ලිංගික ඇරයුම් කතාව ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රථම වරට මාධ්‍යට කියයි

ලිංගික ඇරයුම් කතාව ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රථම වරට මාධ්‍යට කියයි

*********************************************

ලිංගික ඇරයුම් කතාව ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රථම වරට මාධ්‍යට කියයි

(25.06.2021 – am.lk)

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම කලාකරුවෙකුවන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් මෙරට ප්‍රකට නිළියක් හට ලිංගික දර්ශන සම්බන්ධයෙන් යෝජනා කළ සහය අධ්‍යක්ෂවරයෙකු පිළිබඳ පුවතක් අප ඊයේ (24) වාර්තා කළා.

එම පුවත පිළිබඳව මේවන විට යම් ආන්දෝලනාත්මක පසුබිමක් නිර්මාණය වී තිබෙන අතර ‘ඒෂියන් මිරර්’ අප මේ පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා අප හා පැවසුවේ අදාළ පුද්ගලයා දිගු කාලයක් තිස්සේ මෙම ක්‍රියාව කරගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම මොහු විවිධ නිළියන් රැසක් අමතා මෙවැනි යෝජනා සිදු කර ඇති බව ද මහාචාර්ය ආරියරත්න මහතා පවසා සිටියා.

අදාළ පුද්ගලයා කිසිදු ආකාරයෙන් තමන් නොහඳුණන තැනැත්තෙකු බව ද ඒ මහතා අවධාරණය කළා.

මොහු අවසන්වරට අමතා ඇති නිළිය සිදු කර ඇති පැමිණිල්ලට අනුව අදාළ තැනැත්තා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වූ අතර මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ තම නම ද මෙම සිද්ධියට පැටළී ඇති නිසා තමන් ද ගාල්ල පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දුන් බවයි.

මේ අතර පුවත් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ පුද්ගලයාගේ අවසාන ඇමතුම ලද නිළිය නිර්ධා උයන්හේවා මහත්මිය බවයි.

ඇය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වූයේ.

‘වත්තෝරු තන්ත්‍රීගේ රවීන්ද්‍ර’ නමැති 47 හැවිරිදි මෙම පුද්ගලයා චිත්‍රපටයක සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව පැවසෙනවා.

මේ අතර අදාළ පුද්ගලයා ඇමතුම් ලබා ගත් තවත් නිළියන් පිළිබඳව ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා.

කවින්ද්‍යා අධිකාරී, සුලෝචනා වීරසිංහ, දුලානි අනුරාධා, පියුමි බොතේජු, ගංගු රොෂානා සහ මාදිනි මල්වත්තගේ ආදී රංගන ශිල්පිනියන් ද ඒ අතරවන බව සඳහන්.

මහාචාර්ය සුනිල් ආරියරත්න ලෙස පෙනී සිටි පුද්ගලයා චැට් කළ නිළියන්ගේ නම් මෙන්න

(25.06.2021 – am.lk)

මෙරට සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, ගී පද රචකයෙකු, සාහිත්‍යවේදියෙකු මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට නැණස පෑදු මහාචර්යවරයෙකු ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මහාචාර්ය සුනිල් ආරියරත්න බව පවසමින් අමතා අන් අය රවටමින් අයතා වැඩ සිදුකරන පුද්ගලයෙකු ගැන මීට ඉහත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මාධ්‍ය ඔස්සේ දැනුවත් කර තිබුණා. ඉතින් මේ කියන පුද්ගලයා අතටම හසු කර ගැනීමට මේ වනවිට පොලිසිය සමත් වී තිබෙනවා. ඉතින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාද පොලිසියට පැමිණ සැකකරු නිරීක්ෂණය කර තිබෙනවා.

“මම හොඳින්ම දන්නවා, මොහු සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කවින්ද්‍යාටත් කතා කරලා. තව ඒ අතර සුලෝචනා වීරසිංහ, දුලානි අනුරාධා, පියුමි බොතේජු, ගංගු රොෂානා, මාදිනි මල්වත්තගේ වගේ විශාල පිරිසකට කතා කළා. මේ විදිහට මේ මානසික ලෙඩා විශාල හානියක් කළා. කාලයක් ඔහු කතා කලේ ෆොටෝශූට් කරන ඡායාරූප ශිල්පීන්ට. මොඩ්ලින් කරන තරුණියන්ගේ පින්තූර ගන්න. ඒ වගේම තවත් අමුතු මානසිකත්වයක් මේ අමුතු ලෙඩාට තියනවා. ඒ තමයි මාෂල් ආර්ට් කරන ගැහැණු ළමයි සොයා ගැනීම සඳහා විශ්ව විද්‍යාල වලට කතා කරලා තියනවා. ඒ අතරේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ලකුණ සහිතව කුස පබා, විජයබා කොල්ලය, යශෝධරා ආදී මගේ චිත්‍රපටවල කොටස් දාපු පොඩි ට්‍රේලර් එකක් වගේ හදලා. ඒක දාලා තමයි මෙයා හඳුන්වලා දෙන්නේ. එයා කියන්නේ මම සුනිල් ආරියරත්න කියලා. අලුත් චිත්‍රපටයක් කරනවා ඒකට නිලියක් ගන්නවා. මුදල් වගේම විශ්‍රාම වැටුපක්ද දෙනවා කියලා ඉස්සෙල්ලාම පින්තූර ගෙන්න ගන්නවා. ඊළගට වට්ස් ඇප් හරහා ඉන්ටර්විව් කරනවා. හැබැයි මිනිහ පේන්න ආවේ නැහැ. මේ විදිහට එයාව හසු වුණ එක වටිනවා.”

මහාචාර්යවරයා පෙර කරුණුද සපයා එම තැනැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියෙන් ඉල්ලා තිබෙනවා.

‘ඔයාට චිත්‍රපටයේදී මෙහෙම කරන්න පුලුවන්ද, අරහෙම කරන්න පුලුවන්ද ඒ විදිහට කලොත් ලජ්ජයිද’ ආදි ලෙස කතා කර ඇත්තේ නිළිය අන්ඳ මන්ද කරමින්. මෙතරම් නොහික්මුණු ලෙස කතා කරමින් සිටින්නේ ඇත්තටම සුනිල් ආරියරත්න මහතා ද යන්න නිලියට සැකයක් පැන නැගී, ඇමතුම අවසන් වීමෙන් අනතුරුව මහාචර්ය සුනිල් අරියරත්නයන්ගේ නිවැරදි අංකය සොයාගත් නිළිය ඔහුව අමතා ‘මෙවැනි ඇමතුමක් දුන්නේ ඔබම දැයි’ විමසා එසේ නොමැති බව දැනගෙන තිබෙනවා. ඒ අවස්ථාවේදී එම නිලියට සත්‍ය අවබෝධ වී ඇති අතර ඇය ව්‍යාජ ඇමතුමකට රැවටුණු බව වැටහී තිබෙනවා. මේ පුද්ගලයා සංවිධානාත්මක ලෙස මේ කටයුත්ත දිගින් දිගටම සිදු කරන බව දැනගත් පසු ඔහුට පාඩමක් ඉගැන්විය යුතු බව නිලියට වැටහී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇය පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් පසුවයි. පැමිණිලි කිරීමෙන් පසුව මේ පුද්ගලයාගේ දුරකතන අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් චිත්‍රපටයකට ආරාධනා කොට මෙලෙස නිලියන් රවටා ලිංගික දර්ශන සම්බන්ධයෙන් කතා කල පුද්ගලයා ‘වත්තොරුතන්ත්‍රීගේ රවින්ද්‍ර’ නමින් හැදින්වෙන 47 හැවිරිදි අයෙක් බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු කලා ක්ෂේත්‍රයට යන්තමින් සම්බන්ධ බවත් එක්තරා චිත්‍රපටයක සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කර ඇති බවත් පසුව අනාවරණය වී තිබෙනවා. කොහොම නමුත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මේ වනවිට අපට දැනගන්නට ලැබෙන්නේ ෴

******************************************

චීනය ලංකාවේ හාරන වැව ගැන බලධාරියෙකුගෙන් විශේෂ හෙළිදරව්වක් !

(25.06.2021 – am.lk)

පසුගිය ජුනි මස 20 වැනිදා ශ්‍රී ලංකා – චීන හවුල් සමාගමක් විසින් තිස්සමහාරාමයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙන්නේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව බවට හෙළිවී තිබෙනවා.

පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුර මනතුංග මහතා ‘සිරස නිව්ස් ෆස්ට්’ වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම වැව් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක්ද යොදවා ඇති බවයි.

අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එහිදී පවසා තිබුණේ මෙවැනි ආකාරයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම්වලදී පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ගැනීම අනිවාර්ය දෙයක් බවට පත්ව තිබුණත් බොහෝ කාලයක් තිස්සේ එම ක්‍රියාවලිය සිදු නොවන බවයි.

මෙලෙස ඉපැරැණි වැව් හාරන්නේ නම්, හානි ඇගයීම් පිළිබඳව වාර්තාවක් කළ යුතු බවත්, වැව් හැරීමේ කටයුතු පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණා.

ක්‍රිස්තු පුර්ව 03 වැනි සියවසේ දී එකළ රුහුණු රාජධානියේ රජකම් කළ යටාලතිස්ස රජතුමා හෝ දේවානම්පියතිස්ස නිරිඳුන් විසින් මෙම වැව ඉදි කරන්නට ඇති බවට සැලකෙනවා.

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා – චීන හවුල් සමාගමක් විසින් මෙම වැවේ රොන් මඩ සහ වැලි ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ‘චීන විමුක්ති හමුදාවේ නිල ඇඳුමට සමාන ඇඳුමක්’ ඇඳගෙන පැමිණි සිටි අනන්‍යාතවය හෙළි නොවුණු පිරිසක් නිසා දැඩි මතභේදාත්මක සිදුවීම්ද වාර්තා වුණා ෴

******************************************

(25.06.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව ඇති අතර, ඒ සඳහා මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්ව සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

එලෙස ඉල්ලා අස්වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහ බැංකුවේ අධිපති ධුරය සඳහා පත්වීමට නියමිත බවත් වාර්තාවනවා.

එසේම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසුව මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට ද නියමිත බව සඳහන්.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂගේ දිවුරුම්දීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් (2) පවතින බවයි.

ඒ අනුව එළඹෙන හයවනදා (06) ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය යුතු බවට ඇතැම් මන්ත්‍රීවරුන් යෝජනා කර ඇති අතර, තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ගම්මන්පිල අමාත්‍යවරයාගේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දිය යුතු බවටයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මේ වන විට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා ෴

******************************************

(25.06.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

තානාපතිවරුන් දෙදෙනෙකු (2), අමාත්‍යාංශ ලේකම්වරුන් 3 දෙනෙකු සහ සභාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ඩී.එම්. සුමිත් දසනායක මහතා සහ ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ජී.එම්.වී. විශ්වනාත් අපෝන්සු මහතා පත් කිරීමට අනුමැතිය හිමිවී ඇති අතර, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්. විදානපතිරණ මහතා පත් කිරීමට අනුමැතිය හිමිවුණා.

පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.එම්. රණසිංහ මහතා සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස් මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබද කාරක සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට අනූෂ පැල්පිට මහතා පත් කිරීමට ද උසස් නිලතල කමිටුව අනුමැතිය ලබාදුන් බවයි ෴

******************************************

(25.06.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

කාසල්රී ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට කසල තේ එක් කිරීම හේතුවෙන් එහි ජලය කළු පැහැ ගැන්වී තිබෙනවා.

නෝර්වුඩ් සිට බගවන්තලාව දක්වා එම ඔය දෙපස පිහිටි තේ කර්මාන්තශාලාවලින් ඉවතලන කසල තේ ජලයේ දිය කර ඉතා සූක්ෂම ලෙස ඔයට එක්කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

******************************************

(25.06.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – චෙන්කලඩි පාලම ආසන්නයේදී අද (25) පස්වරුවේ හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තවත් හතරදෙනෙකු (4) අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

වාකරේ – 233 වන බල සේනාවට අනුයුක්ත හමුදා සාමාජිකයින් දෙදෙනෙකුයි (2) මෙලෙස මිය ගොස් ඇත්තේ.

ඔවුන් මහඔය සිට බලසේනා මූලස්ථානයට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

[ සේයාරූ ]

******************************************

(25.06.2021 – 18:57 +0530 – hirunews.lk/sinhala)

සහල් නිෂ්පාදකයන් රජයේ සහතික මිලට සහල් වෙළඳපොලට නිකුත් කරන්නේ නම් සහල් ආනයනය නොකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

නිෂ්පාදකයන් එලෙස කටයුතු නොකරන්නේ නම් සහතික වශයෙන්ම සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

වත්මන් රජය විසින් සහල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ ද මේවන විට පාරිභෝගිකයාට දැරිය නොහැකි අසාමාන්‍ය මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමටත්, වී තොග සගවමින් කෘතිම සහල් හිගයක් මවාපෑමටත් උත්සාහ දැරීම තුළ මෙම සහල් ආනයනය කිරීම සඳහා පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ඔහු කියාසිටියා.

කෙසේ වෙතත් තවදුරටත් වී තොග හිමියන් සහ සහල් තොග හිමියන් සඳහා අවස්ථාවක් ලබා දෙමින් ලබන ජුලි මාසය අවසන් වන තෙක් මෙරට වෙළඳපොලේ සහල් මිල රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල යටතේ අවශ්‍ය තරම් තොග හිඟයකින් තොරව වෙළඳපොලට මුදාහරින්නේ නම් පමණක් ආනයනය සීමා කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඒ අනුව මේවන විට කැඳවා ඇති මිළ ගණන් යටතේ නිසි ක්‍රමවේදයකින් පසුව රජයේ ආරක්ෂිත තොගය සඳහා පමණක් මෙම සහල් තොගය ආනයනය කෙරෙනු ඇතැයි ද වෙළඳ අමාත්‍යවරයා කියාසිටියා.

රජයේ පාලන මිළ ඉක්මවන අවස්ථාවලදී ඒ සඳහා වන රුපියල් 2500 ක දඩය සංශෝධනය කර එය රුපියල් 100,000 ක දඩයක් සහ අවස්ථා ගණන අනුව වැඩිවන දඩ මුදලක් නියම කර පාරිභෝගික අධිකාරී පනත සංශෝධනයට කටයුතු කරන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියා.

@@@@@@@@@@@@@@@@@

(25.06.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 214,668 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ, තවත් පුද්ගලයින් 1,843 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමඟයි ෴

++++++++++++++++++++++++

(25.06.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ දෙහිවල සත්වෝද්‍යානයේ තෝර් නම් සිංහයා සහ සිංහ ධේනුව මේවන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.

කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ එම සත්වයන්ට ඉන්දියාවෙන් ගෙන්වූ ඖෂධ ලබාදීම සිදුකර ඇති බවයි.

වෛරසය ආසාදනය වූ සිංහයා මේවන විට ප්‍රකෘති තත්වයට පත්වෙමින් සිටින බව ද අමාත්‍යවරයා කියාසිටියා.

එමෙන්ම වෛරසය අනෙකුත් සතුන්ට බෝ නොවීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ ලබාදීම ද සිදු කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් මත නියමිත සෞඛ්‍යානුකූලව සතුන් රැක බලා ගැනීමේ කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා කියසිටියා.

මේ අතර අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ මේවන විට හක්කපටස් සහ වැනි දෑ යොදාගෙන වන අලි ඝාතනය කිරීම ඉහළ ගොස් ඇති බවයි.

එය වැලැක්විම සඳහා කඩිනමින් අණ පනත් සංශෝධනය කර අලි ඇතුන් මරා දමන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළා.

++++++++++++++++++++++++++

(25.06.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1239 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 249,289 ක් ලෙසටයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 214,668 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ, තවත් පුද්ගලයින් 1,843 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමඟයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *