ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ

ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ

*********************************************

ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ

(08.06.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පැනවීම නිසා අක්ෂි රෝහලෙහි සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට යොමුකිරීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සායන අනුව අක්ෂි විශේෂඥ වෛද්‍යවරයාට වෙන් කර ඇති දුරකථන අංක වලට තම නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසටයි.

අදාළ සායනවලට අයත් අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ දුරකථන අංක පහතින් :

තවත් කොරෝනා ආසාදිතයන් 2214 ක් සුවය ලබා අද (08) රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 178,259 දක්වා ඉහළ ගොස් ඇත ෴

තවත් කොරෝනා ආසාදිතයන් 2123 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 210,102 ක් ෴

++++++++++++++++++++++

(08.06.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ස්පුට්නික් එන්නත් පළමු (1) මාත්‍රාව ලබා දුන් සියළු දෙනාට එහි දෙවන (2) මාත්‍රාව ද ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (08) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ලබන සති අන්තයේදි එය ආරම්භ කල හැකි බවයි.

රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මාත්‍රා 65,000 ලබන සිකුරාදා මෙරටට ලැබිමට නියමිතයි.

ඉන් මාත්‍රා 15,000 දෙවන (2) එන්නත ලෙස ගොතටුව ප්‍රදේශයේහි පළමු (1) මාත්‍රාව ගත් පුද්ගලයින්ට ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදි වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් ජනතාවට එහි දෙවන (2) මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (08) ආරම්භ කෙරුණේ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීයි.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කේන්ද්‍රකොට ගෙන ඇති වී තිබෙන නව කොරෝනා පොකුර ශ්‍රී ලංකාවේ සිට නැවත එහි ගිය පුද්ගලයෙකුගෙන් ආරම්භ වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

හෝටල් නිරෝධායනයට ලක්ව සිටි ඔහුගෙන් ඉන්දියාවෙන් පළමුවෙන් සොයා ගැණුනු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පැතිරී ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරින් සනාථ කළා.

මෙරට සුවය ලැබු තවත් කොරෝනා අසාදිතයින් 2214 දෙනෙකු අද (08) සුවය ලැබිමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,78,259 ක් වනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 514 ක් හඳුනා ගැනේ. ඒ අනුව මෙරටින් අද (08) වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 2637 දක්වා ඉහළට ෴

තවත් කොවිඩ් මරණ 54 ක් වාර්තා වී තිබෙනවා. ඒ, මෙතෙක් දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ ගණනයි. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සමස්තය 1844 ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර අද (08) දිනයේ පමණක් මෙරටින් ආසාදිතයන් 2637 ක් හමුවී තිබෙනවා ෴

(08.06.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද (09) අලුයම දිවයිනට ගෙන ආවා. ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් එම එන්නත් තොගය අද (09) අලුයම 5 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ලඟා වූ බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

නිරෝධායන නීති කඩකළ 1034 ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@@@@@

(08.06.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

ණය ගැනීම වෙනුවට ණය නොවන විදේශ විනිමය ගලා ඒම රජය ඉලක්ක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ දෙවන (2) දින සමාරම්භක උත්සවය අමතමින් අග්‍රමාත්‍යවරයා ලොව පුරා ආයෝජකයන්ට ආරාධනා කළේ ශ්‍රී ලංකාව සිය ආයෝජනයන් සඳහා තෝරා ගන්නා ලෙසයි.

******************************************

(08.06.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර නොමැතිවීම එළවළු ගොවීන්ට මෙන්ම පැල තවාන්කරුවන්ට ද බලපෑම් එල්ල කර තිබෙනවා.

පොළොන්නරුව – හිඟුරක්ගොඩ – සිරිකෙත සහ කුමාරගම යන ගම්මානවල ජීවත් වන පවුල් 400 කගේ පමණ ප්‍රධාන ජීවනෝපාය පැල වර්ග අලෙවියයි.

විසිතුරු බෝගන්විලා මෙන්ම අනෙකුත් මල් වර්ගවල පැල රටටම බෙදා හරින මෙම තවාන්කරුවන් කොවිඩ් වසංගතය හමුවේ මෙන්ම රසායනික පොහොර සීමා කිරීම හමුවේ පත්ව ඇත්තේ දැඩි අර්බුදයකාරී තත්ත්වයකටයි.

මල් වගාව සඳහා අවශ්‍ය වන පොලිතින් බෑග්වල මිල ගණන් ඉහළ යාම ද මොවුන්ට එල්ල වූ තවත් බලපෑමක්.

මේ අතර, පොලොන්නරුව – ඇලහැර බකමූණ – නිකහේන, අතරගල්ලෑව, ජයසිරිපුර ගඟයාන යන ප්‍රදේශවල යල කන්නය සඳහා මේ දිනවල ලොකු ළූණූ වගාව සිදු කෙරෙනවා.

පැල තවාන් දමා බිම් සකස් කර තිබුණද වගාව කළ නොහැකි වී ඇත්තේ මඩ පොහොර සහ දියර පොහර හිඟතාවය හේතුවෙන්.

මේ අතර කල්පිටිය අර්ධද්වීපයේ – දළුව, මාම්පුරිය, සින්නපාඩුව, සේතපොළ ආදි ගම්මාමානවල ඉද්දමල් වගාව සිදු කරන වගාකරුවන්ද පොහොර නොමැති වීමෙන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

හින්දු භක්තිකයින්ගේ ආගමික කටයුතු, සැරසිලි මෙන්ම මල්වර, මංගල සහ අවමංගල්‍යය කටයුතුවලටද යොදා ගන්නා ඉද්දමල් මෙන්ම පොහොට්ටුවලට ද තිබුණේ තරඟකාරී ඉල්ලුමක්.

මේ අතර රසායනික පොහොර තහනම් කිරීම මගින් තේ වගාව විනාශයට පත්වන බව පවසමින් කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ සාමාජිකයන් කහදූව ප්‍රදේශයේ දී තේ වගා භූමියක් තුළ ඊයේ (07) නිහඬ විරෝධතාවයක නිරත වුණා.

මේ අතර තිස්සමහරාම නගරයේ පිහිටි කෘෂි රසායන අලෙවි සැලකින් රජය මගින් සහනාධාර ක්‍රමයට රුපියල් 1500 ට ලබාදිය යුතු පොහොර මිටියක් රුපියල් 3500 කට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව අප පසුගියදා තොරුතුරු අනාවරණ කළා.

ඒ අනුව ඊයේ (07) පස්වරුවේ එම ගබඩාව පැමිණි හම්බන්තොට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ගබඩාව පරීක්ෂා කොට ගබඩාකරුට සහ අලෙවිකරුට නඩු පැවරීමට කටයුතු කළ අතර ගබඩාවට මුද්‍රා තැබුවා.

එහිදී අලෙවිකරු සහ ඔහුගේ ඥාතීන් පිරිසක් පාරිභෝග සේවා අධිකාරියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළා.

මේ අතර කාබනික පොහොර මෙරට නිෂ්පාදනය සාර්ථක නොවන බවත් මේ හේතුවෙන් පස විනාශ වන බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ට මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා පවසනවා.

******************************************

(08.06.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බව පොලීසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ විවිධ පුද්ගලයන් සහ පාර්ශවයන් විසින් සමාජ මාධ්‍ය භාවිත කරමින් මහජනතාව වෙත අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට වාර්තා වී ඇති බවයි.

එහිදී මහජනතාව අතර අසමගිය, වෛරය ඇති කිරීම හා කොවිඩ්-19 වැඩපිළිවෙලට බාධා පැමිණවීම සිදුවන බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ඒ අනුව, සමාජ මාධ්‍ය භාවිත කරමින් සංවිධානාත්මකව හෝ පෞද්ගලිකව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෝ ඒ සඳහා සහය දීම හෝ අනුබල දීම සිදුකිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

******************************************

(08.06.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – රත්තොට – පොල්වත්ත ප්‍රදේශයේ ගම්මිරිස් ඉඩමකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට එහි හිමිකරු සිදුකළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (08) පස්වරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා 29 හැවිරිදි අයෙකු බවයි.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පසුව පොලීසියට භාරවී ඇති අතර, අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(08.06.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය පවුම් 40,000 ක ත්‍යාගයක් දෙන බව පවසා ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් 85,000 ක් වංචා කිරිමේ පුවතක් ගාල්ලෙන් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකල අවස්ථාවේ එම මුදල් තැන්පත් කල ගිණුම පිළිබඳ විස්තර ලබාදෙන ලෙස අදාළ පුද්ගලික බැංකුවට ගාල්ල මහේස්ත්‍රාත් අද (08) නියෝග කළා.

එසේම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයා දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් සැකකරු ගාල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා අද (08) නියෝග නිකුත් කලා.

පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ ගාල්ල නගරයේ පදිංචි පුද්ගලයෙකු මුහුණු පොත හරහා මැයි 09 වන දින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු යැයි කියනා පුද්ගලයෙකු හඳුනාගෙන පසුව දෙදෙනා පණිවුඩද හුවමාරු කරගෙන ඇති බවයි.

පසුව එම පුද්ගලයා බ්‍රිතාන්‍ය පවුම් 40,000 ක් වටිනා ත්‍යාගයක් තිබෙන බවත් එය කූරියර් සේවාවක් හරහා එවන්නදැයි ඔහුගෙන් විමසා තිබෙනවා.

පැමිණිලිකරු එයට එකඟවිමෙන් පසු කූරියර් සේවා ආයතනයක නිලධාරියෙකු ලෙස තවත් පුද්ගලයෙකු එම භාණ්ඩ නිදහස් කර ගැනිමට රුපියල් 85,000 ක් අවශ්‍ය බව පවසා ඒ මුදල තැන්පත් කල යුතු පුද්ගලික බැංකුවක ගිණුම් අංකයක්ද ඔහුට දී තිබෙනවා.

ඒ අනුව මැයි 24 වන දින අදාළ මුදල ඔහු විසින් තැන්පත් කර තිබෙනවා.

පසුව නැවතත් එම පුද්ගලයා තවත් රුපියල් 280,000 ක් තැන්පත් කරන ලෙස දන්වා ඇති අතර ඉන් පසුව මේ පිළිබඳ සැක සිතු පැමිණිලිකරු ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුව මෙම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු මැයි 27 වන දින අත්තිඩිය ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිසිය විසින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි 36 හැවිරිදි පුද්ගලයෙක්.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුනා ෴

******************************************

(08.06.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළ කිරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වන රජිව් මැතිව් හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොලඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (08) නියෝග කළා.

ජනාධිපති කාර්යාල වෙබ් අඩවිය ඇතුළු තවත් රජයේ වෙබ් අඩවි කිහිපයක් සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි ‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය’ විසින් පසුගිය 04 දා උදැසන මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබුනා.

පසුව ජනාධිපති කාර්යාලය එම පුවත අසත්‍යක් බව පවසා ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළා.

ඒ අනුවයි රජිව් මැතිව් පසුදා නීතිඥයකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දී තිබුනේ.

මේ අතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව මුලා කරවන පිරිස් පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට භාරදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසුගියදා පවසා තිබුනා.

+++++++++++

+++++++++++

lankacnews.com : Comments

(June 8, 2021 at 7:20 pm)

ඇත්ත වශයෙන්ම මොහු වංචනිකයෙක්. මොහු තමන්ගේ නම ජනප්‍රිය කරගැනීම සඳහා ලිපි ශීර්ෂයකට පමණක් සීමා වූ මෙම ව්‍යාජ නාමික සංවිධානය අටවාගනු ලැබ ඇත. එය පවතින්නේ ‌ලිපි ශීර්ෂයක පමණයි. තොරතුරු තාක්ෂණය සහ පොදුවේ නව තාක්ෂණ ප්‍රවණතා පිළිබඳ මොහු ඉතා පහත් ලෙස, භයානක අන්දමින්, සාමාන්‍ය ජනතාව බිය වන පරිදි, විවිධ ප්‍රකාශ ලියා මාධ්‍ය වෙත විද්‍යුත් තැපැල් මගින් යැවීම පුරුද්දක් කරගෙන තිබුනා. ලංකාවේ මාධ්‍යවේදීන්ගේ නොදැනුවත්කම නිසාම මොහුගේ ලිපි පල කළා. මන්ද ‌‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය’ යැයි කියූ විට හැඟෙන්නේ ඇත්ත සංගමයක් ‌ලෙසයි.

මොහු ඉතා සට කපට ලෙස විකිපීඩියාවේ පිටුවක් සෑදූ අතර, සංවිධානයේ නම ගූගල් හි සර්ච් කළ විට විකි පිටුව එන නිසා බොහො දෙනෙක් රැවටුනා. තවද ඔහු ‌විකිපීඩියාව මෙන්ම නොමිලයේ ලැබෙන ගූගල් සිතියම් සේවාවට නුගේගොඩ ලිපිනයක් යොදා ‘සංගමය’ට කාර්යාලයක් ඇති බව හැඟෙන ලෙස ව්‍යාජ ගූගල් ස්ථානීය තොරතුරු යෙදීමක් සිදු කරා. මේවා සියල්ල සාමාන්‍ය දේවල් නමුත් පොදු ජනතාව රැවටුනා. මාධ්‍යවේදීන් රැවටුනා. දැන් මොහුගේ විකිපීඩියා පිටුව මකා දැමීම සඳහා විකි ඇඩ්මින්ලා අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා.

Yaham Perera

******************************************

(08.06.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කිලෝ හත හමාරක් (7½) සමග ‘පොඩි ලැසි’ නමැති අපරාධකරුගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු බටපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

40 හැවිරිදි මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 6 කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බටපොල කොබෙයිතුඩුව පන්සල අසලදීයි.

පසුව මොහුගෙන් කල වැඩි දුර ප්‍රශ්ණ කිරීමේදී හෙරොයින්වලට සමාන හඳුනා නොගත් තවත් මත්ද්‍රව්‍ය කිලෝ හතකට (7) අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරු පිලිබඳ සිදුකල වැඩිදුර විමර්ශන වලදී තෙල්වත්ත ප්‍රදේශයේ නිවසකට ටි 56 ගිනි අවියකින් වෙඩි තැබිම, බටපොල ඊරියගහදොලදි ‘කොස්ගොඩ තාරක’ගේ මාමා ඇතුලු පස් දෙනෙකුට (5) වෙඩි තබා තුවාල සිදු කිරිම යන චෝදනාවලට අධිකරණයෙන් ඇපලබා සිටින පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා.

සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර බටපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවනු ලබනවා ෴

******************************************

පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ අයදුම්පත් ජූලි 31 දක්වා දීර්ඝ කෙරේ

(08.06.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ අයදුම්පත් ජූලි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා ෴

******************************************

(08.06.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ගිණි ගැනීමට ලක්ව මේ වන විට ගිලෙමින් පවතින ‘එම් වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පැවති ඉන්ධන තොගය පිළිබඳ වාර්තාව සති අන්තයේදී තමන් වෙත ලැබෙනු ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නිතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ නෞකාව ඈත දියඹට රැගෙන යන ලෙස තමන් ලිඛිතව දන්වා තිබුණ ද එය සිදුව නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ඇය සඳහන් කළා.

******************************************

(08.06.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවති සාකච්ඡාවකදීයී.

******************************************

(08.06.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය කළමනාකරණ වගකීම් සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මේ අතර ආර්ථික අපහසුතාවයන්ට රට මුහුණ දී සිටින මේ මොහොතේ සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

******************************************

(08.06.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පවතිද්දීම සිදුකරන නීති විරෝධී වැලි ජාවාරමක් පිළිබඳ තොරතුරු මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිරාඳුරුකෝට්ටේ, අගලඔය මහවැලි ගම්මානයේ පිහිටි අගලඔය වැවේ දින කිහිපයක සිට අනවසරයෙන් වැලිකැණීම් සිදුකෙරෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඒ අනුව අප එහි යනවිටත් නීතිවිරෝධී ලෙස ට්‍රැක්ටර් රථ ගඟට ඇතුළු කර බැරල් යොදා සකසා ගත් පාරුද යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකරන ආකාරය දැකගත හැකි වුණා.

ප්‍රදේශවාසීන් පැවසුවේ දින කිහිපයක සිට දිවා රෑ නොතකා මෙම වැලි ජාවාරම සිදුකරන බවයි.

******************************************

(08.06.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයෙන් සිදු වූ පුද්ගල මරණ ගණන 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 10 ක පුද්ගලයින් 176,419 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

(09.06.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව වේල්ල වීදියේ පස් (5) මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 5 ක් යොදවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ ෴

******************************************

(08.06.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

අදත් (09) දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට මෙලෙස වැසි ඇතිවනු ඇති.

මෙහිදී සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය ප්‍රකාශ කළේ.

මේ අතර මෙරට වැසි ආපදාවලින් මියගිය සංඛ්‍යාව විස්ස (20) දක්වා ඉහළ ගියා.

කෙසේ නමුත් කැළණි, කළු සහ ගිං ගංඟාවල මෙන්ම මහඔයේ ජල මට්ටම් මේ වනවිට සාමාන්‍ය අතට පත්වී ඇති අතර, නිල්වලා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් යළි ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින අතර, අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

කොළඹ ගාල්ල , ගම්පහ, කළුතර , මහනුවර, කෑගල්ල , මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයෑමේ අවදානම අද (09) පස්වරු 04:30 දක්වා තවදුරටත් ක්‍රියාත්මකයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (30-40) දක්වා වැඩි වීමට ඉඩ තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *