‘දීමනාව දෙනවා’ සෞඛ්‍යය කියයි – ‘විශ්වාස නෑ; අපි වර්ජනයේ’ වෘත්තීය සමිති

‘දීමනාව දෙනවා’ සෞඛ්‍යය කියයි – ‘විශ්වාස නෑ; අපි වර්ජනයේ’ වෘත්තීය සමිති

*********************************************

‘දීමනාව දෙනවා’ සෞඛ්‍යය කියයි – ‘විශ්වාස නෑ; අපි වර්ජනයේ’ වෘත්තීය සමිති

(15.06.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය කාර්‍ය මණ්ඩලවලට හැර සෞඛ්‍ය ක්‍ෂේස්ත්‍රයේ සියලුම කාර්‍ය මණ්ඩලවලට වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 7,500 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම දීමනාව ජූනි, ජූලි සහ අගෝස්තු යන මාස 03 සඳහා සෞඛ්‍ය සේවකයින්ට ලබා දෙනු බවයි.

ඉහත තීරණයට එළඹී ඇත්තේ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සහ සෞඛ්‍ය ඇමතිවරිය සමග පැවති සාකච්චාවකදි සිදු කල ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනුයි.

තවද අතිකාල දීමනා ලබා දීමේදී ඔවුන් සේවය කරන කාලයට අනුව එම දීමනා ගෙවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට ඇමතිවරිය විසින් මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම පවතින අනෙකුත් වෘත්තිමය ගැටළු විසඳිම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සතිපතා සාකච්චා කිරීමේ ක්‍රමවේදයක් සැකසීමටද මෙහිදී සාකච්චා වුනා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (15) දින පැවති සාකච්ඡාව සාර්ථක වුවත් එය තහවුරු කළ හැකි ලිපියක් නොලැබුණු නිසා වැඩ සැලසුම් කළ වැඩ වර්ජනය දාහත්වනදා (17) සියලුම රෝහල්වල ක්‍රියාත්මක කරන බව අද (15) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කලා.

රුපියල් 7,500 ක දීමනාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කළද එය සෞඛ්‍ය අමාත්‍යාංශ ලිපි ශිර්ෂයක් නොමැති ලියුමක් හරහා ලබාදුන් බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

හෙට (16) දිනය ඇතුළත එම ලිපිය නිත්‍යානුකූල ආකාරයට ලබා නොදුනහොත් දාහත්වන (17) දින වැඩ වර්ජනය දිවයින පුරා රෝහල්වල සිදු කරන බවත් ඒ සඳහා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එක් ලක්ෂ පනස් දාහකටත් (150,000) අධික පිරිසක් සහභාගි වන බවත් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්චාව සඳහා පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා,රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴

++++++++++++++++++++++++

(15.06.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 1843 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 227,765 ක් වනවා ෴

++++++++++++++++++++++++

(15.06.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

උණවටුන ප්‍රදේශයට පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එන්නත්කරණය සිදුකළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවල බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මේ වන විට පියවරගෙන තිබෙනවා.

අද (15) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය පිළිබද විමර්ශන සිදුකරන පොලීසිය, එන්නත් ලබා ගැනීම සඳහා උණවටුන ප්‍රදේශයේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණි වාහන 54 ක් සම්බන්ධයෙන් දැනටමත් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කර ගනිමින්.

එලෙස හදුනා ගත් වාහන හිමිකරුවන්ගෙන් සහ ඒවායේ පැමිණි පුද්ගලයන් 4 දෙනෙකුගෙන් අද (15) පස්වරුව වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඊයේ (14) අධිකරණයෙන් ලබාදුන් අවසරය මත ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ, එන්නත්කරණයේදී මුදල් ලබාගෙන ඇද්ද යන්න තහවුරු කර ගැනීම සදහායි.

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ පාසල් ළමයින්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි.

කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර තිබෙනවා.

එම සිරුරු භූමදානයට අවසර ලබාදී ඇති ඔට්ටමාවඩි ප්‍රදේශයේ මෙම දේහයන් භූමදානය කර ඇති අතර, මුස්ලිම් ජාතිකයන් 572 නෙකු, හින්දු පුද්ගලයින් 14 දෙනෙකු, ක්‍රිස්තියානි 12 දෙනෙකු සහ බෞද්ධ 7 දෙනෙකු ඒ අතර වනවා.

මේ අතර, ඉදිරි සති දෙක (2) තුළ කොරෝනා මරණවල අඩුවීමක් අපේක්ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර ජනප්‍රිය රංගන ශිල්පිනි ගයත්‍රි ඩයස් මහත්මියගේ මව, පසුගිය 13 වනදා කොරෝනා ආසාදිතව මියගොස් ඇති අතර, ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සියලුදෙනාගෙන් ඉල්ලා තිබුණේ ඔබගේ ආදරණීයයන්ට මෙම මාරාන්තික රෝගයට නිරාවරණය වීමට ඉඩ නොදෙන ලෙසයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අද (15) විරෝධතාවක නිරතවුණා.

ඒ, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිවයි.

කුරුණෑගල පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට අතුරු මාර්ගයක 40 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් එම විරෝධතාව පැවති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,92,478 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අද (15) දිනයේ සුවය ලැබූ 2,014 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව යාමත් සමඟයි.

++++++++++++++++++++++

(15.06.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාධනය වීම හේතුවෙන් ඊයේ (14) දිනය තුළ පමනක් මරණ 55 ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ඊයේ (14) සිදුවූ මරණ අතර වයස අවුරුදු 30 ත් 59 ත් අතර කාන්තා මරණ 6 ක් සහ එම වයස් කාන්ඩයේ පිරිමි මරණ 11 ක් සිදු වී තිබෙනවා

එමෙන්ම ඊයේ (14) මියගිය 55 දෙනාගෙන් 44 දෙනෙක්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්.

ඒ අතර කාන්තාවන් 16 ක් සහ මියගිය පිරිමි පුද්ගලයින් 28 ක් සිටිනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 432 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (15) දිනයේ වාර්තා වූ මුලු ආසාදිතයින් ගණන 2,275 ක් වනවා ෴

නිරෝධායන නීතිය කඩකළ පුද්ගලයන් 1411 ක් ගතවූ පැය 24 තුළ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(16.06.2021 – 07:11 +0530 – hirunews.lk/sinhala)

ඩිලිවරි සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

සංචරණ සීමා පවතින කාලසීමාව මහජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා මෙම බලපත්‍ර ලබා දී ඇති බැවින් ඒවා අවභාවිත නොකරන ලෙසටයි එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ ෴

@@@@@@@@@@@@@@@@

(15.06.2021 – 18:15 +0530 – hirunews.lk/sinhala)

යාපනය කයිට්ස් වෙරළට මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා.

එලෙස ගොඩගසා ඇත්තේ අඩි 20 ක් පමණ දිග තල්මසෙකුගේ සිරුරක් බවයි ප්‍රදේශයේ ධීවරයින් පවසන්නේ.

මේ අතර මන්නාරම වංකාලෙයි වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් ඊයේ (14) ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

එලෙස මුහුදු ජීවීන් මියයාමට හේතුව පසුගියදා කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම විය හැකි බවටයි ප්‍රදේශයේ ධීවරයින් සැක පළ කරන්නේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් මන්නාරම හා යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් හා සාගර ජිවි නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

******************************************

(15.06.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

තෙල් මිල ස්ථායිකරණය සඳහා කැබිනට් මණ්ඩලය ඇති කළ අරමුදල ක්‍රියාත්මක නොවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම අරමුදලේ පැවති රුපියල් බිලියන 48 ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් (2) වෙත ලබාදුන් බවයි.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 ත් 10 ත් අතර අගයකින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියා.

එසේම කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බහලුම් ප්‍රවාහකයන්ගේ සංගමය සඳහන් කළේ තමන්ට සහනාධාරයක් ලබා නොදුනහොත් ලබන මස 01 වනදා සිට බහලුම් ප්‍රවාහනය කිරීමේදී අය කෙරෙන ගාස්තු සියයට 15 කින් ඉහළ දමන බවයි.

මේ අතර, ආණ්ඩුව කඩිනමින් තෙල් මිල පහළ දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කියා සිටියේ ඉන්ධන මිල පහත දැමීමක් සිදුකළ නොහැකි බවයි.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන ලෙස නිකුත් කළ නිවේදනය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කණගාටුව පළ කරන බව අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය, දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

******************************************

(15.06.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා හාබර් මාස්ටර්වරයාගේ සන්නිවේදන කේන්ද්‍රය වෙත එවා තිබූ රේඩියෝ පණිවුඩ පිළිබඳව මේ දක්වා නිසි විමර්ශණයක් සිදුකර නොමැති බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණයේදී ප්‍රකාශ කළා.

මෙම නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ නෞකාවේ පවතින අනතුරුදායක තත්වය පිළිබඳව කපිතාන්වරයා වරින් වර හාබර් මාස්ටර්වරයා දැනුවත් කර ඇති අතර කපිතාන්වරයා විසින් නිකුත් කළ එම රේඩියෝ පණිවුඩ හාබර් මාස්ටර්වරයාගේ සන්නිවේදන කේන්ද්‍රයේ සටහන් වන බවයි.

ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාවේ විමර්ශණවලට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ අද (15) කැඳවනු ලැබුවා.

එහිදී තවදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සන්නිවේදන දත්ත සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කළා නම් සත්‍ය අනාවරණය කර ගැනීමට හැකියාවක් තිබෙන බවයි.

එහෙත් එවැනි පරීක්ෂණයක් නොකිරීම නිසා විමර්ශණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි ඔහු කියා සිටියේ.

එම කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සමාගම විසින් මතු කරනු ලබන සන්නිවේදන පණිවුඩ පිළිබඳව විමර්ශණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.

මේ අතර ගිනි ගැනීමට ලක් වු ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණ සඳහා අධිකරණය විසින් ලබාදෙන නියෝග උල්ලංඝනය කරන පාර්ශවයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ පියවර ගැනීම සුදුසු බව අතිරේක මහේස්ත්‍රාත්වරිය වීවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශණ කටයුතු සඳහා මෙම නෞකාවේ දේශීය නියෝජිතයා වන ‘සී කොන්සෝටියම් ලංකා’ සමාගමේ ඊමේල් දත්ත ගබඩාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස ඉකුත් දා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළත් එම දත්ත ලබාදීම අදාළ සමාගම විසින් පහැර හැර ඇති බවට චෝදනා කළා.

එම අවස්ථාවේ අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කියා සිටියේ අධිකරණය විසින් නියෝග කර ඇත්තේ මෙම විමර්ශණ වලට අදාළ ඊමේල් දත්ත පමණක් ලබාදෙන ලෙස වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ සමාගමේ සමස්ත දත්ත ගබඩාවම තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කරන බවයි.

ඒ හරහා සමාගමේ ව්‍යාපාරික රහස් ප්‍රසිද්ධියට පත්වීමේ අවදානමක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් කියා සිටියේ මෙම නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සමාජිකයන් 27 දෙනා සතු ජංගම දුරකතන, ලැප්ටේප් පරිගණක, කැමරා ආදි ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල අන්තර්ගත දත්තවල පිටපතක් ලබා දීමට අධිකරණ නියෝගයට අනුව අදාළ කාර්ය මණ්ඩල පැහැර ඇති බවයි. නීතිඥවරුන්ගේ උපදෙස් බව සඳහන් කරමින් ඔවුන් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ඔහු අධිකරණයට දැනුම් දුන්නේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය නීතිඥවරයාට පෙන්වා දුන්නේ විමර්ශණවලට සහාය වීමට සෑම පාර්ශවයක්ම බැදී සිටින බවයි.

මෙහිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවත් ඉල්ලීමක් කරමින් අදාළ නෞකාවේ දේශීය සමාගමේ සභාපති අර්ජුන හෙට්ආරච්චි ප්‍රකාශයක් ලබාදීම හිතාමතාම පැහැර හරමින් සිටින බැවින් ඔහුට විදේශගතවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අදාළ සමාගමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ කියා සිටියේ තම සේවාදායකයා හෙට (16) පෙරවරු 09:30 ට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින බව දන්වා ඇති බවයි.

මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් කිලෝමීටර 294 ක පමණ මුහුදු තීරයකට දැඩි පාරිසරික අගතියක් සිදුවන බවට සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් පත්කළ විශේෂ කමිටුව විසින් කරුණු වාර්තා කර ඇති බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ.

මේ අතර නෞකාව ගිනි ගැනීමත් සමඟ සිදු වූ පාරිසරික හානිය නිසා පසුගිය දින 16 තුළ මෙරට වෙරළ තීරයට මියගිය කැස්බෑවන් 25 කු ගොඩ ගසා තිබූ බව වාර්තා වනවා.

අද දිනයේත් කොස්ගොඩ, වැල්ලවත්ත, පානදුර, මන්නාරම වෙරළ තීරවලට මියගිය කැස්බෑවන්ගේ සිරුරු ගොඩගසා තිබුණා.

එමෙන්ම මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබුණේ කයිට්ස් වෙරළ තීරයටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙලෙස ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හේතුවෙන් සිදුවූ හානිය ගණනය කිරීම සඳහා ජගත් සංවිධානයේ නියෝජිතයින් 3 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

******************************************

(15.06.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

පොලීසියට තොරතුරු සපයන කිසිදු පුද්ගලයෙකුගේ තොරතුරු කුමන හේතුවක් නිසා වත් හෙළි නොකරන බව මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා ෴

******************************************

(16.06.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසකින් පා පැදියක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පසුගියදා ඊයේ (15) අලුයම බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී නිවසේ ඉදිරිපස තාප්පයෙන් ඇතුළුවන පුද්ගලයෙකු එම නිවසේ තිබූ පා පැදියක්ද රැගෙන නැවතත් තාප්පයෙන් පැන යන අයුරු මෙලෙස CCTV කැමරාවේ පටිගත ව තිබෙනවා.

එම CCTV දර්ශන පෙළ පහතින් :

******************************************

(16.06.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ල ගබඩාවේ තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50, 52 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරු දෙදෙනෙකු (2) බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

පසුගිය 11 වන දින වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදීයි සැකකාර මන්ත්‍රීවරු දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් අද (16) දින කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් යන්ත්‍රය මිලදී ගත් පුද්ගලයා සහ යන්ත්‍රය ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(16.06.2021 – 07:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව ඇමරිකානු තානාපතිනිය ලෙස ජූලි චංග් පත්කිරීමට එරට ජනාධිපති ජෝ බයිඩ්න් නිර්දේශ කර තිබෙනවා.

දකුණු කොරියානු ජාතිකයෙකු වන ජූලි චං මේ වනවිට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරියක ලෙසයි කටයුතු කරන්නේ.

මීට අමතරව ඇය, තායිලන්තය, ඉරාකය, ජපානය, චීනය සහ වියට්නාමය වැනි රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කර තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ලෙස කටයුතු කරන්නේ ඇලයිනා ටෙප්ලිට්ස්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *