සංචරණ සීමා හෙට (25) අලුයම 4 ට ඉවත් කෙරේ

සංචරණ සීමා හෙට (25) අලුයම 4 ට ඉවත් කෙරේ

*********************************************

සංචරණ සීමා හෙට (25) අලුයම 4 ට ඉවත් කෙරේ

(24.06.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

දෙදහස (2000) ඉක්මවා දෛනික ආසාදිතයන් තවදුරටත් වැඩි වුවහොත් සංචරණ සීමා දැඩි කිරීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනතුරු අඟවනවා.

මේ අතර, හෙට (25) අලුයම හතරට (04:00) දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වනු ඇති.

ඊයේ (23) රාත්‍රී 10 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවූ අතර, හෙට (25) අලුයම සංචරණ සීමා ඉවත් කෙරුණද බස් රථ හා දුම්රිය ධාවනය තවදුරටත් පළාත් තුළ පමණක් සිදුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියා.

මේ අතර, සංචරණ සීමාවල ප්‍රතිඵල මේ වනවිට විශ්ලේෂණය කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (24) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

සංචරණ සීමා ලිහිල් කරන ලද කාලසීමාවේ මත්පැන් මිලිලීටර 28,500 ක ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ හෝකන්දර – සිංහපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ මත්පැන් තොගයේ වටිනාකම රුපියල් 60,000 ඉක්මවන බවයි.

සුරාබදු නිලධාරීන් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පොසොන් පොහොය දිනයේ නීතිවිරෝධී ලෙස අධික මිල ගණන්වලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් මිලදී ගෙන ඇති බවටයි.

මේ අතර, ආණමඩුව ප්‍රදේශයේ වැවක දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම නිසා විස්සකට (20) ආසන්න පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

අදාළ පුද්ගලයා පසුගිය 22 වනදා දියනෑමට ගිය අවස්ථාවේ දියේ ගිලී ඇති අතර, ඔහු රෝහල් ගතකළ පිරිස හඳුනාගනිමින් මෙලෙස නිරෝධායනයට යොමුකළ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ආසාදිතයන් 40 දෙනෙකු හඳුනා ගැනුනා. එමෙන්ම ගිනිගත්හේන – කඩවල වතුයායෙන්ද නව ආසාදිතයන් 20 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කරන්දෙණිය දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට මානසික සුවය පතා පොසොන් පොහොය යෙදුණු අද (24) දිනයේ පිරිත් සජ්ඡායනාවක් සිදු කෙරුණා. ඒ, අදාළ රෝහල වෙත භික්ෂූන් වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුවයි.

එමෙන්ම, මුල්ලේරියාව රෝහලේ කොරෝනා ආසාදිතව නේවාසික ප්‍රතිකාර ලබන 116 දෙනෙකු සඳහා දිවා ආහාරය අද (24) සිදු කෙරුණේ රෝහල් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන්.

මේ අතර කොරෝනා වසංගත තත්වය හමුවේ වැලිකන්ද – සෙවනපිටිය තෙලිඟු ගම්මානයේ අහිකුණ්ඨික වැසියන් පීඩාවට පත්ව සිටිනවා.

+++++++++++++++++++++++

(24.06.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 45 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (24) තහවුරු කර තිබෙනවා.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 2814 ක් දක්වා ඉහළ යනවා.

අද (24) තහවුරු කළ මරණ අතරින් 18 ක්, කාන්තා මරණ වන අතර, 27 ක් පිරිමි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එමෙන්ම, අද (24) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1228 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් 247,337 ක්.

මේ අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 212,825 ක්.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 689 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (24) දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 1917 ක්. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 248,026 ක් හමුවී තිබෙනවා ෴

++++++++++++++++++++++

(24.06.2021 – 20:07 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයට ජාති, ආගම්, කුලමල භේද නැහැ.

මෙරට සුවිශේෂ සංස්කෘතියක් පවත්වාගෙන යන අහිකුණ්ඨික ජනතාවට ද කොවිඩ් වෛරසයේ අවදානම එලෙසින්ම පවතිනවා.

මේ වැලිකන්ද – සෙවනපිටිය තෙළිඟු ගම්මානයේ වැසියන් කොවිඩ් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ආකාරය පිළිබඳවයි.

මේ පොළොන්නරුව – වැලිකන්ද – සෙවනපිටිය තෙළිගු ගම්මානයේ ජීවත් වන අහිකුණ්ඨික ජනතාවයි.

ඔවුන් මේ දිනවල උග්‍ර ආහාර හිඟයකට මුහුණ පා සිටිනවා.

පවුල් 24 ක් පමණ ජීවත් වන මේ ගම්මානයේ ජනතාවට කොවිඩ් වසංගතයත් සමඟ තම රැකියා සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයකුයි උදා වී ඇත්තේ.

රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව මෙවර ඔවුන්ට ලැබී නැහැ.

ආහාරයට යමක් ඉල්ලා අසල පිහිටි ගම්මානවලට ගියද ගම්වැසියන් තමන්ව එළවා දමන බව ඔවුන් පැවසුවේ කඳුලු පිරි දෙනෙතින්.

කුඩා දරුවන් 20 දෙනෙකු පමණ ජීවත් වන මෙම ගම්මානයේ ද අඩුපාඩු රැසක් පවතිනවා.

ඒ සඳහා කිසිදු බලධාරියෙකුගේ ඇස නොගැටීම කනගාටුවට කරුණක්.

++++++++++++++++++++++

(24.06.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala)

ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී 59 වන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

අනවසරයෙන් මාර්ගයයට ඇතුලුවී ඇති මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ අද (24) රාත්‍රී 7 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම මාර්ගයේ වාහන ගමන් කිරීමට මෙතෙක් අවසර නොමැති අතර මෝටර් රථය සහ යතුරුපැදිය එකම දිශාවට අධික වේගයෙන් ගමන් කර ඇතැයි සඳහන්.

අනතුරත් සමග මෝටර් රථය සහ යතුරුපැදිය ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ අවුරුදු 19 ක් සහ 24 ක් වයසැති තරුණයන් දෙදෙනෙක්.

ඔවුන් වදාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෝටර් රථයේ පුද්ගලයන් 5 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළාගිය අනෙක් සැකකරුවන් තුන්දෙනා (3) අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිවලට අනුකූලව සහ රිය අනතුරක් සිදු කිරීමට අදාළව නඩු පැවරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා ෴

+++++++++++++++++++++

(25.06.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 5 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 10 ක් අද (24) උදෑසන 6 සිට හුදෙකලාභාවයට පත්කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++++++++

(25.06.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතයි.

රාත්‍රී 08:30 ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත අතර, එය ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය කිරිමටද කටයුතු යොදා තිබෙනවා.

මේ අතර, පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුද බිමේදී ඊයේ (24) පැවැත්වුණා.

මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතූන් වහන්සේ වැද පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එහිදී මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අනුශාසනාවක්ද සිදුකළා.

මෙවර පොසොන් පූජෝත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධාන කර තිබූ අතර, මල්වතු, අස්ගිරි ඇතුලු අනෙකුත් නිකායන්වල මහ නාහිමිවරුන් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ අනුශාසනා පවත්වනු ලැබුවා.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොසොන් රාජ්‍ය උත්සවයට සමගාමීව සංවිධාන කර තිබූ මිහින්තලා ආලෝක පූජාව විවෘත කිරීම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුවුණා ෴

++++++++++++++++++++++

(25.06.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 04:00 ට ඉවත් කෙරුණා.

කෙසේ වෙතත්, පළාත් අතර, සංචරණය තවදුරටත් තහනම් වන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මාසයක කාලයක් පුරා පැවති සංචරණ සීමා පසුගිය 21 වන දා අලුයම 4 ට ඉවත් කෙරුණු අතර යළිත් එම සංචරණ සීමා පෙරේදා රාත්‍රී 10 සිට අද (25) අලුයම 4 දක්වා පනවනු ලැබුවා.

බස්නාහිර පළාත තුළ සංචරණ නීති ක්‍රියාත්මක කිරිම කඩ කරන වෙළදසැල් සම්බන්ධයෙන් දැඩි ලෙස සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, සංචරණ සීමා ඉවත් කෙරුණ ද බස් රථ හා දුම්රිය ධාවනය තවදුරටත් පළාත් තුළ පමණක් සිදුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියා ෴

++++++++++++++++++++

(25.06.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

දින 45 කට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (24) වාර්තා වුණා.

පසුගිය මැයි මස 09 වන දා ආසාදිතයින් 1896 ක් වාර්තා වූ අතර, ඊයේ (24) මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1941 ක්.

ඊයේ (24) මෙරටින් වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 1917 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 24 දෙනෙකු ද ආසාදිතයින් ලෙස වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,48,050 ක් ලෙස ඉහල යනවා.

තවදුරටත් ආසාදිතයින් 32,456 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 212,825 ක්.

එමෙන්ම ඊයේ (24) වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද මරණ 45 සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2800 සීමාව පසුකර ගියා.

ඒ අනුව එය දැක්වුණේ 2814 ක් ලෙසයි.

නව මරණ වලින් 27 ක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් 18 දෙනෙකුද ඊට ඇතුළත් ෴

@@@@@@@@@@@@@@@@

දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

(24.06.2021 – 20:41 +0530 – sinhala.adaderana.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් :

මේ අතර, ජනාධිපති සමාව යටතේ පාර්මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ව නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනී ඇලැයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

මරණීය දණ්ඩනය හිමිව සිටි දුමින්ද සිල්වා මහතා ව නිදහස් කිරීම නීතියේ අධිපත්‍යය යටපත් කිරීමක් බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය පවසයි.

රජය විසින් LTTE සැකකරුවන් 16 දෙනෙක් නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇය සිය ප්‍රසාදය පළකර සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි LTTE සැකකරුවන් 16 දෙනෙක් ඇතුළු සිරකරුවන් 93 ක් අද (24) දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණි.

******************************************

(25.06.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර, තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.

මෙම දිවුරුම්දීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර මත දෙකක් (2) නිර්මාණය වී තිබෙනවා.

ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් යෝජනා කර ඇත්තේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ජූලි මස 6 වනදා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දිය යුතු බවටයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් පසුව බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය යුතු බවට ඇතැම් මන්ත්‍රීවරුන් මත පළ කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස බවයි.

ඒ අනුව පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත කැටගොඩ හෝ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන දෙදෙනාගෙන් එක් අයෙකු ඉල්ලා අස්වනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පසුව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බවද වාර්තා වනවා.

මේ අතර පසුගියදා ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ ඉහළ ගිය භූමිතෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

ධීවරයින් සහ වතුකරයේ ජනතාව ගැන සිතා මෙලෙස මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය පෙට්‍රල්, ඩීසල්වලට අමතරව භූමිතෙල් ලීටරයක මිල රුපියල් හතකින් (7) වැඩිකිරීමට තීරණය කළා ෴

******************************************

(25.06.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේ ආනයනය හරහා ක්ෂුද්‍රජීවීන් මෙරටට පැමිණීමේ අවදානම ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුකොටගෙන එම තීරණය ගත් බවයි.

මෙම මස පළමුවනදා (01) කැබිනට් තීරණවල දැක්වුණේ 2021, 2021 මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර ලක්ෂ පහකට (5) අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් රජයේ පොහොර සමාගම් හරහා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

එසේම අනෙකුත් භෝග හෙක්ටයාර ලක්ෂ හයකට (6) පමණ අවශ්‍ය කාබනික පොහොර, එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශවලට අනුව ආනයනයට බලපත්‍ර හිමි සමාගම් මගින් ගෙන්වා ගොවීන් වෙත බෙදාහැරීමටයි තීරණය කර ඇති බව ද එහි දැක්වුණා.

කෙසේ වෙතත්, මේ වන විට තීරණය කර ඇත්තේ කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමටයි.

මේ අතර රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගත් තීරණය හේතුවෙන් සහල් අර්බුදය තවදුරටත් උග්‍රවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – හෙට්ටිපොල ප්‍රදේශයේදී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

******************************************

(25.06.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට අදාළ මෙහෙයුම්වලදී 200 කට ආසන්න පිරිසක් ඊයේ (24) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් 1997 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 743 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 85 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේදියි ෴

******************************************

(25.06.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු (1) මියගොස් 99 ක් අතුරුදන්ව තිබෙනවා.

මහල් 12 ක ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

1980 වසරේ ඉදිකළ එම ගොඩනැගිල්ලේ 100 කට වැඩි පිරිසක් සිට ඇති බවට විශ්වාස කෙරෙනවා.

සුන්බුන් අතර සිර වී සිටින 35 දෙනෙකු මුදා ගෙන ඇති අතර, ඉන් 10 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

https://www.youtube.com/watch?v=uKvleU22e-k
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *