නිරෝධායනයට ගෙන ගිය ස්ටාලින් දුක කියයි

නිරෝධායනයට ගෙන ගිය ස්ටාලින් දුක කියයි

*********************************************

නිරෝධායනයට ගෙන ගිය ස්ටාලින් දුක කියයි

(09.07.2021 – 19:11 +0530 – sinhala.adaderana.lk)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්ව පැවැත්වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිස මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.

ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු විරෝධතාකරුවන් 33 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පසුව අධිකරණ ඔවුන්ව ඇපමත නිදහස් කළේය.

එහිදී ඉන් 16 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ ද සෙසු පිරිස එම ස්ථානයෙන් පළා ගොස් තිබුණි.

මේ අතර නිරෝධායනය සඳහා යොමු කළ පිරිසට අවම පහසුකම් හෝ සපයා නොමැති බැවින් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම පිරිස චෝදනා කරයි.

මේ පිළිබඳ අදහස් දැක්වු ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා :

“අද පාර්ලිමේන්තුවේ දී සරත් වීරසේකර අමාත්‍යවරයා කියනවා ඊයේ (08) නිරෝධායනයට යවන කට්ටිය විධිමත්ව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව යැව්වා කියලා. අමු බොරු. කොහොම ද PHI කෙනෙක් බලන්නේවත් නැතුව නිර්දේශ දෙන්නේ? ඒක සම්පූර්ණ පචයක්. අපිට ටූත්පේස්ට් දුන්නේ හාමුදුරුවෝ නමක්. අපිට කිසි රෙදි කෑල්ලක් දුන්නේ නෑ. මේ ඉන්න අය උදේ ඉදලා ඇඳගෙන හිටියේ බෙඩ්ෂීට්. පොලීසියෙන් කිව්වේ යන තැන ඔක්කෝම තියෙනවා කියලා. සරත් වීරසේකර ඇමතිවරයා කියනවා මීගමුව පොලීසියෙන් අපිට බෙහෙත් දුන්නලු. අමු බොරු. හලාවත පොලීසිය ළඟ නවත්තලා පාන් කාලයි කෙසෙල් ගෙඩියයි දුන්නේ. හිඟන කෑම මේවා.”

මේ අතර ආණ්ඩුව නිරෝධායන රෙගුලාසි භාවිත කොට ජනතා උද්ඝෝෂණ මර්දනය කරන බව පවසමින් සමගි ජන බලවේගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොනු කළේය.

එමෙන්ම මහජන ඒකරාශීවීම් සහ උද්ඝෝෂණ සිදුනොකරන්නැයි සෞඛ්‍ය උපදෙස් නිකුත් කර තිබියදී අදත් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගය විරෝධතාවක් පැවැත්විය.

විපක්ෂය අද (09) පස්වරුවේ නිදහස් චත්‍රරස්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වු අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෘත්තිකයින් එයට සහභාගි වී සිටියේය.

උද්ඝෝෂණය පැවැත්වුණේ කොවිඩ් අවදානම නිසා මහජන ඒකරාශීවීම් හා උද්ඝෝෂණ සිදුනොකරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇති පසුබිමකය.

දුරස්ථභාවය තබාගනිමින් සෞඛ්‍ය උපදෙස් අනුව උද්ඝෝෂණය පැවැත්වීමට ඔවුන් උත්සාහ කරන අයුරු එහිදී දක්නට ලැබුණි.

අනතුරුව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණියේය.

කෙසේවෙතත් එම ඉල්ලීම නොතැකූ සමගි ජන බලවේගය සිය උද්ඝෝෂණය පැවත්විය.

මේ අතර ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන සලසන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය තංගල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

තංගල්ල පොලිසිය කළ දැනුම්දීමෙන් පසුව උද්ඝෝෂකයින් විසිර ගියා ෴

+++++++++++++++++++

නිරෝධායන රීති කැඩූ පළාත් අතර සංචරණය

(09.07.2021 – 19:28 +0530 – sinhala.adaderana.lk)

පළාත් අතර සංචරණය සීමා කර ඇති බවට සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වුවද බෝහෝ දෙනෙකු පළාත් මායිමේ දී බස්රථවලින් බැස පාගමනින් අනෙකු පළාතට ගමන් කරන බව වාර්තා වේ.

සබරගමුව පළාතට අයත් කෑගල්ල ප්‍රදේශයේ සේවය සඳහා පැමිණි පිරිස් පළාත් මායිමේ දී බස්රථයෙන් බැස මා ඔය පාලම පසුකර වයඹ පළාතට අයත් පොල්ගහවෙල දෙසට ගමන් කරන ආකාරය ‘අද දෙරණ’ ට මෙලෙස වාර්තා විය.

රට විවෘත කර ඇති පසුබිමක සිය රාජකාරිවලට වාර්තා කිරීම අවශ්‍ය නිසා මෙලෙස ගමන් කරන ජනතාවද විශාල පීඩාවකට පත්ව සිටී.

මේ පිළිබඳ අදහස් දැක්වු ජනතාව,

“අපි මේ කියන්නේ, මොකද්ද මේ තේරුමක් නැති වැඩේ.”

“බස් එකෙන් නෙමෙයි. මිනිස්සුන්ගෙන් නේ බෝ වෙන්නේ ලෙඩ.”

“බස් දුවන්න කැමතියි. බස් දුවන්න දෙන්නේ නැති එකනේ තියෙන්නේ. දැන් මම කතාකලා ම පොලිස්පතිට කියන්නලු. පොලිස්පතිට කියලා අපිට මේක අයින් කරන්න බෑනේ. එහෙනම් රස්සාවට එන එක නතර කරන්න ඕනේ.”

මේ පිළිබඳ අදහස් දැක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මෙලෙස පළාත් අතර සංචරණ සීමා කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.

++++++++++++++++++

අම්බලන්ගොඩ මෝදර දේවාල භූමියේ ඇද වැටී මියගිය පුද්ගලයා ට කොවිඩ්

(09.07.2021 – 16:26 +0530 – sinhala.adaderana.lk)

අම්බලන්ගොඩ මෝදර දේවාල භූමිය තුළ ඇද වැටී මියගිය පුද්ගලයා ට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පසුගිය 07 වන දා උදෑසන දේවාලය වෙත පැමිණි පුද්ගලයෙකු දේවාලයට ඇතුළු වන අතර පසුව එහිදී ඔහු ඇදවැටී ඇත.

පසුව හෙළි වී ඇත්තේ, ඔහු මියගොස් ඇති බවය.

දේහය සම්බන්ධයෙන් බලපිටිය මූලික රෝහලේදී සිදුකෙරුණු පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

එලෙස මියගොස් තිබුණේ හික්කඩුව මලවැන්න ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

එම පුද්ගලයා දේවාල භූමියේ ඇද වැටෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සනිටුහන් විය.

+++++++++++++++++++++

අලි පන්නන ඔන්ලයින් – කිවුලේවාඩියේ නොපෙනෙන දුක

(09.07.2021 – 22:14 +0530 – hirunews.lk/sinhala)

මාතලේ ප්‍රදේශයේ ඡන්ද දායකයින් පිරිසකට තම දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් දිවි පරදුවට ලබා කටයුතු කිරීමට සිදුව තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් රට කරවන තැනට ගොස් සිටින ජනතා නියෝජිතයින් කිසිවෙකු මේ ගැටලුව දුටුවේ නැද්ද?

අඳුර වැටුණත් මව්පියන් මේ පුංචි දරුවන් පිරිස රැගෙන යන්නේ ඔවුන්ගේ හෙට දවස එළිය කිරීම වෙනුවෙන්.

වන අලීන් බහුලව ගැවසෙන මාතලේ ලග්ගල ප්‍රදේශයේ පිහිටි කිවුලේවාඩිය ගම්මානයේ දරුවන් ගත කරන ජීවිතය තත්ත්වය අනතුරුදායකයි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිවූ අඩපණ වීම මඳකට අස්වසමින් මාර්ගගත ක්‍රමයෙන් එම කටයුත්ත සිදු කිරීමට බලධාරීන් පියවර ගත්තා.

ගම ආසන්නයේ පිහිටි මේ කැලෑබද ප්‍රදේශයට ගොස් ඔවුන් මේ උත්සාහ කරන්නේ අවශ්‍ය සංඥා පහසුකම් ලබා ගැනීමයි.

පවුල් 170 ක් පමණ ජීවිත්වන කිවුලේගෙදර ගම්මානයේ බොහෝ දරුවන්ට දුරකතනයක්වත් නැහැ.

වන අලීන් බහුලව ගැවසෙන මෙම ප්‍රදේශයේ රාත්‍රී කාලයේදී දරුවන්ගේ ජීවිතද ආරක්ෂා කරගැනීමට මව්පියන් මුහුණදෙන දැඩි අභියෝගයක්.

ගොවිතැන් කටයුතු සහ හේන්ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගනිමින් ජීවත් වන මෙම ගම්මානයේ වැසියන් තම උත්සාහයට බලධාරීන්ගෙන් සහයක් අපේක්ෂා කරනවා.

++++++++++++++++++++

(09.07.2021 – 22:17 +0530 – hirunews.lk/sinhala)

උද්ඝෝෂණ සහ මහජන ඒකරාශීවීම් සිදු නොකළ යුතු බවට දන්වා තිබියදී විරෝධතා මර්දනයට විරෝධය දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී නිහඩ විරෝධතාවක නිරත වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක්ම මෙම විරෝධයට එක්ව සිටියා.

+++++++++++++++++++

(10.07.2021 – 6:14 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 03 කොටස අද (10) අලුයම හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා.

මීට අමතරව තවත් දිස්ත්‍රික්ක හතරකට (04) අයත් ග්‍රාම නිලධාරී වසම් 06 කට පනවා තිබූ හුදෙකලා බව ඉවත් කිරීමට තීරණ කර ඇති බවයි වාර්තා වන්නේ.

@@@@@@@@@@@@@@

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත මේ ආකාරයෙන් සම්මත කළ හොත් ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරණ හැරවුම් ලක්ෂයක් – ජාතික සංවිධාන එකමුතුව

(09.07.2021 – 10:50 +0530 – lankaleadnews.com)

ජාතික සංවිධාන එකමුතුව ඊයේ(08) රාජගිරියේ පිහිටි සිය මූලස්ථානයේදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුළ ඇති භයානක ප්‍රතිපාදන 10 ක් ඉවත් කිරීමකින් තොරව සම්මත කළහොත් මේ ආණ්ඩුව පත් කිරීමට දායකත්වය දුන් 69 ලක්ෂයක ජනතා වරමට කෙළ ගැසූ ආණ්ඩුවක් බවට පත්වන බවයි.

ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සහ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර යන මහත්වරු සහභාගි වූහ.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ, යම් හෙයකින් 69 ලක්ෂයක ජනතා අපේක්ෂාවන් වූ යහපාලන ආණ්ඩුව ගෙන ආ භයානක පනත් 32 පරාජය කිරීම පිණිස පත් කරගත් ආණ්ඩුව එම පනත් අතර තිබූ අතිශය භයානක පනතක් වන පෞද්ගලික වෛද්‍යය විද්‍යාල පිහිටුවීමට අදාළ ප්‍රතිපාදන තිබෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුළ වන විනාශකාරී ප්‍රතිපාදන 10 ඉවත් කිරීමෙන් තොරව සම්මත කර ගතහොත් එය මෙම ආණ්ඩුවේ පැවැත්මේ හැරවුම් ලක්ෂය බව අවබෝධ කරගත යුතු බවයි.

එහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පවත්වන ශිෂ්‍ය උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ “එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ගෙනා රාගම පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව ශිෂ්‍යය සටන හේතුවෙන් වෛද්‍යය ශිෂ්‍යයන් 35 දෙනෙකු ගේ ජීවිත අහිමිව සමස්ත විශ්ව විද්‍යාල සිසුන් 234 දෙනෙකුගේ ජීවිත අහිමි වූවා. එම සටන් සිදු වූවේ ශිෂ්‍යයන්ගේ තිබුණු ඇඟේ අමාරුවකට නොවෙයි. නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම මේ රටේ මිනිසුන්ගේ ඇඟේ ලේ වලටම කැවී තිබෙන අතිශය දියුණු හැඟීමක් නිසයි. වත්මන් ශිෂ්‍යයන් මේ කරන අරගලය තුළ තිබෙන්නේත් එම හැඟීමම තමයි. සයිටම් නැමැති වෛද්‍යය උපාධි කඩය වසා දැමීමට ඔවුන් දීර්ඝ කාලයක් කැප කිරීම් කළා. ජාතියේ වාසනාවට ශිෂ්‍යය ජීවිතයක් ඒ වෙනුවෙන් වැය වුනේ නැහැ. ලේ වලින් ආරක්ෂා කරගත් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය සුරැකීමට දායක වීම ඔවුන්ගේ අත්හල නොහැකි වගකීමක්” යනුවෙනි.

කෙසේ වුවද ආණ්ඩුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත ඊයේ (08) දින විවාදයට නොගත් අතර මාධ්‍යය වාර්තා වලින් කියවුනේ එම පනත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එළඹෙන අගෝස්තු මාසයේදී බවයි.

******************************************

(09.07.2021 – 22:41 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ – මිල්ලෑව වතුයායට අයත් භූමිය ඊයේ (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

අබලන්ව ඇති පැරණි ගොඩනැගිලි, අධික තදබදය සහ බාහිරව බලපා ඇති වෙනස් සාධක හේතුවෙන් බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාවය දීර්ඝ කාලයක සිට පැවති කරුණක්.

බන්ධනාගාර සංකීර්ණයට සහ එහි වත්මන් තත්ත්වය වීඩියෝ දර්ශනයකින් ඉදිරිපත් කෙරුණු අතර, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් ඒ පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමට, නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ – මිල්ලෑව වත්තෙන් අක්කර 200 ක භූමි භාගයක් මේ වන විට වෙන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල මෙම පරිශ්‍රය තුල ඉදිකිරීමට නියමිතයි.

ඊට අමතරව බන්ධනාගාර බුද්ධි අංශය සහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව නව බන්ධනාගාර පරිශ්‍රයේ ඉදිකිරිමටයි සැලසුම් කර ඇත්තේ.

‘සිපිරි සුවසෙත් උදාන මිල්ලෑව රැදවුම් හා විශෝධන මධ්‍යස්ථානය’ ලෙසින් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම ද විශේෂත්වයක්.

සිරකරුවන්ගේ සුබසාධනය කෙරෙහි යෝජිත බන්ධනාගාර ව්‍යාපෘතිය තුල විශේෂ අවධානයක් යොමුව ඇති බවයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා එහිදී පෙන්වා දුන්නේ.

අනතුරුව ජනාධිපතිවරයා බන්ධනාගාර සංකීර්ණය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල සහ බුද්ධි අංශයට ඉදිකිරීමට යෝජිත ස්ථාන ද නිරීක්ෂණය කර තිබෙනවා.

නිරීක්ෂණ කටයුතු අතරතුර වතුයායේ පදිංචිකරුවන් හමුවු ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු ද විමසා බැලුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉදිකිරීම් හේතුවෙන් ඔවුන්ට අහිමි වන දේපල වෙනුවෙන් වන්දි සහ නිවාස ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

******************************************

(10.07.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

ඉහළ ජල ධාරා ප්‍රදේශවලට ඊයේ (09) රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැළණි, කළු, නිල්වලා සහ ගිං ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් එම ගංඟා ද්‍රෝණියන් හි පහත්බිම්වල සුළු ගං වතුර තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා කියා සිටියේ ෴

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර උතුරු මැද පළාතේ ද ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියේ ෴

******************************************

(10.07.2021 – 06:52 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය, ඔරුවල පාර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබී රුපියල් කෝටියකට අධික මුදලක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු (2) ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සොයාගත් මුදල් වල වටිනාකම රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ හැත්තෑ හත්දහසක් (1,35,77,000) බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා (2) කොලොන්නාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතුරුගිරිය පොලිසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මුදල් කිසියම් නීති විරෝධී ජාවරමකින් උපයාගත් මුදල් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකරුවන් දෙදෙනා (2) ගෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *