සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්

සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්

*********************************************

සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්

(10.07.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන සීකා වෛරසය ආසාදිත පුද්ගලයෙකු මෙරටට පැමිණියහොත් ලංකාවට ද එම වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

මෙහි විශේෂත්වය වන්නේ අදාළ වෛරසයෙන් නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කිරීමයි.

මදුරුවන් මගින් පැතිරෙන මෙම සීකා වෛරසය ආසාදනය වූ 13 දෙනෙකු පමණ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවී තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් යම් පුද්ගලයෙකු දිවයිනට පැමිණෙන්නේ නම් ඔහු සිකා වෛරසය ආසාදිතයෙකු ද යන්න පිළිබදව කඩිනම් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි ෴

******************************************

(10.07.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට ඊයේ (09) සිදුකළ පහරදීමකදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

වත්තල, ඇවරියවත්ත ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුයි මෙලෙස පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු (2) විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

කඩවත, වත්තල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ ගෙවල් බිඳුම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අදාල පුද්ගලයාට ක්‍රිකට් පිත්තකින් මෙම පහරදීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර පරීක්ෂණ වත්තල පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴

******************************************

(10.07.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පැවතීම හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඒ හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හා ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, වෙරළාසන්න කුඩා ධීවර යාත්‍රාවලට නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කළා ෴

******************************************

(10.07.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ගොඩගැසෙන පොත්වලින් සහ සී.ඩී. තැටිවලින් විශාල පරිසර විනාශයක් සිදුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළා.

ඔහු ඒ බව කියා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදුවූ හානිය සඳහා වන්දි ලබාගැනීම පිළිබදව සහ ඒ සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අවධානයට ලක්වුණා.

කෙසේ වෙතත් මුදවා ගැනීමේ ආයතනයක කණ්ඩායමක් සහ එහි හිමිකාරීත්වය දරණ ආයතනයේ කණ්ඩායම් කිහිපයක් මේ දිනවල ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීමේ කටයුතු පිළිබදව සොයා බැලීම් සිදුකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.

අදාළ කණ්ඩායම් පසුගිය දිනවලදී නැව ආශ්‍රිත ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවලට ද එක්වී තිබෙනවා. කෙසේ වෙතත්, වාරකන් කාලය පැමිණ තිබීම නිසා නැව ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීම අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් වන්දි ලෙස රුපියල් මිලියන 3.6 ක මුදලක් මේ වනවිටත් ලැබී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.

තවත් රුපියල් මිලියන 37 කට ආසන්න මුදලක් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එසේම පසුගිය දා නැව ආශ්‍රිත ප්‍රදේශයේ පරීක්ෂණ සිදුකළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් පිරිසගේ වාර්තාව මෙන්ම ඉන්දීය ජල විද්‍යා සමීක්ෂණ නෞකාව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව ද කඩිනමින් ලැබීමට නියමිත බවයි සමුද්‍රීය පරීක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(10.07.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala)

පළාත් කිහිපයකට අද (10) දිනයේත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය නිසා, රැහැන් මාර්ගවලට හානි සිදුවීම හේතුවෙන්, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කවල විදුලි පාරිභෝගිකයන් 85,000 කට විදුලිය ඇණහිට තිබෙනවා.

මෙය කඩිනමින් යතා තත්වයට පත් කරන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්දන මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ.

ඊයේ (09) රාත්‍රියේ සිට පැවති තද සුළං තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම් ඇතුළු ආපදා රැසක්ද මෙලෙස වාර්තා වනවා.

මේ අතර, පස් කඳු කඩා වැටීම් හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර වී තිබෙනවා ෴

******************************************

(10.07.2021 – 09:01 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරන පාසල් සිසුවියන් දුරකථන අංක වලට අසභ්‍ය ඡායාරූප යොමුකළ 27 හැවිරිදි දෙදරු (2) පියෙකු පිටිගල ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු විසින් පාසල් සිසුවියන්ගේ දුරකථන අංකවලට අසභ්‍ය ඡායාරූප යැවීමෙන් පසු ඔවුන් වෙත අමතා ප්‍රකාශ කර ඇත්තේ තමන් හමුවීමට පැමිණෙන ලෙසටයි.

ඒ අනුව සිසුවියක් තම දෙමපියන් සමග අදාල පුද්ගලයා හමුවීමට පැමිණ ඇති අතර ඒ පිළිබදව පොලිසියට ද දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමේ දී දැඩි අපහසුතාවයට පත්ව සිටින තවත් සිසුන් පිරිසක් පිළිබදව තොරතුරු හසලක – කිවුලේවාඩිය ප්‍රදේශයෙන් වාර්තා වුණා ෴

******************************************

(10.07.2021 – 09:57 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා ෴

@@@@@@@@@@@@@@@@

පළාත් අතර සංචාරණ සීමා දීර්ඝ කෙරේ

(10.07.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

පවතින සංචරණ සීමාවන් අද (10) සිට තවදුරටත් ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, දැනට බලාත්මක ‘පළාත් සංචරණ සීමාවන්’ තවත් දින 14 කින් දීර්ඝ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

එමෙන්ම, ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 25 ක් වන පරිදි හෝ 150 ක උපරිම සීමාවකට යටත්ව මංගල උත්සව පැවැත්වීමට ද අවසර හිමිවුණා.

මීට පෙර විවාහ ලියාපදිංචි කිරීමේ අවස්ථාවන් සඳහා පමණක් අවසර ලබාදී තිබුණු අතර, ඊට එක්විය හැකිව තිබුණේ 10 දෙනෙකුට පමණයි.

ජනප්‍රිය ගායන ශිල්පී ප්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු මහතා රජයෙන් ඉල්ලා සිටියේ එලිමහන් ප්‍රසංග පැවැත්වීමටද අවසර ලබාදෙන ලෙසයි.

මේ අතර කොරෝනා ආසාදිත නොවන මෘතදේහයක ආදාහන කටයුතු සඳහා සහභාගි වන පුද්ගලයින්ගේ සංඛ්‍යාවද 50 දක්වා වැඩි කර තිබෙනවා.

මීට පෙර එවැනි අවමඟුල් අවස්ථාවක් සඳහා එක්වීමට අවස්ථාව පැවතියේ පුද්ගලයින් 15 දෙනෙකුට පමණයි.

සිනමාශාලා ආසන ධාරිතාවයෙන් සියයට 50 ක සහභාගීත්වයක් සහිතව විවෘත කිරීමටත්, කෞතුකාගාර උපරිම ධාරිතාවයෙන් සියයට 50 නොඉක්මවන ලෙස විවෘත කිරීමටත් අවසර ලබාදී තිබෙනවා.

වැඩමුළු, සම්මන්ත්‍රණ සහ සන්නාම දියත් කිරීම සඳහාද අවසර ලබාදී ඇති අතර, ඒ, උපරිම සහභාගීත්වය සියයට 50 ක සීමාවන ලෙසයි.

කෙසේ වෙතත් ගෘහස්ථ සම්භාෂණ සහ රැස්වීම් තවදුරටත් තහනම් වනවා. පිටතට ආහාර රැගෙන යන සහ ඒ තුළම ආහාර අනුභව කරන අවන්හල් සෞඛ්‍ය රෙගුලාසි යටතේ විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

හෝටල් සහ විවේකාගාර විවෘත කිරීමටද අවසර ලබාදී ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි.

මේ අතර ඔට්ටු මධ්‍යස්ථාන, කැසිනෝ සහ රාත්‍රි සමාජශාලා තවදුරටත් විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

පොදු ප්‍රවාහන සේවාවන්හි ද බස්නාහිර පළාත හැර සෙසු පළාත් සඳහා ආසන ප්‍රමාණයෙන් සියයට 50 ක ධාරිතාවයෙන් මගීන් රැගෙන යාමට අවස්ථාව සැළසෙන අතර, බස්නාහිර පළාතේ එය ආසන ධාරිතාවයෙන් සියයට 30 ක් ලෙස සීමාකර තිබෙනවා.

මේ අතර ලබන සඳුදා (12) වනවිට බස්නාහිර පළාත තුල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සියලු විභාග පැවැත්වීමටත් අවසර ලබාදී තිබෙනවා.

එමෙන්ම මීට පෙර අවසර පත්‍ර මත පමණක් පැවති ජංගම වෙළඳාමට ද අවසර ලබාදී ඇති අතර, පදික වෙළඳාමට අවසර ලබාදී ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.

මේ අතර ඊයේ (09) මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 1,537 ක් අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 475 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොළඹින් 257 දෙනෙකු, ගාල්ලෙන් 125 දෙනෙකු සහ කළුතරින් 110 දෙනෙකු ලෙස ආසාදිතයන් වාර්තාවී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

දිවයින පුරා එන්නත්කරණ කටයුතු අද (10) දිනයේත් ක්‍රියාත්මකයි. සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු අය සඳහාද එන්නත්කරණය අද (10) ආරම්භ කෙරුණා.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටද එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ඉල්ලීමක් කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින් :

ලබන සඳුදා (12) වන විට බස්නාහිර පළාත තුල දුම්රිය ගමන් වාර 100 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, පළාත් අතර දුම්රිය ධාවනය තවදුරටත් සිදුනොවන බවයි ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++++++

(10.07.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද (10) වීථි සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාලවල කප් සිටුවීම අගෝස්තු මස 09 වන දා සිදුකෙරෙන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

අනතුරුව ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 13 වනදා වීථි සංචාරය කෙරෙනු ඇති.

පුරා දින 5 ක් කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව ප්‍රථම රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ අගෝස්තු මස 18 වනදායි.

රන්දෝලි පෙරහර අගෝස්තු මස 22 වන දා දක්වා පැවැත්වෙන අතර පසුදින අලුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙනවා ෴

+++++++++++++++++++++

(10.07.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට කොරෝනා පරීක්ෂණ කට්ටල ලක්ෂ 2 ක් ප්‍රදානයක් ලෙස ලබාදී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමෙන් ලොව කොරෝනා ආසාදිත සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.

ඊයේ (09) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1557 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිත සංඛ්‍යාව 272,467 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ පසුගිය සති කිහිපයකට පෙර තිබූ තත්ත්වයට වඩා සාධනීය තත්ත්වයක් මේ වනවිට මෙරට තුළ නිර්මාණය වෙමින් පවතින බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුකළ යෝජනාවකට අනුව පර්යේෂණයක් සඳහා කොරෝනා කට්ටල ලක්ෂ දෙකක් (2) ලබාදී තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වසංගත සමයේ ගෘහාශ්‍රීත හදිසි අනතුරු මින් පෙර අවධිය සමඟ සසදන විට සියයට 50 සිට සියයට 75 කින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.

එමෙන්ම, රථ වාහන අනතුරු ද සියයට 9 කින් අඩු වී ඇති බවයි ඔහු කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

විවිධ අනතුරුවලට ලක්ව වාර්ෂිකව ලක්ෂ 12 ක පමණ පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

එය 2025 වන විට ලක්ෂ 15 ක් පමණ වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරි වසමේ ගෝලින්දවත්ත 03 කොටස අද (10) උදෑසන 6 සිට හුදකලා කර තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 18,68,12,148 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමෙන් ලොව කොරෝනා ආසාදිත සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

එම සංවිධානයේ දත්ත සටහනක දැක්වුණේ ජුනි 23 වන දා සිට ලොව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව යළි ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

ජුනි 22 වන දා සිට ජුලි 06 වන දක්වා කාලය තුළ පමණක් ආසාදිතයන් ලක්ෂ 4 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *