නව ආසාදිතයින් 1,823 ක් – තවත් කොරෝනා මරණ 37 කුත් වාර්තා වෙයි

නව ආසාදිතයින් 1,823 ක් – තවත් කොරෝනා මරණ 37 කුත් වාර්තා වෙයි

*********************************************

නව ආසාදිතයින් 1,823 ක් – තවත් කොරෝනා මරණ 37 කුත් වාර්තා වෙයි

(03.07.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,823 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 2,62,795 ක් ලෙසයි.

ඊයේ (02) වාර්තා වූ ආසාදිතයින් අතරින් 1,737 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 86 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ඊයේ (02) දිනයේදි ආසාදිතයින් 1,701 සුවය ලැබු අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ දෙලක්ෂ විසි නවදහස් පන්සීය හතලිස් එකක් (2,29,541) ලෙසයි.

එසේම, පසුගිය 01 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 37 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) පස්වරුවේ තහවුරු කළා.

කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 08 ක්. එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 28 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,157 ක් දක්වා ඉහළ යනවා.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් වසර එකහමාරක (1½) පමණ කාලයක සිට පාසැල් වසා දැමිම නිසා සිය ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

ඒ හේතුවෙන් ණය මුදල් හා ලීසිං වාරික ගෙවීම සඳහා කිසියම් සහන කාලයක් හෝ වැඩපිළිවලක් සකස් කර දෙන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බවයි එම සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර, බස්නාහිර පලාත් සුළු පරිමාන මංගල සැපයුම්කරුවන්ගේ සංගමය ද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කොරෝනා වසංගත හේතුවෙන් මංගල උත්සව පැවැත්වීමට නොහැකිවීම නිසා තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බවයි.

එම නිසා දැඩි සෞඛ්‍ය නීති රිති පනවමින් හෝ සීමිත සහභාගීත්වයෙන් මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති එස්. රංගන මහතා සඳහන් කළා ෴

+++++++++++++++++++++

(03.07.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (02) දිනයේදී පුද්ගලයින් 85,683 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 26,192 දෙනෙකුට ඊයේ (02) ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 58,141 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (02) පුද්ගලයින් 1,350 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 18,76,293 ක් වන අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 8,08,743 ක්. එසේම, කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 9,25,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 3,83,329 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,14,795 ක්. එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,427 ක් වනවා ෴

++++++++++++++++++++

(03.07.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් මෙරටින් වාර්තා වීමත් සමග ය කොවිඩ්-19 ව්‍යාප්තියේ තර්ජනය තීව්‍ර වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඔහු පවසන්නේ මෙම ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ එන්නත් මාත්‍රා දෙකම (2) හෝ එකක් (1) හෝ ලබා ගත් පුද්ගලයින් හටත් එල්ල වී ඇති තර්ජනය තවමත් අවසන්ව නොමැති බවයි.

එබැවින් වහාම සැලකිය යුතු ප්‍රමාණයක් එන්නත් කරනයට ලක් කිරීම අනිවාර්යෙන් සිදුකළ කටයුත්තක් බව ඔහු පෙන්වා දෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ තවමත් කොවිඩ්-19 පැතිරීමේ අවදානම කිසිසේත් පහව ගොස් නැති බවයි ෴

+++++++++++++++++++++

(03.07.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (02) වාර්තා වූ මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 267 ක්.

ඊයේ (02) දිනයේදී මෙරටින් ආසාදිතයින් 1823 දෙනෙකු හඳුනා ගැනුණු අතර එහිදී කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 225 ක්.

ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 148 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 ක් ඊයේ (02) හඳුනාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++

කොරෝනා ප්‍රභේද ව්‍යාප්තිය ගැන ජපුර සරසවියේ නවතම වාර්තාව සෞඛ්‍ය ලේකම්ට

(03.07.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේද පිළිබඳ නවතම වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ අද (03) පෙරවරුවේ නව ප්‍රභේද පිළිබඳ වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයා වෙත භාර දුන් බවයි.

කෙසේ වෙතත්, අදාළ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම මින් පෙර අවස්ථාවලදී මෙන් විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම මගින් සිදුනොකරන බව ඔහු සඳහන් කළා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කළ දැනුම්දීමකට අනුවයි.

එහෙත්, ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර ඇත්තේ සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් මෙරටින් වාර්තා වීමත් සමඟ කොරෝනා ව්‍යාප්තියේ තර්ජනය තීව්‍ර වී ඇති බවයි.

එන්නත් කිරීම වේගවත් කළ යුතු බවත්, කොරෝනා පැතිර යාමේ පහව ගොස් නොමැති බවත් එම ට්වීටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම, ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ගෙන්ද අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔහු සඳහන් කළේ පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් අතර, එය අමාත්‍යාංශය මගින් විශ්ලේෂණය කරනු ඇති බවයි.

කෙසේ වෙතත්, නව ප්‍රභේද පැතිරයාමේ පර්යේෂණ වාර්තාව පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේ ඔහු වෙනත් සාකච්ඡාවක නිරතව සිටීම හේතුවෙන්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද දුරකතනයට සම්බන්ධ කර ගැනීමටද හැකියාවක් ලැබුණේ නැහැ.

මෙරටින් ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිතයන් 1,823ක් හඳුනාගනු ලැබුවා. ඉන් 84 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර සෙසු 1737 දෙනා අලු‍ත් අවුරුදු පොකුරේ ආසාදිතයන්.

ඊයේ (02) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 267 දෙනෙකු හඳුනාගත් අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 225 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ගෙවුණු දිනය (02) තුළ වාර්තා වූයේ ආසාදිතයන් 170 ක් පමණයි.

මීට අමතරව කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින්ද ගෙවුණු දිනය (02) තුළ ආසාදිතයින් 100 ඉක්මවමින් වාර්තා වී තිබුණා.

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කෑගල්ල, මුලතිව් සහ අම්පාර යන දිස්ත්‍රික්ක හතරේ (4) ප්‍රදේශ කිහිපයක් අද (03) පෙරවරු හයේ (06:00) සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරුණා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මිහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ මාදෙයියාව ගම, මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරූ පොලිස් බල ප්‍රදේශයේ චෙම්මාලි නැගෙනහිර නයාරු ධීවර කොටස, සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශයේ මරුතමුනායි 03 ග්‍රාම නිලධාරී වසම එලෙස හුදෙකලා කෙරුණා.

මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් රියදුරු සහ කොන්දොස්තර සමඟ මැදවච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ව්‍යාජ ලේඛණයක් උපයෝගී කරගනිමින් කොළඹ බලා ධාවනය කිරීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන්එන්නත් මාත්‍රා ප්‍රමාණය 85,683 ක්.

මේ අතර, මෙරටට අලු‍තෙන් ගෙන එන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනය දිස්ත්‍රික්ක 10 ක එන්නත්කරණ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර, දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ ලබන සඳුඳා (05) දිනයේදීයි. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවතින තත්ත්වය සමාලෝචනය කර ඉදිරි තීරණ ප්‍රකාශයට පත්කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

@@@@@@@@@@@@@@@@@

(03.07.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ආනවිලුන්දාව අභය භුමියේ වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය වන ජීවී නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බධාකර බැන තර්ජනය කල පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා ආරච්චිකට්ටුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ආනවිලුන්දාව අභය භුමිය හරහා ගලා බසින සෙනගල්ඔයේ පිරිසක් වැලි ගොඩ දමන බව ට ලැබුණු තොරතුරක් මත අභය භුමිය භාර ආනවිලුන්දාව වන ජීවී කාර්යාලයේ ස්ථානාධිපති වන සත්ව අඩවි සහකාර ප්‍රියල් බුද්දික උපනන්ද මහතා ඇතුළු වන ජීවී නිලධාරීන් පිරිසක් මේ වැටලීමට එක්වුනා.

මෙහිදී කුඩා දරුවන් කාන්තාවක් ඇතුළු පිරිසක් බෝට්ටුවක්ද යොදා ගනිමින් වැලි ගොඩ දැමීමේ කාර්යයේ නිරතව සිට තිබෙනවා.

පසුව වන ජීවී නිලධාරීන් ඔවුන් සිදුකරන වරද අවබෝධ කර දී අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පවසා ඇති අතර එම අවස්ථාවේදී මේ පිරිසේ භාරකරු පැමිණ ඊට විරෝධය පල කර වන ජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල බවයි වාර්ථා වන්නේ.

මේ බාධා කිරීම වැටලීම සඳහා පැමිණි වන ජීවී නිලධාරියෙකු විසින් පටිගත කර මේ පිලිබදව ආරච්චිකට්ටුව පොලිසියට පැමිණිලි කර හලාවත මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු ද වාර්තා කර තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලිසිය වනජීවී නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත අතර සිද්ධිය සම්බන්දයෙන් මේ දක්වාත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ සිදුවීමට මුල් වූ පුද්ගලයා පසුගිය ‘ලෝක තෙත් බිම්’ දිනයේදී අභය භූමියෙන් කොටසක් නිවාස සදා ගැනීමට ඉල්ලා උද්ගෝෂණය කරන ලද පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

මිට අමතරව අභය භුමියට අයත් ප්‍රදේශයේ එළු කොටු ඉදිකිරිම වැනි ක්‍රියා මොහු විසින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

(03.07.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

වන සංරක්ෂණය, පාසල් විෂය මාලාවට ඇතුලත් කිරිමට පියවර ගන්නා ලෙස අධ්‍යපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකල බව වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් ලබා දෙන නිර්නායක වලට අනුව මීට අදාළ ඉදිරි කටයුතු සිදුවනු ඇති බවයි ෴

******************************************

(03.07.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරිනියකගේ අසභ්‍ය ඡායාරූප ලබාගැනීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හබරාදුව පොලීසිය වෙත භාර දී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල – වංචාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පොලීසිය පැවසුවේ සැකකරු වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු බවට අනාවරණ වී ඇති බවයි ෴

******************************************

(03.07.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

එංගලන්ත සංචාරය අතරතුර විනය විරෝධීව හැසීරම හේතුවෙන් සංචාරය අතරතුරදී කණ්ඩායමෙන් පිටමං කර මෙරටට හරවා එවූ ක්‍රීඩකයින් තිදෙනා (3) සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

තරග සංචාරය අතරතුරදී ජෛව බුබුළෙන් මිදි එංගලන්තය ඩරම් නගරයේ රාත්‍රී කාලයේ වීථි පුරා සැරිසැරු ශ්‍රී ලංකා කණ්ඩායාමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනා (3) මෙලෙස ලංකාවට හරවා එවනු ලැබුවා.

මෙම ක්‍රීඩකයින් මේ වනවිට දින 14 ක නිරෝධායන කාලයක් ගත කරනුයේ, මීගමුව ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකයි.

මොවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විනය පරීක්ෂණය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල (3) හෝ පංච පුද්ගල (5) විශේෂ විනය කමිටුවක් පිහිටුවීමට සූදානම් වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

එම විශේෂ විනය කමිටුව පිහිටුවීමට පිළිබඳව අවසන් තීරණය එළඹෙන විධායක කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතයි.

මෙම ක්‍රීඩකයින් හට බරපතල විනය ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මඩුල්ලේ, තීරණයවී ඇති බවයි, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර එළඹෙන ජූලි මස 8 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි.

මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි වැඩපිළිවෙල සහ විශේෂයෙන් ක්‍රීඩක විනය පිළිබඳව සාකච්ඡාවට ගැණෙනු ඇති ෴

******************************************

(03.07.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය තුළ කලාපීයව පිළිගත් මූල්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ඇති කිරීමේ අරමුණ ඇතිව කොළඹ කොටස් වෙළෙඳපළ සහ වරාය නගරය අතර අවබෝධතා ගිවිසුමකට ඊයේ (02) අත්සන් තැබුණා.

ඒ අනුව කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර බහු විනිමය හුවමාරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙනු ඇති.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දමිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුව වරාය නගරය තුල ජාත්‍යන්තර කොටස් වෙළඳපළක සහයෝගයද ඇතිව ක්‍රියාත්මකවීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ වරාය නගරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජියෑන් හවුලියෑන් සඳහන් කළේය වරාය නගරයේ ජාතන්තර කොටස් වෙලඳ පලක් පිහිටුවීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සමඟ කටයුතු කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටට පත් වන බවයි.

මේ සමග ලොව පුරා සමාගම් වලට නව ආයෝජන අවස්ථාවන් ට ප්‍රවීශ්ඨ වීමේ දොරටුවක් ද විවෘත වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

+++++++

******************************************

(03.07.2021 – 12:01 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය කොටවෙහෙරගලයාය කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 100 කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ හටගත් ගින්න රාත්‍රී කාලයේ වේගයෙන් පැතිර ගොස් ඇති බවයි.

අනතුරුව වැල්ලවාය වන සංරක්ෂණ කාර්යාල නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනයට කටයුතු කර තිබෙනවා.

මේ දිනවල වැල්ලවාය ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්වය හමුවේ ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව සඳහන්.

ගින්න හේතුවෙන් රක්ෂිතයට දැඩි හානියක් සිදුව තිබෙනවා.

කිසියම් අයෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කෙරෙන අතර සිද්ධිය පිළිබඳ වැල්ලවාය පොලිසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(03.07.2021 – 12:43 +0530 – hirunews.lk/sinhala)

දින දෙකක් (2) පුරා පැවති හෙද වර්ජනය අවසන් වුව ද අදත් (03) රෝහල් කටයුතුවලට බාධා එල්ල වී ඇත්තේ පරිපූරක වෛද්‍ය වෘත්තීකයන් වර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන්.

මේ තත්ත්වය මත රසායනාගාර සේවා, ඖෂධාගාර සේවා ඇතුළු තවත් සේවා රැසකට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම, ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ කටයුතුවලට ද බාධා එල්ල වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එම වර්ජනයට එක්වීම හේතුවෙන්.

දින දෙකක් (2) පුරා පැවති හෙද වර්ජනය අද (03) පෙරවරුවේ අවසන් වූයේ ජනාධිපතිවරයා ඊයේ (02) පස්වරුවේ මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට මැදිහත් වීමත් සමඟයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම සාකච්ඡාවට සහභාගි වී තිබූ අතර, ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරියට අදාළ විසඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බවටයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා සිය සංගමයට ආරාධනා නොලැබුණු බවයි. එනමුත්, යෝජනා ක්‍රියාත්මක වන්නේ නම්, ඊට එරෙහි නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.

හෙද වර්ජනයෙන් පසු අද (03) ක්‍රියාත්මක වන පරිපූරක වර්ජනයත් සමඟ රෝගීන් තවදුරටත් අපහසුතාවයට පත්ව සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *