වසර 20 කට පෙර සිදුවූ අපරාධය – රංජිත් නීතිය නැමූ හැටි එළියට

වසර 20 කට පෙර සිදුවූ අපරාධය – රංජිත් නීතිය නැමූ හැටි එළියට

*********************************************

වසර 20 කට පෙර සිදුවූ අපරාධය – රංජිත් නීතිය නැමූ හැටි එළියට

(28.06.2021 – 21:34 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව සමගි ජන බලවේගය සහ අමෙරිකානු තානාපතිවරිය සිදු කළ විවේචනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අදත් (28) අදහස් පළකළා.

******************************************

(28.06.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 113 කට වැඩි පිරිසක් ලිපියකට අත්සන් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ.ඩී. ජගත් කුමාර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම අත්සන් සහිත ලිපිය මේ වනවිටත් ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකුම එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවයි මීට පෙර වාර්තා වුණේ.

මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය ධූරයක දිවුරුම් දීමට නියමිත බවට පළ වන වාර්තා අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා රජයෙන් කිසිදු අමාත්‍ය ධුරයක් හෝ තනතුරක් ඉල්ලා නොමැති අතර, එවැනි කිසිදු තනතුරක් ලබාගැනීමටද බලාපොරොත්තු නොවන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

******************************************

(28.06.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

එංගලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ජෛව බුබුලෙන් පිටතට ගිය බවට වරද පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව, ඔවුන් තිදෙනාට පරීක්ෂණ නිමවනතුරු තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලය තීරණය කළ බවයි.

ඔවුන් මේ වනවිට කණ්ඩායමෙන් වෙන් කර වෙනත් ස්ථානයක රඳවා සිටින අතර, වහාම දිවයිනට ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායනයට ලක් කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සඳහන් කළා.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිර්නායකයන්ට අනුකූලව ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ ජෛව බුබුළකට අනුගත වෙමින්.

කිසියම් රටකට විදෙස් රටක සිට පැමිණි කණ්ඩායමක් සංචාරය අවසන් වනතුරු සිය ජෛව බුබුළ තුල රැදී සිටිය යුතු වනවා.

එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයේ දැක්වෙන්නේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ ඩර්හැම් නුවර නවාතැන්ගෙන සිටින හෝටලයෙන් රාත්‍රී කාලයේ පිටතට පැමිණ සිටින ආකාරයයි.

ඔවුන් දැඩි කලබලකාරි ස්වරූපයකින් කටයුතු කරන ආකාරය වීඩියෝ පටයේ දිස්වන අතර උපනායක කුසල් මෙන්ඩිස්ගේ එක් අතක දුම්වැටියක් තිබෙන අයුරුද වීඩියෝවේ දිස් වනවා.

එසේම, මීට පෙර ඇතැම් චෝදනාවන්ට ලක් වූ ධනුෂ්ක ගුණතිලක ද තරමක් දුරින් එම වීඩියෝවේ සිටින ආකාරය දිස්වුණා.

මෙම සිද්ධිය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව දැඩි ලෙස විවේචන එල්ල වෙමින් පවතින පසුබිමකයි.

ක්‍රීඩකයන් එංගලන්තයේදී පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය මේ වන විටත් දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු සාකච්ඡාවකට එක්වූ හිටපු ක්‍රිකට් නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ද ප්‍රකාශ කර තිබුණේ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණදී ඇති තත්ත්වය පිලිබඳව දැඩි කණගාටුවකින් පසුවන බවයි.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන රොෂාන් මහානාම ද පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇද වැටීම සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබුණා.

ඔහු එමගින් ප්‍රකාශ කර තිබුණේ එදා ක්‍රිකට් කණ්ඩායම සහ අද ක්‍රිකට් කණ්ඩායම අතර ඇත්තේ ආකල්පමය වෙනසක් බවයි.

රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම පිලිබඳ කණගාටුවක් ඇති වන බව ද රොෂාන් මහානාම සඳහන් කර තිබුණා.

එසේම විස්සයි විස්ස තරගාවලි පරාජයෙන් පසු අදහස් දක්වමින් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර සංගක්කාර ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර තලයට පැමිණි ක්‍රීඩකයන්ට එම මට්ටමේදී පළමු පෙල තරඟ ක්‍රීඩා කරන ආකාරය ඉගැන්වීම සුදුසු නොවන බවයි.

ක්‍රම ක්‍රමයෙන් ජාත්‍යන්තර මට්ටමට පැමිණිමේදී අදාළ අදියර පසුකර තිබිය යුතු බව ද ඔහුගේ අදහස වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය වේගයෙන් ගොඩනැංවිය යුතු බවයි කුමාර සංගක්කාර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

මේ අතර, එංගලන්තය හමුවේ පූර්ණ විස්සයි විස්ස තරගාවලි පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (29) දෙරට අතර පළමු එක්දින තරඟයට අවතීර්ණ වනවා.

එසේම, එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 කට සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ද අද (28) පස්වරුවේ දිවයිනට පැමිණියා ෴

(28.06.2021 – 21:21 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයේදි රට නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකිබව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් රට වෙනුවෙන් අරමුණකට ක්‍රීඩා නොකිරීම හා විනය විරෝධි ක්‍රියාවන්හී නිරතවීම මෙහිදි නොඉවසිය යුතු කාරණාවන් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම සීමාවන් ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයින් එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද අමාත්‍යවරයා පවසනවා.

******************************************

(28.06.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල අපහාස කලා යැයි උරණ වී මහනුවර – බලගොල්ල – අම්පිටිය ප්‍රදේශයේදී දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට ඇණ ගැසීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) ගෙන් එක් අයෙකු ලබන ජූලි 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද (28) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයී.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අදාළ පුද්ගලයන් දෙදෙනා පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථයේ හිමිකරු වන කෙංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඇණ ගැසීමේ සිද්ධියට අදාල සෙසු සැකකරුවන් තුන්දෙනා (3) මහනුවර – අම්පිටිය ප්‍රදේශයේදී මහනුවර අපරාධ කොට්ඨාශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී අද (28) දහවල් අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් අම්පිටිය – දලුක්ගොල්ල සහ මහනුවර – රජපිහිල්ල මාවත යන ප්‍රදේශවල පදිංචි 39 සහ 49 යන වයස්වල පසුවන පුද්ගලයන්.

ඔවුන්ගෙන් දෙදෙනෙකු (2) සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 9210 ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

අදාල පුද්ගලයන් දෙදෙනා (2) පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථය මහනුවර – බලගොල්ල – කෙංගල්ල ප්‍රදේශයේ ගරාජයක් තුල සඟවා තිබියදී ඊයේ (27) පස්වරුවේ පොලිස් භාරයට ගත්තා.

එහි රුධිර පැල්ලම් ද නිරීක්ෂණය වූ බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව එම රුධිර පැල්ලම් වල සාම්පල අද ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

සෙසු සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිස් භාරයට ගත් වෑන් රථයේ දොරවල් වල පිහිටි ඇඟිලි සලකුණු අපරාධ කොට්ඨාශයේ ඇඟිලි සළකුණු පරීක්ෂණ නිලධාරීන් වෙත යොමු කල බව පොලීසිය සඳහන් කළා.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මහනුවර – බලගොල්ල – අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන 30 හැවිරිදි කට්ටඩියෙකු බවටයි අනාවරණය වුණේ.

අදාල කට්ටඩියා විසින් තමාට ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල අපහාස කළා යැයි කියන දෙදෙනාව පසුගිය 25 වනදා තම නිවසට ගෙන්වාගෙන තිබුණා.

පසුව 10 දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ව පැහැරගෙන වෙනත් කෑලෑ ප්‍රදේශයකට ගෙන ගොස් කුරුසයක ආකාරයට සැකසු ලී ආකෘතියක තබා ඇණ ගසා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස වද හිංසාවට ලක්ව ඇත්තේ පොල්ගොල්ල සහ කඩුවෙල යන ප්‍රදේශ වල පදිංචි 44 සහ 38 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.

ඔවුන් මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

******************************************

(28.06.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම – රබර්වත්ත – සමගි මාවතේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකුට කිසියම් පිරිසක් පහරදෙන ආකාරය නිවසේ සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

මෙලෙස පහරදීමට පැමිණ ඇත්තේ ‘කැවුමා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතල කල්ලි සාමාජිකයාගේ ආයුධ ප්‍රවාහනය කිරීම සහ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් සිරගතව සිට පැමිණි ‘දේව්’ නම් පුද්ගලයෙක් ඇතුළු පිරිසක්.

සිද්ධියට අදාළව සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරු වන ‘දේව්’ නමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකය සහ තිස්සමහාරාම පොලිසිය විමර්ශන සිදුකරනවා.

******************************************

(29.06.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගඟේ තිබී සිරුර සොයාගත්, හංවැල්ලේදී පැහැරගෙන ගිය කට්ටඩියාගේ ඝාතන සිද්ධියට, කාන්තාවක් ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කට්ටඩියාගේ අනියම් බිරිඳ, ගල් වැඩපොළක රියදුරුරෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාතියෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන ගල් වැඩපොළක රියදුරුරෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහ කට්ටඩියාගේ අනියම් බිරිඳ අතර තිබූ තවත් අනියම් සම්බන්දතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඝාතනයට යොදාගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම කට්ටඩියා සිය අනියම් බිරිඳ සමඟ හංවැල්ල, අඹුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර පසුගිය 23 වැනිදා කිසියම් පිරිසක් විසින් ඔහු රැගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවල ද සටහන්ව තිබුණා.

අත්අඩංගුවට සැකකරුවන් අද (29) දින අධිකරණය හමුවට නියමිත අතර හංවැල්ල පොලිසිය සහ නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

******************************************

(29.06.2021 – 06:45 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට අධික හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.7 ක් සහ රුපියල් 289,000 ක මුදල් සමඟ වයස අවුරුදු 27 ක පුද්ගලයෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගමන්ගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(29.06.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ජීවිතක්ෂයට පත්ව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙන සොත්ති උපාලිගේ පුත්‍රයෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (28) රාත්‍රියේ බොරැල්ල – කාසල් වීථියේ – සරසවි පටුමගේදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී 28 හැවිරිදි සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් (2) සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

******************************************

(29.06.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට රුපියල් ලක්ෂයක දඩයක් පැනවීමට ඊයේ (28) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

දැනට එම දඩ මුදල දැක්වෙන්නේ රුපියල් 2500 ක් ලෙසයි.

එහෙත් වර්තමානය වනවිට වෙළඳපොලේ අඛණ්ඩව වාර්තා වන සහල් මිල ඉහළ දැමීමේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස මිල පාලන ක්‍රමවේදයක් ලෙස දඩ මුදල ඉහළ නැංවීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ ෴

******************************************

(29.06.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

විවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත භාරදී තිබෙනවා.

ඒ, ඊයේ (28) අධිකරණ අමාත්‍යාංශයේදීයි.

යල්පැන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාලවයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහායි මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ.

මෙම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් වන අතර කිසිදු සංශෝධනයකට ලක් නොවූ සාමාන්‍ය විවාහ, දික්කසාද නීතිය යාවත්කාලීන කිරීම මෙහි විශේෂ අරමුණ වී තිබෙනවා.

ඒ අනුව විවාහක නීතියට අදාළ වූ කරුණු හා දික්කසාද ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම වෙනසකට ලක් කිරීමට නියමිතයි.

විදේශයන් හිදී ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගන්නා දික්කසාද නඩු තීන්දු මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත අදාළ යෝජනාවලින් ඉදිරිපත් කර ඇති තවත් වැදගත් නීතියක් වන බවයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

@@@@@@@@@@@@@@@

(28.06.2021 – 20:36 +0530 – hirunews.lk/sinhala)

මොඩර්නා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිව ඇති බව ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර කහතුඩුව – පොල්ගස්ඕවිට – ජයලියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ඉන්දියානු ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ් මහතා පවසනවා.

කොළඹ ඉදිකිරීම් සමාගමක පෙදරේරු රැකියාවේ නියුතු පුද්ගලයකු වන ඔහු යළි නිවසට පැමිණ ඇත්තේ පසුගිය 24 වනදා බවයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පත්මරාජ් මහතා කියා සිටියේ.

මේ අතර, පෙර (27) දින රාත්‍රියේදී අදාළ ආසාදිතයා සොයා ආ මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු හා ප්‍රදේශවාසියෙකු අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර අද (28) පෙරවරුවේද ඔවුන් අතර යළි බහින්බස් වීමක් ඇති වුණා.

ඩෙල්ටා වෛරසය ආසාදිත බව වාර්තා වන පුද්ගලයා ජීවත්වූ ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා අහඹු කොවිඩ් පරීක්ෂණ අද (28) සිදු කෙරුණා.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බවට මීට පෙර තහවුරු වූ රෝගීන් පස් දෙනාට (5) අමතරව එම ප්‍රභේදය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් තුන් දෙනෙකු (3) සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වූ එහි අධ්‍යක්ෂ රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියේ අදාළ රෝගීන් තුන්දෙනාගේ (3) ජාන විශ්ලේෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

එම මාධ්‍ය හමුවට එක්වූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා කියා සිටියේ ඩෙල්ටා වෛරසය ලොව රටවල් 89 ක පැතිර ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළහොත් එය ව්‍යාප්තවීම වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදනය වී සුවය ලබන දරුවන්ට දින 14 ක් ගත වූ පසු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එසේම, කොරෝනා ආසාදිතව පේරාදෙණිය ප්‍රදේශයේ එකම පවුලේ තුන් දෙනෙකු (3) මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

අද (28) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 2,251 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,21,249 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, 1390 ඍජු දුරකථන ඇමතුම් අංකය සම්බන්ධ කර, නිවාස ආශ්‍රිත කොරෝනා රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් වර්ගීකරණයකට ලක් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂ අවම රෝගීන් ඔවුන්ගේ අවදානම් තත්ත්වයන්, නිවෙස්වල රැදී සිටීමේ හැකියාව, අවට ප්‍රදේශයේ තත්ත්වය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් මුල් කර ගනිමින් රෝහල් වෙත යොමුකරන තෙක් නිවසේ රඳවා ගැනීම සිදුකෙරෙනවා.

එමෙන්ම, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් දිනපතා දුරකථන මගින් ඔවුන් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.

මේ අතර, දින 14 ක් තුළ ඇන්ගෝලා, බොට්ස්වානා, ලෙසෝතෝ, මොසැම්බික්, නැමීබියා, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල සංචාරය කර ඇති මගීන්ට ජූලි පළවනදා (01) සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමි නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය අද (28) නිවේදනය කළා ෴

අද (28) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 640 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (28) දිනයේදී මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 1850 ක් ෴

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් (28) දිනයේදී පුද්ගලයින් 455 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව මේ දක්වා කාලය තුලදී නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 45,099 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++

(29.06.2021 – 06:43 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක දෙකකට (2) අයත් තවත් ප්‍රදේශ කිහිපයක් අද (29) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳසෙවන නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ගල්බොරැල්ල 100 වත්ත ප්‍රදේශය මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගෝනගල ග්‍රාමනිලධාරී වසමේ බොල්තුඩුව ගම, අම්පාර දිස්ත්‍රික්කයේ මීරවෝදි නැගෙනහිර 207 ප්‍රදේශය සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ මැන්වකෝලායි බදුරිය 207A ප්‍රදේශවලට පනවා තිබූ හුදෙකලා බව අද අලුයම සිට ඉවත් කර තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර සහ පහළ ගොරකඔය යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා බව ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ යටිහේන ග්‍රාම නිලධාරී වසමේ පොල්හේන පාර, ලේක්වීව් පාර, යෝජනා මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ ද හුදෙකලා බවින් නිදහස් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේම සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ පහත දැක්වෙන ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කර තිබෙනවා.

එම ප්‍රදේශ වන්නේ උපුල් වසන්ත මාවත, දේවාල පාර, ආරියදාස විතානගේ මාවත, ආරියදාස විතානගේ මාවත අවසන්වන ස්ථානය, සියඹලාපෙවත්ත කඳුබොඩ පාරයි ෴

+++++++++++++++++++

(29.06.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා උල්ලංඝනය කරමින් එරාවුර් සිට කොළඹට දක්වා ධාවනය වූ බස් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස් රථයේ රියදුරු, කොන්දොස්තර ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ගම්පහ – මිරිස්වත්ත මංසන්ධියේදී මෙම බස් රථය සහ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ගම්පහ පොලිසිය විසින් අද (29) අලුයම් කාලයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++

(29.06.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,890 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 255,508 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතරින් 1,850 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 40 දෙනෙකුද ඊයේ (28) ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 221,249 දක්වා ඉහළ ගියා.

එසේම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) පස්වරුවේ පසුගිය 28 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 41 තහවුරු කළා.

කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වයස අවුරුදු 30 ට අඩු පුද්ගල මරණ දෙකක් (2) වාර්තා වනවා.

අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 06 ක්.

එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 33 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 2,985 ක් ෴

++++++++++++++++++++

(29.06.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන (2) මාත්‍රාව ලෙස මෝඩර්නා සහ ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය කර තිබෙනවා.

එහි බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ අනුමැතිය ඊට හිමි වු බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා එන්නත්කරණයේදී ලබාදෙන පළමු (1) මාත්‍රාව සහ දෙවන (2) මාත්‍රාව මිශ්‍ර කර ලබාදීමෙන් වෛරසයට එරෙහිව වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි බව බ්‍රිතාන්‍ය සිදුකළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.

විවිධ සන්නාමවලට අයත් කොරෝනා එන්නත් මාත්‍රා මෙලෙස මිශ්‍ර කර ලබාදීම ප්‍රතිඵලදායක බව එම අධ්‍යයනයේදී හෙලිව ඇති කරුණක්.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු (1) මාත්‍රාව ලබාගැනීමෙන් අනතුරුව ෆයිසර් එන්නතේ මාත්‍රාවක් දෙවන (2) මාත්‍රාව ලෙස ලබාගැනීමෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, මොඩර්නා එන්නත මෙරට හදිසි භාවිතය සඳහාද අවසර ලබා දී ඇති බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.

මේ අතර, බස්නාහිර පළාතේ අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා සයිනෆොම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම අද (29) සිට දින තුනක් (3) ඇතුළත සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඒ අනුව, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් සංවිධානය කරන මධ්‍යස්ථාන තුළදී එම එන්නත් ලබාදීමට කටයුතු යොදනු ඇති ෴

++++++++++++++++++++

සිනොවැක්ස් මිල ගණන් හෙළි කළොත් ගිවිසුම අහෝසියි..- චීන සමාගම ලංකාවට දන්වයි…

(29.06.2021 – 03:22 +0530 – lankacnews.com)

යම් හෙයකින් එන්නතේ මිල ගණන් අනාවරණය කළහොත් හෝ ප්‍රසිද්ධියේ ඒ පිළිබඳ කතා කළහොත් එන්නත් සැපයීමට අදාළ ගිවිසුම අහෝසි කෙරෙන බවද සිනොවැක්ස් ලයිෆ් සයන්ස් කම්පැනි ලිමිටඩ් (Sinovac Life Science Co. Ltd) දැනුම් දී තිබේ.

මීට සමගාමීව කොළඹ චීන තානාපති කාර්යාලයද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ‘අනාවරණය නොකිරීමේ ගිවිසුම’ යනු ලොව පුරා ඖෂධ සමාගම් සිය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අනුගමනය කරන පොදු ලක්ෂණයක් බවයි.

කෙසේ වෙතත් මෙරටදී නිෂ්පාදනය කිරීමට නියමිත සිනොවැක්ස් එන්නත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත අලෙවි කිරීමට යෝජනා වී ඇති මිල එක් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 10 ක් පමණ වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.

මේ අතර අදාළ ගිවිසුම් කරුණු පිළිබඳ තොරතුරු අනාවරණය නොකළ යුතු බවට සඳහන් ලිපියක් සිනොවැක් සමාගමේ දේශීය නිෂ්පාදන සහකරු වන කෙලුන් ලයිෆ් (Kelun Life) පෞද්ගලික සමාගම ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත යොමුකර ඇත.

මේ පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කරන ලද්දේ එවැනි ලිපියක් පිළිබඳ තමාට දැන ගන්නට ලැබී ඇති නමුත් මෙතෙක් එවැන්නක් තමාගේ අතට පත් වී නොමැති බවයි.

සිනොවැක් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම පිළිබඳ සමග අදහස් පළ කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා සඳහන් කරන ලද්දේ මහනුවර පල්ලෙකැලේ පිහිටි කර්මාන්තශාලාවක මෙම එන්නත නිෂ්පාදනය කිරීමට නියමිත බවය.

අදාළ කර්මාන්තශාලාව ඖෂධ නිෂ්පාදනය කිරීමට සුදුසු අයුරින් සකස් කළ යුතු බවද මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිත බවද ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරටට අලෙවි කිරීමේදී එක් මාත්‍රාවක් ඩොලර් 15 කට ලබා දීම සහ බංග්ලාදේශයේදී ඊට ඩොලර් 10 ක මිලක් නියම කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේදී විශාල ආන්දෝලනයක් නිර්මාණය විය. එම සිදුවීමෙන් අනතුරුව සයිනොෆාම් එන්නත් අලෙවි කිරීමේදී ඊට අදාළ මිල අනාවරණය නොකළ යුතු බවද චීනය විසින් නේපාලය ඇතුළු රටවල් කිහිපයකටම කොන්දේසි පනවා ඇත.

නයන තරංග ගමගේ
උදයජීව ඒකනායක
– aruna

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *