*********************************************
දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිලධාරී වසම් 06 ක් හුදෙකලා කෙරේ
(30.06.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)
දිස්ත්‍රික්ක හතරකට (4) අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (30) උදෑසන 06:00 සිට හුදෙකලා කර තිබෙනවා.
මොණරාගල, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 06 ක් මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදූව වත්ත ප්‍රදේශය හුදෙකලා කර ඇති අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ පරණ කොලනිය ග්‍රාම සේවා වසමට අයත් දිවිතුරුවත්ත මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරී වසමට අයත් දේවාලකන්දවත්ත කොටස සහ ගොඩම්පල ග්‍රාම නිලධාරී වසමට අයත් පඹේගම වත්ත කොටසද හුදෙකලා කර තිබෙනවා.
එමෙන්ම, වරකාපොල පොලිස් වසමට අයත් හල්ලව ග්‍රාම නිලධාරී වසමේ නියදුරුපොල අංක 01, 02, 03 සහ 04 යන වතු නිවාසද හුදෙකලා කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් වසමට අයත් කනුල්වෙල ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා වනවා.
එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ මීගහවත්ත පොලිස් වසමට අයත් සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ උපුල් වසන්ත මාවත, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් වසමේ මිනේරිතැන්න සුනාමි ගම්මානය, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පොලිස් වසමේ කිවුලවාඩිය සහ ගුරුවෙල ග්‍රාම නිලධාරී වසම් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් වසමේ අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමට අයත් ඩෙන්ස්වර්ත් වත්ත යන ප්‍රදේශ හුදෙකලාබවින් ඉවත් කර තිබෙනවා.
අදාල ප්‍රදේශයන් සම්බන්ධ වැඩිදුර විස්තර පහතින් :
++++++++++++++++++++++
(30.06.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)
නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 තුල පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව මේ දක්වා කාලය තුල පුද්ගලයින් 45,532 ක් නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴
+++++++++++++++++++++++
(30.06.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිවසට සීමා වුණු දරුවන් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
ස්මාර්ට් දුරකථන නොමැති වීම ඒ අතර ප්‍රධානයි.
භාවිත කළ ස්මාර්ට් දුරකථනයක් හෝ තම පාසලේ ආර්ථික අපහසුතා දරුවන් වෙනුවෙන් දිය හැකි නම් එය වටිනා කටයුත්තක් බව හිරු ප්රවෘත්ති අංශය ඇමතූ විදුහල්පතිනියක් සඳහන් කළේ දරුවන් වෙනුවෙන් කැපවන මිනිසුන් නියත වශයෙන්ම ඒ පිළිබද අවධානය යොමු කරන බව දන්නා නිසාවෙන්මයි.
කොලොන්නාව ශාන්ත ජෝශප් විද්‍යාලයේ විදුහල්පතිනී දීප්ති මොල්ලිගොඩ මහත්මිය ප්‍රකාශ කළේ ආර්ථික අපහසුතා සහිත දරුවන් 350 දෙනෙකු පමණ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිසි දුරකථනයක් නොමැති බවයි.
ඒ අනුවයි ඇය මෙම ඉල්ලීම සිදු කරන්නේ.
ස්මාර්ට් දුරකථනයක් ලබා ගැනීමට මව සමග වැලි ගොඩ දමන හිඟුරක්ගොඩ දැරිය ගැන අප කළ හෙලිදරව්වට මේ වන විටත් මහා මිනිස්කමින් හෙබි බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා අවසන්.
පාසල් වසා දැමීමත් සමඟ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම කෙරෙහි සමාජයේ වැඩි අවධානයක් යොමුවුණා.
ගුරු සංගම් ඇතුළු විවිධ පාර්ශව චෝදනා කළේ තාක්ෂණික ගැටලු හේතුවෙන් ඇතැම් දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවයි.
දරුවන් සහ ගුරුවරුන්ද තමන් මුහුණදෙන අපහසුතා පිළිබඳව නිරන්තරයෙන් කරුණු හෙළි කළා.
ඔන්ලයින් තාක්ෂණය සමග අප ඉදිරියට ගමන් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වුවත් රට පුරා විසිරුණු දරුවන්ට ඒ සඳහා සමාන අවස්ථා තවමත් ලැබී නැහැ.
බොහෝ පාසල්වල පන්තියක සිටින දරුවන්ගෙන් කිහිපදෙනෙකු හෝ ඔන්ලයින් පාඩම් වෙත නොපැමිණෙන්නේ ඒ හේතුවෙන්.
තාක්ෂණික දුර්වලතා මෙන්ම, ආර්ථික දුෂ්කරතා වලට ද ඔවුන් මුහුණදෙනවා.
එවන් තත්ත්වයක් තුල දරුවන්ගේ අනාගතය පිටුපසට නොයවා කටයුතු කිරීමට නම් වැඩිහිටියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ රකිමින් හැකි ඉක්මනින් පාසල් යළි විවෘත කර ගැනීමට කටයුතු කිරීම අතිශය වැදගත් කරුණක් ෴
++++++++++++++++++++
(30.06.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)
නව කොරෝනා අසාදිතයින් 1,717 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2,57,225 ක් වනවා.
එසේම, ඊයේ (29) දිනයේදී මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාවද 3,000 ඉක්මවා ගියා.
නව ආසාදිතයින් අතරින් 1,709 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 08 දෙනෙකුද ඊයේ (29) ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,23,471 ක්.
එසේම, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) පස්වරුවේ පසුගිය 28 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 45 තහවුරු කළා.
කාන්තාවන් 24 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වයස අවුරුදු 30 ට අඩු පුද්ගල මරණයක් වාර්තා වනවා.
අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 12 ක්. එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 32 ක් ලෙසයි දැක්වෙන්නේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,030 ක්.
මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.
එම බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ වෛද්‍ය සේවාවට අදාළ දීර්ඝකාලීන ගැටළුවලට සහ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාමය අවස්ථාවක් හෝ නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරි පැය කිහිපය තුළ දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.
මේ අතර, පානදුර උතුර – පල්ලිමුල්ල ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් 20 දෙනෙකු එම ස්ථානයේදීම දින 14 ක් නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.
පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
එමෙන්ම, නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 433 දෙනෙකු ඊයේ (29) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
+++++++++++++++++++
(30.06.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)
බස්නාහිර පළාතේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම අද (30) සහ හෙට (01) දින වලද සිදු කෙරෙනවා.
ඒ අනුව, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් සංවිධානය කරන මධ්‍යස්ථාන තුළදී එම එන්නත් ලබාදීමට කටයුතු යොදනු ඇති.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන සති 45 ක කාලයකින් අනතුරුව දෙවන (2) මාත්‍රාව ලබාගත්තද ඉන් ලැබෙන ප්‍රතිදේහ ප්‍රතිචාරය ඉතා ඉහළ බව සිදුකළ ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ පරීක්ෂණයකින් අනාවරණ වී ඇති බවයි රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (29) ප්‍රකාශ කළේ.
මේ අතර, අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොරෝනා එන්නතක තුන්වැනි (3) මාත්‍රාවක් ඇණවුම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක සභාවේ නිර්දේශ හිමි වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවපර්ධන මහතා කියා සිටියේ ෴
++++++++++++++++++++
(30.06.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)
ඉන්දීය විකෘති කොරෝනා වෛරස් ඩෙල්ටා ප්‍රභේදයට අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා.
ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බීටා කොරෝනා ප්‍රභේදයට වඩා මොඩර්නා එන්නත ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
මේ වනවිටත් ලොව පුරා රටවල් 89 ක සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතිනවා ෴
++++++++++++++++++++++
(30.06.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (29) දිනයේදී පුද්ගලයින් 106,998 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 61,255 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.
එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 43,999 දෙනෙකුට ලබාදී තිබෙනවා.
එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (29) පුද්ගලයින් 1,744 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 16,57,741 ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 6,05,116 ක්.
එසේම, කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 375,784 කට ලබාදී තිබෙනවා.
ස්පුට්නික් එන්නතේ පළමු (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795 ක්.
එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,425 ක් වනවා ෴
@@@@@@@@@@@@@@@@
(30.06.2021 – 06:52 +0530 – hirunews.lk/sinhala)
අපරාධ රැසකට සම්බන්ඳ දැනට ඩුබායිහි සිටින ‘රත්මලානේ අංජු’ගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවරදී ‘මදුශංක සිල්වා’ හෙවත් ‘මද්දා’ නැමති පුද්ගලයෙක්.
ජීව අත්බෝම්බයක් සමඟ මොහුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴
******************************************
(30.06.2021 – 07:13 +0530 – hirunews.lk/sinhala)
වයස අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික ශ්‍රමිකයෙක් ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ගල්කිස්ස පොලිසිය ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර ආදාල දැරියගේ මව සහ චීවර ධාරියෙකු ද සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මාස තුනක (3) පමණ කාලයක සිට අදාල දැරිය මෙලෙස අලෙවිකර ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.
මීට අමතරව දැරිය අලෙවි කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමට වෙළඳ දැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් දසදහසේ (10,000) සිට රුපියල් තිස්දහස (30,000) අතර මිල ගණන් වලට දැරිය විවිධ පුද්ගලයින්ට අලෙවිකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
දැරියගෙන් කළ විමසීමකදී ඇයව ලිංගිකව අපයෝජනයට පත්කළ තවත් පුද්ගලයින් විසිදෙනෙකු (20) පමණ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ගෙන් 16 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴
******************************************
අද (30) දුම්රිය වර්ජනයක්
(30.06.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද (30) පෙරවරුවේ සිට සංකේත වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතයි.
වෘත්තීය සමිති 34 ක සහභාගීත්වයෙන් අද (30) පෙරවරු 8 සිට රාත්‍රි 12 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ.
රුපියල් මිලියන 4,400 ක් වැය කරමින්, විදෙස් සමාගමක් සමඟ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සදහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීම මගින් සිදුවන බව කියන මූල්‍ය වංචාවට එරෙහිව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කරනු ලබනවා.
මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග කිහිප වතාවකදී සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි එම සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ ෴
දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මග හැරවීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. මගී අවශ්‍යතාවය අනුව බස් රථ යෙදවීමේ බලය ඩිපෝ කළමනාකරුවන්ට ලබාදී ඇති බවයි එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ ෴
******************************************
(30.06.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)
වනජීවී නිලධාරීන් අද (30) ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.
ඒ, පසුගියදා මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්රිත විශේෂ මෙහෙයුමක යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට යුද හමුදාවේ කණ්ඩායමක් විසින් බාධා කළා යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින්.
සිද්ධියට අදාලව මේ වනවිට දෙපාර්ශයෙන්ම පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බව පවසමින් අද (30) වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය හෙට (01) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි ෴
******************************************
(30.06.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)
තිස්සමහාරාම – තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්යෘපාතියට අදාළ විදේශ සමාගමේ සේවකයින් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන පිරිසක් බව ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය තහවුරු කර තිබෙනවා.
ඒ, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සිදුකළ විමසීමකදීයි.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට පැමිණි චීන ජාතික සේවකයින් හමුදා කැලෑ නිල ඇඳුමින් සැරසී සිටි බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විමසා සිටි බවයි.
ඒ අනුව චීන තානාපති කාර්යාලය දන්වා ඇත්තේ මෙම ඇඳුම් විදේශ සමාගමක සේවකයින් අඳින ඇඳුමක් වන බවයි.
එමෙන්ම, මෙවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසටද අදාළ ආයතනය වෙතද ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබෙනවා ෴
******************************************
(30.06.2021 – 09:37 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රි ලංකා කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් ටොකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, මිටර් 100 ධාවන ඉසව්වෙන්. ඊට අදාළව ඉතාලියේ පැවැති තරඟාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.
නිලානි රත්නායක බාධක දිවීමේ තරග ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වෙන්.
******************************************
(30.06.2021 – 12:19 +0530 – hirunews.lk/sinhala)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල අද (30) සිට යලි විවෘත කර තිබෙනවා.
ඒ අනුව දිනයක් සහ වෙලාවක් වෙලාවක් වෙන්කර ගැනීමට 011 267 7877 දුරකථන අංකයට අමතන්න ෴
******************************************
අවධානම නොතැකූ යතුරුපැදි ධාවනයේ ඉතිරි වූ සාක්ෂිය (30.06.2021)
******************************************
පොලිස් බස්වල ඉන්ධන සොරකම් කළ කොස්තාපල්වරු
(29.06.2021 – 19:08 +0530 – sinhala.adaderana.lk)
මරදානේ බස් රථ ගාලකදී පොලිසියේ මැදිහත්වීමෙන් සිදුකරගෙන ගිය ඉන්ධන ජාවාරමක් ගැන ‘අද දෙරණ’ උකුස්සා ඊයේ (28) විශේෂ අනාවරණයක් කළේය.
එම ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) එම අනාවරණයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිල බස්රථවල ඩීසල් පෞද්ගලික බස් රථවලට අලෙවි කිරීමේ ජාවාරම සිදුකර තිබුණේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සහ තවත් පිටස්තර පුද්ගලයෙකු (1) ගේ එකතුවෙනි.
එම අනාවරණයෙන් පැය 24 ක් ගතවීමටත් පෙර ඒ පිළිබඳ විමර්ෂණයක් ඇරඹීමට පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ‘අද දෙරණ’ අනාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවය.
මේ අතර තෙල් ලබා ගැනීමට සහය දුන් නෑබඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීමට සම්බන්ධ තවත් අයෙකු (1) හඳුනාගෙන ඇතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
‘අද දෙරණ උකුස්සා’ වැඩසටහනින් මෙම ජාවාරම පිළිබඳ හෙළි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලීසියේ ස්තූතිය පළ කරන බව ද ඒ මහතා කියා සිටියේය.
ඊයේ (28) ‘අද දෙරණ’ උකුස්සා මඟින් හෙළි කළ පොලිස් බස්රථවලින් ඉන්ධන සොරකම් කර විකිණීම සම්බන්ධයෙන් දෙදෙනෙකු (2) ව අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල සහ මහනුවර දක්වා ධාවනය කෙරෙන පොලිස් බස්රථ දෙකෙහි රියදුරන් ය.
ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
කොවිඩ් සමයේ නිලධාරීන් ප්‍රවාහනය කිරීම ඇතුළු රාජකාරී සඳහා යොදවා බස්රථ රැසක් මරදාන ගාමිණී හෝල් ප්‍රදේශයේ ගාල් කර එම බස්රථ ඇති ඩීසල් පෞද්ගලික බස්රථවලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක පටන් මෙහි සිදුවන බවය.
ඒ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සහ තවත් පිටස්තර පුද්ගලයෙකුගේ එකතුවෙනි.
මේ පිළිබඳ සෙවීම සඳහා එහි ළඟා වුණු උකුස්සාට මේ පිළිබඳ දැකගත හැකි විය.
පොලිස් බස්රථ ගාල් කිරීම සඳහා මරදාන ප්‍රදේශයේම නිශ්චිත ස්ථානයක් වෙන් කර තිබුණත් මොවුන් ජනාකීර්ණ නොවන ස්ථානයක් මේ සඳහා තෝරාගෙන තිබේ.
ඒ අනුව පොලිස් බස්රථ එක් තැනකට රැගෙන එන අතර, පසුව තවත් පිරිසක් තෙල් බූලි, රබර් බටයක් රැගෙන බසය වෙත යන්නේ ඩීසල් පුරවා ගැනීම සඳහාය.
එසේ පුරවාගන්නා ඉන්ධන පසුව වෑන් රථයකට පටවා ගනී.
පසුව ඩීසල් එම ස්ථානයේදීම පෞද්ගලික බස් රථ සඳහා අලෙවි කරන බව උකුස්සාට දැනගන්නට ලැබුණි ෴
******************************************
විශාරද නන්දා මාලනී විසින් ගායනා කළ ගීත නීතිවිරෝධීව සංයුක්ත තැටිවලට ඇතුළත් කළ අයෙකුට රුපියල් ලක්ෂ පහක දඩ
(29.06.2021 – 11:34 +0530 – sinhala.adaderana.lk)
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කොට විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර විකිණීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවෙකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් පනවන ලද ‘අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂ පහක (5,00,000) දඩය’ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.
ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් එම තීන්දුව ලබා දුන්නේය.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මානගේ සුසිල් ධර්මපාල නැමැත්තෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දී තිබේ.
2005 වසරේ කොළඹ මහජන පුස්තකාලයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කොට නන්දා මාලනි මහත්මිය විසින් ගායනා කරන ලද ‘යොවුන් වසන්තයේ සහ ඔන්න එකොමත්’ යන ගීත සහ මහගම සේකරයන් විසින් රචිත ‘ගලන ගඟකි ජීවිතේ හා සන්නාලියනේ’ යන ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවල පටිගත කර අලෙවි කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට පාදුක්ක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය ෴
******************************************
අජි–නෝ–මොටෝ රසට කැමතිද? එහෙනම් මේ ටිකත් කියවා බලන්න!
(30.06.2021 – 10:54 +0530 – lankaleadnews.com)
අජි–නෝ–මොටෝ නම් රසකාරකය මේ වන විට දරුණු ස්නායු රෝග වන ඇල්මයිසර් (Alzheimer’s) හා පාකින්සන් (Parkinson’s) වැනි රෝගවලට හේතු වන බව ස්නායු ශල්‍ය වන වෛද්‍යවරයෙකු වන Russell Blaylock විසින් පහදා දී ඇත.
ඊට අමතරව සායනික වාර්තා මගින් සහ මීයන් ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණ මගින් ඔප්පු වී ඇත්තේ අජි–නෝ–මොටෝ හෙවත් මොනෝ සෝඩියම් ග්ලූටමේට් (MSG) දිගු කලක් භාවිතය මගින් අධික තරබාරුව මෙන්ම දියවැඩියා රෝගී තත්ත්වයන්ද ඇති කරවන බවයි.
වසර දහස් ගණනක් තිස්සේ ලාංකිකයන් වන අපි භාවිතා කළ තුන පහ, රම්පෙ, කරපිංචා ඇතුළු ශාකමය රසකාරක සමග අජි–නෝ–මොටෝ භාවිතය ඉහළ ගොස් ඇත්තේ 2013 වර්ෂය වන විට වාර්ෂික ඒක පුද්ගල අජි–නෝ–මොටෝ පරිභෝජනය ග්රම් 110 ක් තරම් විශාල ප්‍රමාණයකට ළඟා වෙමිනි.
මෙහි ඇති අනෙක් භයානක කාරණය වන්නේ ඕනෑම සැකසූ ආහාරයක් කල් තබා ගත හැකි උපරිම කාල සීමාව සාමාන්‍යයෙන් එක් වර්ෂයකට පමණක් සීමා වෙද්දී අජි–නෝ–මොටෝ කල්තබා ගත හැකි කාල සීමාව වසර 10 ක් වැනි දිගු කාල පරාසයක් පුරා පැවතීමයි.
මිනිසා නැසීමට භාවිතා කරන බෝම්බ, වෙඩි උණ්ඩ වැනි දේ පවා වසර 10 ක කාලයක් කල්තබා ගැනීමට අසීරුය. එසේම අජි–නෝ–මොටෝ ලංකාවට රැගෙන ඒමට භාවිතා කළ කන්ටේනරයද, ග්‍රෑම් 15 ක බරකින් අජි–නෝ–මොටෝ අසුරා ඇති පොලිතීන් කවරයද වසර 2 ක තුනකින් දිරාපත් වෙද්දී අජි–නෝ–මොටෝ වසර 10 ක් කල් පවතිනවා යැයි නිෂ්පාදකයන් පැවසීම හාස්‍යයට කරුණක් නොවේද? සෞඛ්‍ය බලධාරීන් මෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන පවා මේවා නොදන්නා බබුන් ලෙස සිටින්නේ ඇයිද යන්න සැක සහිතය. එසේම දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතාවය ඇතැයි පවසන ලංකාවේ මිනිසුන් තමා ගන්නා ආහාරය සෞඛ්‍යය ආරක්ෂිතද නැද්ද යන්න පවා දැන ගැනීමට තරම් උගත්කමක් බුද්ධියක් නොමැති පිරිසක් බව අජි–නෝ–මොටෝ ඔප්පු කර තිබේ.
‘මැගිලින්’ සුප් කැට, ‘නෝර්වේ’ උම්බලකඩ පවුඩර්, ක්ෂණික නූඩ්ල්ස්, ක්ෂණික කොත්තු සහ කුඩා දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා එක එක ප්‍රමාණයේ බඩ ගින්නට ගිල දමනවායැයි රූපවාහිනි දැන්වීම් මගින් පවසන බිස්කට් වගර් වලට ඇබ්බැහි කරවීමට යොදා ගන්නේ ‘මොනෝ සෝඩියම් ග්ලුටමේට්’ හෙවත් ‘අජිනෝ මොටෝ’ බව තහවුරු වී තිබේ ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴