සංශෝධන එපා : කොතලාවල පනත ඉවත් කරගන්න – ඉංජිනේරුවෝ 20,000 ක් ජනපතිට ලියති !

සංශෝධන එපා : කොතලාවල පනත ඉවත් කරගන්න – ඉංජිනේරුවෝ 20,000 ක් ජනපතිට ලියති !

*********************************************

සංශෝධන එපා : කොතලාවල පනත ඉවත් කරගන්න – ඉංජිනේරුවෝ 20,000 ක් ජනපතිට ලියති !

(23.07.2021 – 23:09 +0530 – lankaleadnews.com)

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත යුතු බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

20,000 කට අධික ඉංජිනේරුවන්ගේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන්නේ මේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයයි.

කොතලාවල පනත මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) හා සමාන්තර තවත් ආයතනයක් ලෙස KNDU ආයතනය ස්ථාපනය කිරීමේ අගතියත්, විශේෂ කාර්යභාරයක් වෙනුවෙන් එකල පිහිට වූ කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සන්නද්ධ සේවා සාමාජිකයන්ට අමතරව රාජ්‍ය සේවකයන් හා සියලුදෙනාට විවෘත කිරීම අතිශයින්ම විනාශකාරී බවත් ප්‍රකාශ කරන එම නිවේදනය, රටට හා රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙම පනත මගින් බලවත් අගතියක් සිදුවන බැවින්, මේ පනත් කෙටුම්පතේ සවිස්තරාත්මක අඩුපාඩු පිළිබඳ සාකච්ඡාවකට නොගොස්, මෙය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත යුතු බව ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයාට අමතරව මෙහි පිටපත් අගමැති, අධ්‍යාපන ඇමති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා එම ආයතන ලේකම්වරුන්ට ද යවා තිබේ.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත පළ වේ :

අතිගරු ගෝඨාභය රාජපක්ෂ,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රීමත් ජෝන් කොතලවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KNDU) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) ස්ථාවරය

අතිගරු අගමැති විසින් 2021 මාර්තු 26 දින KNDU පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

IESL යනු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන ඉංජිනේරු උපාධි හඳුනාගෙන ප්‍රතීතනය කරන ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ ඉහළම වෘත්තීය ආයතනයයි. ඉහත පනත් කෙටුම්පතේ අන්තර්ගතය විමසා බැලීමෙන් අනතුරුව, ජාතික උසස් අධ්‍යාපනයේ අනාගතය සහ ඉංජිනේරු අධ්‍යාපනය කෙරෙහි එහි ඇඟවුම් පිළිබඳව IESL සැලකිලිමත් වේ.

උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමේ ප්‍රමිතීන්, ගුණාත්මකභාවය, අඛණ්ඩතාව සහ සමානාත්මතාවය නියාමනය කළ යුතුය යන තර්කයට IESL දැඩි ලෙස කැපවී සිටීන අතර, ශ්‍රී ලංකාව තුළ මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) ස්වරූපයෙන් ඇති තනි, දේශපාලනික නොවූ නිර්පාක්ෂික ව්‍යවස්ථාපිත මණ්ඩලය විසින් නියාමනය කළ යුතුය යන මතය තරයේ දරයි. යෝජිත KNDU පනත් කෙටුම්පත UGC හි පරමාධිපත්‍යය උදුරා ගන්නා අතර, රටේ අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය අමාත්‍යංශයෙන් පරිබාහිර ආයතනයක් වෙත ඊට සමාන හෝ වඩා බලතල පැවරීමක් ඇතිකරනු පෙන්නුම් කරයි.

උසස් අධ්‍යාපන වැඩසටහන්වල විෂයමාලා, ව්‍යුහයන්, තත්ත්ව සහතික කිරීම් සහ පිළිගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳව IESL දැඩි ලෙස සැලකිලිමත් වන අතර, KNDU පනත් කෙටුම්පත මගින්, පිළිගත් දේශීය හා ජාත්‍යන්තර සම්මතයන්ට පටහැනිව, ලාභ අරමුණු කරගත් ආයතනයක් වන KNDU වෙත භාර දී ඇති බව පෙනී යයි.

ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක දක්ෂ වෘත්තිකයන් සහ බුද්ධිමතුන් හරහා විශ්වසනීයත්වය අත්කර ගෙන ඇති සාධාරණ නිදහස් අධ්‍යාපන ක්‍රමය පෝෂණය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව IESL දැඩි ලෙස විශ්වාස කරයි. එබැවින්, මූල්‍යමය ප්‍රවේශය සඳහා ඇති සීමිත අවස්ථාවන්ට විසඳුමක් මුවාවෙන්, සැක සහිත ප්‍රමිතීන් සහිතව, මහජන අරමුදල් හරහා උසස් අධ්‍යාපනය සඳහා ගාස්තු අය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම අනුමත කිරීමට IESL හට නොහැකිය.

ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන් පුහුණු කිරීම සඳහා KNDU ආයතනය සපයන උසස් අධ්‍යාපනයේ පැවැත්ම පිළිබඳව IESL කිසි විටෙකත් විරුද්ධත්වයක් හෝ විරෝධයක් නොදැක්වුවද, යෝජිත පනත් කෙටුම්පතේ ස්ථාන කිහිපයකම පුනරාවර්තනය වී ඇති වාක්‍ය ඛණ්ඩයක් වන ‘ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය සේවයේ සේවය කිරීමට අදහස් කරන පුද්ගලයන් සහ අනෙකුත් පුද්ගලයන්’ මගින් එහි විෂය පථය නියත වශයෙන්ම ඕනෑම හා සියලු සිවිල් වැසියන්ගෙන් සමන්විත වන බව පැහැදිලිවම කියාපානු ලැබේ. ජාතික නීති සම්පාදනයක් තුළ එවැනි ලිහිල් වචන දැකීමෙන් තවත් බොහෝ වෘත්තීය සංවිධාන කම්පනයට පත්වන බව IESL අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත්, IESL වෘත්තීය ආයතනයක් වන අතර, දැනට පවත්නා 1981 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට සුදුසු සංශෝධන ඉදිරිපත් කිරීමට විරුද්ධත්වයක් නොමැත.

ඉහත හෙළිදරව් කිරීම් මත පදනම්ව, යෝජිත පනත් කෙටුම්පතේ සවිස්තරාත්මක අඩුපාඩු පිළිබඳ සාකච්ඡාවට නොගොස්, යෝජිත පනත් කෙටුම්පත මුළුමනින්ම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීමට IESL ඉතා ගෞරවාන්විතව අපේක්ෂා කරයි.

මීට අවංක,
ඉංජිනේරු කේ.පී.අයි.යූ.ධර්මපාල,
සභාපති,
ඉංජිනේරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකාව.

දැ.පි.:
ගරු. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා
ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස්, අධ්‍යාපන අමාත්‍යතුමා
ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති ලේකම්තුමා
ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම්තුමා
ඉංජිනේරු (මහාචාර්ය) කපිල පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා
මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා
ආචාර්ය එම්.බී.ප්‍රේමකුමාර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්තුමා

******************************************

දුම්රිය මගීන් වෙනුවන් ලංකාවෙ කොල්ලො හදපු සුපිරිම ඇප්එක (RDMNS) මෙන්න

(23.07.2021 – mawbima.lk)

ශ්‍රී ලංකා දුම්රිය සේවය ස්වකීය ගමන් සඳහා යොදා ගන්නා ලක්‍ෂ සංඛ්‍යාත මගී ජනතාවට ඉතා සතුටුදායක ආරංචියක් දැනුම්දීමට තිබේ. දුම්රිය මගීන්ගේ නිල සමූහය RDMNS.lk විසින් ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමන පද්ධතියට අයත් සෑම සිදුවීමක්ම සහ ඔබට දෛනිකව අවශ්‍ය වන සෑම තොරතුරක්ම එසැණින් ඔබ අතට පත්කරන අලුත්ම App එකක් හඳුන්වා දී තිබේ.

මෙරට දුම්රිය මගීන්ගේ කනස්සල්ලට හේතුවන දුම්රිය ගැටලුවලින් වැඩි ප්‍රමාණයක් එමඟින් නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ Smart වර්ගයේ ජංගම දුරකථනයක් ඔබ සතුව තිබීම පමණය. ‘අද දින නියමිත දුම්රිය ධාවනය වෙනවාද? එය මේ වනවිට පිටත් වී තිබේද? පිටත් වී තිබේ නම් මේ මොහොතේ ගමන් කරමින් ඇත්තේ මොන ප්‍රදේශයේද? මා සිටින නැවැතුමට දුම්රිය ළඟා වෙන නිශ්චිත වේලාව කුමක්ද?’ මෙවැනි ප්‍රශ්නවලට මෙයින් ඉදිරියට ඔබ පිළිතුරු සොයා ළතැවිල්ලට පත්විය යුතු නැත. දුම්රිය මගීන්ගේ නිල සාමූහිකයේ App එකට සම්බන්ධවීමෙන් ඔබේ සියලුම ප්‍රශ්නවලට එකවර විසඳුම් ලැබේ.

මුතුකුමාරි දුම්රියෙන් දිනපතා කොළඹට රැකියාව සඳහා පැමිණෙන තරුණයන් කිහිප දෙනකුට පහළ වූ අදහසක් යථාර්ථය බවට පරිවර්තනය වීමෙන් මෙම අපූරු සබඳතා මෙවලම නිර්මාණය වී තිබේ. ඉමල් මීමැඩුම, විරාජ් හර්ෂණ, අමන්ජ සහ ෂෙහාන් නම්වලින් අපි ඔවුන් හඳුනා ගනිමු. ඉමල් සහ විරාජ් මෙසේ අදහස් දැක්වූහ.

“අපිට මෙවැනි ඇප් එකක් හදන්න අදහස ඇති වුණේ 2015 පමණ. සමාජ ජාලා ඔස්සේ මුහුණුපොතෙන් සම්බන්ධ වූ දුම්රිය මගී මිතුරන්ට මේ අදහස යොමු කිරීම තමයි ප්‍රථමයෙන් සිදු කළේ. අපේ අදහසට ලැබුණු ප්‍රතිචාර අපි මුලින් අපේක්‍ෂා කළාට වඩා බොහෝ විශාල වුණා. අලුත් අදහස් යෝජනා, හැම පැත්තෙන්ම ගලාගෙන ආවා. ඉතාමත් ක්‍රියාශීලී තාක්‍ෂණ දැනුම ඇති තරුණ කණ්ඩායම් අපේ අරමුණ ජය ගන්න උදවු කරන්න ඉදිරියට ආවා.

විශේෂයෙන් සඳහන් කරන්න ඕන තොරතුරු තාක්‍ෂණයෙන් විශිෂ්ට දැනුමක් ඇති චාමික සහ රෝචන ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා මේ ඇප් එක සහ ඊට අදාළ සියලු උපාංග පරිපථ නිර්මාණය කර දෙන්න. මෙවැනි කටයුත්තක් ගැන පූර්ව අත්දැකීමක් ලබාගන්න අවස්ථාවක් අපට තිබුණේ නැහැ. මොකද ලෝකයේ කොහේවත් මෙවැනි දෙයක් නිර්මාණය වී තිබුණේ නැහැ.

අපි දන්නව යුරෝපා රටවල වගේම චීනය, ජපානය වැනි රටවල මෙට්‍රෝ දුම්රිය, ලයිට් රේල් වැනි දුම්රිය සේවාවන් හි නවීන තාක්‍ෂණය උපයෝගි කරගත් ඉතා දියුණු මගී සන්නිවේදන ක්‍රම භාවිත වෙනවා. ඒ සියල්ල අදාළ ප්‍රවාහන සමාගම් විසින් හෝ රජයයන් විසින් තමයි සිදු කරන්නේ. නමුත් දුම්රිය මගීන් සංවිධානය වී ස්වේච්ඡාවෙන් මෙවැන්නක් සිදු කරන ප්‍රථම අවස්ථාව අපි දන්නා තරමින් අපේ RDMNS තමයි.

දැනට මෙම ජාලය හා සම්බන්ධ මගීන් සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා ඇති බව කියන්න සතුටුයි. එයින් 60,000 ක් RDMNS App එකට සෘජු සම්බන්ධ වූ අය. ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදු බඩ දුම්රිය මාර්ගය, කැලණි වැලි දුම්රිය මාර්ගය සහ පුත්තලම දුම්රිය මාර්ගය යන පද්ධති සඳහා අප සමඟ වෙන වෙනම මැසෙන්ජර් හරහා සම්බන්ධ වන ස්ථිර මගීන් 250 පමණ බැගින් 1200 ක් අප හඳුනාගෙන තිබෙනවා. ඔවුන් හරහා තමයි අපි මේ සේවාව ලබා දෙන්නේ. ඒ අය අතර දුම්රිය මගීන් වගේම දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ වැඩ කරන මහත්වරුන් සෑහෙන ප්‍රමාණයක් සිටිනවා. ඊට අමතරව ඇප් එකේ ප්‍රධාන ඇඩ්මින්ලා 45 ක් මේ කටයුතු මෙහෙයවනවා.

අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අපට සම්බන්ධ වැඩි පිරිස උදේ සවස කාර්යාල දුම්රියවල කොළඹට එන යන අය. මොනවා හරි පොඩි ප්‍රමාදයක් වුණත් එයාලා අප දැනුවත් කරනවා. ඇප් එකේ තියෙනවා ලයිව් අප්ඩේට් (Live Update) කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒ හරහා ප්‍රමාදයක් වෙනවා නම් අපි දැනුවත් වෙනවා වගේම වහාම මගියාත් දැනුවත් කරනවා.

උදාහරණයක් වශයෙන් කොළඹ කියන්නේ ලොකු මාර්ග තදබදයක් තියෙන නගරයක්. අපි දුම්රියට වෙලාව තියාගෙන කාර්යාලයේ සිට පාරට බැස්සොත් අපිට ට්‍රැෆික් නිසා දුම්රිය ස්ථානයට වෙලාවට යා ගන්න බැරි වෙනවා. එවැනි අවස්ථාවක අපට ඇප් එක හරහා බලාගන්න පුළුවන් ‘අපි යන දුම්රිය ප්ලැට්ෆෝම් එකට ගහලද, අද ප්‍රමාද වී පැමිණෙනවාද’ කියලා. මේක අපේ කාලය කළමනාකරණය කරගන්න ඉතා ප්‍රයෝජනවත්. අපි පණකඩාගෙන අනතුරුවලට මුහුණ දෙමින් කෝච්චියට දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හිතනවා මේක පිරිමි අයටත් වඩා කාන්තාවන්ට හරිම ප්‍රයෝජනවත් වේවි කියලා.

අපි දුම්රිය ස්ථානයේ සිටියදී යම් විශේෂ නිවේදන දුම්රිය කාර්යාලයෙන් නිකුත් කරනවා මගීන්ට ඇහෙනවා. ඒ සෑම නිවේදනයක්ම අපේ ඇප් එක ඔබේ දුරකථනයට ලබා දෙනවා. ගාල්ල, කොළඹ, බදුල්ල ආදී ඔබට අවශ්‍ය කේතය ස්පර්ශ කිරීමෙන් ඔබට විස්තර දැන ගන්න පුළුවන්.

අපි තමයි ලංකාවේ සයිබර් අවකාශය තුළ ක්‍රියාත්මක වන විශාලම ස්වේච්ඡා සංවිධානය. අපි RDMNS App එකට සාමාජිකයෙක් ලියාපදිංචි කරගත්තට පස්සේ ඒ සාමාජිකයාට පුළුවනි ඔහු ගමන් කරන දුම්රිය තෝරා ඇතුළත් කරන්න. එතැන් සිට ඔහුට පුළුවන් වෙනවා ඒ දුම්රිය ගමනාගමනය ගැන සජීවී සම්බන්ධතාවක් තියාගන්න. අම්බලන්ගොඩින් උදේ රුහුණු කුමාරි දුම්රියට නැගීමට බලාපොරොත්තුවන තැනැත්තාට නිවෙසේ සිටම බලා ගන්න පුළුවන් රුහුණ මාතරින් ආවද? ගාල්ල පසුකළාද? දැන් එන්නේ කොයි හරියේද? අම්බලන්ගොඩට හරියටම අල්ලන්නේ කීයටද? කියලා. රුහුණ ප්‍රමාද වෙනවා නම් එයා කාලසටහන අනුව ඇවිත් ස්ටේෂන් එකේ රස්තියාදු වෙන්න ඕන නැහැ.

ඊළඟට අපි කැමති RDMNS Live Reader System එක ගැන පැහැදිලි කරන්න. ඔබ ඇප් එකට පිවිසිලා ‘ලයිව් රේඩාර් සිස්ටම්’ එකට ගියාට පස්සේ එතනින් ඔබට බලාගන්න පුළුවනි අපේ සහායකවරු නිරන්තරයෙන් ලබා දෙන යාවත්කාලීන තොරතුරු. ඒ අනුව තමයි ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට ඔබේ දුම්රිය ගැන තොරතුරුවලින් ඔබව දැනුවත් වෙන්නේ. අපේ රටේ දුම්රිය මගීන් පැය ගණන් ස්ටේෂන්වල රස්තියාදු වීම මේ ඇප් එක නිසා මින් ඉදිරියට නැති වෙනවා.

ඇත්තටම මේ ෆේස්බුක් ගෲප් එක ආරම්භ කරන අවස්ථාවේ අපි හිතුවේ නැහැ මේ තරම් දුර ගමනක් අපට යන්න පුළුවන් වේවි කියා. මේ වැඩේ ටීම් වර්ක් එකක්. සාමූහික ක්‍රියාදාමයක්. අපි කවුරුවත් මේ වැඩෙන් අපට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ගැන හිතලා නැහැ. අපිට ආත්මාභිමානයක් තියෙනවා ශ්‍රී ලංකාවේ ලක්‍ෂ සංඛ්‍යාත දුම්රිය මගීන් වෙනුවෙන් මෙවැනි සේවාවක් කරන්න හැකිවීම ගැන. දැන් කෙනකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් අපි මේසා විශාල සේවාවක් සිදු කරද්දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් අපට උදවු ලැබෙනවාද කියලා. ඒක මෙහෙමයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් අපට දුම්රිය කාලසටහන්, ඒවායේ හදිසි වෙනස්වීම්, හදිසි අමතර දුම්රිය ධාවනය වගේ තොරතුරු අපට ලබා දෙනවා.

කාලසටහන් වෙනස් කිරීම වැනි කාරණාවලදී දුම්රිය මගීන්ගේ අදහස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූ විට අපි මගීන් දැනුවත් කර ඔවුන්ගේ මතය ලබාගෙන එය දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. මෙහිදී සඳහන් කරන්න සතුටුයි අපේ සාමූහිකයේ ඉල්ලීම්වලට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා උදවු කරනවා.

මේක ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කළයුතු කාර්යභාරයක්. මේ ගැන කතාකරද්දී ඔවුන් අපට පැහැදිලි කළේ සෑම දුම්රියකටම GPS තාක්‍ෂණය ලබාදී මෙවැනි ක්‍රමවේදයක් සකස් කිරීමට අවස්ථා ගණනාවකදී යෝජනා වුවත් ලංකාවේ දුම්රිය සේවය පාඩු පිට පවත්වාගෙන යන මහජන සේවාවක් නිසා එම අවස්ථාවන් සෑම විටම ගිලිහී ගිය බවයි.

දැනට ඇප් එක ක්‍රියාත්මක වෙන්නේ Data සම්බන්ධතාව උඩ. ඉදිරියේදී අපි අදහස් කරනවා Data නැතිව දුම්රිය කාලසටහන මගීන් අතට පත්කරන්න. අපි තාක්‍ෂණය පැත්තෙන් ඉතා වේගවත් ඉදිරි ගමනක ඉන්නේ. අපි විශ්වාස කරනවා මෙම ඇප් එක හරහා අප ලබාදෙන සේවාව ඉතා ඉක්මනින් වඩාත් පුළුල් කරන්න හැකිවේවි කියා.

මේ සමඟම සඳහන් කරන්න ඕන දුම්රිය මගී සාමූහිකය විසින් ස්වේච්ඡා සේවාවන් රාශියක් සිදුකර තිබෙනවා. ඒ අතර ගංවතුරෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා පොත් පත්, ලිපි ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් 2017 වසරේ ක්‍රියාත්මක කළා ‘Green Island’ නමින් දුම්රිය ස්ථාන අලංකරණය සහ පැළ සිටුවීමේ වැඩසටහනකුත් අපි කරගෙන යනවා. උතුරු කළුතර දුම්රිය ස්ථානයේ අපි දුම්රිය මගීන් සඳහා පුස්තකාලයක් ආරම්භ කර තිබෙනවා. මගී ආසන පිරිසුදු කර තීන්ත ආලේප කිරීමද අපේ සංවිධානය සිදුකර තිබෙනවා. සියලුම දුම්රිය ස්ථාන එකම දිනක පවිත්‍ර කරන යෝධ වැඩසටහනකට අපි අතගසා සිටිනවා. ඔබට දුම්රියේදී අයිතිකරුවකු නැති පාර්සලයක් හමුවුවහොත්, ඒ වගේම ඔබේ වටිනා දේ දුම්රිය තුළ අමතක වුවහොත් ඔබේ ඥාතියකු දුම්රිය පොළේ බැස ගැනීමට බැරිව අතරමං වුවහොත් වහාම අපේ ඇප් එක හරහා ඔබේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්නට අවස්ථාව තිබෙනවා.”

මෙම ඉතා වටිනා සේවාවට අතගැසූ විරාජ් හර්ෂණ සහ ඉමල්ක මිවැඩුමටත් ආරම්භයේදී මේ අදහස යථාර්ථයක් කරගැනීමට පිටු බලය සැපයූ අමන්ජ සහ ෂෙහාන්ටත් තාක්‍ෂණික සහාය නොමසුරුව ලබාදුන් චාමික සහ රෝචන දෙදෙනාටත් රේඩාර් වැඩසටහන සකස් කළ හේෂාන්ටත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව තම රැකියාව අතරතුර RDMNS සඳහා කැපවෙන සොයුරු සොයුරියන් සියලු දෙනාටත් ආදර ගෞරවය පිරිනමන බව RDMNS.lk පරිපාලකවරු සඳහන් කරති.

උදේනි සමන් කුමාර

[ http://rdmns.lk/ ]

******************************************

කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට නයෙක් ඇවිත්

(23.07.2021 – mawbima.lk)

කොළඹ හදිසි අනතුරු අංශයේ ‍දොරක් අසලින් ඊයේ (22දා) පස්වරුවේ හදිසියේ මතුවූ නයකු එම කාර්ය මණ්ඩලයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව ඊයේ (22) පස්වරුවේම දුර බැහැර ගන කැලෑවකට මුදාහැර තිබේ.

මෙම නයාව ඊයේ (22) පස්වරු 03:00 ට පමණ එම හදිසි අනතුරු අංශයේ ‍දොර අසලින් හදිසියේ මතුවන අයුරු එහි සේවය කළ ආරක්‍ෂක අංශ නිලධාරීන් දැක ඇති බවද වාර්තා වෙයි.

පසුව එහි ආරක්‍ෂක අංශ නිලධාරීන් හා එම අංශයේ කාර්ය මණ්ඩලයේ කීපදෙනකු එක්ව කිසිදු හිරිහැරයකින් තොරව නයා අල්ලාගෙන බෝතලයකට දමා ආරක්‍ෂා සහිතව තබා සතාව රැගෙන යන ලෙස අදාළ අංශවලට දැනුම්දී ඇතත් ඒ කිසිවකු ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද වාර්තා වෙයි.

අදාළ අංශවල කිසිවකුත් නයාව රැගෙන යෑමට නොපැමිණීම හේතුවෙන් රෝහලේ කාර්ය මණ්ඩලය බාහිර පුද්ගලයකු මඟින් නයාව දුර බැහැර කැලෑවකට මුදාහැරීමට පියවර ගෙන ඇත.

මෙම සතාගෙන් කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් නොවුණු බවත් නිරුපද්‍රිතව සතා අල්ලාගෙන ඊයේ (22) පස්වරුවේම දුරබැහැර කැලෑවකට මුදාහැරීමට පියවර ගත් බව මේ පිළිබඳව විමසීමේදී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය පැවැසුවාය ෴

******************************************

උත්සවයේදී දුන් පරිගණක 10 යෙන් 5 ක් අරන්යයි

(23.07.2021 – lankadeepa.lk)

අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් එක්ව වලල්ලාවිට, දොඩම්පාපිටිය කනිෂ්ට විද්‍යාලයේ දරුවන්ට ඉකුත් දා ලබාදුන් ලැප්ටොප් පරිගණක 10 කින් පහක් (5) නැවත රැගෙන ගොස් ඇති බවට එම දරුවන්ගේ දෙමාපියෝ චෝදනා කරති.

මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීමේ වැඩසටහන යටතේ මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර එම දරුවන්ට ලබාදී ඇත්තේ අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.

එහිදී දරුවන්ට ලැප්ටොප් පරිගණක 10 ලබාදීම, දරුවන් ඒවා පරිහරණය කරන ආකාරය වීඩියෝගත කිරීමෙන් සහ ඡායාරූප ගැනීමෙන් පසු යන්ත්‍ර පහක් (5) යළි රැගෙන ගිය බවත්, ඉතිරි කර ගිය යන්ත්‍ර ද ගුරුවරුන් සිය නිවෙස් වෙත රැගෙන ගිය බවත් දෙමාපියෝ සඳහන් කරති.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක යන මහත්වරුන් ද මෙම උත්සවයට සහභාගී වී සිටියහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලාල් දිසානායක මහතා පැවසුවේ මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ මෙම පාසලට හිමිවන්නේ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර පහක් (5) සහ එක් (1) ප්‍රක්‍ෂේපණ යන්ත්‍රයක් පමණක් බවය.

දොඩම්පාපිටිය පාසලේ ඉගෙනුම ලබන දරුවන් 51 දෙනා අතරින් 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තෝරාගත් දරුවන් කිහිප දෙනෙකුට එම යන්ත්‍ර සංකේතාත්මකව ලබාදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා යෙදවීමට ගුරුවරුන්ට භාරදුන් බව ද ඔහු සඳහන් කළේය.

පාසලට ලැබුණේ ලැප්ටොප් පරිගණක පහක් (5) පමණක් වුවත් ඒ මොහොතේ එතැන සිටි දරුවන් දස (10) දෙනකුට සංකේතාත්මකව පරිගණක ලබාදුන් බවත් එය වරදවා වටහාගත් දෙමාපියන් ගමෙහි වැරදි මතයක් ඇතිකරමින් යන බවත් ඔහු කීවේය.

මෙම දරුවන්ට මේ ආකාරයෙන් හෝ පහසුකම් ලැබීම ගැන ඔවුන් සතුටු විය යුතු බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා පැවසීය ෴

@@@@@@@@@@@@@@

කොරෝනා පරදන පාරම්පරික දේශීය බෙහෙත් වට්ටෝරු 14 කට අනුමැතිය..

(24.07.2021 – 12:40 +0530 – lankacnews.com)

කොරෝනා වෛරදයට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා පාරම්පරික වෛද්‍යවරුන් විසින් හදුන්වා දී ඇති දේශීය බෙහෙත් වට්ටෝරු 14 ක් සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව එම ඖෂධ වට්ටෝරු ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නොමිලේ ජනතාවට ලබා දෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

මෙම පාරම්පරික බෙහෙත් වට්ටෝරුවලින් ඉතා ඉහළ ප්‍රතිශක්තියක් ශරීරයේ ඇති කරවන බව පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද ඔහු තවදුරටත් කීය.

දැනට රටපුරා පිහිටි අයුර්වේද රෝහල්වල කොරෝනා ආසාදිතයන් දෙදහසකට (2000) ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් 900 පමණ පිරිසක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට ගොස් ඇති බවත් ඔහු පැවසීය.

කිසිදු කොරෝනා ආසාදිත වූවෙකු ආයුර්වේද රෝහලක් තුළ මේ දක්වා මියගොස් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *