සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවක

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවක

*********************************************

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවක

(23.06.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල සහ ජීවන වියදම ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විරෝධතාවක නිරතවුණා.

ඊයේ (22) දිනයේ තමන් විමසූ පැනයකට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිසි පිළිතුරක් ලබා නොදුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර චෝදනා කිරීමත් සමඟයි විරෝධතාව ආරම්භ කෙරුණේ.

අනතුරුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ද රැගෙන සභා ගර්භය මැදට පැමිණ, බිම වාඩිවී විරෝධතාව සිදු කළා.

මෙහිදී නලින් බණ්ඩාර සහ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර ඇතිවූ සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි, ශාන්ත බණ්ඩාර මෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද මැදිහත් වුණා.

විරෝධය පැවතියද සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට කතානායකවරයා පියවර ගත්තා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකර තිබු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳ විද්වත් මණ්ඩලයේ අදහස සහ බෝවන රෝග විද්‍යාත්මක කමිටුවේ නිර්දේශ ඉදිරි සති දෙක (2) තුළ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

අනතුරුව ඊයේ (22) පාර්ලිමේන්තුවට රජය විසින් ඉදිරිපත් කළ රුපියල් කෝටි විසි දහසක (20,000) පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීම ආරම්භ වුණා.

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඊයේ (22) දිනයේත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු රථ පෙලපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා.

යතුරුපැදි අත්ට්‍රැක්ටර්, ත්‍රීරෝද රථ, ලොරි රථ වලින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් පැමිණියේ පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ මුලස්ථානය ආසන්නයේ සිටයි.

ජේ.සී.බී. යන්ත්‍රයක් ද විරෝධතා පා ගමන සඳහා එක්ව තිබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ගමන් කළ කළා.

හර්ෂණ රාජකරුණා, තුෂාර ඉදුනිල්, හේෂා විතානගේ, චමින්ද විජේසිරි ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් යතුරුපැදි වලින් ගමන් කළා.

එමෙන්ම, සරත් ෆොන්සේකා, අශෝක් අබේසිංහ, ජේ.සි. අලවතුවල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ත්‍රීරෝද රථවලින් ගමන් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා බස්රථයක් පැදවු අතර ලොරි රථයක් පදවමින් විරෝධතාවට එක්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යි.

පසුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවකද නිරත වුණා.

අනතුරුව සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් පිරිස පාගමනින් පාර්ලිමේන්තු සංකිර්ණ පිවිසුම් දොරටුව දක්වා පැමිණියේ විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින්.

******************************************

(23.06.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේයි.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට, දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු විපක්ෂයේ ඉදිරිපෙළ 13 වන අසුනෙහි අසුන් ගනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු දිවුරුම් දෙන්නේ පසුගිය වසරේ අගෝස්තු 20 වන දින 9 වන පාර්ලිමේන්තුවේ සභා වාරය ආරම්භ කර මාස 09 කට පසුව වීම විශේෂත්වයක්.

1977 වර්ෂයේදී පළමු වරට කැලණිය, බියගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙම රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන්නේ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසටයි.

දශක තුනකට (3) අධික කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහා, මෙරට වැඩිම අවස්ථා ගණනක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ දේශපාලනඥයෙකුද වනවා.

1993 වර්ෂයේ ඩී. බී. විජේතුංග පාලන සමයේ පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන මොහු 2002 වසරේ දෙවන වරටත් 2015 වසරේ තෙවැනි වරට සහ 2016 යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිවු වන වරටත් දිව්රුම් දුන්නා.

******************************************

(23.06.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගනු ලැබූ තීරණයත් සමඟ තමන් පත්ව ඇති අසීරුතාවයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අදත් (23) ප්‍රදේශ කිහිපයක ගොවි ජනතාව විරෝධතාවයේ නිරත වුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල – මාතැටිල්ල ප්‍රදේශයේ මාතැටිල්ල වෙල්යායේ පැවති විරෝධතාව අතරතුර අදහස් දැක්වූ ගොවීන් කියා සිටියේ පලිබෝධනාශක, රසායනික පොහොර හා කාබනික පොහොර නොමැතිකමින් තම වගාවන්වලින් නිසි අස්වැන්නක් නෙලාගත නොහැකි බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම – උඩුහාවර ප්‍රදේශයේ ගොවීන් ද විරෝධතාවයේ නිරත වූයේ පොහොර නොමැතිකමින් තම වගා බිම් පාළුවට ගොස් ඇති බව පවසමින්.

මේ අතර ගාල්ල – හියාරේ ප්‍රදේශයේ බුලත් ගොවීන් පිරිසක් පොහොර ගැටළුවට විරෝධය පළ කරමින් හියාරේ ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වුණා.

එමෙන්ම ගාල්ල – බද්දේගම – ගුරුසිංහගොඩ කුරුඳු ගොවීන් ද රසායනික පොහොර නොමැතිකමින් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

කුරුඳු නිෂ්පාදකයින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කුරුඳු වගාව සඳහා රසායනික පොහොර නොමැති නිසාවෙන් කුරුඳු කොළ යොදාගනිමින් පොහොර නිෂ්පාදනය කෙරෙන බවයි.

එම හේතුවෙන් කුරුඳු තෙල් නිෂ්පාදනය සඳහා කුරුඳු කොළවල හිඟයක් පවතිනවා.

ඉදිරියේදී කුරුඳු තෙල් නිෂ්පාදනය මෙමඟින් ඇණහිටීමේ හැකියාවක් ඇති බවයි ගුරුසිංහගොඩ කුරුඳු ගොවින් කියා සිටියේ.

මේ අතර පොහොර ගැටළුවට විරෝධය පළ කරමින් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (23) කළු පටි පැළඳ මාසික රැස්වීමට එක්වුණා.

ඊට අමතරව මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද කළු පටි පැළඳ ඊයේ (22) පැවති මාසික සභාවාරයට සහභාගි වී තිබෙනවා.

ජීවන වියදම ඉහල යාමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (23) උදෑසන විල්ගමුව නගරයේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

******************************************

(23.06.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

පින්වත්ත පොලිස් ස්ථානය විවෘත කිරීම අද (23) ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

එම අවස්ථාව පහතින් :

******************************************

(23.06.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් ද ඉවත්වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි අද (23) පෙත්සම කැඳවූ අවස්ථාවේදි විනිසුරුවරයා සඳහන් කළේ.

මීට පෙර මෙම පෙත්සම සළකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා ඉවත්වුණා.

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලමිනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත්තේ ෴

******************************************

(23.06.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

අද (23) දිනයේ මොරටුව – මුරවත්ත වෙරළට සහ ලුනාව කළපුවට කැස්බෑවන් දෙදෙනෙකුගේ (2) සිරුරු ගොඩගසා තිබෙනවා.

ප්‍රදේශවාසීන් සහ ධීවරයින් කළ දැනුම්දීමකට අනුව එම කැස්බෑ සිරුරු සොයාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය දින කිහිපයේ මොරටුව වෙරළ තීරයට පමණක් කැස්බෑවන් පස්දෙනෙකුගේ (5) සිරුරු ගොඩගසා තිබුණා.

******************************************

(24.06.2021 – 06:48 +0530 – hirunews.lk/sinhala)

කාල්ටන් පෙරපාසලේ ආචාර්ය මණ්ඩල පොසොන් බැති ගී සරණිය පහතින් :

@@@@@@@@@@@@@@@@@

(23.06.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ 100 ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී ඊයේ (22) මෙම උපකරණ භාරදී ඇති අතර මෙම තොගය මෙරට රතුකුරුස සමාජයට ප්‍රදානයක් ලෙස සිංගප්පූරු රතු කුරුස සමාජය විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එය එම මොහොතේදීම කොවිඩ් වැළඳුණු රෝගීන්ගේ ප්‍රතිකාරය සඳහා යොදාගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත භාරදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියේ.

++++++++++++++++++++

(23.06.2021 – 09:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 1,448,601 කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 470,870 ක්.

එමෙන්ම, ස්පුට්නික් වී පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 113,454 කට සහ එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 14,323 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(23.06.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර පොකුරෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතරින් මරණ 19 ක් වාර්තාවී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 04 වනදා සිට මෙම වසරේ අප්‍රේල් 14 වනදා දක්වා කාලය තුළ මරණ 12 ක් බන්ධනාගාර පොකුරෙන් වාර්තාවී ඇති බවයි.

එමෙන්ම තුන්වන (3) කොරෝනා රැල්ල තුළ එනම් අප්‍රේල් 15 වනදා සිට මේ දක්වා මරණ 7 ක් වාර්තාවී තිබෙනවා.

මේ වනවිට මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 2,704 ක් වන අතර, ඉන් 2,088 ක්ම වාර්තාවන්නේ ‘අලුත් අවුරුදු පොකුරෙන්’ වීම විශේෂත්වයක් ෴

+++++++++++++++++++++++

(23.06.2021 – 12:12 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් ජූලි මස මුල් සති 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් (2) ද ජූලි මස පළමු (1) සතියේ මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 1,448,601 කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 470,870 ක්.

එමෙන්ම, ස්පුට්නික්-වී පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 113,454 කට සහ එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 14,323 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++

(23.06.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳ විද්වත් මණ්ඩලයේ අදහස සහ බෝවන රෝග විද්‍යාත්මක කමිටුවේ නිර්දේශ ඉදිරි සති දෙක (2) තුළ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් ලබන මස මුල් සතියේ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඊයේ (22) වැඩිම ආසාදිතයන් ගම්පහින්. ඊයේ (22) දිනයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 2,093 දෙනාගෙන් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණා. එම සංඛ්‍යාව 364 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 322 ක්, කළුතරින් 292 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 190 ක් වාර්තාවී තිබෙනවා.

නුවරඑළියෙන් 148 දෙනෙකු වාර්තාවී ඇති අතර, මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 136 ක් වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ (22) වාර්තාවූ ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 78 ක්.

පසුගිය දින කිහිපයේ ආසාදිතයන් විශාල වශයෙන් වාර්තාවූ පිළියන්දල ප්‍රදේශයෙන් ඊයේ (22) දිනයේදී වාර්තාවී ඇත්තේ ආසාදිතයන් 15 දෙනෙකු පමණයි.

එසේම පසුගිය වසරේ ඔක්තෝම්බර් හතරවනදා (04) සිට මේ දක්වා කාලසීමාව තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබෙනවා.

එම සංඛ්‍යාව 60,470 ක් වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 44,565 දෙනෙකු ඔක්තෝම්බර් 04 සිට මේ දක්වා වාර්තාවී තිබෙනවා.

මෙම කාලය තුළ අඩුම ආසාදිතයන් වාර්තාවී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 814 ක්.

මේ අතර ඩෙල්ටා ප්‍රභේදය හෝ වෙනත් ප්‍රභේදයක් පැවතියද ඉන් ආරක්ෂාවීමට නම් කළ යුත්තේ සෞඛ්‍ය ක්‍රමවේද නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම බවයි රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ.

නව ඩෙල්ටා ප්ලස් ආසාදිත 40 ක් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්.

නව ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිත තවත් 40 කට වැඩි පිරිසක් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් වාර්තාවී තිබෙනවා.

මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ්, කේරළ, තමිල්නාඩු, පන්ජාබ්, ආන්ද්‍ර ප්‍රදේශ් හා ජම්මු ප්‍රාන්තවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

මහරාෂ්ඨ ප්‍රදේශයෙන් පමණක් හඳුනාගෙන ඇති නව ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිත සංඛ්‍යාව 21 ක්.

මෙම ආසාදිතයන් වාර්තාවීමත් සමඟ අදාළ ප්‍රාන්ත වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි ඉන්දීය මධ්‍යම රජය පියවර ගෙන ඇත්තේ.

මෙවර පොසොන් සතියක් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් සුරාසැල් සහ මත්ස්‍ය අලෙවිසැල් වසා නොදැමූ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක ප්‍රකාශ කළා. ඒ, අනුරාධපුරයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *