බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 කට දැඩි හිංසන… ඇතැමුන්ට ලිංගික අතවර කරලා… ඇමැති නිල නිවස ඇතුළෙත් අතවර…

බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 කට දැඩි හිංසන… ඇතැමුන්ට ලිංගික අතවර කරලා… ඇමැති නිල නිවස ඇතුළෙත් අතවර…

*********************************************

බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 කට දැඩි හිංසන… ඇතැමුන්ට ලිංගික අතවර කරලා… ඇමැති නිල නිවස ඇතුළෙත් අතවර…

(24.07.2021 – divaina.com)

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා මීට ඉහතදී වතුකරයෙන් රැගෙන ආ තරුණියන් 11 දෙනකු දැඩි හිංසනයට සහ ඉන් ඇතැම් දෙනෙකු ලිංගික අතවරයන්ට ලක්වී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ ආකාරයට හිටපු ඇමැතියාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් සිටි තරුණියක බම්බලපිටිය ප‍්‍රදේශයේ දී අබිරහස් අන්දමින් දුම්රියට පැන සියදිවි හානිකර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් පසුගිය රජය සමයේ ඇමැතියෙකු ලෙස කටයුතු කරද්දී ඇමැති නිල නිවසේදීම තරුණියක දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

එම තරුණිය දූෂණයට ලක්කර ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා (බිරිඳගේ සොහොයුරා) විසින් බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ අතවරයට ලක්වූ තරුණිය තමන්ට අතවර කළ නිල නිවස සහ එහි කාමරය පවා පොලිසියට පෙන්වා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතියාගේ බිරිඳ, මස්සිනා, මාමණ්ඩිය සහ දැරිය රැගෙනආ බ්‍රෝකරයා පොලිසිය මගින් ඊයේ (23 වැනිදා) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.

ඇමැති නිල නිවසේදී තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ ඊයේ (23) අලුයම මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනාට (බිරිඳගේ සොහොයුරා) බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට රැගෙන ආ තරුණියන් සහ බාලවයස්කාර දැරියන් ලිංගික අතවරයට සහ දැඩි හිංසනයන්ට ලක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියක වන වරුණි බෝගහවත්ත මහත්මිය පත් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත.

ඒ අනුව රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී අතවරයට ලක්වූ තරුණියන් පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා වරුණි බෝගහවත්ත මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් වතුකරය බලා පිටත්ව ගොස් තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට වතුකරයේ සිට මෙම තරුණියන් සියලු දෙනා රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා ගෙනැවිත් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන බ්‍රෝකරයා විසින්ය.

මෙහෙකාර සේවය සඳහා තරුණියන් සහ දැරියන් රැගෙන එද්දී බ්‍රෝකරයාට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදීමට ද ඇමැතියා කටයුතු කර තිබූ බවද හෙළිවී තිබේ.

බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් ගිනිතබාගෙන සිය දිවි හානිකරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා (4) අධිකරණය වෙත අද (24) ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙසේ ‘ගිනි තබාගෙන සියදිවි හානිකරගත්’ (?) බාලවයස්කාර දැරිය ද ලිංගික අතවරයට ලක්ව සිටි බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

මෙම දැරියට මාස 8 කින් සිය නිවසට යෑමට ඉඩ ලබාදී නොතිබුණු අතර ඇයට පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ සිය මව්පියන්ට දුරකථන ඇමතුමක් පවා ලබාදීමට ඉඩ දී නොතිබුණු බව හෙළිවී ඇත.

මෙම දැරිය හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවස පිටුපස වෙනම පිහිටි කුඩා කාමරයක නතර කර තබා ඇති අතර එම කාමරයේ විදුලි එළියක් පවා තිබී නැති බව අනාවරණය වී තිබේ.

රාතී‍්‍ර 10:30 ට මෙම දැරිය එම කාමරයට දමා දොර වසා දමන බවත් පසුදා අලුයම 05:30 ට එම කාමරය විවෘත කර ඇති බවත් හෙළිවී තිබේ. ඒ අතර කාලයේදී ඇයට වැසිකිළියට පවා යෑමට ඉඩකඩ ලබාදී නොතිබූ බවද අනාවරණය වී ඇත.

මෙම දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ බ්‍රෝකර්වරයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 5 ක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යති.

හේමන්ත රන්දුණු

+++++++++++++++

රිෂාඩ් බිරිය ඇතුළු සිවු (4) දෙනා පැය 72 රඳවා ප්‍රශ්න කරන්න අවසර

(24.07.2021 – 12:55 +0530 – lankadeepa.lk)

මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී පිලිස්සීමෙන් මියගිය දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ, ඇගේ පියා, සහෝදරයා සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු ලබන 26 දක්වා රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද (24) පොලීසියට අවසර ලබා දුන්නා ය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ට අනුව ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට සඳහන් කරමින් පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ වන 46 හැවිරිදි අයේෂා ආබ්දීන්, ඇගේ පියා වන 70 හැවිරිදි මොහොමඩ් සියාබ්දීන් සහ ඇගේ සහෝදරයා වන 44 හැවිරිදි සියාබ්දීන් ඉස්මදීන් සහ දැරිය තැරැව් කළ බව කියන ඩයගම ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පොන්නයියා පණ්ඩාරම් නොහොත් ‘ශංකර්’ යන අයවලුන්ට ය.

මෙම සැකකරුවන් අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

++++++++++++

(24.07.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා, සොහොයුරා සහ තැරැව්කරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (24) පොලිසියට අවසර ලබාදුන්නා.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරුවන් අනිද්දා (26) පෙරවරු 10 ට පෙර යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ කිරුළපන පොලීසියටත්, පියා, සොහොයුරා සහ තැරැව්කරු ප්‍රශ්න කිරීම සඳහා බොරැල්ල පොලීසියටත් භාර දෙන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි වයස අවුරුදු 16 ක දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධියත් සමඟ දැරිය මිය යාම, කෲරත්වයට පත් කිරීම සහ තැනැත්තන් වෙළදාම යන චෝදනා මත බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය අදාළ නිවසට රැගෙන එනු ලැබූ තැරැව්කරු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (23) දිනයේයි.

එමෙන්ම මෙම නිවසේ මීට පෙර සේවය කළ 22 හැවිරිදි තරුණියක් අතවරයට ලක් කිරීමේ චෝදනාව මත රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ද පොලීසිය අත්අඩංගුවට ගත්තේ එදිනමයි.

එලෙස අත්අඩංගුවට ගත් ඔවුන් බොරැල්ල පොලීසියේ රදවාගෙන ප්‍රශ්ණ කරනු ලැබූ අතර ඊයේ (23) මොවුන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහායි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් අද (24) මිය ගිය දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයට පිටත්ව යාමට නියමිතයි.

දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇති කරුණුවලට අනුව දැරිය ගිනි තබා ගනිමින් සිය දිවි හානි කරගෙන ඇති බවට පැවසෙන කරුණ බැහැර කරන බවයි විමර්ශන සිදුකරන පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

දැරියට නවාතැන් ගැනීම සඳහා ලබාදී ඇති කුඩා කාමරය හිටපු අමාත්‍යවරයාගේ නිවස පිටුපස පිහිටා ඇති අතර එහි විදුලි එළියක් පවා තිබී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරා විසින්ම ඇයට ද ලිංගික අතවර සිදුකර ඇත්ද යන්න පිළිබදව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එසේම, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සීමට ලක්ව මියගිය දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අදත් (24) දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

යාපනය බස් නැවතුම්පල ඉදිරිපිට කාන්තා සංවිධානයක් අද (24) උදෑසන විරෝධතාවයේ නිරතවූයේ දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා චෝදනා එල්ලවූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.

එමෙන්ම හැටන් නගරයේදී ද සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන් එක්ව අද (24) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා.

+++++++++

(24.07.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *