ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

*********************************************

ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

(09.07.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමනු ලැබූ උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 03 වනදා ඉරිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇති.

ඔක්තෝම්බර් 04 වනදා උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට අමතරව මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස අග පැවැත්වීමට දැනට සැලසුම් කර තිබෙනවා ෴

++++++++++++++++++++++

(09.07.2021 – 09:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට රැඳී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අද (09) සිට ලබන (අගෝස්තු) මස 08 වන දා දක්වා එම වලංගු කාලය දීර්ඝ කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෴

+++++++++++++++++++++

(09.07.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදා ගනිමින් සාමකාමි උද්ඝෝෂණ මැඩපැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට පොලිසිය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව සමඟි ජන බලවේගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිරෝධායන පනත යටතේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන අතර ඒ තුලින් විරෝධතා තහනම් කර තිබෙන බවයි.

මෙම නිරෝධායන මාර්ගෝපදේශ උපයෝගි කරගනිමින් පොලිසිය විසින් සාමකාමි උද්ඝෝෂණ දිගින් දිගමට මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කරන පෙත්සම්කරුවන් ඊට සහභාගි වන පුද්ගලයින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු කරන බවත් සඳහන් කළා.

මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සහතික කර තිබෙන ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නමැති මූලික අයිතිය උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර සමඟි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ (08) පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන ඇප නියමවීමෙන් පසු පොලිස් භාරයට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුලු 16 දෙනා අද (09) අලුයම මුලතිව් හි නිරෝධායන කඳවුරක් වෙත රැගෙනවිත් තිබෙනවා.

එහි සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේ තමන් ඇතුලු පිරිසට ඇඳගැනීමට අද (09) උදෑසන පිජාමා ඇඳුම් ලබාදුන් බවයි ෴

++++++++++++++++++++++

(09.07.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් අද (09) දිවයිනට ලැබී ඇති බවට පළවන වාර්තා අසත්‍යය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රජය මගින් ඇණවුම් කළ එන්නත් තොගයක් දිවයිනට ලැබී නොමැති බවයි.

එහෙත් මෙරට රැඳී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සේවය කරන පිරිසකට ලබාදීම සඳහා පමණක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 350 ක් අද (09) දිනයේ මෙරටට එවා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

(09.07.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයින්ට ෆයිසර් එන්නත ලබාදීම අද (09) ආරම්භ කෙරුණා.

එසේම කොවිඩ් කාර්ය සාධක බලකායේ ලියාපදිංචි වූ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා විදෙස් රටවලට යෑමට අපේක්ෂාවෙන් සිටින මෙරට සිසු සිසුවියන් 1130 කුට ද ෆයිසර් එන්නත ලබාදී තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ යුද හමුදා රෝහලේදී ඊයේ (08) දිනයේදී ෆයිසර් එන්නත අදාළ සිසුන්ට ලබාදීමට කටයුතු කළ බවයි.

එමෙන්ම, අද (09) සහ හෙට (10) යන දෙදින තුළ ද විදේශ රටවලට යාමට අපේක්ෂාවෙන් සිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට පියවර ගන්නා බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාවද මේ මස 20 වනදා සිට ලබාදීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සේවය කරන පිරිසට ලබාදීම සඳහා එන්නත් මාත්‍රා 350 ක් අද (09) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අදාළ එන්නත් තොගය මෙරටට එවා ඇති බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

මෙරට රැදී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියළුම වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අද (09) සිට ලබන මස 08 වන දා දක්වා එම වලංගු කාලය දීර්ඝ කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර පාසල් ගුරුවරුන්ට කොරෝනා එන්නත ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් හට සයිනොෆාම් එන්නත ලබාදීම අද (09) ආරම්භ වුණා.

දිස්ත්‍රික්කයේ පාසල් 605 ක ගුරුවරුන් 15,100 කට එන්නත ලබාදීමට නියමිත බවයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්. රත්නායක මහතා සඳහන් කළේ.

මේ අද (09) දිනයේදී කොරෝනා එන්නත ලබාගත් ගුරුවරුන් කිහිපදෙනෙකු ඒ පිළිබඳව දැක්වූ අදහස්.

මේ අතර කොළඹ අධ්‍යාපන කලාපයට අයත් සියළුම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයනය කාර්ය මණ්ඩලය සඳහා සයිනොෆාම් එන්නත එළඹෙන 12 වන දා සිට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව එන්නතේ පළමු (1) මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී 12 වන දා සිට 16 වන දා දක්වා ලබාදෙන බවයි කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ ෴

+++++++++++++++++++

(09.07.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණවල නිරත වන්නන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදුකරන බව, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂය ඒ සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි.

++++++++++++

++++++++++++++++++++

(09.07.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති තුන (3) ඇතුළත කටුනායක ගුවන් තොටුපලේ මගීන් සඳහාම වෙන්වූ කොරෝනා පරීක්ෂනාගාරයක් පිහිටුවා පැය තුනක් (3) ඇතුළත පරීක්ෂණ වාර්තා ලබාදීමට සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

එසේම සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොවිඩ් එන්නත් ලබාදීමද හෙට (10) සිට ආරම්භ කෙරෙනු ඇති.

ලක්ෂ 5 කට අධික පිරිසක් සඳහා මෙලෙස එන්නත් කිරීම සිදුකරන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

එන්නත්කරණයෙන් අනතුරුව සහන පැකේජ යටතේ සංචාරකයින් ගෙන්වා ගැනීම කෙරෙහිද අවධානය යොමුව තිබෙනවා ෴

+++++++++++++++++++++

(09.07.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි සියල්ලන්ට ජූලි 30 ට පෙර එන්නත ලබා දිය යුතු බව ජනාධිපතිවරයා නැවත අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විශ්ලේෂක ශිරන්ත නිරෝෂණ මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(09.07.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන, මදුරුවන් මගින් පැතිරෙන ‘සිකා වෛරසය’ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවී තිබෙනවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ සිකා වෛරසය ආසාදනය වූ 13 දෙනෙකු පමණ වාර්තාවූ බවයි.

මෙම වෛරස ආසාදිතයින් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළද පසුව සිදුකළ රුධිර පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් අසාදනය වී ඇත්තේ සිකා වෛරසය බවයි.

මීට පෙර 2016 සහ 2017 වසරවලදී ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයෙන්ද මෙම වෛරසය හඳුනාගෙන තිබුණා.

මෙම වෛරසය පැතිරයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේ පෙබරවාරි මාසයේදී හදිසි සෞඛ්‍ය අවදානමක්ද නිකුත් කර තිබූ අතර, එය මාස 9 කට පසු ඉවත් කර තිබුණා.

එම කාලසීමාවේදී සිකා වෛරසය හේතුවෙන් ‘කුඩා හිස් සහිතව ඉපදුණු ළමයින්’ ලොව රටවල් 30 කින් වාර්තා වූ අතර බ්‍රසීලය ඒ අතරින් ප්‍රධානයි ෴

නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන, මදුරුවන් මගින් පැතිරෙන සීකා වෛරසය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවී තිබෙනවා.

මේ වන විට ආසාදිතයින් 13 දෙනෙකු පමණ හමුවූ අතර, ඒ හේතුවෙන් හදිසි අවදානම් තත්ත්වයක් ද කේරළ ප්‍රාන්තයට ප්‍රකාශයට පත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර 2016 සහ 2017 වසරවලදී ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයෙන්ද මෙම වෛරසය හඳුනාගෙන තිබුණා ෴

******************************************

(09.07.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

පෙර රජ දවස අතීත උරුමයන් අනාගත පරපුරටද ආරක්ෂා කර දීම බලධාරීන් සතු වගකීමක් බව අවිවාදාත්මකයි.

නමුත් බලධාරීන්ගේ අනවධානයෙන් විනාශ මුඛයට යන ඉපැරණි චෛත්‍යයක් පිළිබඳව පුත්තලම, පල්ලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පල්ලම ඓතිහාසික ශ්‍රී නන්දිමිත්‍ර නව වංගුව රජමහ විහාරයේ පද්මාකාර හැඩයෙන් යුත් චෛත්‍යයේ වත්මන් තත්ත්වයයි මේ.

දුටුගැමුණු රජ දවස නන්දිමිත්‍ර යෝධයා විසින් දැදුරු ඔය මායිමේ මෙම පද්මාකාර ච්‍යෛය ගොඩනැගුණු බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

නටඹුන් බවට පත්ව තිබූ මෙම චෛත්‍යය 2016 වසරේ මැයි මස සංරක්ෂණය සඳහා කටයුතු ආරම්භ කළත් වසරක් ගෙවෙන්නටත් මත්තෙන් එම කටයුතු ඇණහිට තිබෙනවා.

චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් දායක සභාවේද සහයෝගය ඇතිව දැවැන්ත වහළක් සකසා අතීත උරුමයන් සොයා කැණීම් ආරම්භ කළද මේ වනවිට එම තාවකාලික ඉදිකිරීම්ද විනාශ වී තිබෙනවා.

මෙවැනි අතීත උරුමයන් විනාශ මුඛයට යාමට නොදී මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වගකීමක් නොවේද ?

******************************************

(09.07.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

පියාසැරියක් අතරතුර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් ඉන්ධන හිඟයකට මුහුණදුන් බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ගුවන් සේවය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය ප්‍රකාශ කළේ පසුගිය 06 වනදා ලන්ඩන් සිට කොළඹ බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 504 දරණ යානය කුවේට් ගුවන් පථයට ගොඩබැස්සවූ බවට වාර්තා පළවී ඇති බවයි.

කෙසේ වෙතත් යූ.එල්. 504 දරණ යානය සතුව ප්‍රමාණවත්ව ඉන්ධන පැවති බවත්, පෙර ආරක්ෂිත ලෙස ත්‍රිවේන්ද්‍රම් හි කාර්මික නැවතුම්පලක් වෙත යානය ගොඩබස්සවා සැපයුම් ලබාගත් බවත් අදාළ නිවේදනයේ සඳහන් ෴

******************************************

(09.07.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කොළඹ මහනගර සභා ගොඩනැගිල්ලේ නාගරික මන්ත්‍රීවරුන්ට විවේක ගැනීම සඳහා ස්ථානයක් සකස් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා නියෝග කර තිබෙනවා.

කොළඹ මහනගර සභා ගොඩනැගිල්ල

මෙම ඉදිකිරීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සිදු කෙරෙන බවටයි වාර්තා වන්නේ.

ඉපැරණි කොළඹ මහනගර සභා ගොඩනැගිල්ල තුළ නාගරික මන්ත්‍රීවරුන්ගේ විවේකාගාර සකස් කිරීම සඳහා රුපියල් මිලියන 350 කට ආසන්න මුදලක් වැය කෙරෙන බව වාර්තා වනවා ෴

******************************************

(09.07.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික මාවනැල්ල දෙවනගල රජමහා විහාරස්ථානයේ, භික්ෂූන් වහන්සේ නමකට, අද (09) උදෑසන අකුණුසැර වැදීමෙන් මාවනැල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබෙනවා.

අද (09) උදෑසන පැවති වැසි තත්ත්වය හේතුවෙන් අකුණු වැදීම් කිහිපයක්ම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ උදෑසන දානය වළඳමින් සිටි වයස 21 හැවිරිදි හිමිනමක්, අකුණු සැර වැදී විසි වී එම ස්ථානයේ ඇද වැටී තිබෙනවා.

පසුව සුවසැරිය ගිලන් රථයක් යොදාගෙන, මාවනැල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබෙනවා.

දෙවනගල පුදබිමට මීට පෙරද අවස්ථා කිහිපයකදී ද අකුණු සැර වැදී එහි තිබු විදුලි උපකරණ රැසක්ම විනාශ වී තිබෙනවා.

භාරකාර ස්වාමින් වහන්සේ විසින් දෙවනගල පුදබිමට අකුණු සන්නායකයක් සවි කර දෙන ලෙස ඉල්ලා තිබුණත්, එය මෙතෙක් අදාළ බලධාරීන් ඉටු කර දී නොමැති බව දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ සඳහන් කළා.

විශාල බැතිමතුන් සහභාගි කරගෙන ආගමික කටයුතු පවත්වන බැවින් ඉදිරියේදි විශාල ජිවිත හානි සිදු විමට මත්තෙන් අකුණු සන්නායකයක් දෙවනගල පුදබිමට සවි කර දෙන ලෙස උන්වහන්සේ බලධාරීන්ගෙන් හෝ ධානපතියෙකුගෙන් ඉල්ලා සිටිනවා ෴

******************************************

(09.07.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

නවගමුව – වෑක්කවත්තේ ගල් කොරියක සේවය කළ තරුණයින් දෙදෙනෙකු (2) අඩි 150 ක් පමණ උසකින් ඇද වැටී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (09) පෙරවරුවේ එම ගල් කොරියට බෝර දමා පිපිරවීමට උත්සාහ කළ අවස්ථාවේදී ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයින් අවුරුදු 40 සහ 42 වයස්වල පසුවන කොරතොට සහ යටියන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *