ගිනිගත් නැව නිසා පීඩාවට පත් ධීවරයින්ට පළමු (1) වටයේ වන්දි ගෙවීම හෙට (14) සිට

ගිනිගත් නැව නිසා පීඩාවට පත් ධීවරයින්ට පළමු (1) වටයේ වන්දි ගෙවීම හෙට (14) සිට

*********************************************

ගිනිගත් නැව නිසා පීඩාවට පත් ධීවරයින්ට පළමු (1) වටයේ වන්දි ගෙවීම හෙට (14) සිට

(13.07.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නෙන් හානියට පත් ධීවරයින් සඳහා පළමු (1) වටයේ වන්දි ලබාදීම හෙටින් (14) ආරම්භ වනවා.

ධීවර අමාත්‍යාංශය පැවසුවේ මෙහිදී ගම්පහ, කොළඹ සහ කළුතර ප්‍රදේශ ආවරණය වන පරිදි ධීවර ක්ෂේත්‍රයේ නිරත ජීවනෝපාය අහිමිවූ අංශ 27 කට වන්දි මුදල් පිරිනැමීම සිදුවන බවයි.

අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වෙත අදාළ වන්දි මුදල් බැර කිරීම සිදුකෙරෙන බව ද ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අදාළ නෞකාවේ රක්ෂණ සමාගම මගින් ලබා දුන් රුපියල් මිලියන 720 ක අතුරු වන්දියෙන් මිලියන 420 ක් පමණ මේ සඳහා ධීවර අමාත්‍යාංශය වෙත ලැබී තිබෙනවා ෴

******************************************

(13.07.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රීවරුන්ට මහජනතාව හමුවීමට මීට පෙර ලබාදී තිබූ අවස්ථාව යළි ලබාදීම සඳහා අවධානය යොමුවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය නිවේදනය කළේ ඊට අවශ්‍ය කාමර වෙන් කිරීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මැදිහත්වීම මත මෙම පියවර ගෙන ඇති බවයි.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ කාරක සභාවේදී සභානායකවරයා මේ සම්බන්ධයෙන් ඉල්ලීම සිදුකර තිබෙනවා.

එහිදී ඔහු පෙන්වාදී තිබුනේ මහජනතාවට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මන්ත්‍රීවරුන් හමුවීමට මීට පෙර පැවති අවස්ථාව යළි ලබාදිය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඒ සඳහා ඉල්ලීම් ගණනාවක් ලැබී ඇති බව ද සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.

එහිදීයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වේත්‍රධාරීවරයා වෙත එම ඉල්ලීම යොමුකර තිබුණේ.

මහජනයා හමුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාමර 10 ක් වෙන් කිරීමට සාකච්ඡා වී ඇති අතර, පළමු (1) පියවර ලෙස කාමර 7 ක් වෙන් කිරීමට හැකියාව පවතින බවයි වේත්‍රධාරිවරයා විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දැනුම් දී ඇත්තේ.

මේ අනුව, කොරෝනා තත්ත්වය පාලනය වී මහජනතාවට පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසීමේ අවස්ථාව උදා වූ පසු මන්ත්‍රීවරුන්ගේ මහජන හමුවීම් කාමර මහජනතාව සඳහා විවෘත කරන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා ෴

******************************************

(13.07.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු සම්බන්ධයෙන් වන විමර්ශන සම්පූර්ණයෙන් අවසන් වී ඇති නිසා, ඔවුන්ට විදෙස් ගතවීම සඳහා අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ අද (13) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි.

එසේම, මෙම සිද්ධියේදී මුහුදෙන් ලබා ගත් ජලය ඇතුළු සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වූ වකවානුවේ එහි කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා අතර සිදුවූ බව කියන ගුවන් විදුලි පණිවුඩ හුවමාරු ඇමතුම් දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් හාබර් මාස්ටර්වරයා සහ එම කාර්යාලයේ නිලධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

විමර්ශනවලදී මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණ වන්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

හාබර් මාස්ටර්වරයාගේ කාර්යාලයේ තිබූ එම යන්ත්‍රයේ දත්ත පරීක්ෂා කරන ලෙස තමන් මෙම විමර්ශන ආරම්භයේ සිටම ඉල්ලා සිටියද එය පරීක්ෂා කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතාමතාම මගහැර ගිය බවයි නෞකාවේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ ෴

******************************************

(13.07.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

සිය පාරම්පරික නිජ බිම් එළිකර බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 08 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ එම පෙත්සම අභියාචනාධිකරන විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල ඉදිරියේ අද (13) කැඳවූ අවස්ථාවේදීයි ෴

******************************************

(13.07.2021 – 17:53 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ස්ථානවල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් තම උන් උන්හිටිතැන් අහිමි වු සත්ත්ව කොට්ටාශ පිළිබඳ තොරතුරු වාර්තා වූයේ අද ඊයේ සිට නොවේ.

ඇතැම් අවස්ථාවලදී මෙලෙස අවතැන් වෙන සත්ව කොට්ඨාශ බරපතල සමාජ ගැටළු පවා මතු කරනවා.

දැනට දශක ගණනාවක් තිස්සේ මෙරට තුල විසඳාලිය නොහැකි මට්ටමට වර්ධනය වී ඇති අලි මිනිස් ගැටුම ඒ අතරින් එකක්.

එතරම් සුවිශාල නොවුවත් මේ තවත් එවැනි අවතැන් වූ සත්ත්ව කොට්ඨාශයක් පිළිබඳ තොරතුරක්.

මෙය අපට වාර්තා වන්නේ මොරටුව ප්‍රදේශයෙන්.

කරදියාන කසළ අංගනය අවට රැඳී සිටි වඳුරන් පිරිසක් එම ප්‍රදේශයේ සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් දූපතකට කොටුව වීමේ පුවතක් වාර්තා වනවා.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය විසින් මොරටුවේ වේරැස් ගඟ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සංවර්ධන ව්‍යාපෘතියක් සමග වේරැස් ගඟේ කුඩා දූපත් කිහිපයක් නිර්මාණය කෙරුණා.

අපේ මේ කතාවට ප්‍රස්තුත වන වඳුරු රංචුව මින් එක් දූපතකට කොටු වෙනවා.

රිලවුන් මෙන් පිහිනීමේ සමත්කම් නොදැක්වීම හේතුවෙන් මේ වන විට කුඩා බිම් කඩකට කොටුවූ මෙම වඳුරු රංචුවට දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ හෝ මෙම හුදෙකලාවෙන් පළා ගිය වඳුරන් කිහිප දෙනෙකු කරදියාන කසළ අංගනය අවට ප්‍රදේශයට නැවත පැමිණෙන්න සමත් වුණත් ප්‍රදේශයේ වාසය කරන සුනඛයින් එක්ව මෙම වඳුරන්ට ප්‍රහාර එල්ල කර මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මෙම සත්ත්වයින් පිරිස තව ටික කලක් මෙම දූපතේ සිර වී සිටියහොත් බරපතළ ආහාර හිගයට මුහුණ දී ඔවුන් මිය යාහැකියි බවයි.

එමෙන්ම පවතින තත්වය හමුවේ මෙම සතුන් කරදියාන අවට ප්‍රදේශයට මුදා හැරීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී ඇත්තේ ප්‍රදේශයේ වාසය කරන සුනඛයන්ගේ ප්‍රහාර හේතුවෙන්.

පහත රට තෙත් කලාපීය උප විශේෂයකට අයත් මෙම කළු වඳුරු රංචුව බේරා ගැනීම සඳහා බලධාරීන් නිසි මැදිහත් වීමක් සිදු කළ යුතු බවටයි පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ.

******************************************

පාස්කු ප්‍රහාරයේ ඉදිරි කටයුතු මන්දගාමීයි – කතෝලික සභාවෙන් ජනපතිට පිටු19කින් යුත් ලිපියක්

(13.07.2021 – 18:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් දීමේ කටයුතුවල මන්දගාමී ස්වභාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් යොමු කරන පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික තෝලික ප්‍රකාශක කමිටුව සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට කැඳවීමේ මන්දගාමී ස්වභාවය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ඇතුළු රදගුරු හිමිවරුන් හය (6) දෙනෙකු සහ කතෝලික සභාවේ පියතුමන්ලා 27 දෙනෙකු අදාළ ලිපියට අත්සන් තබා තිබෙනවා.

මෙම ලිපිය හරහා ගැටළු ගණනාවක් කෙරෙහි අවධානය යොමුකරණ කතෝලික සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අවම තරමින් මාසයක (1) කාලයක් තුළ හෝ අදාල ගැටළුවලට නිසි පිළිතුරු සපයන ලෙසයි.

දැනට මන්දගාමී වී ඇති සත්‍යය මතු කර ගැනීමේ උත්සාහය පරාජය කර පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් මෙම ලිපිය හරහා ඉල්ලා සිටිනවා.

මෙම ඉල්ලීමට යහපහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් විකල්ප ක්‍රියා මාර්ග කෙරෙහි යොමු වීමටත් ඔවුන් අදහස් කර සිටින බවයි අදාළ ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

[ ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය ]

******************************************

(13.07.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

පවතින ක්‍රමය තුල පළාත් පාලන සභිකයන්ගේ අනවශ්‍ය වැඩි වීමක් තිබෙන බැවින් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමකදී මෙම ප්‍රමාණය ආසන්න වශයෙන් දහසකින් (1000) පමණ අඩු විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවෙන්.

එම කමිටුවේ අවසන් වාර්තාව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වෙත අද (13) භාර දුන්නා.

ඒ අනුව, ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම් වලදී සිදුකළ යුතු කරුණු කිහිපයක් කමිටුව යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, පවතින ක්‍රමය තුල පළාත් පාලන සභිකයන්ගේ අනවශ්‍ය වැඩිවීමක් පවතින බව හඳුනාගෙන ඇති අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමකදී අනිවාර්යයෙන් මෙම ප්‍රමාණය ආසන්න වශයෙන් දහසකින් පමණ අඩුවිය යුතු බවටයි අදාළ සමාලෝචන කමිටුව පෙන්වා දී ඇත්තේ.

මීට අමතරව එම කමිටුව තවත් යෝජනා 5 ක් ඉදිරිපත් කර තිබෙනවා.

2018 වසරේ පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන සඳහා තෝරා ගැණුනු සභිකයින්ගේ සංඛ්‍යාව 8356 ක් පමණ වනවා ෴

@@@@@@@@@@@@@@@

(13.07.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ලිහිල් කිරීමට සමගාමීව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පළාත් අතර නව දුම්රිය වාර 14 ක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ උපදෙස් මත හෙට (14) සිට මෙම නව දුම්රිය ධාවනයට එක් කෙරෙනු ඇති.

ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර, රඹුක්කන, මහව, හලාවත, මෙන්ම මරදාන සිට බෙලිඅත්ත, ගාල්ල දක්වා සහ එම ගමනාන්තයන් වල සිට කොළඹ කොටුවට සහ මරදානට දුම්රිය ධාවනයට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව හෙට (14) සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 42 ක්, උතුරු මාර්ගයේ 02 ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 44 ක්, පුත්තලම මාර්ගයේ 14 ක් සහ කැළණිවැලි මාර්ගයේ 10 ක් වශයෙන් දිනකට දුම්රිය ගමන්වාර 112 ක් සිදු කිරීමට නියමිතයි.

++++++++++++++++++++++

(13.07.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් 6 කට මෙන්ම පැසිෆික් දූපත් රාජ්‍යයන් වෙත ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් මිලියන 11 ක් පරිත්‍යාග කිරීමට ජපානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටේගි ප්‍රකාශ කළා.

කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව හැරුණු කොට එම එන්නත් ලබාදෙන අනෙකුත් ආසියාතික රටවල් වන්නේ බංග්ලාදේශය, කාම්බෝජය, ඉරානය, ලාඕසය සහ නේපාලයයි.

මීට අමතරව, ඉන්දුනීසියාව, තායිවානය සහ වියට්නාමය යන රටවලට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනය බැගින් අනිද්දා යැවීමට ද ජපානය කටයුතු යොදා තිබෙනවා.

මෙලෙස පරිත්‍යාග කරනු ලබන්නේ ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් වන අතර, ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවනවා.

එමෙන්ම, කොවැක්ස් වැඩසටහන සඳහා ඩොලර් බිලියනයක් සහ එන්නත් මාත්‍රා මිලියන 30 ක් ලබාදීමට ද ජපානය ප්‍රතිඥා දී තිබෙනවා ෴

+++++++++++++++++++

(13.07.2021 – 17:56 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) දිනයේ තවත් කොවිඩ් මරණ 41 ක් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3574 ක් ලෙසටයි.

ඊයේ (12) තහවුරු කරන ලද මෙම මරණ අතරට පිරිමි පුද්ගලයන් 23 ක් සහ කාන්තාවන් 18 ක් ඇතුලත්.

ඒ අතර අවුරුදු 30 ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 15 ක් සහ කාන්තාවන් 13 ක් මියගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 882 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 276,988 ක් ලෙසටයි ෴

+++++++++++++++++++++++

(13.07.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

කොවැක්ස් පහසුකම යටතේ මොඩර්නා එන්නත් මිලියන 1.5 ක් ලබන සිකුරාදා (16) දිවයිනට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියාසිටියේ මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 15 ඇමරිකාවේ සිට මෙරටට රැගෙන එන බවයි.

ඉන් 750,000 ක් පළමු (1) මාත්‍රාව ලෙසටත් මාසයකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන (2) මාත්‍රාව ලෙසට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරිය කියාසිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *