර ගත්තාද නැතහොත් ඇයගේ ජීවිතය යම් අයෙකු නැති කළාද යන බරපතළ සැකයක් මතුව ඇති බවත් මෙය ඉතා සංවේදී කරුණක් නිසා මහජන කැළඹීමක් හටගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

රැදවුම් නියෝග ලබා ගැනීමෙන් අනතුරුව සැකකරුවන් වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කෙරුණා.

පසුව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ ඇතුළු සිව් දෙනා (4) බොරැල්ල පොලිසියට රැගෙන ගිය අතර බිරිඳ යළි කිරුළපන පොලිසියට ගෙන ගොස් තිබෙනවා.

දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායමක් අද පස්වරුවේ දැරිය මියගිය හිටපු අමාත්‍ය බදියුදීන්ගේ නිවස ද පරීක්ෂා කළා.

එහිදී විමර්ශන නිලධාරීන්ට ලීටරය ප්‍රමාණයේ බෝතලයකට භූමිතෙල් රැගෙනවිත් ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ දැරිය ගිනිතබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පැවසෙන කරුණ බැහැර කරන බවයි.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිට රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත්තේ සිය නිවසේදී පිළිස්සීම් හේතුවෙන් ඉෂාලිනී දැරිය මියයාමේ සිද්ධියට පසු දිනයි.

මේ අතර පසුගිය 17 වනදා රෝහල්ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා.

මන්ත්‍රිවරයා රෝහලෙන් ලබාදුන් ඖෂධ පවා ප්‍රතික්ෂේප කර ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කළේ.

++++++++++++++

(24.07.2021 – 22:42 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදී පිළිස්සී මියගිය හිෂාලිනී ජූඩ් නැමති දැරියට යුක්තිය ඉටුකරන බව කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇගේ මව්පියන් වෙත පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

ඒ, හිෂාලිනි දැරියගේ මව්පියන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදියි.

******************************************

(25.07.2021 – 06:02 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක කෘරත්වයට ලක්ව සිටි 13 හැවිරිදි දැරියක් පොලිසිය විසින් බේරාගෙන තිබෙනවා.

පොලිසියට ලැබුනු තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී දැරිය කෘරත්වයට ලක් කිරීමේ චෝදනා මත ඇයගේ පියා සහ නැන්දණිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එම සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු මස දෙවන (02) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධියට අදාළව නොරොච්චෝල පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ දණ්ඩනීති සංග්‍රහයේ 308 (ආ) වගන්තිය අනුව ළමුන් කෘරත්වයට භාජනය කිරීම වරදක් බවයි.

ඒ අනුවයි අදාළ සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

(25.07.2021 – 06:06 +0530 – hirunews.lk/sinhala)

අත්තිඩියේදී හෙරොයින් ග්‍රෑම් 210 සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

ගල්කිස්ස පොලිසිය විසින් අත්තිඩිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 210 ක් සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 50 සහ 41 වයස්වල පසුවන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඔවුන් සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 21 කට ආසන්න බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර මොරටුව ප්‍රදේශයේදී හෙරොයින් සමග 25 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 10 ක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කොහුවල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) දිනයේ සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 35 කට ආසන්න බවටයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *