PHI-ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

PHI ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

*********************************************

PHI ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

(28.06.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය – ගැමුණුපුර ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙක් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

+++++++++++++++++++++++

(28.06.2021 – 06:47 +0530 – hirunews.lk/sinhala)

අද (28) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙනවා.

දිස්ත්‍රික්ක දෙකකට (2) අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් (4) මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් බල ප්‍රදේශයේ නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ල ඉහළ කොටස, යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත එක සහ දෙක කොටස් මෙන්ම පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත තුන කොටස හුදෙකලා කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ හිඳිකිවුල ග්‍රාම නිලධාරී වසමේ නක්කලවත්ත සහ මිල්ලකැලේවත්ත යන ගම්මාන අද (28) පෙරවරු හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා ෴

++++++++++++++++++++

(28.06.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) දිනයේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 428 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව පුද්ගලයින් 93 ක් මහනුවර ප්‍රදේශයෙන්ද, 77 ක් මාතලෙන් සහ පුද්ගලයින් 58 ක් ගම්පොළ ප්‍රදේශයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 44,644 ක්.

අද (28) දිනයේත් මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර නිරෝධායන නීතිවලට අදාලව ආයතන, සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ පවත්වාගෙන යා යුතු අතර මේ පිළිබඳව පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

++++++++++++++++++++++

(28.06.2021 – 07:15 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධිලාභීන්ට හැර සෙසු පුද්ගලයන්ට රුපියල් 5,000 දීමනාව ලබාදීමේදී සංචරණ සීමා හේතුවෙන් සම්පූර්ණයෙන්ම අදායම් අහිමි වූ පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික සහ ස්වයං රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ වනවිට සියලු සමෘද්ධිලාභීන්ට එම දීමනාව ලබා දී අවසන් බවයි.

කෙසේ වෙතත්, රුපියල් 5,000 දීමනාව නොලැබුණු බව පවසමින් තවදුරටත් විවිධ පිරිස් චෝදනා එල්ල කරනවා.

පානදුර – පිංවත්ත ප්‍රදේශයේ ධීවරයන්ද ඊයේ (27) විරෝධතාවයක නිරත වුණේ තමන්ට රුපියල් 5,000 දීමනාව ලබා දෙන ලෙස ඉල්ලමින් ෴

++++++++++++++++++++

(28.06.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,867 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 253,618 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතරින් 1,767 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 100 දෙනෙකුද ඊයේ (27) ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 218,998 ක්.

එසේම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) පස්වරුවේ පසුගිය 26 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 39 ක් තහවුරු කළා.

කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 27 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වයස අවුරුදු 30 ට අඩු එක් (1) පුද්ගල මරණයක්ද ඒ අතර වනවා.

අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 12 ක්.

එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 26 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 2,944 ක් ෴

++++++++++++++++++

(28.06.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින්ට එම එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම අද (28) සිට සිදුකෙරෙනවා.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊට අදාළ විස්තර ජංගම දුරකථන කෙටි පණිවුඩයක් මගින් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

එසේම, වයස අවුරුදු හැටට (60) වැඩි සියලු පුරවැසියන් එන්නත්කරණය කිරීමේ වැඩසටහන සඳහා රජයේ රෝහල් පද්ධතිය එක් කර ගැනීමේ වැඩපිලිවෙලට අදාළව එන්නත් තොග ශ්‍රී ලංකාවට ජුලි මස මුලදී ළඟාවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම එන්නත් තොග ලැබුණු වහාම දැනට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලියට අමතරව රෝහල් පද්ධතිය හරහාද එන්නත්කරණ කටයුතු කර ගැනීමට හැකියාව ජනතාවට හිමිවන බවයි එම සංගමය නිවේදනය කළේ. ඒ සම්බන්ධයෙන් එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත මෙරට නිෂ්පාදන කිරිම සඳහා අවශ්‍ය තාක්ෂණික කටයුතු ඉදිරි සති කිහිපය තුළදී අවසන් කිරිමට හැකි වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (27) ප්‍රකාශ කළා.

එන්නත්කරණ වැඩපිලිවෙල ක්‍රියාත්මක වුවද ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් දෙවන (2) මාත්‍රාව අද (28) ලබාදෙන බැවින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (28) දිනයේ වසා තැබෙන බව එහි වෙළඳ සංගමය ප්‍රකාශ කළා.

එසේම, මිහින්තලේ ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කම්හලක සේවික සේවිකාවන්ට සති දෙකක (2) සිට සිදු කළ කොරෝනා පරීක්ෂණවලදී මේ වනවිට ආසාදිතයන් 200 වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය එස්.බී. රත්නායක මහතා සඳහන් කළා ෴

++++++++++++++++++++++

(28.06.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා විවෘත කළ කැසිනෝ, රාත්‍රි සමාජ ශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන 625 ක් වටලා තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ පුද්ගලයින් 247 දෙනෙකුට අවවාද කර ඇති අතර, 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(28.06.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

අද (28) සිට දුම්රිය ගමන්වාර 70 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (28) පෙරවරුවේ දුම්රිය ගමන් වාර 35 ක් අත්‍යවශය රාජකාරි සඳහා සේවය පැමිණෙන මගී ජනතාව සඳහා යොදා ඇති බවයි.

එසේම, අද (28) දිනයේදී කලාප සහ දිස්ත්‍රික්ක තුල අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන මගී ජනතාව සඳහා අවශ්‍යතාවය පරිදි බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද සඳහන් කළේ මගී අවශ්‍යතාවය පරිදි පළාත් තුල සීමිත බස් සංඛ්‍යාවක් අද (28) සිට ධාවනයට එක් කිරීමට නියමිත බවයි ෴

+++++++++++++++++++

(28.06.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (27) දිනයේදී පුද්ගලයින් 49,703 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 29,327 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 20,345 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (27) පුද්ගලයින් 31 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1565,521 ක් වන අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 513,195 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 3,72,899 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795 ක්.

එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 14,425 ක් ෴

@@@@@@@@@@@@@@@@

(28.06.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින 2 තුළ සිය ගැටලු වලට විසදුම් ලබා ගැනීමට සාකච්ඡාවක් හෝ ලබා නොදෙන්නේ නම් අනිද්දායින් (30) පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කළා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයකට පමණක් රජය විශේෂ කොට සැලකීම හේතුවෙන් සෙසු සෞඛ්‍ය අංශ සේවකයන්ට සිය ගැටලු වලට විසදුම් නොලැබෙන තත්වයක් හටගෙන ඇති බවයි.

ඒ අනුව වැටුප් විෂමතා ඉවත් කිරීම, වැටුප් චක්‍රලේකයේ අඩුපාඩු නිවැරිදි කිරීම, සියලු පරිපූරක වෛද්‍යවරුන්ට දීමනා සමානව ලබා දීම සහ තනතුරු උසස්වීම් විධිමත්ව ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම් 13 ක් සඳහන් කරමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක්ද යොමු කර තිබෙනවා ෴

******************************************

(28.06.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල අපහාසයක් කල බව බව පවසමින් මහනුවර – බලගොල්ල – අම්පිටිය ප්‍රදේශයේදී මිතුරන් දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා කිරීමේ සිද්ධියට අදාළව ඊයේ (27) පස්වරුවේ වෑන් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එය අදාල පුද්ගලයන් පැහැරගෙන යාමට යොදා ගත් වෑන් රථය බවට හඳුනාගෙන ඇති බවයි.

එම වෑන් රථය මහනුවර – කෙංගල්ල ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන මධ්‍යස්ථානයකින් ලබාගත් රථයක් බවටද අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, අදාළ වාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහාද මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළා.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මහනුවර – බලගොල්ල – අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන 30 හැවිරිදි පුද්ගලයකු බවටද අනාවරණය වී තිබුණා.

ඒ අනුව, අදාල පුද්ගලයන් දෙදෙනාට (2) අමානුෂික ලෙස වදහිංසා කළ කට්ටඩියා සහ සෙසු සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා තිබෙනවා.

අදාල කට්ටඩියා විසින් තමාට මුහුණ පොතේ අපහාස කළා යැයි කියන සිය මිතුරන් දෙදෙනාව පසුගිය 25 වනදා තම නිවසට ගෙන්වාගෙන තිබෙනවා.

පසුව 10 දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ව පැහැරගෙන වෙනත් කෑලෑ ප්‍රදේශයකට ගෙන ගොස් කුරුසයක ආකාරයට සැකසු ලී ආකෘතියක තබා ඇණ ගසා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස වද හිංසාවට ලක්ව ඇත්තේ පොල්ගොල්ල සහ කඩුවෙල යන ප්‍රදේශ වල පදිංචි 44 සහ 38 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක් (2).

ඔවුන් මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා ෴

******************************************

(28.06.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

එකලස් කළ කැබ් රථ දෙකක් (2) සමග අත්අඩංගුවට ගත්, ‘කොස්ගොඩ රණා’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙකු බව කියන සැකකරු තිස්සමහාරාම පොලීසියට භාර දී තිබෙනවා.

27 හැවිරිදි සැකකරු ඊයේ (27) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පන්නෙගමුව ප්‍රදේශයේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ තිස්සමහාරාම පොලීසිය එක්ව විමර්ශන සිදුකරන අතර, තිස්සමහාරාම පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයා පාතාලයට සම්බන්ධ අයෙකු නොවන බවයි.

කෙසේ වෙතත්, ඔහු වාහන එකලස් කිරීමේ කටයුතු සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(28.06.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (27) පස්වරුවේ කොළඹදී සාකච්ඡාවක නිරත වුණා.

එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එම සාකච්ඡාව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ දෙහිවල පිහිටි නිවසේදීයි ෴

******************************************

තානාපති නාඩගම – 1 (දුමින්ද සිල්වා සිද්ධිය)

(28.06.2021 – divaina.com)

‘වල්පිට කංකානමලාගේ සුනිල් පෙරේරා’ හෙවත් ‘ගෝනවල සුනිල්’ 1970 සිටම එක්සත් ජාතික පක්ෂය සමග කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ මැරයෙකි. 1982 දී ඔහු දහ හතර (14) හැවිරිදි දැරියක දූෂණය කර රිමාන්ඞ් භාරයට පත්විය. ඔහු රිමාන්ඞ් සිර ගෙදර සිටින අතර 1983 ජූලි ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ විය.

මේ වනවිට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සැකකරුවන් 53 ක් වැලිකඩ සිර ගෙදර සිටියහ. එම සිරකරුවන් රඳවා සිටි වාට්ටුවට, 1983 ජූලි 25 දා කඩු, පොලූ සහ උල් ආයුධ සහිතව ඇතුළු වූ ගෝනවල සුනිල් සහ සිරකරුවන් පිරිසක් පෙර කී ත්‍රස්තවාදී සැකකරුවන් සංහාරය කළහ. මේ සිද්ධියට වරදකරු වූ ගෝනවල සුනිල් ට සිර දඬුවමක් ලැබිණ. මේ අතර එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන, ගෝනවල සුනිල් ට ජනාධිපති සමාවක් ප්‍රදානය කර ඔහුට නිදහස දී සාමවිනිසුරුවරයකු බවට පත් කළේය. ස්ත්‍රී දූෂකයකු සහ මිනීමරුවකු වූ ගෝනවල සුනිල් සාම විනිසුරකු බවට පත් කිරීම ගැන හෝ ඔහුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම ගැන එකල සිටි කවුරුවත් කතා කළේ නැත. පළමුකොට කළු ජූලිය සමයේදී පනවා තිබූ ප්‍රවෘත්ති පාලනය මගින් එම සිද්ධීන් යටපත් කරන ලදී.

දෙවනුව ඒ ගැන කතා කළේ නම් එසේ කතා කළ අයට දත් නැතුව බත් කෑමේ අවස්ථාව ලබා දීමට ජේ. ආර්. ගේ දේශපාලන කවයේ සිටි කුලී මැරයෝ සූදානමින් සිටියහ. අප මේ පුවත ගැන සාකච්ඡා කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව ලබා දී හිර ගෙදරින් එළියට ගැනීම සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සංවාදයක් හටගෙන ඇති මොහොතකය. දුමින්ද සිල්වාගේ නිදහස සම්බන්ධයෙන් ප්‍රමුඛ නිවේදනය නිකුත් කළෝ එදා ගෝනවල සුනිල් නිදහස් කළ ජේ. ආර්. ජයවර්ධන ගේ යූ. එන්. පී. දේශපාලන ක්‍රමවේදයේ අතුරු පලයක් වූ සමගි ජන බලවේගය ය. ඊළඟට නීතිඥ සංගමයෙන් ද මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ. දුමින්ද සිල්වා යනු අපගේ සහෝදරයකු හෝ බාප්පා ගේ පුතකු නොවේ. එබැවින් ඔහු නිදහස් කිරීම හෝ හිරේ තබා ගැනීම අපගේ විෂය පථයෙන් ඔබ්බෙහි පිහිටි කාරණයකි. දුමින්ද නිදහස් කිරීමට ප්‍රමුඛ හේතුව වූයේ කට වාචාල රංජන් රාමනායක ගේ හඬ පටයකි. දුමින්ද එල්ලූම් ගස් යැවීම සඳහා අධිකරණයේ ඇතැම් සාමාජිකයන් සමග ඔහු කළ සාකච්ඡා මාලාවක් පසුගිය කාලයේ සමාජ ජාල සහ වෙනත් ජනමාධ්‍ය අතර සංසරණය විය.

දුමින්ද සමග එල්.ටී.ටී.ඊ. සැකකරුවන් රාශියක් ද එල්ලූම් ගසෙන් බිමට බස්සවා නිදහස් කර තිබිණ. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිකුත් කළාය. ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කිරීම හොඳ නමුදු දුමින්ද සිල්වා නිදහස් කිරීම අනුමත කළ නොහැකි බව ඇය සිය පණිවිඩය මගින් පෙන්වා දී තිබේ. එමගින් නීතියේ ආධිපත්‍යය අවතක්සේරුවට ලක්වී ඇති බව ඇයගේ මතයයි. අප මෙතැන් සිට සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ ඇගේ මතය පිළිබඳව ය.

මීට අවුරුදු දහයකට පෙර මේ රටේ සිටි ඇමරිකානු තානාපතිවරු ආණ්ඩුවේ තීරණ වලට අත ගැසුවේ නැත. ඇමරිකානු ව්‍යාප්තවාදය ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් මේ රටේ දේශපාලනය ඔස්සේ අත යටින් ගේම් ගසන්නට ඇති නමුදු ලංකාවේ කටයුතු විවේචනය කරමින් හෙළුවෙන් නැටුවේ නැත. මීට අවුරුදු කිහිපයකට පෙර ලංකාවේ ඇමරිකානු තානාපතිව සිටි අතුල් කේශාප් නමැත්තා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට දැඩි ලෙස ඇඟිලි ගැසුවේය. එහෙත් විදේශ ණය බරින් ක්‍රමානුකූල ලෙස බෙල්ල තදවෙමින් සිටි ශ්‍රී ලංකාවට ඔහුට එරෙහිව කළ හැකි යමක් නොවීය. කේශාප්ට පසුව ඇමරිකන් තානාපති ලෙස පත්ව ආයේ මානව හිමිකම් ඇඟ පුරාම ගාගත් කාන්තාවකි. මේ මොහොතේ මෙරට ඇමරිකන් තානාපති පුටුවේ ඉඳගෙන සිටින ඇය, එනම් ඇලයිනා ටෙප්ලිට්ස් මැතිනිය නිව්යෝක් නුවර නයිට් ක්ලබ්වල නටන වර්ගයේ නාඩගමක දේශපාලන ස්වරූපය සිය ප්‍රකාශය මගින් එළිදක්වා තිබේ. කොටි ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කිරීම අනුමත කරන බව කීමෙන් ඇය ඉතා නරක ආදර්ශයක් දී තිබේ. මෙය සමාන වන්නේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස‍්‍රයේදී මධ්‍යම රාත්‍රියට දකින්නට ලැබෙන නාඩගම්වලටය.

මෙම චතුරස‍්‍රයට එන විවිධ පිස්සු පොරවල් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිතවාදය, ස්වාධීනත්වය යනාදිය ගැන නිරුවතින් සිට දේශන පවත්වති. ටික වෙලාවකින් පොලිස් වෑන් එක පැමිණ ඔවුන් කුදලාගෙන යනු ලැබේ. ඇමරිකන් තානාපතිගේ ට්විටර් පණිවිඩය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හෝ ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා හෝ ඇමරිකන් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන තීරණාත්මක වැඩසටහන සමච්චලයට ලක් කිරීමකි. මේ ආණ්ඩුවට කොන්ද පණ තියෙනවා නම් ඇමරිකන් තානාපතිනිය පැය හතළිස් අටක් තුළ ඉවත් කරගන්නා ලෙස ඇමරිකාවට දැන්විය යුතුය. මෙවැනි සිද්ධියක් රුසියාවේ ඇමරිකන් තානාපති හෝ ඉන්දියාවේ ඇමරිකන් තානාපති හෝ අතින් සිදුවී නම් ඔවුන්ට වහාම ගම් බිම් බලා යෑමට සිදු වේ. ලංකා විදුලි බල මණ්ඩලය මගින් ඉදිකිරීමට යෝජිත රුපියල් කෝටි හැටදාහක වටිනාකමක් ඇති තෙල් පිරිපහදුවේ ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිනිය තෙල් ඇමැති උදය ගම්මන්පිලට කන් කෙඳිරි ගෑ හැටි දැනටමත් හෙළිදරව් වී අවසානය. ඒ අතර මරණ දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිරදණ්ඩනයට යටත් වූ පුද්ගලයන් රාශියක් ඇමරිකන් ජනාධිපතිවරුන් විසින් නිදහස් කර ඇත. ඒ පිළිබඳව හෙට සාකච්ඡා කරමු ෴

******************************************

(28.06.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – ගෝතමීපුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි.

ගෝතමීපුර ජාතික නිවාස සංකීර්ණයේ පදිංචි 47 හැවිරිදි අයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

(28.06.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (29) දිනයේදී රිවර්සයිඩ් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ පරාජයට පත් වුණා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය මෙම පරාජයට හේතුව බවයි, ක්‍රිකට් විචාරකයින් කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල විදී සංචාරයක නිතර වන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංචරණය වෙමින් පවතිනවා.

අදාළ වීඩියෝව සමඟ සටහනක් එක් කරමින්, සමාජ මාධ්‍ය පරිශීලකයා කියා සිටියේ, ඉරිදා (27) දින රාත්‍රී 23:28 ට මෙය පටිගත කළ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ගේ බලාපොරොත්තු සුන් කළ ද, ඔවුන් සිය සතුට සැමරීමට අමතක නොකළ බව ද එහි දක්වා තිබෙනවා.

හෙට (29) ආරම්භ වීමට නියමිතව තිබෙන, එක්දින ක්‍රිකට් තරගය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් සූදානම් වනවිට මෙම ක්‍රීඩකයින්, තරගය ගැන නොසිතා, දුම්වැටි පානය කරමින්, වීථි සංචරයේ නිතරවීම විහිළු සහගත බව ද එහි සඳහන්.

(28.06.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙකු (2) එංගලන්තයේ වීථියක සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වනවා.

අදාල වීඩියෝවේ සිටින ශ්‍රී ලංකා උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වහාම කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ ඔවුන් ජෛව ආරක්ෂණ බුබුළෙන් පිටතට යෑමේ සිද්ධිය පදනම් කරගෙනයි.

ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව කණ්ඩායම් කලමනාකරුගෙන් වාර්තාවක් කැඳවා කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් විනය පියවර ගැනීමටත් තීරණය කර ඇති බවයි.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිර්නායකයන්ට අනුකූලව ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ ජෛව බුබුළකට අනුගත වෙමින්.

කිසියම් රටකට විදෙස් රටක සිට පැමිණි කණ්ඩායමක් සංචාරය අවසන් වනතුරු සිය ජෛව බුබුළ තුල රැදී සිටිය යුතු වනවා.

එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වන වීඩියෝ පටයේ දැක්වෙන්නේ කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ ඩර්හැම් නුවර නවාතැන්ගෙන සිටින හෝටලයෙන් රාත්‍රී කාලයේ පිටතට පැමිණ සිටින ආකාරයයි.

ඔවුන් දෙදෙනා දැඩි කලබලකාරි ස්වරූපයකින් කටයුතු කරන ආකාරය වීඩියෝ පටයේ දිස්වන අතර උපනායක කුසල් මෙන්ඩිස්ගේ එක් අතක දුම්වැටියක් තිබෙන අයුරුද දිස් වනවා.

එමෙන්ම, මීට පෙර ඇතැම් චෝදනාවන්ට ලක් වූ ධනුෂ්ක ගුණතිලක ද තරමක් දුරින් එම වීඩියෝවේ සිටින ආකාරය දිස්වුණා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බවයි.

එසේම, සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු සාකච්ඡාවකට එක්වූ හිටපු ක්‍රිකට් නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ද ප්‍රකාශ කළේ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණදී ඇති තත්ත්වය පිලිබඳව දැඩි කණගාටුවකින් පසුවන බවයි.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන රොෂාන් මහානාම ද පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇද වැටීම සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබුණා.

ඔහු එමගින් ප්‍රකාශ කර තිබුණේ එදා ක්‍රිකට් කණ්ඩායම සහ අද ක්‍රිකට් කණ්ඩායම අතර ඇත්තේ ආකල්පමය වෙනසක් බවයි.

රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම පිලිබඳ කණගාටුවක් ඇති වන බව ද රොෂාන් මහානාම සඳහන් කර තිබුණා.

එසේම විස්සයි විස්ස තරගාවලි පරාජයෙන් පසු අදහස් දක්වමින් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර සංගක්කාර ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර තලයට පැමිණි ක්‍රීඩකයන්ට එම මට්ටමේදී පළමු පෙල තරග ක්‍රීඩා කරන ආකාරය ඉගැන්වීම සුදුසු නොවන බවයි.

ක්‍රමක්‍රමයෙන් ජාත්‍යන්තර මට්ටමට පැමිණිමේදී අදාළ අදියර පසුකර තිබිය යුතු බව ඔහුගේ අදහස වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය වේගයෙන් ගොඩනැංවිය යුතු බවයි කුමාර සංගක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

මේ අතර, ක්‍රිකට් ලෝලියෙකු මෙන්ම මෙරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෙකු වන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ‘අතපය වලංගු නැති ක්‍රිකට් කණ්ඩායමේ ළඳරුවන් ක්‍රීඩා තරග බැලීම එපා කර ඇති බවයි.’

ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝ පටය සංසරණය වෙමින් පවතින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලිබඳව දැඩි විවේචන එල්ල වෙමින් තිබෙන පසුබිමකයි.

ක්‍රීඩකයන් එංගලන්තයේදී පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය මේ වනවිටත් දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඊට අදාළව ප්‍රචාරණ ව්‍යාපාරයක් ද අරඹා ඇති අතර, දුර්වල ක්‍රීඩා විලාශයට විරෝධය පළ කරමින් හෑෂ් අන්ෆලෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කේතය භාවිත කරමින් මෙම විරෝධය පළ කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එවැනි සිද්ධියක් වාර්තා වන්නේ ද ප්‍රථම වතාවට වීම විශේෂත්වයක් ෴

(28.06.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

එංගලන්ත සංචාරයට එක්ව සිටින කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ජෛව බුබුලෙන් පිටතට ගිය බවට වරද පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව, ඔවුන් තිදෙනාට (3) පරීක්ෂණ නිමවනතුරු තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලය තීරණය කළ බවයි.

මේ වනවිට ඔවුන් කණ්ඩායමෙන් වෙන් කර වෙනත් ස්ථානයක රඳවා සිටින අතර, වහාම දිවයිනට ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායනයට ලක් කරන බව ද ඔහු සඳහන් කළා ෴

++++++++++

******************************************

(28.06.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 700 ක් සහ මත්පෙති 40 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අඟුලාන – කල්දෙමුල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිලධාරීන් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබාගෙන සිටි සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත ඊයේ (27) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වනවා.

මේ අතර, කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (27) සිදුකළ තවත් වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 40 ක්, අයිස් ග්‍රෑම් 16 ක් සහ ගංජා ග්‍රෑම් 350 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබුණා ෴

******************************************

(28.06.2021 – 11:21 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ සෞඛ්‍ය රියදුරන් අද (28) සිට ලබන ජූලි 02 වනදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත් ප්‍රවාහන හා ගිලන් රථ සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත සිල්වා මහතා අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ වැටුප් ගැටලු සහ නිවාඩු ගැටලු ඇතුලු ගැටලු රැසක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි ෴

******************************************

(28.06.2021 – 12:14 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පිළිබඳව දැනුම් දුන්නා.

පසුගිය 9 වනදා හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මුස්ලිම් නීතිය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර පසුව ඔහු සිදුවූ වරද සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.

කෙසේ වෙතත්, අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *