බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

*********************************************

බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට

(17.06.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, කාන්තා හා ළමා කාර්යාංශය සිදුකළ වැඩිදුර විමර්ශනයක් අනුවයි ඊයේ (16) ජඹුරලිය – මඩපාත පදිංචි 26 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවගේ අනියම් පුරුෂයා පොලිස් භාරයට ගැනුනා.

අදාළ සිදුවීම පිළිබඳව වැඩිදුර තොරතුරු :

******************************************

(17.06.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – කොන්තපිඩ්ඩි හා සිලාවතුර වෙරළ ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුමකදී වියළි කහ කිලෝ 370 කට අධික ප්‍රමාණයක් සමඟ දෙදෙනෙකු (2) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එසේම බීඩි කොළ 294 කට අධික ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකු (2) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකදී මළු 13 ක අසුරා තිබූ කහ සහ මළු 3 ක අසුරා තිබූ බීඩි කොළ හමුවී තිබෙනවා.

මේවා ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන්නට ඇති බවට සැක කෙරෙන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 33 සහ 34 යන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

(17.06.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

වික්ටෝරියා ජලාශයට පහළ රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ සිදුවූ සුළු භූ චලනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ උපකරණ සමඟ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට අද (17) පිටත් කර යවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා සඳහන් කළා.

රික්ටර් පරිමාණයේ 1.94 ක් ප්‍රබලැති මෙම භූ චලනය මහකනදරාව, පල්ලෙකැළේ සහ හක්මන ප්‍රදේශවල ස්ථාපිත භූ කම්පන මානවල ද සටහන් වී තිබෙනවා.

මෙම භූ චලනය පස්සර – ලුණුගල ප්‍රදේශවලට ද දැනී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම භූ චලනයෙන් වික්ටෝරියා වේල්ලට බලපෑමක් සිදුවී නොමැති බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති කොටගම මහතා සඳහන් කළා.

******************************************

(17.06.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන කාන්තාවක් (1) ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ, පානදුර – වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකට අනුවයි.

ජංගම දුරකථනයෙන් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය තිහාරිය – කළගෙඩිහේන ප්‍රදේශයේ 41 හැවිරිදි කාන්තාවක් (1) අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ජාවාරමට සම්බන්ධ වී කටයුතු කළ තවත් පුද්ගලයෙකු (1) හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම වැලිගම සහ මාතර ප්‍රදේශවලදී මොවුන්ගෙන් ලද තොරතුරු අනුව මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතවූ තවත් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

******************************************

(17.06.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

මිලිලීටර 400 ට අඩු ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, සියලුම වර්ගයේ ලන්ච් ෂීට්, කෘත්‍රිම තෘණ ඇතිරිලි, ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඊයේ (16) මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඒ අනුව එක්වරක් භාවිත කරන බීම බට, ආහාර කළතන, ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් සඳහා භාවිතා කරන හැඳි, ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු, ප්ලාස්ටික් මල්මාලා, හඳුන්කූරු සහ පහන්තිර අසුරණ ද මෙලෙස තහනම් ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

එමෙන්ම ප්ලාස්ටික් හා පොලිතින්වලින් නිෂ්පාදිත අඟල් 10 පළල, අඟල් හතර (4) සහ දහ හත (17) ප්‍රමාණවලට අඩු සිලි බෑග්, ෂොපින් බෑග් සහ ග්‍රොසරි බෑග් ද එම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා. (?)

******************************************

(17.06.2021 – 10:54 +0530 – hirunews.lk/sinhala)

හලාවත – රඹේපිටිය ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත කොට්ඨාස බුද්ධි අංශයට ඊයේ (16) ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඔවුන් අවුරුදු 20 ත් 57 ත් අතර වයස්වල පසුවන ආරච්චිකට්ටුව, පල්ලම හා බංගදෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(17.06.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගයේ සහ කොරෝනා රෝගයේ සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසනවා.

මේ නිසා කිසිදු අවධානමක් නොගන්නා ලෙසත් රෝග ලක්ෂණ සම්බන්දයෙන් දැඩි අවධානයෙන් සිට පළමු අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසෙන ලෙසටයි ඔහු උපදසේ දෙන්නේ.

මේ අතර තවමත් පසුගිය වර්ෂයට සාපේක්ෂව ඩෙංගු රෝගීන් අඩු බවක් පෙන්නුම් කල ද ඉදිරි සති කීපයේ රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

දිවයිනේ සෑම රෝහලකම ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති අතර සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ තම නිවෙස් හා අවට පරිසරය පිරිසිදු කර ගැනීමත් ජනතාවගේ වගකීමක් බවයි විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා මෙහිදී කියා සිටියේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ දිනවල කොරෝනා රෝග මර්ධන කටයුතු වල නිරත වන බැවින් ඩෙංගු මර්ධන රාජකාරි සඳහා මුළුමනින්ම යොමු වීමේ අපහසුතාවක් ඇති බවත් ඔහු අවධාරණය කළා.

එබැවින් එහි වගකීම ජනතාව විසින් ඉටු කළ යුතු බව සහ තම නිවෙස් අවට පරිසරය පිළිබඳ නිරන්තර අවධාණයෙන් ක්‍රියා කිරීමේ වගකීම ඔවුන් සතු බවයි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසන්නේ ෴

මේ වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් අප්‍රේල් මාසයේ වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 1,884 ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ෴

@@@@@@@@@@@@@@@

(17.06.2021 – 06:07 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1561ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එක් දිනකදී පැය 24 ක කාලයක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙලෙස ඊයේ (16) වාර්තා වී තිබෙනවා.

මේ දක්වා නිරෝධායන නීති කඩ කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් මුළු පිරිස 36,921 ක් පමණවන බවයි පොලොස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

ඒ අනුව මෙම මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ ෴

++++++++++++++++++++

(17.06.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30 ක් සොරාගැනීම සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (16) හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත සේවය කරන රියදුරෙකුට සහ සුළු සේවකයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ පිලිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වයඹ පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමේ තීරණය මේ මස 30 වන දා තෙක් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එම කාලසීමාව තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නැවත ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී අගෝස්තු 31 වන දා තෙක් දඩ මුදල් අය නොකෙරෙන බවයි වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම අන්තර්ජාලය මගින් ලබා ගන්නා තාවකාලික ආදායම් බලපත්‍රවල වලංගු කාලය දින 60 ක් දක්වා දීර්ඝ කිරීමටත් තීරණය කර ඇති බව ඔහු කියා සිටියා.

මේ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අනුමත රුපියල් 7500 ක විශේෂ දීමනාව රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ට ද ලබාදෙන ලෙස සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලීමක් කරනවා.

++++++++++++++++++++++++

(17.06.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව සියයට 61 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඉන්දියාවේ සිදුකළ අධ්‍යයනයකින් මේ බව තහවුරු වී ඇති බවයි එරට ජාතික කොරෝනා ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානී ආචාර්ය එන්.කේ. අරෝරා ප්‍රකාශ කර ඇත්තේ.

සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට කොවිෂීල්ඩ් එන්නත මෙලෙස සාර්ථක ප්‍රතිචාර දක්වන බව අදාළ අධ්‍යයනය මගින් පෙන්වාදී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණේ සති 6 ත් 8 ත් අතර කාලය තුළ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගැනීම වඩා සුදුසු බවයි ෴

+++++++++++++++++++++++++

(17.06.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් ගෙන්වා ගැනීමට රජය කටයුතු කිරීම හේතුවෙන් සුරාබදු ආඥා පනත උල්ලංගණය වී ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මත්පැන් විකුණන ස්ථානයේ ස්වභාවය, විකිණිය යුත්තේ කුමන පුද්ගලයින්ට ද සහ ලබාදෙන වේලාවල් ආදී සියළු නීතිමය තත්ත්වයන් මේ හරහා උල්ලංගණය වන බවයි.

එසේම 2006 අංක 27 දරණ මධ්‍යසාර හා දුම්කොළ ජාතික අධිකාරී පනතේ 31 වන වගන්තියට අනුව වයස අවුරුදු 21 ට අඩු තැනැත්තෙකුට මධ්‍යසාර හා දුම්වැටි අලෙවි කිරීම නීතියෙන් තහනම් වන අතර, ඒ අනුව එය ද මෙම ක්‍රමවේදය හරහා උල්ලංඝනය වන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ.

එසේම ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් මිලදී ගැනීමේ හැකියාව ඇත්තේ ඉතා සීමිත පිරිසකට වන බැවින් ඔවුන් එලෙස මත්පැන් මිලදී ගෙන වැඩි මිල ගණන් යටතේ ඒවා නැවත අලෙවි කිරීමේ අවස්ථාවන් ද මේ හරහා නිර්මාණය විය හැකි බවයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

එමෙන්ම, කොරෝනා වෛරස ව්‍යාප්තිය වැඩිවීමට මත්පැන් භාවිතය බලපාන බවත්, පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට ද මත්පැන් බලපාන බවත් ඒ හරහා එන්නත්වල ඵලදායීතාවය අඩුවන බවත් විද්වතුන් අවස්ථා ගණනාවකදීම විද්‍යාත්මක කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇති පසුබිමක මෙවන් තීන්දු තීරණ ගැනීම පුදුමසහගත බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී ඊයේ (16) මාධ්‍ය හමුවක් කැදවූ අතර එහිදී එම සංගමය ද ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් විකිණීමට ගත් තීරණයට විරෝධය පළ කර සිටියා.

මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 63 දෙනෙකු පමණ මිය යන අතර කොරෝනා ආසාදිතව මේ වන විට පුද්ගලයින් 60 ක් පමණ මිය යන බවයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මොහොතක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හෝ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා නිසි ක්‍රමවේදයක් රට පුරා තවමත් ක්‍රියාත්මක නොවන මොහොතක මත්පැන් අලෙවිය සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම ලැජ්ජාසහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කර සිටියේ ෴

+++++++++++++++++++++

(17.06.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

අප කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ ඇතැම් එළවළුවල තොග මිල කිලෝවක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි වන බවයි.

එමෙන්ම එළවළු බොහොමයක සිල්ලර මිල ග්‍රෑම් 250 පවතින්නේ රුපියල් 80 ත් 90 ත් අතර මිලකයි.

එමෙන්ම අද (17) සහ හෙට (18) දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව තොග වෙළදාම් සිදුකරන පුද්ගලයින්ට සහ ජංගම වෙළදසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට හැකියාව පවතින බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මැනිං පොදු වෙළඳ සංකීර්ණයේ මේ වනවිට දැඩි තදබදයක් පවතින බවයි මැනිං පොදු වෙළදපොළ හා සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා කියා සිටියේ.

වෙළදපොළේ සහල් මිල ගණන් ද මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ සහල් වර්ග රැසක මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව රුපියල් 98 කට පැවති නාඩු සහල් කිලෝවක් අලෙවි වන සිල්ලර මිල රුපියල් 120 ත් 125 ත් අතර වනවා.

එමෙන්ම 84 ත් 85 ත් අතර මිලක පැවති සුදු හා රතු කැකුළු රුපියල් 100 ත්, 115 ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, සම්බා සහල් කිලෝවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 155 ත්, 160 ත් අතර මිලකට වන අතර කීරි සම්බා කිලෝවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 215 ත්, 220 ත් අතර අගයකින්.

++++++++++++++++++++++++

(17.06.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස කිරිපිටි ආනයනික සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලෝක වෙළදපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ දැමීමටයි අදාළ සමාගම් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 350 කින් ද ග්‍රෑම් 400 යේ පැකට්ටුවක් රුපියල් 140 කින් ද ඉහළ දමන ලෙස පාරිභෝගික අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.

කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් මේ වන විට රුපියල් 945 ක මිලකට අලෙවි කෙරෙන අතර, ආනයනික කිරිපිටි සමාගම්වල ඉල්ලීම් පරිදි මිල වැඩි කළහොත් නව මිල 1295 ක් දක්වා ඉහළ යනු ඇති.

ඇමරිකානු ඩොලර් 2800 ක්ව පැවති ලෝක වෙළදපොළේ කිරිපිටි ටොන් එකක් මේ වන විට ඩොලර් 4300 දක්වා ඉහළ ගොස් ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

එමෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ද තම ව්‍යාපාරවලට බලපෑම් එල්ල වී ඇති බවයි ආනයනික සමාගම් පෙන්වා දෙන්නේ.

කිරිපිටි ආනයනකරුවෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

කෙසේ වෙතත්, පාරිභෝගික අධිකාරිය සදහන් කළේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව පත්ව ඇති දුෂ්කරතාවන් සැලකිල්ලට ගෙන මේ මොහොතේ එවැනි මිල ඉහළ දැමීමකට අවසර ලබා දිය නොහැකි බවයි.

++++++++++++++++++++++

(17.06.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – නාවුල ප්‍රදේශයේ ගම්මාන රැසක සිසුන් ඔන්ලයින් ක්‍රමවේදයට අධ්‍යයනය කටයුතු සිදුකිරීම සඳහා දුරකථන සංඥා නොමැති වීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

ඔවුන්ගේ දෙමව්පියන් ප්‍රකාශ කළේ ප්‍රදේශයේ දරුවන් 2000 කට අධික ප්‍රමාණයකගේ අධ්‍යයනය කටයුතුවලට මෙලෙස බලපෑම් එල්ල වී ඇති බවයි.

වසර ගණනාවක සිට දුරකථන සංඥා නොමැතිවීම ගැටළුවක්ව පැවතිය ද ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඉගෙනුම් කටයුතු සිදුකිරීමට සිසුන්ට සිදුවීමත් සමඟ එම තත්ත්වය දැඩි ලෙස බලපෑම් ඇති කරන බවයි ඔවුන් පවසන්නේ.

මේ හේතුවෙන් දිනපතා මෙම සිසුන් කිලෝමීටර් 4 ක් පමණ දුර ගෙවාගෙන කඳු මුදුන් තරණය කර එහි ඇති ජල ටැංකියක් මතට නැග සිය අධ්‍යාපන කටයුතු සිදුකරන බවද වාර්තාවනවා ෴

+++++++++++++++++++++

(17.06.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල දෛනික ආසාදිතයන් ඊයේ (16) 500 ඉක්මවා වාර්තාවී තිබෙනවා.

හඳුනාගත් නව ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 561 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 516 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම රත්නපුර, කළුතර, කුරුණෑගල, යාපනය, පුත්තලම සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා ආසාදිත පොකුරේ රෝගීන් සංඛ්‍යාව 90,000 ඉක්මවා ඇති අතර, එය, 90,637 ක් ලෙස දැක්වෙනවා.

අප්‍රේල් 15 වනදා සිට පශ්චාත් ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 133,061 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දැනට පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා ඉවත් කරන්නේ නම් ඒ සඳහා දැනට දිවයින පුරා සිදුකරන අහඹු කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව තීන්දු තීරණ ගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව සියයට 61 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව ඉන්දියාවේ සිදුකළ අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.

එරට ජාතික කොරෝනා ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානී ආචාර්ය එන්.කේ. අරෝරා ප්‍රකාශ කළේ සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට කොවිෂීල්ඩ් එන්නත මෙලෙස සාර්ථක ප්‍රතිචාර දක්වන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *