මැති ඇමති කතා නිසා අරගලය ඔඩුදුවයි – ගුරු සංගම් රතු එළි දල්වයි

මැති ඇමති කතා නිසා අරගලය ඔඩුදුවයි – ගුරු සංගම් රතු එළි දල්වයි

*********************************************

මැති ඇමති කතා නිසා අරගලය ඔඩුදුවයි – ගුරු සංගම් රතු එළි දල්වයි

(24.07.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

තම අරගලය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කරන විවිධ ප්‍රකාශ හරහා එය තවදුරටත් තීව්‍ර වන බව, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

මේ අතර, අදත් වැටුප් විෂමතාව ගැටලුවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වුණා.

******************************************

(24.07.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර කලා බළලු වැව යනු අලි ඇතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන අලංකාර දසුන් මවන සුන්දර ප්‍රදේශයක්.

කෙසේ වෙතත් එහි සුන්දරත්වය මේ වන විට දිනෙන් දින විනාශ මුඛයට පත්ව තිබෙනවා.

එහි සුන්දරත්වයට ජපන් ජබර නම් ආක්‍රමශීලී ශාකය තර්ජනයක් වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙහි ජීවත්වන අලි ඇතුන් වැව්තාවුල්ලේ ඇති බෙරු තණ ආහාරයට ගන්නා නමුත් වැව පුරා මේ වන විට ජපන් ජබර ව්‍යාප්ත වීම හේතුවෙන් එම සත්වයින් උග්‍ර ආහාර ගැටලුවකට මුහුණදී තිබෙනවා.

වෙනදා අලි ඇතුන් 350 ක් පමණ වැව්තාවුල්ලේ දැකගැනීමට හැකි වුවද මේ දිනවල අලින් 35 – 40 අතර රංචුවලට වෙන්වී තැන තැන ආහාර සොයමින් යන බව ප්‍රදේශවාසීන් පැවසුවා.

ජපන් ජබර ඉතා වේගයෙන් වැව් තාවුලු සියල්ල වසාගෙන ඇති අතර ඒවා ඉවත් නොකළහොත් එහි සුන්දරත්වයට පමණක් නොව ඉදිරියේදී වන අලීන්ට ඇතිවන ආහාර අර්බුදයත් සමඟ අලි මිනිස් ගැටුම්වලටද අතවැනීමක් වනු ඇති.

මෙම ගැටලුවට කඩිනමින් විසදුමක් දෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

******************************************

(24.07.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ගත වූ මාසයට සාපේක්ෂව ලෝක වෙළඳපොළේ රත්‍රං මිලේ සුළු පහළ යාමක් මේ වන විට දක්නට ලැබෙනවා.

ඒ අනුව රත්‍රං අවුන්සයක මිල මේ වන විට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1802 යි ශත 30 ක් ලෙසයි ෴

******************************************

(24.07.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල සහකාර ධීවර අධ්‍යක්ෂවරයාගේ අත්සන සහ මුද්‍රා නීති විරෝධී ආකාරයෙන් භාවිතා කොට ධීවර කටයුතුවල නිරත වූ 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පසුගිය 04 වන දින තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා ගොස් ඇති අතර ගොඩබිමට පැමිණීමෙන් පසුවයි ඊයේ (23) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අතර යාත්‍රාවේ හිමිකරු ද වනවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යාත්‍රාවේ හිමිකරු ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර සෙසු සැකකරුවන් රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා.

එසේම යාත්‍රාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ගෙන එහි තිබූ මත්ස්‍ය අස්වැන්න වෙන්දේසි කිරීමෙන් අනතුරුව එම මුදල් රජයට ලබාදීමට කටයුතු කරන බවයි තංගල්ල සහකාර ධීවර අධ්‍යක්ෂ එල්.ජී.පී. චන්දන මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

වත්තල ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය විසි හතරක (24) ජල කප්පාදුවක්

(24.07.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (26) පෙරවරු 10 සිට පැය විසි හතරක (24) කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

වත්තල – මීගමුව පාරේ කොටසකට සහ මාබෝල ප්‍රදේශයේ කොටසකට මෙන්ම වැලිකඩමුල්ල, හැඳල පාර – නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ගවලට මෙලෙස ජලසැපයුම අත්හිටවනු ඇති.

මීට අමතරව අල්විස් ටවුම, මරදාන පාර, පුවත්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා ෴

******************************************

(24.07.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

ළමා අපචාර, ළමා හිංසන සහ ළමා මෙහෙකාර සේවයට අදාළව නීතිය දැඩිව ක්‍රියාත්මක කරවීමට බල කෙරෙන සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වයස අවුරුදු 16 ක දැරියක් මෙහෙකාර සේවයේ යොදවමින් අපයෝජනයට ලක් කර පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය සංවේගය සහ කණස්සල්ල පළ කරන බවයි.

දරුවන් එවැනි සිද්ධීන්වලට ගොදුරුවීම වළක්වාලීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැගීමට ක්‍රමවත් සංවාදයක්, සාකච්ඡාවක් ඇති නොවීම කණගාටුවට කරුණක් බවයි රාජ්‍ය ඇමතිනිය කියා සිටියේ ෴

******************************************

(24.07.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර රථයකට අද (24) අලුයම පොලීසියෙන් වෙඩි තබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත අනවසර වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ජාවාරම්කරුවන් පැන යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී ට්‍රැක්ටර රථයේ රෝදයකට වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරය හමුවේ ජාවාරම්කරුවන් ට්‍රැක්ටර් රථය දමා පළාගොස් තිබෙනවා.

සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

******************************************

(24.07.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව හාලිඇල පොලිසිය සඳහන් කළා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති මෙම දැරිය පරීක්ෂා කිරීමේදී පස්මස් (5) ගැබිණියක් බවයි හෙළි වී ඇත්තේ.

ඇයට නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බවට ද එහිදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව, පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ ෴

******************************************

(24.07.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියදී පසුගිය 17 වනදා රෝහල්ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (24) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා.

ඒ කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්‍රතිකාරවලින් අනතුරුවයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ඒ ඔහුව එලෙස පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

මේ අතර මන්ත්‍රීවරයා විසින් තමන්ව මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේවෙතත් ඔහු පිළිබඳව සිදුකරන පරීක්ෂණ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා ෴

******************************************

(24.07.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 67 දෙනෙකුට මරු කැඳවමින් සහ 400 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් දෙහිවල දුම්රිය ස්ථානයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (24) වසර 25 ක් සැපිරෙනවා.

එමෙන්ම 2001 වසරේදී කටුනායක ගුවන් තොටුපලට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් කළේද අද වැනි දිනකයි ෴

******************************************

(24.07.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – ගොඩවෙල ප්‍රදේශයේ 14 හැවිරිදි දැරිය සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ කළ අනාවරණයෙන් අනතුරුව ඇය අපයෝජනය කළ 5 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අතර වයස අවුරුදු 55 ක හා 78 හැවිරිදි දෙදෙනෙකු (2) ද සිටින බවත් වාර්තා වුණා.

කුරුණෑගල රිදීගම – ගොඩවෙල ප්‍රදේශයේ ජීවත්වන 14 හැවිරිදි දැරියක් එම ගම්මානයේම පිරිසක් විසින් කලක පටන් ලිංගික අපයෝජනයට ලක් වූ පුවතක් ‘හිරු සී.අයි.ඒ.’ හෙළි කළේ ඇගේ ඥාතීන් අදාල සිදුවීම පිළිබඳව මීට ඉහත පොලිසියට දැනුම් දී ඇතත් ඊට නිසි විසදුම් නොලැබුනු පසුබිමකයි.

එම පුවත විකාශය වු සැනින් දැරියගේ තොරතුරු ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමෙන් ලබාගත් ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ දැරිය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග දක්වා ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා හරහා මාදුරාගොඩ පොලිසිය දැනුවත් කර තිබුනා.

ඒ අනුව ඊයේ (23) පෙරවරුවේම දැරිය පොලිස් භාරයට ගත් මාදුරාගොඩ පොලිසිය අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.

දැරිය හෙලිකළ කරුණු අනුව සැකකරුවන් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණේ ඉන් අනතුරුවයි.

ඔවුන් අද (24) කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

******************************************

(24.07.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිවෙකු තම පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට පවසා නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

මේ අතර, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, නිදහස් පක්ෂයට ඇති ගැටලු පිළිබඳව ලබන සඳුදා (26) ජනපති හමවී සාකච්ඡා කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වන ධර්මසිරි සේනානායක මහතාගේ 21 වැනි ගුණානුස්මරණ උත්සවය අද (24) දහවල් පැවැත්වුණේ, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

මේ අතර, අද (24) බෙලිඅත්ත, පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් ද මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කළා.

******************************************

(24.07.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

සහතික මිලට පමණක් යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහල් මෝල් හිමියන් සහ ආණ්ඩුව ගෙන ඇති තීරණයට ඇතැම් ගොවීන් විරෝධය පළ කරනවා.

නාඩු කිලෝවක් රුපියල් 50 කට, සම්බා කිලෝවක් රුපියල් 52 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55 කට මිලදී ගැනීමට පසුගිය 06 වනදා කැබිනට් අනුමැතිය හිමිවුණා.

අනතුරුව මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, කොළඹදී සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම සහතික මිලට වී මිලදී ගැනීමටයි එහිදී සහල් මෝල් හිමියන්ද එකඟතාව පළ කළේ.

කෙසේ වෙතත්, මේ පිළිබදව අදහස් දක්වමින් පොළොන්නරුව, අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් කියා සිටියේ ආණ්ඩුව විසින් ගෙන ඇති මෙම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

මේ අතර පවතින පොහොර ගැටළුවට පිළියමක් ලෙස බලංගොඩ කැල්සයිට් සහ එප්පාවල පෝස්පේට් ඛනිජ නිධි යොදාගනිමින් පොහොර නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි අයතනය සිදුකළ පරීක්ෂණයක් මගින් හෙළිකරගෙන තිබෙනවා.

ඒ අනුව තේ, රබර්, පොල් යන වගාවන් සදහා අදාළ පොහොර භාවිත කිරීමේ හැකියාව පවතින බවයි එහි පීඨාධිපති මහාචාර්ය ටී.එම්.ජී.ඒ. පිටවල මහතා සඳහන් කළේ.

එමෙන්ම සියයට 100 ක් කාබනික පොහොර යොදාගනිමින් මඩාටුගම ප්‍රදේශයේ ගොවියෙකු සාර්ථක ලෙස ලොකු ලූණු වගා කිරීමේ පුවතක්ද වාර්තාවුණා.

@@@@@@@@@@@@@@@@

(24.07.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 957 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 266,665 ක් ෴

++++++++++++++++++

(24.07.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (24) දිනයේදී යුද හමුදා රෝහල්වල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුණා.

ඒ අනුව අද (24) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවීමට අපේක්ෂා කරන කොරෝනා වැළැක්වීමේ යුද හමුදා නිල වෙබ් අඩවියේ ලියාපදිචි වූ සිසුන් සඳහා එන්නත්කරණය සිදුකළ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ෴

+++++++++++++++++++

(24.07.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1220 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 294,333 ක් ලෙසටයි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 957 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 266,665 ක්.

එමෙන්ම පසුගිය සතියේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පහත වැටී තිබුණ ද යළි කොරෝනා ආසාදිතයින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යළි ඉහළ යාම පෙන්නුම් කළේ මීට දින 06 කට පෙර සිටයි.

ඒ අනුව පසුගිය 18 වනදා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 1420 ක් ලෙසටයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 487 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 294,820 ක් ලෙසටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *