ඇමරිකානු පදයට ලෝකය නටවන USAID

ඇමරිකානු පදයට ලෝකය නටවන USAID

*********************************************

ඇමරිකානු පදයට ලෝකය නටවන USAID (පළමු කොටස)

(13.07.2021 – 05:44 +0530 – lankaleadnews.com)

එවකට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩිගේ මැදිහත්වීමෙන් 1961 වසරේදී United States Agency for International Development (USAID) ආයතනය පිහිටු වූයේ ‘ඇමරිකා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය’ හා ‘අන්තර්ජාතික සංවර්ධන ආධාර’ යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කරමිනි. එමගින් එක්සත් ජනපදයේ අන්තර්ජාතික භූ දේශපාලන උපාය මාර්ගය පුළුල් පරාසයක ක්‍රියාත්මක කිරීමටත්, එහිදී වඩා වැඩි ඵලදායීභාවයක් අත්පත් කරගැනීමටත් අපේක්ෂා කෙරිණි. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කොටගත් කඳවුරු දෙක සහිත සමකාලීන ද්වි ධ්‍රැවීය ලෝක දේශපාලන යථාර්ථය තුළ තම කඳවුරේ බලය ව්‍යාප්ත කර ගැනීම එහි අප්‍රකාශිත අරමුණ විණි.

USAID හි ක්‍රියාකාරීත්වයේ ලෝක පරිමාණ සාර්ථකත්වය හඳුනාගත් ඇමරිකා එක්සත් ජනපදය, තම පොදු ආරක්ෂක නියෝජිත ආයතනය, විදේශ මෙහෙයුම් පරිපාලනය හා අන්තර්ජාතික ආයතන පරිපාලනය යන විවිධ ක්ෂේත්‍ර යටතේ ස්ථාපිත කර තිබූ පුරෝගාමී සංවිධාන මෙම USAID ආයතනයට අනුබද්ධව ක්‍රියා කිරීමට නැවත ස්ථානගත කරන ලදි. මේ හරහා ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය තුළ විදේශ රටවලට බහුවිධ ක්ෂේත්‍ර යටතේ මැදිහත්වීම සඳහා ‘ආවරණ සංවිධානයක්’ ලෙස USAID ආයතනය පුළුල් කෙරිණි.

මෙලෙස ඇමරිකා එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී හා ව්‍යාප්තවාදී මූලික භූ දේශපාලන උපාය මාර්ගයට යටත්ව USAID ආයතනයේ උපාය මාර්ග එහි ඉතිහාසය තුළ කලින් කලට සීරු මාරු කර තිබේ. එමගින් ඇමරිකාව ඒ ඒ අවධියේ ලෝකය තමන්ගේ න්‍යාය පත්‍රය අනුව හසුරුවන්නට කටයුතු කර ඇත්තේ සූක්ෂ්ම ලෙසිනි.

60 දශකයේ උපායමාර්ගය : ‘සංවර්ධනය’

USAID ආයතනය සිය ආරම්භය සනිටුහන් කරන 60 දශකය ‘සංවර්ධනයේ දශකය’ ලෙස එක්සත් ජනපදය විසින් හඳුන්වා දෙනු ලැබිණි. ඒ අනුව, USAID ආයතනය විසින් ‘සංවර්ධනය’ තේමාව යටතේ ලෝකයේ රටවලට විවිධ මැදිහත්වීම් කරන ලදී. විශේෂයෙන්ම ‘සංවර්ධන සන්නිවේදනය’ යන විෂය ලෝකයට හඳුන්වා දීමට ඇමරිකාව කටයුතු කළේ මේ අවධියේදීය. ඒ විෂය පවා ගොඩනැඟුණේ ඇමරිකානු දැක්මක් තුළ වන අතර, ලොව සෙසු රටවල සංවර්ධන න්‍යාය පත්‍රය විවරණය කර ගැනීමට සිදු වූයේද මේ න්‍යායික රාමුව හරහා ගොඩනැඟුණු සන්නිවේදන සන්දර්භය තුළය. ඩැනියෙල් ලර්නර් සහ විල්බර් ශ්‍රාම් යන ඇමරිකානු විද්වතුන් දෙදෙනාගේ අධ්‍යයන ඔස්සේ මෙම සංවර්ධන සන්නිවේදන කතිකාව ගොඩනැඟුණු අතර, බටහිර නවීකරණ ආකෘතිය ප්‍රවර්ධනය කිරීම එහි කේන්ද්‍රීය අභිලාෂය විණි. USAID ආයතනයට 60 දශකයේ සිය උපාය මාර්ගය සකස් කරගැනීම සඳහා මෙම ‘සංවර්ධන සන්නිවේදන’ අධ්‍යයන බෙහෙවින් ඉවහල් විණි. USAID ආයතනයට සංවිධානයක් ලෙස සිය ළදරු අවධියේදීම ලෝකයේ සංවර්ධන කතිකාව විෂයයෙහි තියුණු බලපෑමක් ඇති කිරීමට හැකි වූ සංවර්ධන මෙහෙයුම වූයේ ‘හරිත විප්ලවය’යි.

සූසන් ජෝර්ජ් හා නිගෙල් පේජ් සඳහන් කරන ආකාරයට, “මුල සිටම හරිත විප්ලවය ඇමරිකානු අදහසක් විය. එය සැකසුම් කරන ලද්දේ රොක්ෆෙලර් හා ෆෝඩ් ආයතන මගිනි. ඔවුන්ගේ පර්යේෂණාගාර විසින් ‘විස්මයජනක බීජ’ නිර්මාණය කරන ලදී. USAID පිටිවහල ඇතිව ඔවුන් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ආනිශංස ආණ්ඩුවලට ඒත්තු ගැන්වූහ. ඇමරිකානු විශ්ව විද්‍යාල හා USAID ආධාර ඇතිව මේ සුබාරංචිය ප්‍රචලිත කළ සංවර්ධන සේවකයින් පුහුණු කරනු ලැබිණි. ඔවුන් පිටුපසින් කෘෂි රසායන අලෙවි නියෝජිතයෝ පැමිණියහ. 1966 සිට USAID ආධාර දෙන ලද්දේ එම රටවල් හරිත විප්ලවයේ නිපැයුම් ක්‍රම යොදාගත හොත් පමණි.”

මේ හරහා නිල වශයෙන් මුළු ලෝකයේම කෘෂිකාර්මික න්‍යාය පත්‍රය ඇමරිකාවට අවශ්‍ය රාමුවක් තුළ ප්‍රතිනිර්මාණය කරන ලදී. ‘සංවර්ධනය’ හා ‘නවීන කෘෂිකර්මය’ අතර සම්බන්ධතාව එම රටවල විශේෂඥයින් හරහාද, එරටට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දී ගෙන්වාගත් විවිධ රටවල විශේඥයින් හරහාද, සමකාලීන ජනමාධ්‍ය සංදේශ හරහාද, පර්යේෂණ ලිපි හරහාද වශයෙන් විවිධ ආකාරයට සමාජගත කෙරුණු අතර, මෙම මතවාදයට ප්‍රතිපක්ෂ මතවාදයක් ගොඩනැංවීමට අසීරු තරමට මේ ව්‍යාජය ‘යථාර්ථයක්’ බවට පත් කර තිබේ.

70 දශකයේ උපාය මාර්ගය : ‘මූලික මානව අවශ්‍යතා’

1970 දශකයේදී USAID ආයතනය සිය අන්තර්ජාතික ආධාර ඉලක්කය ‘මූලික මානව අවශ්‍යතා’ වෙත මාරු කළ අතර, ඒ යටතේ ‘ආහාර හා පෝෂණය’, ‘ජනගහණය සැලසුම් කිරීම’, ‘සෞඛ්‍යය’, ‘අධ්‍යාපනය’ හා ‘මානව සම්පත් සංවර්ධනය’ යන විෂය ක්ෂේත්‍ර යටතේ සිය ආධාර ව්‍යාපෘති සැලසුම් කරන ලදී. සමකාලීන ලෝකයේ සමාජ – සංවර්ධන කතිකාවන් විශ්ලේෂණය කිරීමේදී ලෝකය පුරාම රටවල මෙම අවධියේ වැඩිපුර ජනමාධ්‍ය සංදේශ නිර්මාණය වී ඇත්තේ එකී විෂය ක්ෂේත්‍ර යටතේ බව හඳුනාගත හැකිය. අපේ රටේ 70 දශකයේ පුවත්පත් හා ගුවන්විදුලි මාධ්‍ය සංදේශ දෙස ආපසු හැරී බැලීමේදීද මෙම මාතෘකා විවිධ අයුරින් පරාවර්තනය වී ඇති ආකාරය දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ජනගහණය සැලසුම් කිරීම, උපත් පාලනය සම්බන්ධ කතිතාව 70 දශකයේ ලංකාවේ ගොඩනැඟෙන්නේ මේ අනුව වන අතර, මේ සඳහා ඇමරිකානු ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන මෙරට තුළ බිහිකරමින් මේ මතවාදය සමාජගත කිරීමට දැවැන්ත කාර්යභාරයක් සිදු කර තිබේ. එවකට මෙරට පාසල් දරුවන් සඳහා USAID ආධාර යටතේ විස්කෝතු ලබා දීම ද මෙම උපාය මාර්ගයට අයත් ‘ආහාර හා පෝෂණය’ යන කාරණය යටතේ සිදු කරන ලද්දකි. වෙනත් ලෙසකින් කිවහොත්, 70 දශකයේ මෙරට පාසල් සිසු දරුවන් ‘ඇදිහැස’ බිස්කට් කා ඇත්තේ ද ඇමරිකානු උපාය මාර්ගයට අනුවය.

70 දශකයේදී පරිවාරයේ රටවල සංවර්ධන කතිකාව නිර්මාණය වී ඇත්තේ දේශීය ඓන්ද්‍රීය අවශ්‍යතා අනුව, දේශීය සන්දර්භානුගතව නොව ඇමරිකානු අවශ්‍යතාව හා බැඳුණු දැක්ම තුළ බව මෙහිදී හඳුනාගත හැකිය. සංවර්ධනය මැනීමේ මිනුම් – දර්ශකද ඔවුන්ම ගොඩනඟාදෙමින් ඒ අනුව අපේ සංවර්ධන න්‍යාය පත්‍රය සීරුමාරු කරගන්නට සිදුවන තත්ත්වයක් නිර්මාණය කරන ලදී. මේ සඳහා අවශ්‍ය මානව සම්පත් නිර්මාණය කිරීම තම රට වෙත පැමිණ උසස් අධ්‍යාපනය හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීම හරහා සිදු කරන ලදී. ඉන්පසු ඔවුන් රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හා තීන්දු තීරණ ගැනීමේ ස්ථානවල පිහිටුවන ලදී.

නමුත් 70 දශකයේදී මෙරට රජය සිය ආර්ථික ප්‍රතිපත්තිය ඇමරිකානු අභිලාෂයට ප්‍රතිපක්ෂව ගොඩනැඟීම සිදු කළ අතර, පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනය තුළ ස්වදේශික න්‍යාය පත්‍රයක් මත පුළුල් ලෙස පිහිටා මෙරට ආර්ථිකය ගොඩනැඟූ එකම අවස්ථාව ලෙස අදටත් හඳුනාගත හැක්කේ මෙම 70 දශකයේ සමගි පෙරමුණු රජයේ ප්‍රවේශය පමණි. මෙහිදී ඇමරිකානු හා බ්‍රිතාන්‍ය බහුජාතික සමාගම් සඳහා පහර වැදිණි. ඊට ඇමරිකානු ප්‍රතික්‍රියාව 1971 සන්නද්ධ නැඟිටීම පදනම් කොට ගෙනද, සමගි පෙරමුණු රජයෙන් වාමාංශික පක්ෂ ඉවත්කිරීමට කටයුතු කිරීම හරහාද දියත් කෙරිණි.

80 දශකයේ උපාය මාර්ගය : ‘නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය වෙත හැරවීම’

1980 දශකයේදී USAID ආයතනයේ අන්තර්ජාතික ආධාර සඳහා වන උපාය මාර්ගික දැක්ම කේන්ද්‍රගත වූයේ ‘නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය වෙත හැරවීම’ සඳහාය. ඒ යටතේ දියුණු වෙමින් පවතින රටවල ප්‍රතිපත්ති හා ආයතන, වෙළෙඳපොළ පදනම් කරගත් මූලධර්ම මත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මැදිහත්වීම් සිදු කරන ලදී. නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගය යටතේ ලොව පුරාම නිදහස් වෙළෙඳපොළ ආර්ථික රැල්ල නිර්මාණය කෙරෙන්නේ ඒ අනුවය.

ශ්‍රී ලංකාව සම්බන්ධව ගත් විට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ මෙරට නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය ස්ථාපිත වන්නේ මෙම ඇමරිකා එක්සත් ජනපදයේ උපාය මාර්ගික සන්දර්භය තුළ බව මෙයින් පෙනේ. මෙරට පශ්චාත් යටත් විජිත දේශපාලන යාන්ත්‍රණය තුළ සිය ‘උපායමාර්ගික නියෝජිතයා’ ලෙස ජේ.ආර්. ජයවර්ධන භූමිකාව 1950 දශකයේ සිට ක්‍රමානුකූලව ගොඩනඟාගෙන එන ඇමරිකාව, එය කූටප්‍රාප්තිය වෙත ඔසොවන්නේ ඔහු 1977 මැතිවරණයෙන් ජයග්‍රහණය කරවීමෙනි. ජේ.ආර්. ජයවර්ධනගේ භූමිකාව එතැනට ගෙන ඒම සඳහා ඔහුගේ භූමිකාවට ප්‍රතිපක්ෂ අනෙකාව සිටි 1970 -1977 යුගයේ සමගි පෙරමුණු ආණ්ඩුව පිටතින් මෙන්ම ඇතුළතින්ද බිඳ දැමීමට එක්සත් ජනපදය සිය බළල් අත් විවිධ ආකාරයට යෙද වූ බවට විවාදයක් නැත. ‘1971’ නමැති සිදුවීම හා බැඳෙන ආපදා අධිරාජ්‍යවාදී මැදිහත්වීම, සමගි පෙරමුණු ආණ්ඩුව තුළින් වාමාංශික පක්ෂ පළවා හැරීම, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ භූමිකාව හැසිරවීම මේ තත්ත්වය හඳුනාගත හැකි දේශපාලන නිමේෂයන් වේ.

මේ සමකාලීන සමාජ – දේශපාලන පසුබිම ගොඩනැඟීම හරහා ජේ.ආර්. ජයවර්ධනගේ හා වෙළෙඳපොළ ආර්ථිකයේ ආගමනයට තාර්කික ප්‍රවේශයක් ගොඩනඟාදීමට ඇමරිකාව මැදිහත් වී තිබේ. පෙර පැවති සුබසාධනවාදී – ආනයන සීමා කළ ආර්ථිකය වෙනුවට, ලෝකයේ බහුජාතික සමාගම් සඳහා නිදහස් වෙළෙඳපොළක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම, පුළුල් චිත්‍රය තුළ තබා බලන විට USAID ආයතනයේ ව්‍යාපෘතියක් බව පැහැදිලිය. එවක වෙළඳපොළ ආර්ථිකය වර්ණනා කරන ආර්ථික විශේෂඥයින්ගේ මතවාද, මාධ්‍ය සංදේශ සියල්ල නිර්මාණය වූයේ මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙසිනි.

90 දශකයේ උපාය මාර්ගය : ‘තිරසාරත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය’

1990 දශකයේදී නැවත USAID ආයතනයේ අන්තර්ජාතික ආධාර සම්බන්ධ උපායමාර්ගික දැක්ම සීරු මාරු කෙරෙයි. ඒ ‘තිරසාරත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය’ වශයෙනි. මේ යටතේ ඔවුන්ගේ ඉහළම ප්‍රමුඛතාවය ‘තිරසාර සංවර්ධනය’ වෙත යොමුවේ. මෙහිදී USAID ආයතනය එක් එක් රටවල මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම යටතේ සංවර්ධන සහයෝගය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කරයි. මෙම අවධියේ ලොව පුරාම විද්වත් කතිකාව බවට පත් වූයේ ‘තිරසාර සංවර්ධනයයි.’ ආර්ථික විද්‍යා – සමාජ විද්‍යා ක්ෂේත්‍ර මෙම ‘තිරසාර සංවර්ධන’ රාමුව යටතේ හැඩගැන්වීම සිදුවන අතර, ඊට අනුගතව සමකාලීන මාධ්‍ය සංදේශ නිර්මාණය වෙයි. එසේම USAID ආයතනය මේ දශකයේදී මෙම තේමාව යටතේ සිදු කළ ප්‍රධාන කාර්යයක් වන්නේ ඒවන විට USAID හි සීමා සහිත නියෝජනයක් තිබූ රටවලට ‘රාජ්‍ය නොවන සංවිධාන’ (NGOs) හරහා සිය මැදිහත්වීම පුළුල් කිරීමයි.

ශ්‍රී ලංකාව සම්බන්ධව ගත් විට ද 1990 දශකයේ මෙරට තුළ විවිධ ප්‍රකාශිත අරමුණු සහිත රාජ්‍ය නොවන සංවිධාන හතු පිපෙන්නාක් මෙන් බිහි වන්නට වූ බව හඳුනාගත හැකිය. දේශපාලනය, සාමය, ආණ්ඩුකරණය, ‍සංවර්ධනය, පරිසරය, කෘෂිකර්මය, දරිද්‍රතාව තුරන් කිරීම, කාන්තාව, මානව හිමිකම්, ජනමාධ්‍ය ආදී මෙකී නොකී ක්ෂේත්‍ර ගණනාවක් පදනම් කරගෙන මෙරට තුළ රාජ්‍ය නොවන සංවිධාන බිහිවීමේ ඇමරිකානු සන්දර්භය හා සබැඳෙන පුළුල් චිත්‍රය මෙය වන අතර, මෙම රාජ්‍ය නොවන සංවිධාන මෙරට සමාජ – දේශපාලන – ආර්ථික න්‍යාය පත්‍රය හැසිරවීම කෙරෙහි තීරණාත්මක ලෙස මැදිහත්වීම ඊට පසුකාලීනව දක්නට ලැබේ. විශේෂයෙන්ම ‘සාමය’ යන පුවරුව යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවැසි දේශපාලන ජයග්‍රහණ ලබාදීම සඳහා පුළුල් කාර්යභාරයක් එවක මෙම රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදු කරන ලදී.

එසේම, අද වන විට කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද්ධය හා සම්බන්ධව ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කිරීම පිටුපස ක්‍රියාත්මක වනුයේද මෙම රාජ්‍ය නොවන සංවිධාන ජාලයයි. මේ අනුව 1990 දශකයේදී මෙරට තුළ රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවන ඇමරිකානු උපායමාර්ගික මැදිහත්වීම, එම දශකයේ පටු අවශ්‍යතාවක් සඳහා පමණක් සීමා නොවී ඇති අතර, එය ‘ස්ථාවර තැන්පතුවක්’ සේ ඇමරිකා එක්සත් ජනපදයට අදටත් අස්වනු ලබා දෙමින් තිබෙන්නේය.

2000 න් පසු දශකයේ උපාය මාර්ගය : ‘යුද්ධය හා නැවත ගොඩනැඟීම’

2000 න් පසු දශකය තුළ නැවත USAID හි උපායමාර්ගය වෙනස් වෙයි. ඒ ‘යුද්ධය හා නැවත ගොඩනැඟීම’ යන තේමාව යටතේය. මේ යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ හැසිරීම අපූරු එකකි. මෙහිදී ඇමරිකානු හමුදා මුස්ලිම් රාජ්‍යයන්ට එරෙහිව මිලිටරි බලය යොදවමින් ඒ රටවල ස්ථාපිත පාලන තන්ත්‍රයන් බිඳ දැමීමට කටයුතු කොට, ඉන්පසු එම රටවල ආණ්ඩු ගොඩනැඟීමට, මූලික යටිතල පහසුකම්, සිවිල් සමාජය, සෞඛ්‍යය හා අධ්‍යාපනය බඳු මූලික සේවා ගොඩනැඟීමට මැදිහත් වන්නේ ඇමරිකානු ව්‍යාපාර සඳහා අවැසි භූමියක් ප්‍රති නිර්මාණය කරමිනි. මෙහිදී අදාළ රටේ ස්ථාපිත ව පැවති රජය බිඳ දැමීමෙන් පසු, සිය ආක්‍රමණශීලී ප්‍රවේශය වෙනස් කොට විදේශ සහයෝගය ලබා ගත හැකි නව සහයෝගී සංවිධාන යාන්ත්‍රණ එරට තුළ ගොඩනඟමින් එක්සත් ජනපද හිතවාදී ව්‍යාපාරික පරිසරයක් ගොඩනඟයි. ඉරාකය හා ඇෆ්ගනිස්ථානය යන රටවල් දෙක තුළ තම සංවිධානය කටයුතු කළේ මේ ආකාරයට බව USAID සඳහන් කරයි.

මේ උපාය මාර්ගය යටතේ ඇමරිකාව ‘ත්‍රස්තවාදය’ නැවත නිර්වචනය කරමින්, ඒ සම්බන්ධව සිය දැවැන්ත ජනමාධ්‍ය යාන්ත්‍රණය හරහා ගෝලීය කතිකාවක් ගොඩනඟමින් මුළු ලෝකයම ඒ න්‍යාය පත්‍රය අනුව හැසිරෙන අන්දමට ලෝක බල දේශපාලනය සීරු මාරු කළේය. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය අල් ක්වයිඩා සංවිධානය විසින් කරන ලද්දක් බව ඇමරිකාව ප්‍රකාශ කළද, ඇතැම් විකල්ප බුද්ධිමතුන් සඳහන් කරන්නේ එම ප්‍රහාරය ඇමරිකාවේම සැලසුමක් බවත්, ඉන් අරමුණු කළේ ඇමරිකානු ජන මනස තුළ එක්සත් ජනපදය ලෝකයේ ත්‍රස්තවාදී සංවිධාන හා ‘ත්‍රස්තවාදී රාජ්‍යවලට’ (ඇමරිකානු දැක්ම අනුව) එරෙහිව කරන යුද්ධය තර්කානුකූල කර ගැනීමත්, ගෝලීය වශයෙන් තම රාජ්‍යයට එරෙහිව ත්‍රස්තවාදී තර්ජනයක් පවතින බවට තහවුරු කොට, ඊට එරෙහිව ඇමරිකානු ආධ්‍යාත්මය නිර්මාණය කර ගැනීමත් බවය. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු සමකාලීනව පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවේදී මේ මතය කියුබානු නායකයා මෙන්ම, වෙනිසියුලානු ජනාධිපතිවරයා විසින්ද ප්‍රකාශ කරන ලදී. එයට ඇමරිකාවේ ප්‍රතිචාරය වූයේ නිහඬතාවයයි.

කෙසේ වුවත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාව විසින් ලෝකය පුරා තෝරාගත් ඉලක්ක රාජ්‍ය ගණනාවක් සිය නව න්‍යාය පත්‍රය තුළ ස්ථානගත කරගනිමින් ඒවාට අඛණ්ඩව මිලිටරි මැදිහත්වීම් සිදු කරන ලදී.

2010 න් පසු දශකයේ උපාය මාර්ගය : ‘ආරක්ෂාව සම්බන්ධ අනෙකුත් තර්ජනවලට එරෙහිව ප්‍රතික්‍රියා’

2010 න් පසු USAID කටයුතු කරන්නේ ප්‍රචණ්ඩත්වය උත්පාදන කරන සංවිධාන, අස්ථායිතාව, පාරජාතික අපරාධ සහ ආරක්ෂාව සම්බන්ධ අනෙකුත් තර්ජනවලට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීම සඳහා වන උපාය මාර්ගික දැක්ම තුළ බව සඳහන් වේ. මේ සියලු විෂය ක්ෂේත්‍ර අර්ථ දැක්වෙන්නේ එක්සත් ජනපද සන්දර්භයක් තුළ බැවින් එම විෂයන් සම්බන්ධව මතුපිටින් හැඟෙන අර්ථය හැම විටම විකාරයක් බවට පත් වේ.

‘අරාබි වසන්තය’ මේ උපාය මාර්ගය තුළ දියත් කෙරුණු ප්‍රධානතම ක්‍රියාවලිය වේ. මෙහිදී මැද පෙරදිග කලාපයේ පිහිටි එක්සත් ජනපදයට පක්ෂපාතී නොවූ රාජ්‍යයන්හි කාලාන්තරයක් තිස්සේ පැවති පාලනයන් පෙරළා දැමීමට එම රටවල ජනතාව පෙළඹවීම සිදු කරන ලදී. Regime Change ලෙස තාක්ෂණිකව හැඳින්වූ මේ පාලන තන්ත්‍ර වෙනස් කිරීම, මෙම යුගයේ රැල්ලක් ලෙස හමා යාම සිදු වූයේ එක්සත් ජනපද තිර පිටපතට අනුවය. දශක කිහිපයක් තිස්සේ ලිබියාවේ පැවති ගඩාපිගේ පාලනය පෙරළා දැමීම මේ ක්‍රියාවලියේ සංකේතයක් බඳු අවස්ථාවකි.

මෙම Regime Change උපාය මාර්ගය තුළ, ඇමරිකාවට ප්‍රතිපක්ෂ රටවල් ගණනාවකම ආණ්ඩු පෙරළා දැමීමට ඇමරිකාව මැදිහත් වූයේ ඒ රටවල තරුණ පරම්පරාව උසිගැන්වීම හරහා වන අතර, මෙහිදී ප්‍රධාන ආයුධය වූයේ සමාජ මාධ්‍යයන් ය. මෙම අරාබි වසන්ත රැල්ල සමනය වී ටික කලකට පසු ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ‘youthquake’ යනුවෙන් (එතෙක් පැවතියේ earthquake – භූමි කම්පාව /සමාජ කැළඹීම / සමාජ විපර්යාසයක්) නව වචනයක් පවා එකතු කිරීමට කටයුතු කෙරුණේ ලෝකය පුරා ආණ්ඩු පෙරළීමට රැල්ලක් ලෙස මතුව ආ තරුණ පරපුරේ මැදිහත්වීම සැලකිල්ලට ගනිමිනි.

ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය 2015 දී පෙරළා දැමීම සඳහා එක්සත් ජනපදය මැදිහත්වීම ඇරඹෙන්නේද ‘අරාබි වසන්ත රැල්ලේ’ නොඑසේ නම් Regime Change උපාය මාර්ගයේ තවත් පියවරක් ලෙසිනි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී 2016 වසරේදී ප්‍රකාශ කළේ ‘මියන්මාරයේ, නයිජීරියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා එක්සත් ජනපදය ඇමරිකන් ඩොලර් මිලියන 585 ක් වැය කළ බවයි.’ අඩු තරමින් මේ මුදල සමානව මෙම රටවල් තුන සඳහා වෙන් වූ බව උපකල්පනය කළහොත් ඇමරිකන් ඩොලර් මිලියන 195 ක් ලංකාවේ Regime Change ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවා තිබේ. ඇමරිකාව නොඑසේ නම් USAID ආයතනය මෙම මුදල් වැය කළේ, මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ඇතුළත සිට හා පිටත සිට වැඩ කළ බලවේග සඳහා ය. දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ජනමාධ්‍ය ආයතන, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන්, විද්වතුන් හා වෙනත් ජනමත නායකයින් වශයෙන් එම බලවේගය නියෝජනය කළ සියලු පාර්ශ්ව වෙනුවෙන් මෙම මුදල් යෙදවිණි. රාජපක්ෂ පාලනය, ‘රාජපක්ෂ රෙජීමය’ ලෙස නාමකරණය කෙරුණු අතර, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සංදේශවලදී පුන පුනා කියැවුණේ, ප්‍රතිපක්ෂ දේශපාලන පක්ෂවල ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පුන පුනා කියැවුණේ ‘රාජපක්ෂ රෙජීමය’ හා එය පෙරළා දැමීමේ අවශ්‍යතාවයි. ‘අරාබි වසන්තය’ ව්‍යාපෘතියට අදාළ වෙනත් රටවල් / පාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සම්බන්ධව අන්තර්ජාතික මාධ්‍ය විසින් ප්‍රචාරය කළ ප්‍රවෘත්ති අන්තර්ගතයන් ශ්‍රී ලංකාවට අදාළව වෙනස් වූයේ නම් ගම් ආදියෙන් පමණක් වන අතර, එකම අච්චුවේ සකස් කළ, එකම රටාවේ මාධ්‍ය අන්තර්ගතයක් හඳුනාගත හැකි විණි.

මේ අනුව USAID ආයතනය පසුගිය දශකයේ සිය ලෝක පරිමාණ උපාය මාර්ගය තුළදීද ලංකාව විෂයෙහි ක්‍රියාත්මක වී ඇති ආකාරය හඳුනාගත හැකිය.

ඉතිරි කොටස පසුවට…

ප්‍රභාත් චින්තක මීගොඩගේ

+++++++++++

ඇමරිකානු පදයට ලෝකය නටවන USAID (දෙවන කොටස)

(17.07.2021 – 11:19 +0530 – lankaleadnews.com)

USAID : ජනමාධ්‍ය න්‍යාය පත්‍රය වෙත මැදිහත්වීම

USAID හි ඓතිහාසික ගමන් මඟ හා දිශානතිය විශ්ලේෂණය කර බැලීමේදී එය ලෝකයේ විවිධ රටවල් විෂයෙහි ක්‍රියාත්මක වී ඇති – මැදිහත් වී ඇති පරාසය ඉතා පුළුල්ය. එබඳු පසුබිමක ඇමරිකානු භූ දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස එම රටවල් හැසිරවීම බරපතළ ලෙස සිදු කර ඇති හා සිදු කරමින් ඇති බව පෙනේ. මේ සඳහා ලෝකයේ විවිධ රටවලින් උදාහරණ හමුවන අතර, මෙම සිදුවීම් මගින් USAID ආයතනයේ සැබෑ ස්වභාවය මනාව නිරාවරණය කරයි.

කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ලොව ප්‍රකට ග්‍රන්ථයක් සම්පාදනය කළ ඉග්නාෂියෝ රැමොනේ සඳහන් කරන ආකාරයට, “ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ රැඳී සිටින කස්ත්‍රෝ විරෝධී බලවේග ශක්තිමත් කිරීමට 1996 වසරේ සිට USAID ආයතනය ඇමරිකන් ඩොලර් මිලියන 65 ක් පරිත්‍යාග කොට ඇත. ඍජුවම එක්සත් ජනපද රජයෙන් USAID ආයතනය යැපෙන අතර, කස්ත්‍රෝ විරෝධී කණ්ඩායම්වලට ආධාර වැඩි කිරීමක් වශයෙන් 2004 මැයි මාසයේදී බුෂ් පරිපාලනය විසින් ඇමරිකන් ඩොලර් මිලියන 80 ක් ලබා දී ඇත. කියුබාව සම්බන්ධව ව්‍යාජ ප්‍රචාර කිරීම වෙනුවෙන් එක්සත් ජනපද රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියන ගණනින් මුදල් පොට්ටනි ලබන ලොව පුරා විසිරී සිටින මාධ්‍යකරුවන් ගණන සුලු පටු නැත.”

මෙහිදී ලංකාව සම්බන්ධවද හඳුනාගත යුතු ඉතා වැදගත් කාරණයක් තිබේ. එනම් USAID ආයතනයේ අනුග්‍රහය යටතේ මෙරට තරුණ ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන්, පුහුණු වැඩමුළු පැවැත්වෙන අතර, මේවාට ඉල්ලුම් කිරීම සඳහා වන දැන්වීම් පුවත්පත්වල වරින් වර පළ කෙරේ. පුරවැසි මාධ්‍යවේදය, සමාජ මාධ්‍ය සංදේශ සකස් කිරීම, කෙටි වාර්තා චිත්‍රපට – වැඩසටහන් නිර්මාණය කිරීම, ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම ආදී විෂය රාමුවක් යටතේ ලබා දෙන මෙම පුහුණු මගින් ඇමරිකානු දැක්මට අනුව මොළ සෝදාගත් ජනමාධ්‍ය පරම්පරාවක් මෙරට තුළ රහසේ ගොඩනඟමින් පවතින අතර, මෙරට දේශපාලනය තුළ තීරණාත්මක මොහොතක මේ පරම්පරාව වැඩට බසිනු ඇති බවට කිසිදු සැකයක් නැත. විශේෂයෙන්ම නූතන දේශපාලන සන්නිවේදනය තුළ ‘සමාජ මාධ්‍ය භූමිකාව’ තීරණාත්මක සාධකය වී ඇති ජාතික හා අන්තර්ජාතික පසුබිමක මෙම USAID අනුග්‍රහය යටතේ මෙරට තුළ නිර්මාණය වන මාධ්‍ය ප්‍රවණතාව අවතක්සේරු කළ යුත්තක් නොවේ.

USAID : අධ්‍යාපන අන්තර්ගතය සැකසීම

USAID ආයතනයේ මැදිහත්වීම් පරාසය කෙතරම් පුළුල් හා දීර්ඝකාලීන අරමුණු සහිතද යන්න එය සිය ඉලක්කගත රටවල සමාජ – සංස්කෘතික කතිකාවට සිදු කරන මැදිහත්වීම්වලින් පෙනේ. මෙහිදී යම් රටක අධ්‍යාපනයට මැදිහත්වීම සම්බන්ධව සුවිශේෂ උදාහරණයක් ඇෆ්ගනිස්ථානයෙන් හමු වේ. මහාචාර්ය මුහම්මද් මම්දානි සඳහන් කරන ආකාරයට, “1980 ගණන්වලදී මුජහිදීන්වරු ඇෆ්ගනිස්ථානය සඳහා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කළහ. මෙහි ළමයින්ගේ පෙළ පොත් සැලසුම් කිරීමේදී ලැබුණු ඇමරිකානු ආධාර ගැන නිදසුනක් පර්වේස් හුඩ්භෝයි ඉදිරිපත් කරයි. ඒ අනුව මෙම කාර්යය සඳහා 1986 සැප්තැම්බර් සිට 1994 ජූනි දක්වා USAID ප්‍රදාන යටතේ නෙබුස්කා විශ්ව විද්‍යාලයට ඇමරිකන් ඩොලර් මිලියන 50 ක් ලැබී තිබිණි. තුන්වන ශ්‍රේණියේ ගණිතය පෙළ පොතේ මෙසේ දැක්වේ. ‘එක් මුජහිදීන් කණ්ඩායමක් රුසියානු භටයින් 50 කට පහර එල්ල කරයි. එම ප්‍රහාරයේදී රුසියානු භටයෝ 20 ක් මිය ගියහ. රුසියානුවන් කී දෙනෙක් පළා ගියේද?’

සිව්වන ශ්‍රේණියේ පෙළ පොතක මෙසේ සඳහන් වේ. ‘කලෂ්නිකෝව් (සෝවියට් දේශයේ නිෂ්පාදිත අර්ධ ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවක්) උණ්ඩයක වේගය තත්පරයට මීටර් 800 කි. රුසියානුවකු මුජහිදීන්වරයකුට වඩා මීටර් 3200 ක් ඈතින් සිටී. මුජහිදීන්වරයා රුසියානුවාගේ හිසට ඉලක්කය අල්ලා වෙඩි තබයි. උණ්ඩය රුසියානුවාගේ නළල පසාරු කරගෙන යාමට තත්පර කීයක් ගත වේදැයි ගණනය කරන්න.’

මෙම වැඩසටහන 1994 දී අවසන් වුවද පොත් බෙදාහැරීම අඛණ්ඩව සිදු විය. තම සතුරාගේ ඇස් උගුල්ලා දැමීමට, දෙපා කපා දැමීමට ඇෆ්ගන් දරුවන් දිරිගන්වන, එක්සත් ජනපද අනුග්‍රහය යටතේ රචිත පෙළ පොත් තවමත් එහි මුල් ස්වභාවයෙන්ම පාකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ බහුලව තිබේ.” (‘ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය’, මහාචාර්ය මුහම්මද් මම්දානි – අනුවාදය, උදිත අලහකෝන්)

2000 පමණ වන තුරු අපේ රටේ උසස් අධ්‍යයන ක්ෂේත්‍රය තුළ ‘ගැටුම් නිරාකරණය’ යනුවෙන් විෂයයක් එතරම් ප්‍රචලිතව නොපැවතිණි. 1990 දශකයේ මැද භාගයේ පමණ, මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න විසින් කැලණිය විශ්ව විද්‍යාලයට මෙම විෂයය හඳුන්වා දෙන ලදී. දෙදහස් ගණන්වල මුල් භාගය වන විට මෙරට තවත් විශ්ව විද්‍යාල කිහිපයකම ගැටුම් අධ්‍යයනය ආශ්‍රිත පාඨමාලා ඇරඹිණි. මීට සමාන්තර සමකාලීන ලාංකේය දේශපාලන සන්දර්භය සැලකූ විට උතුරු නැඟෙනහිර යුද්ධය හා සම්බන්ධව රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ වන විට ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන්නට පටන්ගෙන තිබූ අතර, ගැටුම් අධ්‍යයනය – ගැටුම් නිරාකරණය – ගැටුම් කළමනාකරණය වැනි මාතෘකා වඩාත්ම සාකච්ඡා වූයේ මෙම රාජ්‍ය නොවන සංවිධාන හා සබැඳි කතිකාව තුළ ය. මෙම රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධව කටයුතු කළ මෙරට විශ්ව විද්‍යාලවල දේශපාලන විද්‍යා හා සමාජ විද්‍යා අධ්‍යයන අංශවලට සම්බන්ධ ආචාර්යවරුන් විසින් මෙම විෂය ක්ෂේත්‍රය විශ්ව විද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී. අද වන විට මෙම ‘ගැටුම් අධ්‍යයනය’ විෂයට අදාළ ඇතැම් කරුණු මෙරට පාසල් විෂය මාලාවට පවා ඇතුළත් කර තිබේ. මේවා මෙසේ සිදුවීම පිටුපස ඇති හස්ථයන් කෙබඳුදැයි, සෙසු රටවල මීට සමාන්තර සිද්ධීන් ඇසුරෙන් අනුමාන කළ හැකිය.

අතීත ඓන්ද්‍රීය අත්දැකීම් රහිතව, කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම හුදු අතීත සිදුවීමක් පමණක් ලෙස හඳුනාගන්නා අපේ රටේ පසුකාලීන ශිෂ්‍ය පරම්පරාව තුළ මෙම සිවිල් යුද්ධය, ගැටුම් කළමනාකරණ විෂය ප්‍රවේශයකින් දකින විට, එය එසේ යුදමය වශයෙන් පරාජය නොකොට ‘අන්තර්ජාතික මැදිහත්කරුවන්’ හරහා සමථයකට පත් කරගත හැකිව තිබූ ගැටුමක් ලෙස හඳුනාගන්නා අතර, ඊට රටක් ලෙස ගෙවීමට සිදුවන වන්දිය කෙබඳුදැයි ඔවුන්ට අදාළ නොවේ. ‘සාම ප්‍රවේශයකින්’ මෙයට මැදිහත් වූ අන්තර්ජාතික පාර්ශ්ව (මෙම විෂය තුළ ‘තෙවන පාර්ශ්වය’ලෙස හැඳින්වෙන) මෙම විෂය තුළ සාධාරණීකරණය වන අතර, එම ‘තෙවන පාර්ශ්වයේ මැදිහත්වීම’ නොතකා හැර එම ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරමින් ශ්‍රී ලංකා රජය වරදක් කළ බවට මනෝභාවයක් නිර්මාණය කරයි. මෙබඳු මතවාදයක් අවශ්‍ය වන්නේ කාහටද යන්න, අදටත් ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කළ බවට චෝදනා කරමින් ඊට එරෙහිව අන්තර්ජාතික තලයේ ක්‍රියාකරන ඇමරිකා එක්සත් ජනපදය හා ඊට අනුගත සංවිධානවල චර්යාවන් දෙස බැලීමෙන් හඳුනාගත හැකිය. එබඳු මතවාදයක්, එබඳු මනෝභාවයක් මෙරට පසුකාලීන පරම්පරා තුළ ගොඩනඟා තිබීම දීර්ඝ කාලීන වශයෙන් ගත්විට මෙරට තුළ USAID ආයතනයේ අනාගත උපායමාර්ගික ව්‍යාපෘති සඳහා ආයෝජනයක් වනු ඇති බව නිසැකය.

USAID : දශක හයක ශේෂ පත්‍රය

මේ අනුව ගත් විට දශක හයක් (1961 -2021) තිස්සේ අපේ රට ඇතුළු පරිධියේ රාජ්‍යවල දේශපාලන – ආර්ථික – සංවර්ධන – සමාජ සංස්කෘතික න්‍යාය පත්‍රය සකස් වී ඇත්තේ අඩු වැඩි වශයෙන් මෙම USAID ආයතනය විසින් පුළුල් පරාසයක ක්‍රියාත්මක කර ඇති හා කරමින් තිබෙන එක්සත් ජනපද භූ දේශපාලන උපාය මාර්ගය තුළ පැහැදිලිව පෙනේ.

ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමීන් දයාසිරි මහතා සමග 2008 වසරේදී මෙම ලියුම්කරු විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු දක්වන ලද අදහසක් මෙහිදී නැවත සඳහන් කිරීම අවශ්‍ය වේ. “සීඅයිඒ වැනි ඔත්තු සේවා සංවිධාන නිල වශයෙන් කරන ලද සමහර කාර්යයන් මේ වන විට සමහර රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කරමින් සිටී. මෙම රාජ්‍ය නොවන සංවිධාන යැපෙන්නේ බටහිර රාජ්‍යවල අරමුදල් හෝ ඒ රටවල බහුජාතික සමාගම්වලින් ලැබෙන මුදල්වලිනි. මෙම රාජ්‍ය නොවන සංවිධාන නිල වශයෙන් රටකට ඇතුළු වන්නේ එම රටට කිසියම් සේවයක් කිරීමට බව පැවසුවද, ඒවායේ නියම අරමුණ වන්නේ හැකි තාක් දුරට එම රට තුළ තමන්ට අවශ්‍ය දේශපාලනික, ආර්ථික හෝ ඇතැම්විට ආගමික විශ්වාස ප්‍රචලිත කිරීමයි. බටහිර බලපෑම් ඇති නොයෙක් රටවලට එම කාර්යය සඳහා යවන පළමු පෙළේ සොල්දාදුවන් වශයෙන් මෙම රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීකයින් සැලකිය හැකිය. ඔවුහු යම් රාජ්‍යයකට පැමිණි පසු ඒ රාජ්‍යය තුළ, සමාජය තුළ නොයෙකුත් අර්බුද ඇති කර, ඒ මගින් විදේශ සංවිධානවලට තොරතුරු සපයමින් එවැනි ඔත්තු සේවා සංවිධානවලට හා වෙළෙඳ සමාගම්වලට ඒවායේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආධාර කරති.”

USAID ආයතනය සම්බන්ධව ගත් විට අදටත් මෙම කාරණය වලංගුය. පසුගියදා වාර්තා වූයේ ඇමරිකානු ජාතික හිටපු හමුදා නිලධාරීන් දෙදෙනකු සී.අයි.ඒ. සංවිධානයට සම්බන්ධ සංවිධානයක් වන USAID ආයතනය ඔස්සේ මෙරටට පැමිණ රහස් කටයුතුවල නිරත වී ඇති බවයි. ශ්‍රී ලංකා රජය මේ වන විට ගනිමින් සිටින දේශපාලන තීන්දු තීරණ සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපදයට පැහැදිලි ප්‍රතිවිරෝධයක් පවතින බව පැහැදිලිය. මෙහිදී කලාපීය දේශපාලන අවකාශය තුළ චීනයේ භූමිකාව පුළුල් වීමත්, චීනය සමග ශ්‍රී ලංකාවේ පවතින මිතුරු ගනුදෙනුවත් තුළ ඇමරිකාවට ලංකාව සම්බන්ධව ක්‍රියාත්මක කළ හැකි සැලසුම් නැවත කිරා මැන බැලීමක් අවශ්‍ය වී ඇති බවට සැකයක් නැත. උතුර තුළ නැවත තමන්ගේ ඉලක්ක සපුරාගත හැකි හා මෙරට අස්ථාවර කළ හැකි ප්‍රවේශයක් පාදාගැනීමට ඇමරිකාවට අවශ්‍ය බවට විවාදයක් නැත. එබඳු පසුබිමක මෙම ඇමරිකානු හමුදා නිලධාරීන් දෙදෙනාගේ ආගමනය පිළිබඳ පුළුල් හඳුනාගැනීමක් හා විශ්ලේෂණයක් අවශ්‍ය වන අතර, එය USAID ආයතනයේ පූර්ව මැදිහත්වීම් සම්බන්ධ විශාල චිත්‍රය තුළ තබා විශ්ලේෂණය කර ගත යුතුය.

බුද්ධි අංශ කාර්යභාරය කුමක්ද?

USAID ආයතනය සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ ඇමරිකානු ජාතිකයින් හරහා පමණක් නොවේ. ඒ ක්‍රියාන්විතය තුළ විවිධ නම්වලින් යුතු රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම, දේශීය විද්වතුන්, රාජ්‍ය නිලධාරීන්, පවතින රජයේ දේශපාලකයන් හා විපක්ෂයේ දේශපාලකයන්, ආර්ථික විශේෂඥයින්, ජනමාධ්‍යවේදීන්, විවිධ විෂය ක්ෂේත්‍රවල විශේෂඥයින් මෙන්ම පාවිච්චි කළ හැකි සියලු පුද්ගල චරිත පාවිච්චි කරනු ලැබේ. මෑතකදී අභාවයට පත් ලංකාවේ ‘සන්නිවේදන ගුරු’ ලෙස සම්භාවනාවට පත්ව සිටි විද්වතා එබඳු ඇමරිකානු න්‍යාය පත්‍රයකට වැඩ කළ නියෝජිතයකු බව එවක ප්‍රසිද්ධ රහසක් විණි.

මෙබඳු සන්දර්භයක ඇමරිකානු හිතවාදී නොවන දේශපාලන ආස්ථානයක සිටගන්නා රජයකට සිදුවන්නේ ‘ඇස් දහසක් – කන් දහසක්’ සහිතව, තියුණු බුද්ධිමය සංවේදීතාවක් සහිතව සිය දේශපාලන ගමන යාමටය. එහිදී පිටත සතුරා පැහැදිලිව හඳුනාගත හැකි නමුත් ඇතුළත සිට ක්‍රියාත්මක වන පිටත සතුරාගේ මිතුරා හඳුනාගැනීම පහසු නැත. ඒ මිතුරු වෙස්ගත් සතුරා පෙනෙන්නේ ‘වැඩේ පත්තු වූ’ විටය.

1990 දශකයේ මුල් භාගයේදී දයාසේන ගුණසිංහ මහතා සිය තීරු ලිපියක මෙසේ ලීවේය. “ලංකාවට ඇත්තේ ඔත්තු සේවාවන්ට වඩා පත්තු සේවාවන්ය. එසේ කියන්නේ අපහාසයට, උපහාසයට හෝ පරිහාසයට නොවේ. එම ඔත්තු සේවා බොහෝ විට ක්‍රියාත්මක වන්නේ පත්තු වූ පසුව බැවිනි… ඒ අතින් බලන විට අපේ ඔත්තු සේවාව අංජනම් දේවියට සහ හනුමාට පවරා දෙනවා නම් මීට වඩා කාර්යක්ෂම සේවයක් ලබා ගත හැකි වනු නිසැකය. ඒ සඳහා වැය වන්නේ අඳුනට හා බුලත් කොලයට යන මුදල පමණක් හෙයින් එන්.අයි.බී. හා සී.ඊ.බී. වැනි විවිධාකාර පත්තු සේවා සඳහා නිකරුණේ කැප කෙරෙන ධන සම්භාරය ද ඉතිරි කර ගත හැකිය. එසේ මුත් මෙය විහිලුවක් නොව ඉතා බැරෑරුම් දෙයකි. දෑස් දෙකන් නොමැති හමුදාවක් විසින් ආරක්ෂා කරනු ලබන යම් ජනතාවක් වෙතොත් එම ජනතාවද දංගෙඩිය ඉදිරියේ පෙළ ගැස්වූ සිව්පා සතුන් රංචුවක් වැනිය. ඔවුන්ගේ අවසාන ඉරණම අනිවාර්යය. එමෙන්ම පැහැදිලිය.”

ඔහු මෙසේ ලියන්නේ 1992 වසරේය. ඒ එවක තිබූ සන්දර්භය තුළය. නමුත් පසුකාලීනව අපේ බුද්ධි අංශ කෙතරම් ප්‍රබල තත්ත්වයකට පත් වී දැයි ඔප්පු කරනු ලැබුවේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා බුද්ධි අංශ ලබාදුන් ඉහළතම දායකත්වයෙනි.

නමුත් අද පවතින සන්දර්භය තුළ මෙරට බුද්ධි අංශවල ක්‍රියාත්මක පරාසය වෙනස් තලයක් දක්වා පුළුල් කළ යුතුව තිබේ. USAID ආයතනය වැනි විදේශ ආධාර ලබන සංවිධාන මෙරටට මැදිහත්වන බහුවිධ ආකාර විශ්ලේෂණය කරගැනීම මෙරට බුද්ධි අංශවල දැනට පවතින විෂය රාමුවට කෙසේ අදාළ වන්නේ දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් එවැනි විෂයයක් මෙරට බුද්ධි අංශවල විෂය පරාසයට අනිවාර්යෙන්ම අවශ්‍ය බව අපි යෝජනා කරමු.

නූතන ලාංකේය හා අන්තර්ජාතික දේශපාලන සන්දර්භයේ ස්වභාවය සම්බන්ධව කියැවීමක් නැති – අවබෝධයක් නැති, දුර දැක්මක් නැති, දේශපාලකයින් සාතිශය බහුතරයක් අරක් ගෙන සිටින (මේ අතර විදේශ ඔත්තු සේවාවලට අවැසි නියෝජිත භූමිකාව ඉටු කරන පක්ෂ – විපක්ෂ මහජන නියෝජිතයින්ද සිටින බව ඔවුන්ගේ දේශපාලන තීන්දු තීරණ ගැනීම් හා දේශපාලන හැසිරීම් පිළිබඳ විශ්ලේෂණයකදී හඳුනාගත හැකිය.) පාර්ලිමේන්තුවට වඩා, පුරවැසියන් වශයෙන් විශ්වාසය තැබීමට සිදුවන්නේ ‘ඇස් කන් ඇරගත් බුද්ධි අංශ යාන්ත්‍රණයක්’ වෙත ය. මෙහිදී ‘පුද්ගල බද්ධ හෝ දේශපාලන පක්ෂ හෝ න්‍යාය පත්‍රවලට’ වඩා රට වෙනුවෙන් වූ න්‍යාය පත්‍රයක් ඒවාට වඩාත් අවශ්‍ය යැයි අප විශ්වාස කරන්නේ USAID වැනි විදේශාධාර යටතේ ක්‍රියාත්මක වන ආයතන හරහා දියත් වී ඇති, දියත් වන හා දියත්වීමට නියමිත කුමන්ත්‍රණවලින් පරාජය වන්නේ පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ නොව රට බැවිනි. එසේ පරාජය වුවහොත් අපට කනගාටුවෙන් වුවත් කීමට සිදුවන්නේද ‘ලංකාවට ඇත්තේ ඔත්තු සේවාවන්ට වඩා පත්තු සේවාවන්’ බවය.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *