කොරෝනා ආසාදිත ඉන්දියන් ජාතිකයින් 50 දෙනා යාපනයට

කොරෝනා ආසාදිත ඉන්දියන් ජාතිකයින් 50 දෙනා යාපනයට

*********************************************

කොරෝනා ආසාදිත ඉන්දියන් ජාතිකයින් 50 දෙනා යාපනයට

(22.06.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ යකඩ කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ජාතිකයන් 50 දෙනෙකු යාපනය – කෝපායි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

ආසාදිතයන් සිටින බවට සෞඛ්‍ය අංශ වෙත ලද තොරතුරක් මත පසුගිය දා මෙම කර්මාන්තශාලාවට ගිය වත්තල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එහි සිටි සේවකයින් අහඹු කොරෝනා පරීක්ෂණයකට ලක් කළා.

එහිදී සේවකයින් 192 නෙකුගෙන් 128 කට කොරෝනා වැළදී ඇති බවටයි හෙළි වුණේ.

එමෙන්ම, ඩෙල්ටා ප්‍රභේදය දැයි සැක සහිත බවට වාර්තා වූ මාදිවෙල – ප්‍රගතිපුර ආසාදිතයාගේ පවුලේ කිසිවෙකුට මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව වාර්තා වනවා.

ඒ, එම පවුලේ සාමාජිකයන්ට සිදුකළ කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි.

මේ අතර, කොරෝනා ආසාදනය වූ දෙහිවල සත්ත්ව උද්‍යානයේ තෝර් නැමති සිංහයා සුවය ලබා ඇති බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++++++++++++

(22.06.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

හෙට (23) රාත්‍රී 11 සිට 25 වන දා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි යළි සංචරණ සීමා පැනවෙනවා.

අදාළ කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මාර්ගවල ගමන් කලහැකියි. එසේම ජංගම අලෙවිසැල්වලට ද එම කාලය තුළ ගමන් කළ හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, අද (22) දිනයේත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබූ අතර හෙට (23) දිනයේත් ඒවා විවෘතව තිබෙනවා.

අද (22) දිනයේත් ඇතැම් එළවළු සහ පළතුරු වර්ගවල තොග මිල ඉහළ ගොස් තිබුණා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද (22) පස්වරුවේ නිකුත් කළ නිවේදනයට අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 210 ත්, 300 ත් අතර මිලකට පැවති අතර මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 260 ත්, 320 ත් අතර අගයකයි පැවතුණේ.

වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 60 ක් පමණ වූ අතර කරවිල, වම්බටු, දෙහි, මෑ කරල්, තුඹ කරවිල, අර්තාපල්වල තොග මිල පැවතුණේ රුපියල් 150 ත්, 350 ත් අතර මිලකටයි.

මේ අතර ජනතාවට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සංචරණ සීමා ලිහිල් කළ බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා අවධානම තවමත් අඩු වී නොමැති බවයි.

++++++++++++++++++++++++

(22.06.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (21) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 71 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) තහවුරු කර තිබෙනවා. එම මරණ 71 න් 38 ක් කාන්තාවන් වන අතර සෙසු 33 දෙනා පිරිමි පුද්ගලයින්. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2704 ක් ලෙසටයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 751 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (22) දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2071 ක් වනවා ෴

++++++++++++++++++++++++

(22.06.2021 – 21:16 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ප්‍රදේශයේ පදිංච් ගැබිණි කාන්තාවක් කොරෝනා අසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බවටයි වාර්තා වන්නේ.

අරණායක තල්ගස්පිටිය ප්‍රදේශයේ සිය ඥාති නිවසකට පැමිණ සිටියදීයි මෙම කාන්තාව මෙලෙස මියගොස් ඇත්තේ,

එම කාන්තාව අදාළ ඥාති නිවසේ දින කිහිපයක් ගත කර ඇති අතර 21 වනදා හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

22 වනදා මෙම කාන්තාව මියගොස් ඇති අතර පීසීආර් වාර්තාවෙන් ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා ෴

++++++++++++++++++++

(23.06.2021 – 06:06 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (22) දිනයේ පුද්ගලයන් 433 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඉන් වැඩි ප්‍රමාණයක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ප්‍රමාණය 96 ක්.

එසේම මාතලේ ප්‍රදේශයෙන්ද නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 73 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතරින් වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැළඳ සිටීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන වැරදි යටතේයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 42,347 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළක්වීමේ පණත යටතේ සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.

මේ අතර පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

ඊයේ (22) දිනයේ බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන ස්ථානවලදි පුද්ගලයන් 6000 කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී සංචරණ සීමා උල්ලංඝනය කරමින් යාමට පැමිණි 18 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 16 ක් ද සමඟින් ආපසු හරවා යවා තිබෙනවා ෴

++++++++++++++++++++++

(23.06.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 11 ක් අද (23) අලුයම 6 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ නාගරාජ වලව්ව පෙදෙස සහ වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ පළවන හරස් පාර බ්‍රයින්තුරයිචෙනයි, දෙවන හරස් පාර බ්‍රයින්තුරයිචෙනයි යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කාන්තන්කුඩි කොටස හතර, කාත්තන්කුඩි කොටස දකුණ පහ 164 ඒ සහ 164 බී යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම නව කාන්තන්කුඩි කොටස නැගෙනහිර, කාත්තන්කුඩි කොටස බටහිර හය, නව කත්තන්කුඩි කොටස උතුර, දකුණ සහ කරබලා පාර, ඒ.එල්.එස්. මාවත, නුරානියා සුසානභූමිය සහ බීච් පාර 167 බී යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

++++++++++++++++++++

(23.06.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

දින ගණනාවකට පසු මෙරට දිනයක් තුළ වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (22) සටහන් වුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට තහවුරු කළ මරණ සංඛ්‍යාව 71 ක්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,704 ක් දක්වා ඉහළ ගියා.

නව මරණ 71 න් 38 ක් කාන්තාවන් වන අතර, පිරිමි පුද්ගලයින් 33 දෙනෙකුද මියගොස් තිබෙනවා.

ඊයේ (22) මෙරටින් නව ආසාදිතයින් 2,093 ක් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 243,913 ක් ලෙසයි.

ඊයේ (22) සටහන් වූ නව ආසාදිතයන්ගෙන් 2,071 දෙනෙකු ‘අලුත් අවුරුදු කොරෝනා පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 22 කුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 31,984 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 29,296 ක්.

මේ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් (2) ජූලි මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එම එන්නත් මාත්‍රා තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදීගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(23.06.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

අද (23) රාත්‍රී 10 සිට බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙනවා.

ඒ අනුව එය අවසන් වන්නේ 25 වනදා සිකුරාදා අලුයම 4 ටයි.

මේ අතර, රාත්‍රී 10 සිට දිවයිනටම බල පැවැත්වෙන පරිදි පැය 30 ක කාලයක් සඳහා සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

පොසොන් උත්සවය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම එහි අරමුණයි. ඒ අනුව යළි සංචරණ සීමා ඉවත් වන්නේ 25 වන සිකුරාදා උදෑසන 4 ටයි.

මාසයකට පසු සංචරණ සීමා පෙරේදා (21) අලුයම හතරට (04:00) ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් සති අන්තයේ සංචරණ සීමා යළි පනවන්නේ ද යන්න පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඉදිරි දින කිහිපයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ පිළිබද අවසන් තීන්දුවක් ගන්නා බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ සංචරණ සීමා ඉවත් කළද අවදානම එසේම පවතින බවයි.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මගීන් රැගෙන යන බස් රථ පිළිබද සොයා බැලීම සඳහා අද (23) සිට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් බස් මගීන් ලෙස යොදවන බවයි.

මේ අතර, සංචරණ සීමා ඉවත් කළ ද දිස්ත්‍රික්ක 9 ක රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සංඛ්‍යා ලේඛන හා සැසදීමේදී ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සහ රෝගීන් වාර්තා වීමත් සමාන්තර අගයක පවතින බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

@@@@@@@@@@@@@@@@

(22.06.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ නැංවීම, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ පොහොර නොමැති බව පවසමින් දිවයිනේ ප්‍රදේශ රැසක අද (22) දිනයේත් විරෝධතා පැවැත්වුණා.

ජනතා විමුක්ති පෙරමුණ කටුගස්තොට නගරයේදී අද (22) දහවල් විරෝධතාවක් සංවිධාන කර තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට විරෝධය දක්වමින්.

සමගි ජන බලවේගයේ පිරිසක් ද අද (22) තලාතුඔය නගරයේදී විරෝධතාවක් පැවැත්වූයේ පවතින පොහොර හිඟයට විසඳුම් ඉල්ලමින්.

එම අවස්ථාවට ගොවීන් පිරිසක් ද එක්ව සිටියා.

මේ අතර පානදුර, අම්පාර, වැලිගම යන ප්‍රදේශවල ද විරෝධතා පැවැත්වූණේ ඉන්ධන මිල ඉහළ දැමීම සහ පොහොර ලබා නොදීමට විරෝධය දක්වමින් ෴

******************************************

(22.06.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මිල ඉහළ නොදැමීමට රජය තීරණය කළ ද ලිට්රෝ සමාගමේ ලීටර් 18 නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරය නිසා රුපියල් 499 ක අතිරේක මුදලක් ගෙවීමට ජනතාවට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඊයේ (22) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීම මාස 6 ක් යනතුරු සිදුනොකිරීමටයි.

කෙසේ වෙතත්, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෑස් සමාගම්වලට බදු නිදහසක් ලබාදීමට තීරණය කර ඇති බව අද පාර්ලිමේන්තුවේ සඳහන් කළා ෴

******************************************

(22.06.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

තලංගම ඩිපෝවේ රියදුරු කොන්දොස්තර විවේකාගාරයේ රියදුරෙකුට අයත් ලොකරයක් තුළ තිබී ටී-56 උණ්ඩ 26 ක් සොයාගෙන තිබෙනවා.

අදාල උණ්ඩ තොගය තිබු ලොකරය කැකිරාව ප්‍රදේශයේ පදිංචි රියදුරෙකුට අයත් බවටයි දැනට අනාවරණය කරගෙන ඇත්තේ.

මේ අතර තලංගම ඩිපෝ පරිශ්‍රය තුල ඊයේ (21) රාත්‍රි සේවකයින් දෙපිරිසක් අතර ගැටුමක් ද හටගෙන තිබෙනවා.

******************************************

(22.06.2021 – 20:56 +0530 – hirunews.lk/sinhala)

තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ (21) සහ අද (22) දෙදින තුළ ශ්‍රී ලංකා තැපැල් ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම ආදායම උපදවා ගත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

තැපැල් දෙපාර්තමේන්තුවේ දිනක සාමාන්‍ය ආදායම ලෙස සැලකෙන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 150 ක්.

නමුත්, ඊයේ (21) දිනයේදී වාර්තා වූ දෛනික ආදායම රුපියල් මිලියන 221 ක්.

එය, එතෙක් තැපැල් ඉතිහාසයේ දිනෙක වාර්තා කළ වැඩිම ආදායම් ඉපැයීම වුණා.

නමුත්, එම වාර්තාව පැය 24 ක් යන්නටත් පෙර බිඳ වැටුනේ, අද දවස තුළ රුපියල් මිලියන 320 ක වාර්තාගත මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව රැස් කර ගැනීමත් සමඟයි.

පසුගිය මාසයකට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන්, ගොඩ ගැසී තිබුණු විදුලි, ජල, දුරකථන බිල්පත් ආදියත් මුදල් ඇණවුම් වැනි අමතර සේවා තැපැල් කාර්යාල ඔස්සේ සිදු කර ගැනීමට විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් මෙලෙස තැපැල් දෙපාර්තමේන්තු ආදායම ඉහළ ගොස් තිබෙනවා.

අද (22) දිනය තුළ, මෙම සේවාවන් සිදු කිරීම වෙනුවෙන්, තැපැල් දෙපාර්තමේන්තුවට හිමිව ඇති කොමිස් මුදල රුපියල් මිලියන 5.7 ක් ෴

******************************************

(23.06.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය වාහන සඳහා බදු අය කිරීමේ ක්‍රමවේදය ඉදිරියේදී සංශෝධනය කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසනවා.

ඇතමුන්, බදු සහන ලබාදී ඇති විශේෂ කාර්ය වාහන මෙරටට ගෙන්වීමෙන් පසු සාමාන්‍ය වාහන ලෙස භාවිත කරන බවට හඳුනාගෙන ඇති බැවින් එමගින් රජයට බදු මුදලක් අහිමි වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

පසුගිය වසර තුලදී අධිශීතකරණ සහිත ලොරි රථ 947 ක් මෙරටට ආනයනය කරන අතර ඒවා බොහොමයක් ආනයනයෙන් පසු ශීතකරණ ඉවත් කොට සාමාන්‍ය ලොරි රථ ලෙස භාවිතා කරන බවට තොරතුරු ලැබි තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරටට මාගරින් ගෙන්වීමේ ක්‍රමවේදය තුල ද ඇතැම් තාක්ෂණික කාරණා මත බදු මුදල් අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

ඉදිරියේදී නව ක්‍රමයක් යටතේ මෙය සිදුකිරිමට අපේක්ෂා කරන බව ද ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති මුදල් පිළිබද කාරක සභාවට එක්වෙමින් ඔහු සඳහන් කළා ෴

******************************************

(23.06.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හේතුවෙන් සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා පත් කළ අනු කමිටු 5 සඳහා තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

රක්ෂණ, නෛතික, ධීවර, පාරිසරික සහ ආර්ථික වශයෙන් මෙරටට සිදුවූ අලාභය සම්බන්ධයෙන් වාර්තා කිරීම සදහායි මෙම අනු කමිටු පත් කරනු ලැබුවේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආයතන, සංවිධාන හෝ පාර්ශවයන් සදහා තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

011 244 5447 යන ෆැක්ස් අංකයට හෝ reforms@mog.gov.lk යන විද්‍යුත් තැපෑල වෙත එම තොරතුරු ඉදිරිපත් කළ හැකි බවයි අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව එම තොරතුරු ජුලි මස 02 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුයි.

මේ අතර, අගුලාන මුහුදු තීරයට ඊයේ (22) මිය ගිය මත්ස්‍යයෙකුගේ කොටස් ගොඩ ගසා තිබියදී අත්තිඩිය වනජීවි කාර්යාල නිලධාරීන් සොයාගෙන තිබෙනවා ෴

******************************************

(23.06.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කර සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ඔන්ලයින් පහසුකම යටතේ අධ්‍යාපනය සිදුකරගෙන යාමට පහසු ගෙවීමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදී ගැනීමට ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ ඊයේ (22) පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැදවීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම කාරක සභාව ඊයේ (22) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදියි.

ඒ අනුව ලබන ජුලි මස 06 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයත්, ජුලි මස 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් අදාල ආයතනයන්හි වර්තමාන තත්ත්වය සලකා බැලීම සඳහා කැඳවීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම යන ආයතනවල වර්තමාන තත්ත්වය ද විමර්ශනයට කිරීමට නියමිතයි.

කොරෝනා තත්ත්වය හමුවේ පසුගිය කාලය තුල කැඳවීමට නොහැකි වූ ආයතන නැවත ජුලි මස 08 වැනිදා කැදවීමට ද ඊයේ (22) රැස්වු කෝප් කමිටුව තීරණය කර තිබෙනවා ෴

******************************************

(23.06.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – ගාලුපාරේ පිහිටි අවන්හලක් ඉදිරිපිට සිදුකළ වැටලීමකදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (22) සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ‘සමරසිංහ ගමගේ චමින්ද’ හෙවත් ‘කොකු චමින්ද’ නැමැත්තායි.

මොහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 650 ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(23.06.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

අපරාධ කොට්ඨාශයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය සිදුකළ විශේෂ වැටලීමකදී ‘කළුපහනගේ මංගලිකා’ හෙවත් ‘කුඩු මංගලිකා’ රුපියල් ලක්ෂ 10 ක් වටිනා හෙරොයින් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බියගම – පට්ටිය පාර ප්‍රදේශයේදී ඊයේ (22) ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ කුඩා ප්‍රමාණයේ හෙරොයින් පැකට් 800 ක් ද සොයාගෙන තිබුණා.

******************************************

(23.06.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

සූක්ෂම ලෙස සඟවා ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කළ නීතිවිරෝධී හක්බෙල්ලන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය සිය භාරයට ගෙන තිබෙනවා.

පුත්තලම ප්‍රදේශයේ සැකකාර සමාගමක් විසින් මෙම නීතිවිරෝධී හක්බෙල්ලන් අඩංගු බහලුම අපනයනය කිරීම සඳහා පසුගිය 15 වනදා උත්සාහ කළ බවට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකළේ.

ඒ අනුව එහි තිබී අපනයනය තහනම් කළ හක්බෙල්ලන් 21,480 ක තොගයක් රේගු නිලධාරීන් සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *