ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

*********************************************

ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

(13.07.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 14 ක් එක්ව ක්‍රියාත්මක කරන සියලුම ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛන්ඩව ඉදිරියට සිදුකරන බව ගුරු වෘත්තීය සමිති පවසනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය දැක්වීමේදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනය කිරීමට විරෝධය පළ කරමින් ගුරු වෘත්තීය සමිති මෙම වර්ජනය ඊයේ (12) ආරම්භ කළා.

අද (13) දෙවන (2) දිනටත් මෙම වර්ජනය ක්‍රියාත්මක වුව ද ඇතැම් ප්‍රදේශවල ගුරුවරුන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකර ඇති බව ද, වාර්තා වනවා.

එහෙත්, ප්‍රදේශ රැසක ගුරුවරුන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

+++++++++++++++++++++

(13.07.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

විකෘති ප්‍රභේදයන් යැයි සැක සහිත කොරෝනා සාම්පල 96 ක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ අදාළ වාර්තාව නිකුත් කිරීමට නියමිතයි.

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම විකෘති කොරෝනා සාම්පල ශ්‍රී ජයවර්ධනපුර සරසවිය වෙත ලැබී තිබෙනවා.

එම කොරෝනා වෛරසය ඩෙල්ටා ප්‍රභේදයද එසේත් නොමැති නම් වෙනත් ප්‍රභේදයක්ද යන්න පිළිබඳව නිශ්චිත නිගමනය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඊට සමගාමීව සයිනොෆාම් එන්නත මගින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ලැබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක්ද එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

තවත් සතියක කාලසීමාවකින් පසු එය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.

මේ අතර, දිවයිනේ සියලුම පාසල් ගුරුවරුන් ඉදිරි දින 10 ක කාලය ඇතුළත එන්නත්කර අවසන් කිරීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

කොළඹදී අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට බස්නාහිර පළාතේ ගුරුවරුන්ගෙන් 86% කට කොරෝනා එන්නත් ලබාදී ඇති බවයි.

මේ අතර, දිවයින පුරා විසිරී සිටින 38,000 ක් වන පෙර පාසල් ගුරුවරුන් සඳහාද කොරෝනා මර්දන එන්නත් ලබාදීමට කටයුතු ආරම්භ කෙරුණා.

ඒ අනුව පෙරපාසල් ගුරුවරුන් සඳහා එන්නත් ලබාදීමේ කටයුතු අද (13) ආරම්භ කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

මේ අතර, පාසැල් ළමයින් සඳහාද කොරෝනා මර්දන එන්නත් ලබාදීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කලාප 14 ක සියලු සේවකයින් සඳහා කොරෝනා මර්දන පළමු (1) එන්නත් මාත්‍රාව ලබාදී අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් 6 කට මෙන්ම පැසිෆික් දූපත් රාජ්‍යයන් වෙත ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් මිලියන 11 ක් පරිත්‍යාග කිරීමට ජපානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටේගි ප්‍රකාශ කළා.

කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව හැරුණු කොට එම එන්නත් ලබාදෙන අනෙකුත් ආසියාතික රටවල් වන්නේ බංග්ලාදේශය, කාම්බෝජය, ඉරානය, ලාඕසය සහ නේපාලයයි.

එසේම, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ කටයුතු සඳහා භාවිත කිරීමට චීනයේ සිට එන්නත් සිරින්ජර ලක්ෂ දහයක් (10) අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා.

මේ අතර, ඊයේ (12) දිනයේ සිදුවූ කොරෝනා මරණ 41 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (13) තහවුරු කළා.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,574 ක් ලෙසයි.

අද (13) දිනයේදීත් තවත් ආසාදිතයින් 882 දෙනෙකු ද වාර්තා වූ බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 522 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (13) දිනයේ හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1404 ක් ෴

++++++++++++++++++++++

කොළඹ පෞද්ගලික රෝහලක PCR චීනය බ්ලැක් ලිස්ට් කරයි

(14.07.2021 – aruna.lk)

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල පිළිගතහැකි මට්ටමක නොපවතින බව මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

එම නිසා ශ්‍රී ලංකාවේ සිට චීනයට ඇතුළුවන පුද්ගලයන්ට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අනුමත කර ඇති රෝහල් ලැයිස්තුවෙන් එම රෝහල ඉවත් කරන බවත් තානාපති කාර්යාලය පවසයි.

පසුගිය වකවානුවේ අදාළ රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ කොට කොවිඩ් ආසාදිත නොවන බව තහවුරු වූ පුද්ගලයන් රැසක් චීනයට ඇතුළුවීමෙන් අනතුරුව ආසාදිතයන් බවට අනාවරණය වීම චීනයේ මෙම තීරණයට හේතුවී තිබේ.

එම නිසා ගුවන් මගීන්ගේ, ගුවන් සේවකයන්ගේ සහ අදාළ සියලුම පාර්ශ්වවල ආරක්ෂාව වෙනුවෙන් 2021 ජූලි 13 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරත් ප්‍රකාශ කරයි ෴

@@@@@@@@@@@@@@@@@@

(13.07.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ පේරාරු ප්‍රදේශයේදී සිය අලුත උපන් බිලිඳිය ඝාතනය කළ මව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඇය කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (12) පස්වරුවේ මෙම අළුත උපන් බිළිදිය ඝාතනය කිරීමේ සිද්ධිය වාර්තා වූ අතර සැකකාර මව සැමියා විදේශ ගතවීමෙන් පසු ඇතිකර ගත් වෙනත් සබඳතාවක් හේතුවෙන් ගැබ් ගැනීම සිදුව ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

බිලිඳියගේ හිසට පහරදී ඝාතනය කර පසුව පුලුස්සා ඇති අතර, මිත්තණිය විසින් මේ පිලිබඳව පොලීසියට දැනුම්දී තිබුණා.

******************************************

සූර්ය කුණාටුවක් අද (13) මහපොළොවට

(13.07.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී සූර්ය කුණාටුවක් පැයට කිලෝමීටර් මිලියන 1 යි දශම 6 ක වේගයකින් පෘථිවිය දෙසට ළගා වෙමින් පවතින අතර එය අද දිනයේ පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට පතිත වනු ඇතැයි නාසා ආයතනය පවසනවා.

එමගින් ලොවපුරා විදුලි සැපයුම් සහ සන්නිවේදන කටයුතුවලට බලපෑමක් ඇතිවිය හැකියි.

සූර්යයාගේ නිරක්ෂ මධ්‍යයේ සිට ඇවිලෙන සූර්ය ගිනිදැල් වලට පැයට කිලෝමීටර් 500 ක පමණ වේගයෙන් ගමන් කළ හැකියි.

නව සූර්ය සුලි කුණාටුව හඳුනාගෙන ඇත්තේ පසුගිය 03 වනදායි.

පෘථිවියේ සමස්ත චුම්භක ක්ෂේත්‍රයට බලපෑමක් ඇති නොවුව ද, එමගින් එහි ඉහළ තලයේ පවතින චන්ද්‍රිකා, ජී.පී.එස්. පද්ධති, ජංගම දුරකථන සංඥා සහ චන්ද්‍රිකා රූපවාහිනි මෙන්ම විදුලිබල ග්‍රිඩ් පද්ධතිවලට බලපෑමක් ඇතිවිය හැකි බව නාසා ආයතනය පෙන්වා දෙනවා ෴

******************************************

(13.07.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාව මගින් පෙන්වා දී ඇත්තේ රථ වාහන ධාවනය සඳහා පුනර්ජනනීය බලශක්ති යොදා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.

මෙරට ලියාපදිංචි රථ වාහන සංඛ්‍යාව අසූ ලක්ෂය (80,00,000) ඉක්මවා ඇති අතර ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් අවුරුදු 10 කට වඩා පැරණි ඒවායි.

එමෙන්ම, මෙරට වායු දූෂණයෙන් සියයට 60 ක් පමණ සිදුවන්නේ රථ වාහනවලින් බව මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් මගින් සිදුකළ පර්යේෂණ වලදී තහවුරු වී තිබෙනවා ෴

******************************************

(13.07.2021 – 21:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ රජයට සහාය දක්වන සුළු පක්ෂ අතර මතුව ඇති මතගැටුම සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(13.07.2021 – 22:01 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 ක දිරිදීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර වගාවන්ට අවශ්‍ය පොහොර සහ රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් දුෂ්කරතාවට පත් ගොවීන් අදත් (13) ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා.

වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර තමා විසින්ම නිෂ්පාදනය කර ගනු ලබන ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 2 ක් නොඉක්මවන පරිදි දිරි දීමනාවක් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.

2021 – 2022 මහ කන්නය වෙනුවෙන් හෙක්ටයාර අට ලක්ෂයක (8,00,000) පමණ වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර සපයා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඉහළ ගිය ඉන්ධන මිල, පොහොර හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් අදත් (13) ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසට අනුෂ පැල්පිට මහතා පත්කර තිබෙනවා ෴

******************************************

රනිල්ගේ සහ රතන හිමිගේ මන්ත්‍රී තනතුරු අහිමි කරණ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

(14.07.2021 – 05:49 +0530 – lankaleadnews.com)

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසයි.

මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, සහ නීතිපති ඇතුළු පිරිසක් නම්කර තිබෙන බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසා සිටී.

එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසා සිටියේ සෑම පක්ෂයක් විසින්ම සිය ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන් පිළිබඳ නම් ලැයිස්තුවක් සතියක් ඇතුළත ඉදිරිපත්කරන ලෙස දන්වා 2020 වසරේ අගෝස්තු මස 7 වන දා මැතිවරණ කොමිසම විසින් සියලුම පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දුන් බවයි.

නමුත් ඔහුගේ චෝදනාව වන්නේ අදාළ කාලසීමාව තුළ එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට ලබා නුදුන් බවයි.

ඔහුට අනුව අදාළ කාලය තුළ නම් ලබානොදී ඉන් මාස ගණනාවකට පසුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු වශයෙන් රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමි පත් කිරීමට මැතිවරණ කොමිසම ගනු ලැබූ ක්‍රියාමාර්ගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වේ.

ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතා තමාගේ සහ රටේ ජනතාවගෙත් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතියට පටහැනි ආකාරයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු වශයෙන් පත්වී සිටින රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රීධූර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී ෴

******************************************

චමුදිතට විරුද්දව පොලිස්පති පොලිසි යයි.. අපරාධ කොටඨාශයට කැදවයි..

(13.07.2021 – 15:00 +0530 – lankacnews.com)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කල ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන්නැයි පොලිස්පති සී.ඩි. වික‍්‍රමරත්න මහතා විසින් දන්වා ඇත.

ඒ අනුව හෙට (14) දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි චමුදිත සමරවික්‍රම මහතා දැනුම් දී ඇත.

පිලියන්දල පොලිසිය විසින් ඔහුගේ නිවසට ගොස් මේ බව දැනුම් දී ඇත.

‘හිරු රූපවාහිනිය පත්තරේ විස්තරේ’ වැඩසටහනේදි නිරෝධායන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙකී පැමිණිල්ල සිදුකර ඇතැයිද වාර්තා වෙයි ෴

******************************************

චමුදිතයා ගැන පියුමි කිව්ව අන්වර්ත නම් ටික හරිලු !

(13.07.2021 – am.lk)

= චමුදිත ගැන පියුමි කිව්ව නම් ටික හරිලු =

හිරු රූපවාහිනී සේවයේ පැවැත්වෙන එක්තරා ප්‍රසිද්ධ සංවාදයකට ඊයේ (12) සහභාගී වූයේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතායි.

එහිදී ප්‍රශ්න අසන්නට ලෙස කටයුතු කළ චමුදිත සමරවික්‍රම ඇතුළු ඉතිරි මාධ්‍යවේදීන් දෙදෙනාගේ ප්‍රශ්න ඇසිල්ලේ ස්වරූපයට මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි විරෝධතාවයක් මෙන්ම විවේචනද එල්ල වෙමිනුයි තිබෙන්නේ.

චාරයක් නැති ප්‍රශ්න ඇසිල්ල

මේ තිදෙනා අතරින් විශේෂයෙන්ම චමුදිත සමරවික්‍රම ආරාධිතයා අපහාසුතාවයට හා අසීරුතාවයට පත්වන ස්වරයකින් ප්‍රශ්න ඇසුවා.

එම වැඩසටහන නැරඹූ බොහෝ දෙනා නොදන්නා කරුණු මුරලිදරන් මහතා විසින් ඉදිරිපත් කරද්දී ඊට හරස් කපමින් චමුදිත සමරවික්‍රම ප්‍රශ්න ඇසීම බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතු වී තිබෙන බව සමාජ මාධ්‍ය ජාලා සටහන් තුලින් පැහැදිලි වනවා.

පියුමි කිව්වා හරි

මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සමඟද මෙවැනිම වාදයක් චමුදිත සමරවික්‍රම ඇතිකර ගැනීම නිසා ඒ සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා පමණක් නොව එම විවාදය හේතුකොටගෙන පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනට යොමු කරනු ලැබුවා.

නිරෝධායනයට ගෙන යන අවස්ථාවේ සිට නිරෝදායනය වන අවස්ථාවේදීද පියුමි හංසමාලි විවිධ වීඩියෝ පට සමාජගත කරමින් චමුදිත සමරවික්‍රමට දොස් පැවරූ අතර එහිදී පියුමි චමුදිත සමරවික්‍රමව විවිධ නම්වලින් ද හඳුන්වනු ලැබුවා.

පියුමි හංසමාලි ඒ ආකාරයට චමුදිත සමරවික්‍රම හැඳින්වීම ඉතා නිවැරදි බවයි මුත්තයියා මුරලිදරන්ගේ සාකච්ඡාවෙන් පසු සමාජ මාධ්‍ය ජාලාවල පලවන සටහන් වල සඳහන්ව තිබෙන්නේ.

++++++++++

******************************************

ආනයනය තහනම් කර තිබියදී වරායට යූරියා නැවක්

(14.07.2021 – aruna.lk)

රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර තොගයක් සම්බන්ධව රේගු ආදායම් අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

තොග වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක් මගින් මෙම යූරියා පොහොර තොගය කොළඹ වරායට රැගෙනවිත් ඇති බව රේගුව සඳහන් කරයි.

කොළඹ 08, බාවා පෙදෙසේ පිහිටා තිබෙන පෞද්ගලික සමාගමක් මෙම යූරියා පොහොර තොගය ආනයනය කර තිබෙන බව රේගු පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අදාළ නැවෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 9795 ක් මෙරටට ආනයනය කර තිබේ.

රසායනික පොහොර ආනයනය ඉකුත් මැයි මස 06 වැනිදා තහනම් කරනු ලැබූ අතර, එම තහනමට අදාළ රෙගුලාසි වලට අනුව මැයි 06 වැනිදා හෝ මැයි 06 වැනිදායින් පසුව රසායනික පොහොර මෙරටට එවීම සඳහා නැව්ගත කළ නොහැකිය.

ඒ අනුව මෙම පොහොර තොගය නැව්ගත කරන ලද දිනය සම්බන්ධව රේගු අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී මෙලෙස පොහොර ආනයනය කිරීම පිළිබඳව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ තහනම් කර තිබියදී ඒවා ආනයනය කිරීම කළ නොහැකි බවය.

ඉකුත් අප්‍රේල් මස 28 වැනිදායින් පසුව ණයවර ලිපි (එල්.සී.) විවෘත කිරීමට අවස්ථාව ලබා නොදුන් බවත්, මීට පෙරදී එල්.සී විවෘත කර මෙරටට ආනයනය කරන ලද මිශ්‍ර පොහොර මෙට්‍රික් ටොන් 2500 ක තොගයක් තවමත් නිදහස් නොකර වරායේ තිබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය ෴

******************************************

භාවිතයට නුසුදුසු ලක්ෂ 50 ක රූපලාවණ්‍ය කොළඹින් අල්ලයි

(14.07.2021 – aruna.lk)

මනුෂ්‍ය භාවිතයට නුසුදුසු බදු ගෙවීමකින් තොරව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ පනහක් (50) පමණ වටිනාකමකින් යුත් මුහුණු ආලේපන හා රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊ​යේ (13 වැනිදා) පස්වරුවේ සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් වැටලූ අධිකාරියේ විමර්ශන නිලධාරීන් මෙම රූපලාවණ්‍ය තොගය සොයාගෙන තිබේ.

විදේශීය රටවලින් පැමිණෙන මගීන්ගේ ගමන්මලු තුළ බහාගෙන ආ මෙම රූපලාවණ්‍ය තොගයේ ලේබල්ද වෙනස් කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විමර්ශන නිලධාරීන්ට බලපෑම් කර ඇති බවද වාර්තා වෙයි ෴

******************************************

9 වසර දැරියක් නිවස තුළදීම දූෂණය කරලා! නොසිතූ ලෙස පවුලේම අයෙක් මාට්ටු!

(14.07.2021 – am.lk)

14 හැවිරිදි දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දැරිය දූෂණයට ලක් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇති බව යි වාර්තා වන්නේ.

ලද පැමිණිල්ලක් මත අදාළ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ, සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ද පවසා සිටියා.

මේවන විට අනාවරණය වී ඇති ආකාරයට දැරිය දූෂණය කර ඇත්තේ එම දැරියගේ වැඩිමහල් සොයුරියගේ සැමියා විසින්.

ඔහු 37 හැවිරිදි අයෙකු බව සඳහන්.

අත්අඩංගුවට ගත් ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

එහි දී බාල වයස්කාර දැරියක් දූෂණයට ලක්කිරීමේ චෝදනාව මත මෙම පුද්ගලයාව ජූලි මස 23 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව යි වාර්තා වන්නේ.

පාසල් වසා දමා ඇති පසුබිමක බාල වයස්කාර දරුවන් සිය පවුල තුළම ඥාතීන් විසින් අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන බව ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙනවා.

එබැවින්, තම දරුවන් පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන ලෙස යි එම අධිකාරිය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

කෙටුම්පත සකසා අවසන්.. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්..

(14.07.2021 – 11:20 +0530 – lankacnews.com)

එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක (2) තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *