ත්‍රිකුණාමල වරාය ඩොලර් මිලියන 3000 ඇමරිකාවට වසර 50 කට…? ඇමරිකා හමුදාවත්..?
*********************************************
ත්‍රිකුණාමල වරාය ඩොලර් මිලියන 3000 ඇමරිකාවට වසර 50 කට…? ඇමරිකා හමුදාවත්..?
(12.07.2021 – 13:20 +0530 – lankacnews.com)
ත්‍රිකුණාමල වරාය ඩොලර් මිලියන 3000 පමණ මුදලකට ඇමරිකාවට වසර පනහක (50) කාලසීමාවකට බදු දීමක් සිදු විය හැකි බව ‘ජාතික සංවිධාන එකමුතුව’ සඳහන් කරයි.
එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ඔහු විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය :
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී මෙ.ටො 10,000 ක ධාරිතාව සහිත ටැංකි 102 කින් සමන්විත තෙල් ටැංකි සංකීර්ණයක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඉදි කරනු ලබන්නේ 1940 දී පමණය. නිදහස ලබාගැනීමෙන් පසුව එම තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවේ රජයට පවරා දීමට එහි නීත්‍යානුකූල අයිතිකරු වූ බ්‍රිතාන්‍ය නාවික හමුදාව මැළිකමක් දැක්වීය. ඒ අනුව 1964 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය යටතේ ස්ටර්ලින් පවුම් 250,000 ක වන්දි මුදලක් ගෙවා එම තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවේ රජයට පවරා ගනු ලැබීය. නමුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් මර්මස්ථානයක් වන එම ටැංකි සංකීර්ණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඉන් පසුව පත් වූ සැම රජයක්ම අසමත් විය. එම ටැංකි සංකීර්ණයේ ඉහළ කොටසට අයත් ටැංකි 85 කින් කිසිඳු ප්‍රයෝජනයක් නොගත් අතර පහළ සංකීර්ණයේ ටැංකි 14 ක් පමණ ඛණිජ තෙල් සංස්ථාව විසින් සීමිත අවශ්‍යතායන් සඳහා භාවිතාකොට ඇත. ඒ අතුරින් ටැංකි 2 ක් භාවිතයට ගත නොහැකි තත්වයකට පත් වී ඇත.
බ්‍රිතාන්‍ය පාලකයින් එදා 1940 දී එවැනි විශාල ටැංකි සංකීර්ණයක් ඉදි කරනු ලබන්නේ එහි උපාය මාර්ගික වැදගත්කම නිසාය. අද වන විට එම උපාය මාර්ගික වටිනාකම සිය දහස් ගුණයකින් වැඩි වීමක් මිස අඩු වීමක් සිදු නොවන බව ඉතා පැහැදිළිය. එදා 1987 දී ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබන අවස්ථාවේදී මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවේ එකඟතාවය සහිතව සංවර්ධනය කළ යුතු බවට එම ගිවිසුමට ප්‍රතිපාදනයක් ඇතුල් කරනු ලබන්නේ එම වැදගත් කම නිසා බවට කිසිඳු සැකයක් නැත. ඒ අනුව 2002 දී එම තෙල් ටැංකි සංකීර්ණයේ පය තබාගැනීමට ඉන්දියාව විසින් ඉතා සූක්ෂම මෙහෙයුමක් දියත් කරනු ලැබීය. එහිදී ඔවුන්ට මූලික වශයෙන් වැදගත් වූයේ ටැංකි සංකීර්ණය වාණිජ වශයෙන් භාවිතා කිරීමට වඩා එය රුසියාව හෝ චීනය වැනි පාර්ශව සමඟ එක්ව සංවර්ධනය කිරීම වැළැක්වීමය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් පිරිපහදුව ඉරානයේ සැහැල්ලු බොරතෙල් වලට විශේෂිතව ඉදිකරනු ලැබූවක් වන බැවින් ත්‍රිකුණාමලයේ නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමේ උපාය මාර්ගික අවශ්‍යතාවයක් තිබීම ඊට හේතු විය.
මේ වන විට ඇමෙරිකානු සමාගමක් විසින් ඉන් ඩොලර් මිලියන 3000 ක ආයෝජනයක් බව කියන මහා පරිමාණ තෙල් පිරිපහදුවක් ත්‍රික්‍රණාමල වරාය ආශ්‍රිතව ඉදි කිරීම සදහා ඉදිරිපත් වී ඇත. එම යෝජනාවට අනුව පිරිපහදුව ඉදිකරනු ලබන්නේ BOT හෙවත් ඉඳිකොට ක්‍රියාත්මක කර පවරාදීමේ පදනම මතය. ඒ අනව එම පිරිපහදුව සහ ත්‍රිකුණාමලව වරාය අශ්‍රිත පහසුකම් සියල්ල ඇමෙරිකානු දේපලක් ලෙස දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමේ හැකියාව ලැබේ. එම්.සී.සී. ගිවිසම අනුව ත්‍රීකුණාමල වරාය ආශ්‍රිතව අක්කර 33,000 ක භූමියක පැතිරී යන ආකාරයක ආයෝජන කලාපයක් පිහිටුවීමට යෝජනා විය. ඒ සදහා සිංගප්පූරුවේ සුභානා ජූරෝම් නැමති උපදේශක සමාගම විසින් සැළසුමක්ද ඉදිරිපත් කරනු ලැබීය. එම සැළසුමට අනුව එම ආයෝජන කලාපයේ අවස්ථා ලබා දිය හැක්කේ ඉන්දියානු, ඇමෙරිකානු සහ ජපාන සමාගම් වලට පමණි.
ඉන්දියන් ඔයිල් සමාගම සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් අතර ගිවිසුම
එම දීර්ඝකාලීන මහා උපාය මාර්ගයේ ආරම්භක ප්‍රවේශය ලෙස 2002 ජූනි 11 දින ශ්‍රී ලංකාවේ රජය විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන්කොට එම ටැංකි සංකීර්ණය ‘ඉන්දියන් ඔයිල් සමාගමේ’ ශ්‍රී ලංකාවේ උප සමාගමක් වන ‘ලංකා ඉන්දියන් ඔයිල් සමාගම’ට දීර්ඝ කාලීන බදු පදනමක් යටතේ පවරා දෙනු ලැබීය. ඊට අනුව 2002 දෙසැම්බර් 05 දින ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක්ද අත්සන් කරනු ලැබීය. එම ගිවිසුම මඟින් ටැංකි සංකීර්ණය සහ ඒ ආශ්‍රිත ඉඩම් සහ සෙසු පහසුකම් එම සමාගමට පවරා ගැනීමට සහ වැඩි දුරටත් සංවර්ධනය කිරීමට ඉන්දියානු සමාගමට බලය ලැබුණි. ඒ අනුව අවබෝධතා ගිවිසුම සහ ආයෝජන මණ්ඩල ගිවිසුම අනුව 2003 දී ඉන්දියන් ඔයිල් සමාගම සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් අතර ගිවිසුමක් අත්සන් කරන්නට යෙදුණි. නමුත් එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ රජයට ගෙවිය යුතු වූ මූලික මුදල වූ ඇ.ඩො මිලියන 100 ක මුදල නිසි ලෙස නොගෙවූ බවට ඉන්දියානු සමාගමට චෝදනා එල්ල විය. ඊට අමතරව එම ගිවිසුමේ පිටපත් අදාළ වගකියුතු ආයතන සතුව නොමැති බවට පසු කලෙක විගණකාධිපති වාර්තාවක් මඟින් එළිදරව් විය.
එවැනි තත්වයක් තුළ ඉහත සඳහන් කළ ආකාරයට ඉන්දියාවේ මූලික අරමුණ වූයේ එම තෙල් ටැංකි සංකීර්ණය වෙනත් පාර්ශවයක් සමඟ එක්ව සංවර්ධනය කිරීම වැළැක්වීම බව ඉන්දියාවේ හැසිරීම තුළින් පැහැදිළි විය. එම ගිවිසුම මඟින් අදාළ ඉඩම ඉන්දියානු සමාගමට වසර 50 ක කාලයකට බදු දෙනු ලැබුවද ඉන්දියාව එම බදු කාලය වසර 99 දක්වා දීර්ඝ කළ යුතු බවට සහ එදා පැවති රජය ඊට එකඟ වූ බවටද වාර්තා පළ විය. නමුත් ඉන්දියානු සමාගම විසින් යම් පමණකට හෝ භාවිතයට ගනු ලැබුවේ පහළ සංකීර්ණයේ පැවති ටැංකි 14 ක් පමණි. එහි වූ ටැංකි 15 න් භාවිතයට ගත නොහැකි එක් ටැංකියක් තිබූ බව රහසක් නොවේ. ඒ අනුව ඉහළ කොටසේ තිබෙන ටැංකි 85 ට අදාළව ඉන්දියානු සමාගම විසින් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදු කළේ නැත. කෙසේ වෙතත් 2003 පෙබරවාරි 07 වන දින අත්සන් කළ ටැංකි සංකීර්ණ ගිවිසුම අනුව මාස 6 ක් තුළ දේපළ පවරා දීමට අදාළව බදු ගිවිසුම අත්සන් කළ යුතුව තිබුණි. එම බදු ගිවිසුම අද වන තුරු අත්සන් කිරීමට කටයුතු නොකිරීම නිසා ඉන්දියානු සමාගම එම දේපළ භුක්තියට ගැනීම නීත්‍යානුකූල නොවේ. එසේ වුවත් එකතු වූ වාර්ශික බදු මුදල වන ඇ.ඩො 100,000 ක මුදල මේ වන තුරු අදාළ සමාගම විසින් ශ්‍රී ලංකාවේ රජයට ගෙවා ඇත. ඒ ආකාරයට එම දේපළ පිළිබඳව ඉන්දියානු සමාගමට නීත්‍යානූකූල අයිතියක් නැතත් එම භූමියට ඇතුල් වූ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් අත්අඩංගුවට ගැනීමට පවා ඉන්දියානු සමාගමේ ආරක්ෂක අංශ විසින් කටයුතු කරනු ලැබීය.
තත්වයන් එසේ තිබියදී එම ටැංකි සංකීර්ණයේ භාවිතයට ගත හැකි ටැංකි 99 ම ඉන්දියානු සමාගමේ අයිතියට නතු විය. ඒ අනුව එම ටැංකි ප්‍රමාණයක් භාවිතයට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු සමාගම අතර අදාල දේපළ හවුලේ භුක්ති විඳීමේ ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා විය. ඊට අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමට බදු ගෙවිය යුතු තත්වයක්ද ඇති විය. කෙසේවෙතත් ඉන්දියානු සමාගම තම මූලික අරමුණට අනුව පහළ ටැංකි සංකීර්ණයේ ටැංකි 14 පමණක් භාවිතා කරමින් සමස්ථය සංවර්ධනය කිරීම වැළැක්වීමට සමත් විය. ඉන් පසුව 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ රජය යටතේ ඉන්දියාවට තම ඉදිරි උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුනේ නැත. ඒ අනුව 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට පත් වූ පසුව ඔහු විසින් දිගින් දිගටම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරමින් නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තත්වය නිර්මාණය කරනු ලැබීය.
ත්‍රිකුණාමලය වරායේ බංකරින් ව්‍යාපාරය
ඒ අනුව 2017 මාර්තු 30, 2017 අප්‍රේල් 03 සහ 2017 අප්‍රේල් 24 ආදී වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 03 ක් ඉතා කෙටි කලකදී ඉදිරිපත් කොට 2017 අප්‍රේල් 26 දින අත්සන් කරනු ලැබූ නව අවබෝධතා ගිවිසුමට අනුව අර්ජුන රණතුංග අමාත්‍යවරා විසින් 2018–07–13 දින නැවතත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට මෙතෙක් අත්සන්කොට නොමැති බදු ගිවිසුම වසර 99 ක කාලයක්සඳහා අත්සන් කළ යුතු බවට යෝජනා කරනු ලැබීය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සඳහා එම පර්යන්තයේ සංවර්ධන කටයුතු පමා කරමින් නුසුදුසු දොඹකර ආනයනය කිරීම ආදී ක්‍රියාමාර්ග මඟින් ඉන්දියාවේ උවමනාවන් බොහෝමයක් ඉටු කිරීමට එම කාලයේදී කටයුතු යෙදිණි. කෙසේ වෙතත් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මඟින් සැබෑ නීතිමය තත්වය නොසලකා කටයුතු කිරීමට යෝජනා කොට තිබුණි. එනම් 2003 ටැංකි සංකීර්ණ ගිවිසුමට පසුව බදු ගිවිසුමක් අත්සන්කොට නැතත් සමස්ථ ටැංකි සංකීර්ණයම ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම එක්ව පිහිටුවනු ලබන ඒකාබද්ධ සමාගමකට නැවත බදු දීමට යෝජනා කරනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ රජයට කොටස් අයිති සමාගමක් විසින් බදු අයිතිය නැති සමාගමකට බදු ගෙවා ඉඩම භාවිතා කිරීමට යෝජනා විය. එම ඒකාබද්ධ සමාගම මඟින් අදාළ සංවර්ධන කටයුතු කිරීමෙන් පසුව තෙල්ටැංකි 10 ක් පමණක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදීමට ද එකඟ විය.
මේ වන විට ඉන්දියානු ඔයිල් සමාගම විසින් ත්‍රිකුණාමලය වරායේ බංකරින් ව්‍යාපාරය හෙවත් නැව් වලට තෙල් සැපයීමේ ඉතා ලාභදායි ව්‍යාපාරය ඒකාධිකාරියක් සහිතව අත්පත්කොට ගෙන ඇත. ඊට අමතරව ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව අක්කර 33,000 ප්‍රමාණයකට විහිදී යන වරාය නගර ව්‍යාපෘතියේ බහුතර නියෝජනය ලබා ගැනීම සඳහා ඉන්දියාව විසින් බලවත් උත්සහායක් ගනු ලැබීය. පසුගිය රජය විසින් එම වරාය නගර ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු, ජපාන සහ ඇමෙරිකානු සමාගම් සමඟ පමණක් සාකච්ඡා කළ යුතුය යන කොන්දේසි යටතේ අදාළ උපදේශන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ‘සුභානා ජුරොන්ග්’ නැමැති සමාගමකට පවරනු ලැබීය. ඒ අනුව ඉන්දියාව විසින් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව කරනු ලබන උපාය මාර්ගික අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළ තෙල්ටැංකි සංකීර්ණයට විශාල වැදගත්කමක් ලැබී ඇත. එවැනි තත්වයක් තුළ චීන හෝ රුසියානු සමාගම් විසින් ත්‍රිකුණාමලය ආශ්‍රිතව ඛණිජ තෙල් පිරිපහදුවක් සහ න්‍යෂ්ඨික බලාගාරයක් ඉදි කිරීම වැනි ව්‍යාපෘති වලට යොමු වීම වැළැක්වීම ඉන්දියාවේ ප්‍රභල උපායමාර්ගික උවමනාවක් බවට සැකයක් නැත.
දැන් නව වටයකින් වර්තමාන ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමට නීත්‍යානුකූල බදු ගිවිසුමක් මඟින් පවරා නැති දේපලක් භාවිතයට අදාළව ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමට යෝජනා කරමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්කොට ඇති බව වාර්තා වේ. පසුගිය 2021 පෙබරවාරි 19 දින ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව ඉන්දියානු රජය ප්‍රකාශකොට ඇත්තේ එම ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමක් විසින් බදු පදනමින් ලබාගෙන තිබෙන බැවින් එය නැවත අත්පත්කර ගැනීමට ශ්‍රී ලංකාවට අයිතියක් නොමැති බවය. එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට ඉන්දියානු රජය පොළඹවනු ලැබුවේ එම දේපළ නැවත ශ්‍රී ලංකාවේ අයිතිය යටතට පත්කරන බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මඟිනි. කෙසේ වෙතත් ඉන්දියානු රජය සඳහන් කරන්නේ තමාගේ බදු අයිතිය එසේම තබා ගනිමින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් දියත් කිරීමට බාධාවක් නොමැති බවය. ඒ අනුව ඉන්දියාව තමාට නීත්‍යානුකූල අයිතියක් නොමැති තත්වයක් යටතේ පවා සිදුකරන බලපෑම් අනුව වර්තමාන රජයට අඩියක් පසුපසට ගැනීමට සිදු වී ඇත.
යුදමය තත්වයකදී බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ සහතිකය
කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම ඒකාබද්ධව පිහිටුවනු ලබන සමාගමේ බහුතර අයිතිය ශ්‍රී ලංකාවට දීමට ඉන්දියානු රජය එකඟ වී ඇති බව වාර්තා වේ. එම එකඟතාවය වලංගු වන්නේ ටැංකි 85 කින් සමන්විත සංකීර්ණයට පමණි. ඒ අනුව ටැංකි 14 කින් යුත් පහළ සංකීර්ණය සම්පූර්ණයෙන්ම ඉන්දියානු ඔයිල් සමාගම විසින් පාලනය කරනු ඇත. එවැනි තත්වයක් යටතේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට අදාළ ගිවිසුම මෙන් මෙම නව ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට බහුතර කොටස් අයිතිය හිමි වුවද කළමණාකරණය ඉන්දියානු සමාගමට යටත් කෙරෙන බවට සැකයක් නැත. නමුත් ඒ ආකාරයට අඩු තරමින් ඒකාබද්ධ සමාගමක් මඟින් ඉහළ ටැංකි සංකීර්ණය තුළ ඉන්දියානු ඔයිල් සමාගමට පමණක් අයිතිය ලැබෙන ලෙස වෙනත් ව්‍යාපෘති දියත් කිරීම සඳහා ඉන්දියානු සමාගම විසින් ඉදිරිපත් කළ යෝජනා පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කෙසේ වෙතත් ඉන්දියාවට තෙල් ටැංකි – සංකීර්ණයේ භූගෝලීය පිහිටීම මිස එහි ගබඩා ධාරිතාව වැදගත් වන්නේ නැත. ඉන්දියාවේ කර්නාටක, අන්ද්‍රා සහ ඔරිස්සා ප්‍රාන්තවල බොරතෙල් මෙ.ටො මිලියන 5.33 ක් ගබඩා කිරීමේ පහසුකම් ඇත. ඒ අනුව ඉන්දියාවට යුදමය තත්වයකදී බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක් ඇත. නමුත් ශ්‍රී ලංකාවේ රජයට එවැනි සහතිකයක් මහජනයාට ලබාදීමේ උවමනාවක් තිබෙන බවක් පෙනෙන්නේ නැත. එසේ තිබේ නම් ඉන්දියාවේ උදාහරණය පෙන්වා ඉහළ ටැංකි සංකීර්ණයේ ටැංකි 85 ශ්‍රී ලංකාවේ අයිතියට ගැනීමේ බාධාවක් නැත. ඉන්දියාව සමඟ ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමෙන් පසුවද ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ටැංකි 85 න් උපරිම වශයෙන් 20 ක් භාවිතා කිරීමටය. ඉන්දියාවට එම ඉහළ ටැංකි සංකීර්ණයේ පය තබාගෙන සිටීම මිසක් එය තෙල් ගබඩා කිරීම සඳහා සංවර්ධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත. එම නිසා ඉන්දියාවට පහළ සංකීර්ණයේ ටැංකි 14 එසේම තිබියදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට තමා සතු ඉඩම භාවිත කිරීම වැළැක්විය හැක්කේ කුමන නීතියකට හෝ යුක්තියකට ධර්මයකට අනුවද?
නමුත් ඉහත සදහන් කළ ආකාරයට දැන් සිදු වන්නේ ඊට වඩා බොහෝ භයානක දෙයකි. එනම් ඉන්දු / ඇමෙරිකානු / ඔස්ට්‍රේලියානු / ජපාන ඒකාබද්ධ ආරක්ෂක සන්ධානයේ ඉන්දු ෆැසිපික් යුද උපායමාර්ගයට අනුව ත්‍රීකුණාමල වරාය සහ ඒ ආශ්‍රිත පහසුකම් අත්පත් කර ගැනීමය. මේ වන විට ඇමෙරිකානු සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන ත්‍රීකුනාමල වරාය ආශ්‍රිත ඛනිජතෙල් පිරිපහදුවට අදාල අයෝජන යෝජනාව ක්‍රියාත්මක කළ යතු බවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය විවෘතවම බලපෑම් කරමින් සිටින බව රහසක් නොවේ. නමුත් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් එම ආයෝජනය සඳහා ටෙන්ඩර් පටිපාටිය අනුව ගෝලීය මට්ටමෙන් ආයෝජකයින් කැදවිය යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව වාර්තා විය. එවැනි තත්වයක් තුල දැන් අමාත්‍යවරයාගේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම හෝ අදාල අමාත්‍යාංශය අමාතයවරයාගෙන් ගැලවීම යන තීන්දු දෙකෙන් එකක් ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇත. කවුරු කැමති වුවත් , අකමැති වුවත් දැඩි තීන්දු ගැනීම මගින් ආර්ථිකය කණපිට හැරවීම සදහා පැමිණෙන බව කියන නව මුදල් අමාත්‍යවරයාට ඊට අදාලව විසඳුමක් තිබෙන බවට සැකයක් නැත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
+++++++++++++
******************************************
කෙරවලපිටිය බලාගාරයේ රජයට අයත් කොටස් 40% ක් ඇමරිකාවට විකිණීමට යයි
(12.07.2021 – 08:25 +0530 – lankaleadnews.com)
කෙරවලපිටියේ පිහිටි යුග ධනවි බලාගාරයේ රජයට අයත් කොටස් වලින් 40% ක් ඇමරිකාවේ පිහිටි සමාගමකට විකිණීමට මුදල් අමාත්‍යංශය මූලික ගිවිසුම් අත්සන් කර ඇත. මෙයට කලින් රජයේ කොටස්වලින් 51% ක් විකිණීමට අපේක්‍ෂා කළ නමුදු එම අදහස ඉවත් කරගත් රජය තම කොටස්වලින් 11% ක් ඉතිරි කරගෙන සෙසු කොටස් විකිණීමට තීරණය කර ඇත.
ඉහත සඳහන් කොටස් මිලට ගනු ලබන්නේ ඇමරිකාවේ ‘නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගම’ මගිනි. අත්සන් කරන ලද මූලික ගිවිසුමට අනුව පාවෙන ගෑස් ගබඩාවක් ඉදිකෙරෙනු ඇත. එයට සවිකළ නළ මාර්ගයක් මගින් කැලණිතිස්ස සහ යුගධනවි බලාගාරවලට ගෑස් ඉන්ධන සැපයෙනු ඇත. ඉහත සඳහන් ගනුදෙනුවට අදාළ කැබිනට් පත‍්‍රිකාව මීට දින කිහිපයටක පෙර සකස් කරන ලදී. පත‍්‍රිකාවේ මූලික ස්වරූපයට අනුව ඇමරිකන් සමාගමට විකිණීමට නියමිතව තිබුණේ කොටස් 40% ක් නොව කොටස් 51% කි. බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය බලවත් විරෝධය පළකර තිබිණි ෴
******************************************
විමල් යුද්ධ ප්‍රකාශ කරයි. කොතලාවල පනතට විරුද්ධව ඡන්දය දෙන බව පොහොට්ටුවට දැනුම් දෙයි
(11.07.2021 – 10:41 +0530 – truenews.lk)
පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබුණු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි අර්තර්ගතව ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට ඉඩදෙන ප්‍රතිපාදන ඉවත් නොකරන්නේ නම් තමන් එම පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම විරෝධය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවත් ආණ්ඩු පක්ෂය එම පනත අගෝස්තු මාසයට කල් දැම්මේ තමන්ගේ විරෝධය නිසා බවත්ය.
එමෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට පිහිටුවීමට ඉඩදීමට තම පක්ෂය කිසිසේත්ම එකඟ නොවන බව අවධාරණය කර ඇති ඒ මහතා අගෝස්තු මාසයේදී එම පනත නැවත ඉදිරිපත් කරන මොහොත වන විටත් අදාළ ප්‍රතිපාදන ඉවත් නොකළහොත් ඊට විරුද්ධ වන බව ප්‍රකාශ කර තිබිණි ෴
******************************************
(12.07.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)
රුපියල් මිලියන 103 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 344 යි ග්‍රෑම් 550 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අද (12) අලුයම යාපනය – අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
සැකකරුවන් සමග ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එහි තිබූ පොලිතින් මළු 11 ක අසුරන ලද තෙත බර සහිත මෙම කේරළ ගංජා තොගය සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
අවුරුදු 34 ත් 38 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් නාච්චිකුඩා, මන්නාරම සහ යාපනය – ගුරුනගර් යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴
******************************************
(12.07.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)
දිනෙන් දින රත්‍රං මිල උච්චාවචනය වීම හරහා මෙරට රත්‍රං කර්මාන්තය කඩාවැටීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව රන්කරුවන් පෙන්වා දෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම කර්මාන්තය රැකගැනීම සඳහා රජයක් ලෙස කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
මේ අතර ලෝක වෙළඳපොලේ රත්‍රං අවුන්සයක මිල මේ වන විට ඩොලර් 1800 සීමාව ඉක්මවා ඇති අතර එය තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතිනවා.
අමෙරිකානු ඩොලරය අවප්‍රමාණය වීම සහ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම පමාවීම මෙලෙස රත්‍රං මිල තවදුරටත් ඉහළ යාමට හේතුවයි.
විශ්ලේෂකයන් පුරෝකථනය කරන්නේ ඉදිරි වසර තුළ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2000 ද ඉක්මවනු ඇති බවයි.
සමස්ත ලංකා රන්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙලෙස රන් මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.
******************************************
(12.07.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)
මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුල අනවසර ඉදිකිරීම්, වැලි ගොඩදැමීම හා ඉඩම් කට්ටි කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් ලබන 26 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ එම පෙත්සම්, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද (12) කැඳවූ අවස්ථාවේදීයි.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, මෙන්ම වත්තල හා ජා-ඇල ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා ෴
******************************************
(12.07.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)
ගාල්ල – තල්පේ – මිරිපැන්න ප්‍රදේශයේදී මිලි මීටර් 9 ක උණ්ඩ යෙදිය හැකි දේශීය නිෂ්පාදිත ගිනි අවි 2 ක් සහ කඩු 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව සිදු කල වැටලීමකදීයි.
එහිදී අදාල ප්‍රදේශයේ නිවසක් තුල සඟවා තිබියදී ඒවා හමුවූ බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල – තල්පේ – මිරිපැන්න ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ධීවරයෙක් ෴
@@@@@@@@@@@@@@@@@
(12.07.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)
දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම තුළ හුදෙකලාව ජීවත්වීමට වැඩි නැඹුරුතාවක් දක්වන අනාගත පරපුරක් බිහිවීමේ අවදානමක් මතුව ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ ඔන්ලයින් ඉගැන්වීම්වලින් පසුවද දරුවන් දීර්ඝ කාලයක් ජංගම දුරකථනවල රැඳී සිටීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.
මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් වසා තැබීම හමුවේ වයස අවුරුදු 18 ට අඩු දරුවන් මානසික සෞඛ්‍ය සායන වෙත පැමිණීම සියයට විස්සකින් (20%) පමණ ඉහළ ගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළා.
කාන්සාව, විශාදය, මානසික පීඩනය වැනි මානසික සෞඛ්‍ය ගැටළු දරුවන් අතර වැඩිවී ඇති බවයි ඔහු කියා සිටියේ ෴
+++++++++++++++++++++
ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වෙයි
(12.07.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)
අද (12) සිට සියලුම ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වන බව ගුරු වෘත්තීය සංගම් පවසනවා.
ඒ අනුව ඔන්ලයින් විශේෂ මධ්‍යස්ථානවලින් මෙන්ම උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට අදාළ කටයුතුවලින්ද අද (12) දින සිට ඉවත් වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමටයි ගුරු සංගම් තීරණය කර ඇත්තේ.
කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නීති කඩකළ බවට ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව මොවුන් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට මීට පෙර තීරණය කළා.
ඒ අනුව අද (12) සිට ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු සංවිධාන 14 ක් එක්ව සිටිනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුලු පිරිස තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානයේ පසුවනවා.
ගුරු සංගම් ඇතුලු තවත් වෘත්තිය සමිති කිහිපයක්ම චෝදනා කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිත කරමින් විරෝධතාකරුවන් මෙලෙස මර්දනය කිරීමට රජය කටයුතු කරන බවයි ෴
(12.07.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)
ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක සාර්ථක බව ගුරු සංගම් පවසනවා.
කොළඹ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ පාර්ශව කිහිපයක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කර ඇති බවයි.
කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නීති කඩකළ බවට ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව මොවුන් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට මීට පෙර තීරණය කළා.
ඒ අනුව, අද (12) සිට ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ අතර, ඒ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු සංවිධාන 14 ක් එක්ව සිටිනවා.
මේ අතර, ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමට ගුරු සංගම් ගෙන ඇති තීරණයට සහය පළ කරමින් කතෝලික පාසල්වල ගුරුවරුන් ද අද (12) සිට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත්ව සිටිනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුලු පිරිස තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානයේ පසුවනවා.
මේ සම්බන්ධයෙන් අද (12) කොච්චිකඩේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කියා සිටියේ පසුගියදා පැවති විරෝධතාවයේදී එම පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගිය ක්‍රමවේදය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවයි.
එසේම, නිරෝධායන නීති පනවා තිබියදී අදාළ පිරිස එලෙස විරෝධතාවල නිරත වීම ද වැරදි සහගත බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
+++++++++++++++++++++++
(12.07.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීතී උල්ලංඝණය කිරීම හේතුවෙන් පුද්ගලයන් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ අනුව මේ වනවිට නිරෝධායන නීතී උල්ලංඝණය කිරීම හේතුවෙන් පුද්ගලයන් 49,449 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴
++++++++++++++++++++++
(12.07.2021 – 11:30 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 125,877 දෙනෙකුට ඊයේ (11) දිනයේදී එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 84,559 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 23,368 ක්.
ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (11) පුද්ගලයින් 10,649 දෙනෙකුට ලබාදී තිබෙනවා.
එසේම, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 7,279 දෙනෙකුට ලබාදී ඇති අතර, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (11) පුද්ගලයින් විසි දෙදෙනෙකුට (22) ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ වනවිට කොරෝනා එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව හතලිස් ලක්ෂ නවදහස් හත්සිය හතළිහක් (40,09,740) ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴