රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර දැරියගේ මරණයේ රහස් රැසක් එළියට

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර දැරියගේ මරණයේ රහස් රැසක් එළියට

*********************************************

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාර දැරියගේ මරණයේ රහස් රැසක් එළියට

(24.07.2021 – 12:33 +0530 – mawbima.lk)

බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීම, කුට්ටනය මෙන් ම ගෘහසේවයට යොදවා ගැනීමේ සිද්ධීන් රැසක් පසුගිය දින කිහිපයක් තිස්සේ ම නන්දෙසින් පොලිසිවලට වාර්තා විය. මෙමවන් සමහර සිද්ධීන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර මෙවන් ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය එම ක්‍රියාවලට දායක වූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර වැඩි පිරිසකට ඒ නිසා හිරේ විලංගුවේ වැටීමට ද සිදුවිය.

ඉකුත් ජූලි මස 03 වන දා තවත් එවන් සිද්ධියක් වාර්තා විය. එම සිදුවීම තවමත් රටේ කතාබහට ලක්වන අයුරු පෙනෙන්නට ඇති අතර එම සිද්ධිය ද රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරලීමට සමත් වී ඇත.

බාලවයස්කාර දැරියක් ගින්නකට හසුවී දැඩිලෙස පිලිස්සී යෑම නිසා ඇය ජූලි මස 03 වන දා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබිණි.

හිෂාලිනී ජූඩ් කුමාර් නමැති මෙම දැරිය බාලවයස්කාර දැරියක් වීමත් ඇය හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ, බෞද්ධාලෝක මාවතේ නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මෙවන් තත්ත්වයකට පත්වීමත් නිසා ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නට වූහ. බාලවයස්කාර දැරියක් දැන දැනම මෙහෙකාර සේවයේ යොදා ගැනීම ගැන හිටපු ඇමතිවරයාට බොහෝ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූහ.

බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ බාලවයස්කාර දැරියක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කියමින් කොළඹ ජාතික රෝහල් පොලිසිය විසින් 119 හදිසි ඇමැතුම් අංශය වෙත දැනුම් දෙනු ලැබීය. ඒ සමග ම පොලිස් කණ්ඩායම් දෙකක් බදියුදීන්ගේ නිවෙස පිහිටි බෞද්ධාලෝක මාවතේ සුවිසල් නිවසට ගියහ.

නිවසේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කරමින් විමර්ශන ඇරඹි අතර දැරිය ගින්නට හසුවී සිටි මොහොතේ රැඳී සිටි සෑම පුද්ගලයකුගෙන් ම ප්‍රකාශ ලබාගැනීම සිදුවිය. මේ සම්බන්ධයෙන් කොළඹ දකුණු කොට්ඨාස භාර පොලිස් අධිකාරි සිසිර පෙත්තන්ත්‍රි, නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ද දැනුවත් කළ බොරැල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා ඔවුන්ගේ උපදෙස් ලබාගෙන විමර්ශන සිදුකරන්නට විය. ඒ අනුව සොකෝ නිලධාරීන්, ඇඟිලි සටහන් නිලධාරීන් මෙන් ම රජයේ රස පරීක්ෂකවරයා ද දැනුවත් කරන්නට පියවර ගන්නා ලදී.

මෙහිදී දැරිය පිලිස්සී තිබූ ආකාරය මුලින් සියැසින් දුටු අයගෙන් ද මුලින් ප්‍රකාශ ලබාගන්නා ලදී. ඒ අනුව, නිවසේ සිටි බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ බිරියගේ පියාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන්නට විය. ඔහු පොලිසියට පැවැසුවේ රාත්‍රියේ කෑ ගැසීම් ශබ්දයක් ඇසුණු බවත් ‍දොර විවර කර බැලීමේදී මෙහෙකාර දැරිය සිරුරට ඇවිළුණු ගින්දර සමගින් කෑගසමින් තමා ඉදිරියට පැමිණි බවත් තමා වහා ඇගේ සිරුරට ඇතිරිල්ලක් (කාපට්) යොදා එතැන ම තිබූ ජල තටාකයට ඇයට බසින ලෙස පැවැසූ බවත්ය. පසුව නිවසේ සෙසු අය ද සිද්ධිය වූ තැනට පැමිණ 1990 ගිලන් රථ සේවයට කතාකොට ඇය මහ රෝහල වෙත පිටත් කර යැවූ බව ද ඔහු වැඩිදුරටත් කීවේය.

හිෂාලිනී දැරිය නිදාගන්නා කාමරය පිහිටියේ කුස්සියට යාබදවය. එතැන ‍දොරක් ද ඇත. රිෂාඩ්ගේ මාමණ්ඩිය හා නැන්දණිය සිටින්නේ ඊට යාබද පහළ මහලේ කාමරයකය. රිෂාඩ්ගේ බිරිය, දරුවන් සිටින්නේ උඩුමහලේය. මේ නිවසේ තවත් තරුණ සේවකයෙකු විය. ඔහු දහනව (19) හැවිරිදිය. ඔහු සිටින්නේ නිවසින් පිටත ඇති කාමරයකය.

දිනපතා උදෑසන 05:30 ට පමණ සුවිසල් නිවසේ ‍දොර පියන් විවර කිරීම සිදුකරන්නේ එම තරුණයා විසින්ය. නිවස තුළ ඇති කාමරවල ‍දොර පියන්, ජනේල යළි වැසෙන්නේ ද ඔහු අතින්ය. ඒ රාත්‍රි දහයට (10) පමණය. නිවෙස තුළ සියලු ‍දොර ජනෙල් වසා ඉදිරිපස ‍දොරද අගුළුදමා ඉන් පිටව යන ඔහු යළි පසුදා අලුයම පහට පමණ ‍දොර ජනෙල් විවර කරන්නේය. ඒ ඔහුගේ දිනපතා කාර්යයයි.

පොලිසිය ඔහුගෙන් ද ප්‍රකාශ ලබාගත්තේය. ඇමතිවරයාගේ බිරියගෙන් ද ඇගේ මවගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත්තේය. සිද්ධිය වන මොහොතේ නිවසට පැමිණ සිටි ඇමතිවරයාගේ ආරක්ෂක භටයකුගෙන් ද රියැදුරකුගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගත් නිලධාරීන් සිද්ධිය වූ බව කියන දැරියගේ කාමරය ද දැඩි පරීක්ෂාවට ලක්කරමින් එහි ඡායාරූප ලබා ගත්තේය.

දැරිය නින්දට යන්නේ කොටස් දෙකකට සකසා ඇති ඇඳකය. ඒ ඇඳ මහල් දෙකකින් සමන්විතය. හිෂාලිනී නිදා ගන්නේ එම ඇඳේ පහළ තට්ටුවේය. අමාත්‍යවරයාගේ නිවසේ ඇයට කරන්නට තරම් ලොකු රාජකාරියක් තිබුණේ නැත. ඇමතිවරයාගේ නැන්දණියට කෑම පිසීමට ඇය උදවු කළාය.

මේ අතර ඇගේ කාමරය ද පොලිස් නිලධාරීන්ගේ හා සොකෝ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වූහ. ඇගේ නිදන ඇඳේ සුළු කොටසක් ගින්නෙන් පිලිස්සී ඇති බව පෙනෙන්නට තිබූ අතර ඇගේ ඇඳ මත තිබී ලයිටරයක් ද සොකෝ නිලධාරීන් සොයා ගත්තේය. ඒ අසල ම බෝතලයක් තිබී නිලධාරීන්ට හමුවූ අතර එහි භූමිතෙල් ප්‍රමාණයක් තිබිණි. පොලිසිය සැක කළේ එම බෝතලේ තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන ලයිටරයක් උපයෝගි කරගෙන ඇය ගිනි තියා ගන්නට ඇති බවය. සොකෝ නිලධාරීහු ලයිටරය හා භූමිතෙල් බෝතලය නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත්හ. ඉන් අනතුරුව විමර්ශන නිලධාරීන් සමග ස්ථානාධිපතිවරයා ජාතික මහ රෝහලට ගියේය. ඒ පිළිස්සීමට ලක්වූ දැරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. ඒත් ඇය ප්‍රකාශයක් ලබාදෙන්ට හැකි තත්ත්වයක නොවීය. ඇය ඒ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. කෙසේ වෙතත් ඇය ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ වචන දෙක තුනක් කතා කිරීමේ හැකියාව ඇයට තිබුණත් ඇය පරීක්ෂා කළ රෝහල් වෛද්‍යවරයා ඇගෙන් සිදුවූයේ කුමක්දැයි විමසීමේදී ඇය කියා තිබුණෙත් ඇය විසින් ම ගිනි තබාගත් බවය. වෛද්‍යවරයා ඒ බව ඇගේ ප්‍රතිකාර ලේඛනයේ සටහන් කර තිබිණි. ඒ හැරෙන්නට ඇය කිසිදු වචනයක් ප්‍රකාශ නොකළාය.

දියණිය පිලිස්සී රෝහල් ගත කර ඇති බව පොලිසිය ඩයගම පදිංචි ඇගේ මව වූ ‘රාජමානික්කම් රංජනී’ට ද දැනුම් දුන්නේය. මේ බව ඇසූ රංජනී මහ හඬින් හඬා වැලපුණාය. ඇය පසුදින ම සිය පුතෙකු සමග කොළඹ ජාතික රෝහලට පැමිණ දියණිය දැක බලාගත්ත ද දියණිය සමග වචනයකුදු හෝ කතා කිරීමට හැකියාවක් ඇයට ලැබුණේ නැත.

ඩයගම බටහිර පදිංචි ‘රාජමානික්කම් රංජනී’ට හා ‘ජෙයරාජ් ජූඩ් කුමාර්’ට සිටි දරුවන් හය (6) දෙනාගෙන් ලොකු පුතා තිරු ප්‍රසාද්ට වයස අවුරුදු 21 කි. දෙවැන්නා (2) වූ විදුනිෂාට වයස දහනවයකි (19). තුන්වැන්නා (3) ඉෂාලිනිය. ඇයට වයස අවුරුදු 16 කි. ජනිස්සරින් හතරවැනියාය (4). ඔහුට වයස අවුරුදු 13 කි. පස්වැන්නා (5) වූ ජූලින් සෙක්රීන්ට වයස අවුරුදු 7 කි. හයවැනියාට (6) වයස අවුරුදු 2 කි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දෙමළ විද්‍යාලයකින් හත (7) වසර දක්වා අධ්‍යාපනය ලැබූ ඉෂාලිනි එතැනින් එහාට පාසල් ගියේ නැත. දරුවන් හය (6) දෙනකු යුත් පවුලේ බර කර ගහන්නට රංජනීගේ සැමියාත් ඇගේ ලොකු පුතාත් දැඩි වෙහෙසක් ගත්ත ද ඔවුන් උපයන මුදල් පවුල නඩත්තු කරන්නට ප්‍රමාණවත් නොවීය. ඒ සමග ම පැමිණි කොරෝනා වසංගතයත් සමග සැමියාගේත් ලොකු පුතාගේත් රැකියා පවා අහිමි විණි.

“ජීවත් වෙන්න අමාරුම නිසා මම ගමේ කෙනෙකුගෙන් රුපියල් තිස්දාහක් (30,000) ණයට ගත්තා. ඒත් ඒ මුදල කියපු විධියට දෙන්න මට බැරිවුණා. අන්තිමට පොලියත් එක්ක ඒ මුදල රුපියල් අසූදාහක් (80,000) වුණා. ඒ සල්ලි දෙන්න බැරිවුණු නිසා ඒ මනුස්සයා හැමදා ම අපේ ගෙදර ඉස්සරහට ඇවිත් කෑ ගහනවා.

ශංකර් අයියා මගෙන් ඇහැව්වා ඇයි ඒ මනුස්සයා බනින්නේ කියලා. මම ඇත්ත ම කිව්වා. පස්සේ එයා මට ණයට රුපියල් තිස්දාහක් (30,000) දුන්නා. පස්සේ මම ශංකර් අයියට කිව්වා කාගෙන් හරි රස්සාවක් මට හොයලා දෙන්න කියලා. එතකොට එයා කිව්වා රිෂාඩ් බදියුදීන් මහත්තයාගේ ගෙදර රස්සාවක් හොයලා දෙන්නම්. ඒත් ඔයාට එහෙ වැඩට යන්න බැහැ. ඔයාට පොඩි දරුවෝ ඉන්න නිසා. එතැන හොඳයි. ඒ නිසා ලොකු දුව වැඩට යවන්න කියලා. ඒත් ලොකු දුවට කලින් පොඩි දුව ඉෂාලිනි ඒකට කැමැති වුණා. ඒත් ඒකට අපි කැමැති වුණේ නැහැ.”

“අම්මේ මම එහෙ වැඩට යන්නම්…”

“පස්සේ ශංකර් අයියා කිව්වා කොරෝනා නිසා කවුරුත් එක්කගෙන යන්න බැහැ දුව එයා එක්කගෙන යන්නම්. ගිහින් පඩිය එයා ගෙනත් දෙන්නම් කියලා. එහෙම කියලා තමයි දුව එක්කගෙන ගියේ.”

එසේ රැගෙන ගිය ද රංජනීට සිය දියණිය සමග නිතර නිතර කතා බහ කරන්නට, ඇගේ සුවදුක් විමසන්නට හැකියාවක් නොවීය.

“ඒ ගෙදර වැඩ කරන තව ළමයෙක් ඉන්නවා. එයාගේ ෆෝන් එකට තමයි මම කතා කරන්නේ. ඒකත් සෙනසුරාදාට විතරයි. විනාඩි පහක් විතරයි කතා කරන්න පුළුවන් වුණේ.

දවසක් ශංකර් අයියා මට කතා කරලා කිව්වා. මැඩම්ට කෝල් එකක් දෙන්න කියලා. පස්සේ මම අර මල්ලිගේ ෆෝන් එකට කතා කරලා දුවට කතා කළා. අම්මේ මාව එක්කගෙන යන්න. මට මෙහේ වැඩ කරන්න බැහැ. වැඩ කරන අයියා කොස්සෙන් ගහනවා කියලා එයා කිව්වා.”

ඇය දන්නා කියන කරුණු සියල්ල ද එලෙස පැවසුවාය. රුපියල් විසිපන්දහසක (25,000) වැටුපකට රැකියාවකට ගියත් දියණිය කොළඹ රැගෙන ගිය ශංකර් තමාට දුන්නේ රුපියල් විසිදහසක් බවත් ඇය පැවසුවාය. එම මුදල් ශංකර්ගේ ගිණුමට බැරවීමෙන් අනතුරුව ඔහු තමාට මුදල් දුන්න ද තමාට දියණියගෙන් ඒ ගැන විමසීමට අවස්ථාවක් උදානොවුණු බව ද කීවාය.

ඇගේ ප්‍රකාශය ද සටහන් කරගත් පොලිසිය ඊළඟට කැඳවූයේ ‘පොන්නයියා පණ්ඩාරන්’ නොහොත් ‘ශංකර්’ය. ඔහු දැරිය මෙහෙකාර සේවයට ගෙනගිය තැරැව්කරුය. පදිංචිය ඩයගම ප්‍රදේශයේය. ශංකර් මීට කලින් ද බදියුදීන් හිටපු ඇමතිවරයාගේ නිවසට මෙහෙකාරියන් රැගෙන ගොස් තිබිණි. හිෂාලිනී යන්නට කලියෙන් එහි රැඳී සිටියේ ඔහු විසින් ගෙනෙන ලද තවත් එකියකි.

හිෂාලිනීව බදියුදීන් හිටපු ඇමතිවරයාගේ නිවසට ගෙන යන්නේ ඉකුත් වසරේ නොවැම්බර් මසය. ශංකර් ඇයව එහි රැගෙන යන්නේ ත්‍රිරෝද රථයකිනි. හිෂාලිනීව ඔහු භාරදෙන්නේ හිටපු ඇමතිවරයාගේ මාමණ්ඩියටය. හිෂාලිනීව භාරගත් මාමණ්ඩිය ශංකර් අත රුපියල් දසදහසක් (10,000) තැබීය. ඉන් රුපියල් පන්දාහක් (5000) ශංකර්ටය. අනෙක් පන්දහස (5000) ත්‍රිරෝද රියැදුරාටය.

ඉෂාලිනිගේ ගිනි තබා ගැනීම පිළිබඳ මෙසේ විමර්ශන සිදුවෙද්දී ඉකුත් 15 වන දා රෝහල් පොලිසියෙන් බොරැල්ල පොලිසියට ඇමතුමක් ලැබිණි. එම ඇමතුමෙන් කියැවුණේ තුන් වන දා (03) බරපතළ ලෙස පිලිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ හිෂාලිනී දැරිය ජීවිතක්ෂයට පත්වූ බවය. වහා සිද්ධිය උසස් නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව ඉෂාලිනිගේ මරණය ගැන අධිකරණය ද දැනුවත් කිරීමට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

ඇය මරණයට පත්වූ 15 වන දා ම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා කටයුතු කළේය.

එම වෛද්‍ය වාර්තාවට අනුව මරණයට පත්වූ දැරිය පහරදීම් හෝ අඩන්තේට්ටම්වලට ලක්වී නැති බවත් එහි සඳහන් වී තිබිණි. එහෙත් ඇගේ සිරුරට ගිනි ඇවිළීමෙන් ඇඟ මතුපිට සම 72% කට වැඩි ප්‍රමාණයක් පිලිස්සී ඇති බවත් එහි සඳහන් විය. කෙසේ වෙතත් දැරියගේ මරණය සම්බන්ධයෙන් රට පුරා පැවැති කතිකා තවත් උත්සන්න වූයේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් මරණයට පත්වූ දැරිය ‘කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව ඇති බව’ සඳහන් කිරීමත් නිසාය. එහෙත් ඇගේ මරණය සිදුව ඇත්තේ ගින්නෙන් ඇති වූ බාහිර පිලිස්සීම් තුවාලවලට විෂබීජ ආසාදනයක් හේතුවෙන් හටගත් කම්පනයෙන් බව ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කර තිබිණි.

දැරිය ලිංගික අතවරයට පත්වී ඇති බව මාධ්‍යවල පළවීමත් සමග දැරියට අත්වූ ඉරණම ගැන විවිධ සංවිධාන හා දේශපාලනඥයන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියහ.

දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට අමතරව තවත් විමර්ශන කණ්ඩායම් දෙකක් පත්කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කළේය. ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ද මීට එක්විණි. මෙම කණ්ඩායම් විමර්ශන ඇරැඹූ අතර බොරැල්ල පොලිසිය දැරියගේ මරණය සම්බන්ධයෙන් යළි රිෂාඩ්ගේ බිරිය, නැන්දණිය, මාමණ්ඩිය සේවකයා, රියැදුරා හා ආරක්ෂක නිලධාරියකුගෙන් මෙන් ම දැරියගේ මව හා පියාගෙන්ද යළි ප්‍රශ්න කරන්නට විය.

පොලිස් කණ්ඩායම මේ සම්බන්ධයෙන් රිෂාඩ් මන්ත්‍රිවරයාගෙන් ද ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගැනීමට සූදානම් වුව ද ඒ වන විට ඔහු සිටියේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ වීම නිසා එම ප්‍රකාශ ලබාගැනීම ඇන හිටියේය. දැරියගේ මරණයත් සමග ම බදියුදීන් මන්ත්‍රීවරයා දැඩිලෙස අසනීප විය. ඔහු වහා රෝහල් ගත කෙරිණි. මේ නිසා ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කිසිදු පොලිස් කණ්ඩායමකට මෙතෙක් නොහැකි වී ඇත.

මේ අතර, නිවසේ සිටින තරුණ සේවකයා හා ඇය අතර බහින්බස්වීම් කිහිපයක් ඇති වී තිබෙන බව විමර්ශනවලදී හෙළි විය. එම සේවකයා විසින් ඇයට කළ පහරදීමක තොරතුරුද විමර්ශන කණ්ඩායමට ලැබී තිබිණි. හිෂාලිනීගේ මවද පවසා තිබුණේ සිය දියණියට ගෙදර සේවකයා කොස්සකින් පහරදුන් බවට ඇය තමාට කී බවය. ඒ පිළිබඳ රංජනී එම සේවකයාගෙන් විමසද්දී ඔහු රංජනීට පවසා ඇත්තේ හිෂාලිනී බදියුදීන්ගේ බිරිය සමග එකට එක කතා කරන බවත්ය.

“මෙයාට මැඩම් වැඩක් කිව්වම මෙයා කටගහනවා. මෙයා වැඩකාරියක්නේ. මැඩම් එක්ක කටගහගෙන යන එක හරි නැහැනේ.”

මෙවන් ප්‍රකාශ පිළිබඳ සැකයක් ඇති කළ බොරැල්ල පොලිසිය බදියුදීන් නිවෙසේ වැඩ කළ 19 හැවිරිදි මෙම සේවකයාගෙන් යළි ප්‍රශ්න කරන්නට විය. ඔහුගේ ජංගම දුරකතන පොලිසිය සිය භාරයට ගෙන එය රහස් පොලිසිය වෙත භාර දුන්නේය. ඒ ඔහුගේ ජංගම දුරකතනය සඳහා විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන ඔහු එම දුරකතනයේ දත්ත විනාශ කර ඇත්ද යන්න දැනගැනීමටය.

මේ අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් නැවත ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය බදියුදීන්ගේ නිවසට ගෙනැවිත් ඇරල වූ ශංකර්ද යළි පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි. මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළ පොලිසිය විමර්ශන සඳහා මෙම පුදගලයාගේ බැංකු ගිණුම් වාර්තා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එමෙන් ම රිෂාඩ් බදියුදීන්ගේ බිරිය ඇතුළු සිවු (4) දෙනෙකුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට ද පොලිසිය පියවර ගත්තේය. ඊට අවසර ලබාදුන් අධිකරණය අදාළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියෝග කළේය.

හිෂාලිනී දැරියගේ පිලිස්සී මියයාම හා ඇය වසර කිහිපයක් තිස්සේ ලිංගික අතවරයට ලක්වීම අනුව ඇය එවැනි තත්ත්වයට පත්ව ඇත්තේ බාල වයස් සීමාවේදී බව විශ්වාස කෙරේ. ඒ අනුව බාල දැරියක් වූ හිෂාලිනී බදියුදීන්ගේ නිවසට ගෙනැවිත් ඇත්තේ ඇයට අවුරුදු 15 යි මාස 11 ක කාලසීමාවේදී බව කියයි. එලෙස පැමිණීමෙන් පසුවද ඇය ලිංගික අතවරයට හෝ කෲර තත්ත්වයට ලක්වී ඇත්දැයි සෙවීම ද මෙම විමර්ශනවල එක් අරමුණක් විය.

මේ අතර, මෙතෙක් කරන ලද විමර්ශනවල ප්‍රගතිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් පසුගියදා නීතිපතිවරයා හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි විමර්ශනවලට උපදෙස් ලබාදීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නීතිඥ කණ්ඩායමක්ද පත්කරන්නට නීතිපතිවරයා කටයුතු කර ඇත.

කෙසේ වෙතත් දැරියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම් සිකුරාදා වනවිට පුද්ගලයන් 20 දෙනකුගෙන් පමණ ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන තිබිණි. බදියුදීන්ගේ නිවෙසේ කලින් සේවය කළ මෙහෙකාරියන් දෙදෙනකු (2) ගෙන් ද පොලිස් කණ්ඩායම් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන තිබිණි.

මේ අතර, මෙම සේවිකාවන් දෙදෙනාම (2) ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියන්ය. මෙම සේවිකාවන් දෙදෙනා (2) රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළේ මරණයට පත් හිෂාලිනීට කලින්ය.

එක් සේවිකාවක් විසි දෙහැවිරිදි (22) ය. අනෙක් සේවිකාව 32 හැවිරිදිය.

සේවිකාවන් දෙදෙනා (2) ම බදියුදීන්ගේ නිවෙසට ගෙනවිත් ඇත්තේ ඉෂාලිනි එම නිවෙසට රැගෙන ආ ඩයගම පදිංචි තැරැව්කරු ‘පොන්නයියා පණ්ඩාරන්’ හෙවත් ශංකර් විසිනි.

විසිදෙහැවිරිදි (22) කාන්තාව ඉකුත් 2015 වසරේ සිට 2019 වසර දක්වා අමාත්‍යවරයාගේ නිවෙසේ මෙහෙකාරියක් ලෙස සේවය කර ඇත.

පොලිස් නිලධාරීන් ඇගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඇය නිලධාරීන්ට කීවේ අමාත්‍යවරයාගේ නිවෙසේ සේවිකාවක් ලෙස සේවය කරද්දී තමාව එක්තරා පුද්ගලයෙකු විසින් දෙවරක් (2) දූෂණය කළ බවය.

පසුව ඇගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඇය පොලිස් නිලධාරිනියකට කීවේ එම පුද්ගලයා රිෂාඩ් බදියුදීන්ගේ බිරියගේ සොහොයුරෙකු බවය.

ඇය වැඩිදුරටත් පැවැසුවේ, ඔහු විසින් තමාව රිෂාඩ්ගේ කොළඹ මැකාති පාරේ නිල නිවෙසේදි මෙසේ දූෂණය කළ බවය. පසුව පොලිස් කණ්ඩායමක් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයෙකු ලෙස සේවය කරන කාලයේදී ඔහු වෙත රජයෙන් ලබාදුන් කොළඹ මැකාති පාරේ නිල නිවෙසද පරීක්ෂාවට ලක්කර තිබිණි.

පසුව මේ සම්බන්ධයෙන් විසිදෙහැවිරිදි (22) සේවිකාවගේ ප්‍රකාශය පොලිසිය විසින් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිලධාරීන් රිෂාඩ් බදියුදීන්ගේ බිරියගේ සොහොයුරකු වන ෂෙහාබ්දීන් ඉස්මදීන් නමැත්තාද අත්අඩංගුවට ගන්නා ලද අතර හතළිස්හතර (44) හැවිරිදි ඔහු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රිෂාඩ් බදියුදීන්ගේ බිරියත් ඇගේ පියාත් බොරැල්ල පොලිසියට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූ අතර ඉන් අනතුරුව පොලිසිය ඔවුන්ට එරෙහිව පැනනැගී ඇති චෝදනා එල්ල කරන්නට විය.

ඉන් අනතුරුව පොලිස් කණ්ඩායම් විසින් සොයාගත් පර්යේෂණ සාක්කි, විද්‍යාත්මක සාක්කි, තාක්ෂණික සාක්කි හා බැංකු වාර්තාද සමගින් කළ පූර්ණ විමර්ශනයේදී මියගිය දැරිය කෲරත්වයට භාජන කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම නිසා ‘තැනැත්තන් වෙළෙඳාම’ නමැති වරද මොවුන් විසින් සිදුකර ඇති බව විමර්ශනයේදී හෙළි කරගෙන තිබිණි.

මේ අතර ඩයගම බලාගිය කොට්ඨාස අපරාධ නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැරිය කොළඹට ගෙනා තැරැව්කරු ද අත්අඩංගුවට ගෙන කොළඹ රැගෙන විත් තිබිණි.

පසුව ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත බදියුදීන්ගේ හතළිස්හය (46) හැවිරිදි බිරිය ෂෙහාබ්දීන් අයේෂා නමැත්තියත්, බිරියගේ පියා වන හැත්තෑ හැවිරිදි (70) මොහොමඩ් ෂෙහාබ්දීන් ද මෙම දැරිය කොළඹට රැගෙන විත් මෙහෙකාර සේවයේ යෙද වූ තැරැව්කරු වන පොන්නයියා පණ්ඩාරම් නොහොත් ශංකර් නමැති හැට (60) හැවිරිදි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

බාලවයස්කාර දැරියක කැමැත්ත ඇතිව හෝ නැතිව කෙරෙන ලිංගික ක්‍රියා ස්ත්‍රී දූෂණයක් ගණයට වැටේ. එමෙන් ම මෙවන් දැරියන් මෙහෙකාර සේවයේ යොදවාගැනීම, වෙළෙඳාම ද බරපතළ වරදවල් වේ. බොහොමයක් මෙවන් දරුවන් මෙවැනි රැකියාවලට, ලිංගික අතවරයන්ට, කෲරත්වයට පත්වන්නේ සිය කැමැත්තෙන් නොවේ. අසරණකම දරිද්‍රතාව, නූගත්කම, ආර්ථික අහේනිය මත ධනවතුන්ගේ – බලවතුන්ගේ සුවිසල් මන්දිරවල කිසිදු හව්හරණයක්, රැකවරණයක් නැතිව හඬා වැලපෙමින් සේවය කරන ඉෂාලිනි මෙන් තවත් බාලවයස්කාරියන් බොහෝ ඇත.

වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන මෙවන් දරුවන් මෙම සුවිසල් මන්දිරවලදී නොයෙකුත් ලිංගික අතවරවලට ගොදුරු වුවද ඔවුන්ට සිදුවූ අසාධාරණය හඬනඟා කියන්නට ඔවුන්ට කිසිදිනක හැකියාවක් නැත. ඒ නිසා හිෂාලිනී වන් සෙසු දරුවන්ට ද ඉදිරියේදී මෙවන් සිදුවීම්වලට ලක්නොවීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමය. එමෙන් ම දැරිය වෙනුවෙන් හඬනඟන පිරිස් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ දහසය (16) හැවිරිදි හිෂාලිනී දැරිය සියදිවි නසා ගත්තේද, නැතහොත් ඇය ගිනි තබා මරා දැමුවේ ද, ඊට හේතුව වූ කරුණු කාරණා කවරේ ද, යන්නත් දැරිය ලිංගික අපයෝජනයට හා කෲරත්වයට පත්කළ කවර තරාතිරමක පුද්ගලයකු වුව ද ඔවුන් නීතිය ඉරියට ගෙනැවිත් දැඩි දඬුවම් දෙන ලෙසය.

පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දකුණ කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සිසිර පෙත්තන්ත්‍රි යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය මත බොරැල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා ප්‍රමුඛ කණ්ඩායමක් හා කොළඹ දකුණ ළමා හා කාන්තා කොට්ඨාස කාර්යාංශය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ද මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

කීර්ති මෙන්ඩිස්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *