‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු !

‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු !

*********************************************

‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු !

(27.06.2021 – 13:52 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන බවට පුවත හදිසියේම ඇස ගැටුනේ 25 වන සිකුරාදා දහවලේය.

රටක රාජ්‍ය නායකයා ‘ජාතිය ඇමතීම’ යනු එෆ්.එම්. නාලිකාවක නිවේදකයකු දෛනික කාල සටහනකට කට මැත දොඩවනවා බඳු අවස්ථාවක් නොවේ. එබැවින් මෙරට පුරවැසියන් සිකුරාදා රාත්‍රී 08:30 වන විට සූදානම් වී සිටියේ ‘සූරිය සිරස’ හෝ ‘අරා සහ පැස්බරා’ හෝ අසන්නට නොව, රට හමුවේ සෑම අතකින්ම උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ උපාය මාර්ගික දැක්ම ප්‍රකාශයට පත්වන, එසේම පුරවැසියාට කිසියම් දිරියක් වඩවන එම සුවිශේෂ හා වැදගත් ප්‍රකාශයට සවන් දීමටය. රාජ්‍ය නායකයකු ජාතිය අමතන්නේ රටක එබඳු බරපතළ සමාජ – දේශපාලන තත්ත්වයක් පවතින අවස්ථාවකදී බව මෙරට හා ලෝක අත්දැකීම් අනුව පුරවැසියා දනී.

වේලාව රාත්‍රී 08:30 යි. අවාසනාවක මහත ! ජාතිය ඇමතීම සඳහා ජනාධිපතිවරයා ස්ථානගත කොට සිටි ආකාරය හා පසුතලය දුටු පළමු නිමේෂයේම, ජනාධිපති මාධ්‍ය විශේෂඥයින් එබඳු අවස්ථාවකට අදාළ මොන්ටිසෝරි දැනුමවත් රහිත ‘ළදරු දෙබෑයන්’ දෙදෙනකු බව රට හමුවේ ප්‍රදර්ශනය කර සිටියේය.

ජනාධිපතිවරයා ස්ථානගත කොට තිබූ අවකාශය දකිද්දී, ඒ සිඟිති මාධ්‍ය මොළ විසින් අනුකරණය කරන්නට උත්සාහ ගෙන තිබුණේ ඇමරිකාවේ ජනාධිපතිවරුන් ධවල මන්දිර ගෙවත්තේ සිට ජාතිය අමතන අවස්ථාව බව පුරවැසියාට රහසක් නොවීය.

එළිමහන් පරිසරයක සිට ජනාධිපතිවරයා ජාතිය ඇමතීම කිසිසේත්ම ගැටලුවක් නොවූවත්, එම භූමිකාවට හා එම අවස්ථාවට උචිත පසුතලයක්, සැකැස්මක් එහිදී අනිවාර්යයෙන්ම පැවතිය යුතුමය. එබඳු සාමාන්‍ය කල්පනාවක් හෝ ඉපදීමට නම් ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම කෙබඳුද යන්න පිළිබඳව ඓන්ද්‍රීය අවබෝධයක් මෙන්ම, මෙරට සංස්කෘතිය පිළිබඳ මාධ්‍ය විඥානයක්ද එය සැලසුම්කරන මාධ්‍ය විශේෂඥයින්ට තිබිය යුතුය. නමුත් ඔවුන්ට එබඳු දැක්මක් හෝ අවබෝධයක් හෝ අහලකින්වත් නැති බව පෙන්වා දුන්නේ, පෞද්ගලික ගුවන්විදුලි / රූපවාහිනී නාලිකා භාෂාවෙන්ම කියන්නේ නම් ‘නැවත නැවතත් රට හමුවේ තහවුරු කරමිනි.’

ජනාධිපතිවරයා ජාතිය අමතන එම එළිමහන් පසුතලය කිසිසේත්ම ‘තෝරා නොගත යුතු’ තෝරාගැනීමක් බව පෙනුනේ රූප රාමුව තුළ එහෙන් මෙහෙන් දැල් වැටවල්, මල් පෝච්චි ද අතරේ පෙනෙන නොපෙනෙන සේ රුවන්වැලි සෑයද පැත්තකින් තබන්නට එම මාධ්‍ය විශේෂඥයින් කටයුතු කර තිබූ බැවිනි. රුවන්වැලිසෑය අභිමුව දිවුරුම් දුන් ජනාධිපතිවරයාගේ පසුබිමෙහි, දැන් රුවන්වැලි සෑය අසීරුවෙන් හා නොතරම් රූප රාමුවක බහාලන්නට උත්සාහ කිරීම වෙනත් දේශපාලන සංකේතකරණයක් දැයි දන්නේ ඔවුන්මය. ‘මාධ්‍ය සංකේතකරණය’ හෝ ‘සංඥාර්ථවේදය’ ගැන ගැඹුරු මාධ්‍ය සාක්ෂරතාවක් නැති අප වැනි පෘථග්ජනයින්ට නොපෙනෙන වැදගත්කමක් එම දැල්වැටවල්, මල්පෝච්චි හා රුවන්සැලි සෑ සේයාවේ පවතින බව ජනාධිපති මාධ්‍ය විශේෂඥයින්ට තිබුනා වන්නටද පිළිවන.

එසේම ජනාධිපතිවරයා ජාතිය අමතන රූප රාමු සංස්කරණය පවා මෙරට රූපවාහිනිය පැමිණි මුල් යුගයේ තිබූ තාක්ෂණික තත්ත්වයවත් රැක ගැනීමට අසමත් වී තිබූ බව පෙනෙන්නට තිබිණි. එය ඉහළ මුද්‍රණ තාක්ෂණයක් පවතිද්දී, ඉතා වැදගත් ලේඛනයක් ගල් අච්චුවේ මුද්‍රණය කරන්නට ගත් උත්සාහයක් වැන්න. දුර රූප – මධ්‍යම රූප කලවම් කරගෙන මොකද්දෝ විකාරයක් කරන්නට ගත් උත්සාහය තුළ, පුරවැසියාට රූප රාමු වෙත නිසි අවධානයක් රඳවාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.

එපමණක් නොව ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවේ පිටපත් රචකයා එය ලියා ඇත්තේ රජයේ මාධ්‍ය ප්‍රකාශකයා විසින් එය කියවන්නේය යන මානසිකත්වයෙන් මිස රටේ රාජ්‍ය නායකයා විසින් කියවනු ලබන්නක්ය යන මානසිකත්වයකින් නොවේ. එහි අන්තර්ගතය ගතහොත් එය එක් එක් අමාත්‍යාංශවල මාධ්‍ය ලේකම්වරුන් විසින් හෝ රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෝ කළ යුතු ප්‍රකාශ මිස රාජ්‍ය නායකයා විසින් කළ යුතු මට්ටමේ ප්‍රකාශ නොවේ. මෙම අපූරු මාධ්‍ය විශේෂඥයින් විසින් රටේ රාජ්‍ය නායකයා, ‘රජයේ මාධ්‍ය ප්‍රකාශක’ තත්ත්වයට පත් කර තිබිණ.

රාජ්‍ය නායකයා විසින් කරන ප්‍රකාශයක තිබිය යුතු භාෂා පෞරුෂය හා අනන්‍යතාව රකින්නට තරම් අවබෝධයක් එම පිටපත් රචකයාට හෝ එය අධීක්ෂණය කළ මාධ්‍ය විශේෂඥයින්ට හෝ තිබෙන බවක් පෙනෙන්නට නොවීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ ප්‍රකාශවල අන්තර්ගතයේ, භාෂාවේ, ස්වරයේ, පෞරුෂයේ හා අනන්‍යතාවේ ගුණය සුරකින්නට එම ප්‍රකාශවල පිටපත් රචකයා / රචකයින් කටයුතු කර තිබූ බව පුරවැසියාට තවමත් මතක ය.

අනෙක් වැදගත්ම කාරණය වන්නේ කතාවේ ගැඹුරු බව හා කෙටි බවය. ජනාධිපතිවරයගේ කතාව අවසානයේ පුරවැසියාට සංවේදනය විය යුත්තේ ‘අනේ තව ටිකක් කතා කළා නම්..’ කියා මිස, ‘අනේ යාන්තං ඇති කතාව නැවැත්තුවා’ කියා නොවේ. එහෙත් මේ මාධ්‍ය විශේෂඥයින් දෙදෙනා සැලසුම් කර තිබුනේ ඉහත කී ‘අනේ යාන්තං ඇති කතාව නැවැත්තුවා’ යන දෙවැනි සිතිවිල්ල මෙරට පුරවැසියාගේ සිතෙහි අවසානයට උපදවන ලෙසිනි. ජනාධිපතිවරයකුගේ තබා කිසිදු කථිකයකුගේ කතාවක් අවසානයේ මෙබඳු ආකල්පයක් ශ්‍රාවකයා තුළ ඇතිවිය යුතු නොවේ.

අනේ ඉතිං, උදේම විහිලුවක් කරගෙන, කළු නික ටිකක් සොයාගෙන, රට්ටු හිනස්සාගෙන එදා වේල හොයාගත් ඇත්තන්ගේ සම් මස් ඇට සිඳ ශරීරගතව ඇත්තේ එම මාධ්‍ය චර්යාව බැවින් ගිය ගිය තැන මතුවන්නේ ඒ සුපුරුදු ‘රට්ටු හිනස්සන’ චර්යාවය. ආ ගිය වෙන වෙන තැන්වල රට්ටු හිනස්සන එක ගැන අපේ කම්පාවක් නොවූවද, මේ දෙබෑයන් දැන් ගොස් ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයට බැවින් එතැන සිට රට්ටු හිනැස්සීමට යාම නම් පුරවැසියාට ඉවසිය හැක්කක් නොවේ.

කෙසේ වෙතත්, අවසාන වශයෙන් කියන්නට ඇත්තේ පසුගිය 25 වනදා සිකුරාදා දහවලේ ලද පුවතට අනුව ‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ මෙරට පුරවැසියන් තවමත් බලා සිටින බවය.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

******************************************

ජනාධිපති මට බැන්නා.. – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

(28.06.2021 – 14:10 +0530 – lankacnews.com)

විසිවන සංශෝධනයේ තිබූ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටළුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වහන්සේට දොස් පැවරූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ඔවුන් කල්පනා කරන්නේ ඔවුන්ගේ මට්ටමෙන් මිස රටේ මට්ටමින් නොවන බවද උන්වහන්සේ පැවසූහ.

ද්විත්ව පුරවැසිකම තබාගෙන මෙරට ඇමතිකම් අගමැතිකම් හෝ ජනාධිපතිකම් දරන්නේ මන්දැයි උන්වහන්සේ විමසති.

ද්විත්ව පුරවැසිභාවය සහිතව එම තනතුරු දැරීමෙන් ප්‍රයෝජනයක් වන්නේ රටට නොව එම පුද්ගලයාට බවත් කිසියම් ප්‍රශ්නයක් වූ පසු වූ වහාම එම රටට යා හැකි බවත් උන්වහන්සේ කියා සිටිති.

එනිසා ද්විත්ව පුරවැසිකම සහිතව රටේ පාලන තන්ත්‍රයට ඉඩ හදා ගැනීමම බරපතළ වරදක් ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

******************************************

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න – දෙමාපියෝ විරෝධතාවයක

(28.06.2021 – colombotoday.com)

LYCEUM ජාත්‍යන්තර පාසලට එරෙහිව දෙමාපියන් විසින් ගම්පහදී පසුගිය 24 වන දින විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

තම දරුවන් LYCEUM ජාත්‍යන්තර පාසලට ඇතුලත් කලේ ‘කේම්බ්‍රිජ්’ විභාගය වෙනුවෙන් බවත් පාලනාධිකාරිය විසින් දැන් ‘එඩෙක්සෙල්’ විභාගය දරුවන්ට ලබා දෙන බවත් විරෝධතා කරුවන් පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන්ට කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ගුරුවරුන්ට මූලික වැටුප පමනක් ගෙවන බවත් විරෝධතා කරුවන් පවසයි.

එමෙන්ම අසාධාරණ අය කිරීම් පාලනාධිකාරිය විසින් සිදුකරන බවත් පවසන දෙමාපියන් මෙම LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවරාගන්නා ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.

විරෝධතා කරුවන් මෙහිදී දැක්වූ අදහස් :

******************************************

‘වෙහිකල් ලංකා සමාගම’ හරහා කෝටි ගණනක බදු වංචාවක් කරන්න කැබිනට් පත්‍රිකාවක්

(28.06.2021 – colombotoday.com)

වාහන ආනයනය කිරීමේදී මෙරටට හිමිවන බදු ආදායම අහිමි කරමින් ජපානයෙන් වාහන ගලවා මෙරටට ගෙන්වා යලි එකලස් කර විකිණීම සඳහා ‘වෙහිකල් ලංකා සමාගම’ට අවසර ලබාදෙමින් කැබිනට් පත්‍රිකාවක් දමා ඇති බවත් ඒ හරහා හරහා කෝටි ගණනක බදු වංචාවක් සිදුවෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඊයේ (27) මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කර සිටියා.

යහපාලන රජයේ Top-10 වංචාව පිළිබඳව එවකට විපක්ෂය වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු හඬ නැගූ බවත් එම Top-10 වංචාවේ එක් වංචාව ලෙස මෙම වාහන කොටස් ආනයනය කර එකලස් කිරීම සම්බන්ධයෙන් කරුණු ඇතුලත් කර තිබූ බවත් සඳහන් කර සිටි වසන්ත සමරසිංහ මහතා මෙම කැබිනට් පත්‍රිකාව පරාජය කරන ලෙස අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියා.

භාණ්ඩාගාරයට ආදායම් අහිමි කරමින්, යාලුවෝ ටික ආදායම බෙදාගන්නවා ‘රාජපක්ෂ භාණ්ඩාගාරය’ත් එක්ක යැයි ඒ මහතා චෝදනාවක් ද කළේය.

******************************************

ගණිකාවන් විකුණන්නත් ඇප් එකක්! කොවිඩ් නීති අස්සේ ජයටම යන ජාවාරමක්!

(28.06.2021 – am.lk)

රාජගිරියේ ගණිකා නිවාස දෙකක් (2) වැටලීමට වැලිකඩ පොලීසියේ දූෂණ මර්ධන ඒකකය ක්‍රියා කර තිබෙනවා.

මෙම වැටලීම්වල දී ගණිකා සේවය සැපයූ තරුණියන් සිව්දෙනෙකු (4) සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇත්තේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන්.

මෙලෙස වටලා ඇත්තේ නාවල, කුරේ මාවත සහ ඇතුල්කෝට්ටේ යන ප්‍රදේශවල පිහිටි ස්ථාන දෙකක්.

අත්අඩංගුවට පත් තරුණියන් වනාතවිල්ලුව, අඟුණුකොළපැලැස්ස, ඇඹිලිපිටිය සහ කැළණිය ප්‍රදේශවල පදිංචිකාරිණියන්වන බවත් එම ප්‍රදේශවලින් රැකියාව සඳහා මෙම ගණිකා නිවාස පිහිටි ස්ථානවලට පැමිණ නවාතැන් ගෙන ඇති බවත් සඳහන්.

ඔවුන් සිය නිවෙස්වලට පවසා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවන්හි සේවය කරන බවට යි.

මෙම තරුණියන් වයස අවුරුදු 21 – 30 ත් අතර පසුවන්නියන් වනවා.

මීට පෙර අවස්ථා දෙකක (2) දී ද මෙම ස්ථාන දෙක (2) වටලා ඇති බව ද පොලීසිය ප්‍රකාශ කොට සිටියා.

මේ අතර මෙම ස්ථාන දෙකෙන් එකක ගණිකාවන් අලෙවි කිරීමට අන්තර්ජාලය භාවිත කොට ඇති බව ද වාර්තා වූවා.

දුරකතන යෙදවුමක් හෙවත් ඇප් එකක් හරහා මෙලෙස මෙම තරුණියන් අලෙවි කොට ඇති බවයි පැවසෙන්නේ.

මේවන විට වාර්තා වී ඇත්තේ අදාළ තරුණියන්ගේ ඡායාරූප සමග ඔවුන් ලබා දෙන සේවාවන් විස්තර සහිතව එම ඇප් එක තුළ පළ කොට ඇති බව යි.

එය හරහා තරුණියන් තෝරාගන්නා පුද්ගලයින් විද්‍යුත් ක්‍රම හරහා මුදල් ගෙවිය යුතු බවත්, ඉන් අනතුරුව දිනයක් සහ ස්ථානයක් ලබා දෙන බවටත් අනාවරණය වී තිබෙනවා.

මේ අතර නල්ලූර් ප්‍රදේශයේ දී ගණිකා නිවාසයක් වටලා 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසනවා.

මෙම ගණිකා නිවාසය ලැගුම්හලක් තුළ රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස අතර එහි ගණිකා සේවය සැපයූ තරුණියන් දෙදෙනෙකු (2) සහ ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි තරුණයින් තිදෙනෙකු (3) ද වන බව වාර්තා වූවා.

එමෙන්ම අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය ලැගුම්හලෙහි හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ තරුණියන් දෙදෙනා වයස අවුරුදු 21 සහ 24 වයස්වල පසුවන්නියන්.

ඔවුන් යාපනය ප්‍රදේශයේම පදිංචිකාරියන් බව පොලීසිය පැවසුවා.

පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස යාපනය අධිකරණයට ඉදිරිපත් කොට පළමුව පී.සී.ආර්. පරික්ෂණයන් සිදුකිරීමට පියවර ගෙන ඇති බව යාපනය පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *