තවත් කොරෝනා මරණ 40 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1696 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 40 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1696 දක්වා ඉහළට

*********************************************

තවත් කොරෝනා මරණ 40 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1696 දක්වා ඉහළට

(05.06.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

අද (05) දිනයේ කොරෝනා වෛරස් ආසාදිත මරණ 40 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1696 ක් ලෙසටයි.

එක් මරණයක් (1) අද (05) දිනයේ සිදුවී ඇති අතර අනෙක් මරණ 39 සිදුවී ඇත්තේ මැයි මස 21 වනදා සිට ඊයේ (04) වනදා දක්වායි.

මෙම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 23 දෙනෙකු ද වනවා.

ඉන් 09 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 6 ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 814 ක් වාර්තා වනවා. ඒ සමඟ අද (05) දිනයේ මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3094 ක්. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 202,348 ක් ලෙස සටහන් වනවා ෴

++++++++++++++++++++++

(06.06.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති සහ සංචරණ සීමා කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 995 දෙනෙකු ගතවූ පැය 24 ක කාලය තුල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 138 ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

129 දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර 75 දෙනෙකු නිකවැරටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ ලබන 14 වනදා දක්වා මෙම සංචරණ නීති ක්‍රියාත්මක වන බවයි.

පසුගිය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වනදා දක්වා ගතවු කාලය තුල නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 23,945 ක්.

+++++++++++++++++++++++

(06.06.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා බල පැවැත්වෙන කාලසීමාව තුළදී කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහා මෙතෙක් ලබා දුන් එක් (1) දිනකට පමණක් සීමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට (07) සිට නව ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අනුව කොළඹ නගරයට ඇතුළු වන ස්ථානවල දී තමන්ගේ සියලු විස්තර ලබා දීමෙන් අනතුරුව දිනපතා කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහා මෙම නව ස්ටිකර්ය අලවනු ඇති.

එම ස්ටිකරය සංචරණ සීමා බලපැවැත්වෙන සියළු කාලයන්ට අදාල අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ මෙම නව ක්‍රමය තුළින් කොළඹ නගරයට ඇතුළු වන වාහන මුහුණදෙන ප්‍රමාද වීමේ ගැටළුවට විසඳුම් ලැබෙන ඇති බවයි.

එමෙන්ම මෙම නව ස්ටිකර් ක්‍රමය අව භාවිතා නොකරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කරනවා.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේ ඊයේ (05) දිනයේ කොළඹට ඇතුලු වූ වාහනවල අඩුවක් දක්නට ලැබෙන බවයි.

එය සෙනසුරාදා දිනයක් වීම ඊට හේතුව වන්නට ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.

ඊයේ (05) උදෑසන 06:30 ත් 09:30 ත් අතර කාලය තුල සිදුකළ සමීක්ෂණයට අනුව කොළඹට ඇතුලුවී ඇති වාහන සංඛ්‍යාව 42,473 ක් පමණයි.

සාමාන්‍යයෙන් සතියේ දිනක එම සංඛ්‍යාව 60,000 ත් 70,000 ත් අතර සංඛ්‍යාවක් වනවා.

සංචරණ නීති ක්‍රියාත්මක වන සාමාන්‍ය දිනකට වඩා ඊයේ (05) දිනයේ කොළඹට වාහන ඇතුලුවීමේ සියයට 25 ක අඩුවක් දක්නට ලැබුනා.

ඊයේ (05) කොළඹට ඇතුලුවූ වාහනවලින් වැඩිම සංඛ්‍යාවක් මූල්‍ය ආයතනවලට අයත් වන අතර එම සංඛ්‍යාව 9861 ක්.

එය සමස්ත ප්‍රමාණයෙන් සියයට 23 ක්. කිසිදු හේතුවක් නොමැතිව කොළඹට ඇතුලුවීමට උත්සාහ කළ වාහන 931 ක් ආපසු හරවා යවා තිබෙනවා.

එමෙන්ම තදබල ලෙසට නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝණය කළ වාහන සහ එහි ගමන් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ ෴

++++++++++++++++++++++

(06.06.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් අද (06) ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒවා දෙවන (2) මාත්‍රාව ලෙසට යොදා ගැනීමට සහ තවත් දිස්ත්‍රික් 12 ක එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා ද යොදාගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රා 15,000 ක් ලබන සිකුරාදා (11) ලැබීමට නියමිත බවයි.

එය ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මීට පෙර ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ගත් අයට ලබාදීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

එමෙන්ම තවත් ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රා 50,000 ක් එදින ලැබීමට නියමිත අතර ඒවා මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණයට යොදා ගැනෙනු ඇති.

මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (05) ලක්ෂ දෙකේ (2) සීමාව ඉක්මවා ගියා.

ඒ නව ආසාදිතයින් 3,103 ක් හඳුනාගැනීමත් සමඟයි.

ඒ අතුරෙන් 3,094 ක් අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගැනුනු අතර, 9 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අයයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 202,357 ක් ලෙස මේ වනවිට සටහන් වනවා.

ඊයේ (05) දිනයේදී තවත් කොරෝනා මරණ 40 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එම මරණ පසුගිය මැයි 21 වනදා සිට ජූනි 04 වනදා දක්වා සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔවුන් අතරෙන් බහුතරයකගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමඟ ඇතිවූ කොවිඩ් නියුමෝනියාවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 1,696 ක් වාර්තාවන අතර, එහිදී මියගිය පිරිමි පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,004 ක් ලෙස සටහන් වනවා.

ඊයේ (05) දිනයේදි ආසාදිතයින් 1851 ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු පිරිස 1,66,000 දක්වා ඉහළ ගියා ෴

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් අද (06) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ චීනයේ බීජිං සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 869 ගුවන් යානයෙන් අද (06) අලුයම 05:10 ට පමණ එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන ආ බවයි.

පසුව එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාරදී ඇති අතර, අනතුරුව රජයේ මධ්‍යම ඖෂධ ගබඩාව වෙත රැගෙන ගිය බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

@@@@@@@@@@@@@@@

(05.06.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් එක් අයෙකු අතුරුදන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ලවූ කාලගුණික තත්වයෙන් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව 219,027 ක් ෴

කැළණි ගඟ, අත්තනගලු ඔය සහ මා ඔය අවට පහත් බිම් අවට ජනතාවට තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසට ආපදා කළමානරණ මධ්‍යස්ථානය දැනුම්දෙනවා. ඒ එම ගංගාවල ජල මට්ටම ඉහළ යාමේ අවධානම හේතුවෙන් ෴

******************************************

(05.06.2021 – 22:36 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමග මේවන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ගොවීන් මැසිවිලි නගන්නේ රජය මගින් ලබාදෙන සහනාධාර පොහොරද නිසි අයුරින් තමන්ට නොලැබෙන බවයි.

රසායනික පොහොර සහ ප්‍රමාණවත් තරමින් කෘෂි රසායන ද්‍රව්‍ය නොලැබීමෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් මුහුණදී සිටින්නේ දැඩි ගැටලුවකටයි.

ගලේවෙල ගොවි ජන සේවා මධ්‍යස්ථානයට ලැබී තිබුණු පොහොර ලබා ගැනීමට පැමිණි අතිරේක බෝග වගා කරන ගොවීන් 500 කට අධික පිරිසකට නිසි ලෙස පොහොර බෙදා නොදීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මේ අතර, බදුල්ල – කැප්පෙටිපොල ප්‍රදේශයේ ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩසටහනක් ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක කර තිබුණද එහි පැමිණි ගොවීන්ට ලබාදීමට ප්‍රමාණවත් පොහොර තොග නොමැති වීමත් සමග ගොවීන් දැඩි පීඩාවට පත්වුණා.

මේ අතර, රජය මගින් ලබාදෙන සහනාධාර පොහොරද සිය වගාවන් සඳහා මෙතෙක් නොලැබුණු බවට නැගෙනහිර ගොවීන් මැසිවිලි නගනවා.

******************************************

(06.06.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ ‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් විසි දෙනකු (20) ගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නැවේ කපිතාන්වරයා, ඉංජිනේරුවරුන් දෙදෙනෙකු (2) මෙන්ම නෞකාවේ ප්‍රධාන නිලධාරියා ඇතුලු පිරිසක් ඊට අයත්.

එමෙන්ම ඊයේ (05) දිනයේදී නාවික ගමනාගමනයේදී නැව් සන්නිවේදන සබඳතා පටිගත කෙරෙන voice data recorder (‘වීඩීආර් යන්ත්‍රය’) හෙවත් පණිවිඩ දත්ත හුවමාරු පටිගත කිරීමේ පද්ධතිය නාවික හමුදාවේ ද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

වෙළඳ නාවික ලේකම් කාර්යාලය සහ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (05) දිනයේදී එම නැව වෙත ගොස් එහි ‘වීඩීආර් යන්ත්‍රය’ ගළවා රැගෙනවිත් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණා.

මෙහි ඇති දත්ත පරීක්ෂා කිරීමෙන් පසු නෞකාව සහ එය ආ ගිය වරායන් සමග පැවති පණිවුඩ පිළිබඳ තොරතුරු ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ නෞකාවේ කපිතාන්වරයා නෞකාව අයත් මව් සමාගම මෙන්ම දේශීය නියෝජිතයන් අතර සිදුවූ සංවාද මෙම විමර්ශණවලදී බෙහෙවින් වැදගත් බවයි.

ඒ හේතුව මතයි අදාළ දත්ත සටහන් යන්ත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත්තේ.

එම නෞකාව අයත්වන ගළවාගැනීමේ සමාගම් විසින් ඊයේ (05) එහි දියයට නිරීක්ෂණයන්ද සිදුකර තිබෙනවා.

එහි වාර්තාව නුදුරු දිනකදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය හා වෙළඳ නාවික ලේකම් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන වෙත ඉදිරියේදී භාරදීමට නියමිතයි.

මෙම නෞකාවෙන් සිදුවූ හානිය සඳහා නිතීමය පියවර ගැනිම සඳහා හෙට (07) සිට සාකච්ඡා ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර නෞකාවේ ගින්න හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනයට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව ලංකා ලුණු සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සඳබරණ මහතා අවධාරණය කළා.

******************************************

(06.06.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

පස් කඳු කඩාවැටීමක් හේතුවෙන් කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ගයක් ලෙසට හෙට්ටිමුල්ල – බුලත්කොහුපිටිය මාර්ගය භාවිත කළ හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ.

******************************************

(06.06.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සංචරණ සීමා අතරතුර වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාවක් ඊයේ (05) දිනය තුල සිදුවී ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ දිවයින පුරාම නිරෝධායන නීති සහ සංචරණ නීති ක්‍රියාත්මක වන පසුගිය මාස 15 ක කාලය තුල පැය 24 ක් තුල වැඩිම අනතුරු සිදුවී ඇත්තේ ඊයේ (05) දිනය තුල බවයි.

අද (06) උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුල මාරක රිය අනතුරු 6 කින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

දිවයින පුරාම පූර්ණ වශයෙන් සංචරණ සීමා ක්‍රියාත්මක අවස්ථාවක මෙවැනි තත්වයක් සිදුවීම කණගාටුවට කරුණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

කුරුණෑගල, ගල්නෑව, වටවල, නුවරඑළිය, යක්කල සහ වාද්දුව යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුවී තිබෙනවා.

ඔවුන්ගෙන් 4 දෙනෙකු යතුරුපැදිවල ගමන් කළ අය වන අතර එක් අයෙක් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථ අනතුරකින්.

සංචරණ සීමා හේතුවෙන් මාර්ගවල වාහන නොමැතිවීම හේතුවෙන් අධික වේගයෙන් වාහන ධාවනය කිරීම මෙම අනතුරුවලට හේතුව බව අජිත් රෝහණ මහතා පෙන්වා දෙනවා ෴

******************************************

(06.06.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක අටකට (8) බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වනවිට පවුල් 54,126 කට අයත් පුද්ගලයින් 219,027 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගල මරණ 10 වාර්තා වී ඇති බවයි. එසේම, තවත් අයෙකු (1) අතුරුදන් වී ඇති බව ද එහි සඳහන්.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ කැළණි, කළු, නිල්වලා සහ මහවැලි මෙන්ම මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් පහළ බසිමින් පවතින බවයි.

කෙසේ නමුත් ගිං ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්වයක් වාර්තාවනවා.

ඊයේ (05) දිනයේදී කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබූ අතර, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මධුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කළුගං නිම්නයේ පහත් බිම්වල ජලගැලීම් වාර්තාවුණා.

අත්තනගලු ඔය ද්‍රෝනියේ මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වය ඊයේ (05) සන්ධ්‍යාව වනතුරු පැවති බව සඳහන්.

එමෙන්ම, බියගම – කඩුවෙල මාර්ගය, වත්තල සහ ජා-ඇල පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ අතුරුමාර්ග සහ නිවාස රැසක් පසුගිය 03 වනදා සිට ජලයෙන් යටවී තිබූ බව වාර්තා වුණා.

මහඔය ද්‍රෝණියේ ජල ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීමත් සමඟ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබුණා.

එමෙන්ම, කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය, මාතලේ, මහනුවර, කළුතර, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම අද (06) පස්වරු 05:30 දක්වා තවදුරටත් දීර්ඝ කෙරුණා.

මේ අතර, ජලාශ කිහිපයක් වාන්දොරටු තවමත් විවෘත කර තිබෙනවා.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඊයේ (05) පස්වරුව වනවිට පාරිභෝගිකයන් 103,000 කට පමණ විදුලි බලය ඇණහිට තිබුණා.

විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට ඉන් බොහෝ පිරිසකට විදුලි සැපයුම ලබාදී ඇති බවයි.

මේ අතර, නිරිතදිග මෝසම සක්‍රියව පැවතුනද වැසි තත්වයේ අඩුවීමක් අද සිට දැකිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා කියා සිටියා ෴

******************************************

(06.06.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

පරිසරය දිනය යෙදී තිබූ ඊයේ (05) දිනයේදී වනජීවී නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවීමේ පුවතක් වාර්තාවුණා.

ඒ, බලලුවැව වනජීවී රක්ෂිතයේ ඉදිකර ඇති නීතිවිරෝධී ගවගාලක් ඉවත් කිරීමට යාමේදියි.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එම මෙහෙයුම සඳහා එක්ව ඇති අතර, එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී තවත් පිරිසක් එක්ව වනජීවී නිලධාරීන්ට මෙලෙස පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ.

පහරදීමෙන් පසුව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට තැත් කළ සැකකරු වනජීවී නිලධාරීන් සතුව තිබූ අත්විලංගුවක්ද උදුරාගෙන පලාගොස් ඇති බව සඳහන්.

පහරකෑමට ලක්වූ වනසත්ව නියාමකවරයෙකු ප්‍රතිකාර සඳහා ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් ගල්කිරියාගම පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් අනතුරුව සැකකරුවන් හතරදෙනෙකු (4) ද රෝහල්ගතවී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

(06.06.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත්ව ඇති මානව හිමිකම් යෝජනාව ඉදිරියට ගෙන නොයන ලෙස එක්සත් ජනපද විදේශ කටයුතු කමිටුවෙන් ලක් රජය නිල වශයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ වොෂිංටන්හි තානාපති රවිනාථ ආරියසිංහ මහතා මගින්.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ, නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් සහ තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු පසුගිය මැයි 18 වැනි දින අංක 413 දරණ අදාල යෝජනාව ඉදිරිපත් කළා.

අනතුරුව ඒ පිළිබඳ මෙරට විදේශ අමාත්‍යාංශය අවධානය යොමු කරනු ලැබුවා.

සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු කළ ශ්‍රී ලංකා රජය එම යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව දැඩි ලෙස විරෝධය පළ කළේ ඉන් අනතුරුවයි.

මෙම යෝජනාවේ සාවද්‍ය, පක්ෂග්‍රාහී සහ ඒක පාර්ශ්වීය ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී, මෙය හුදු මානව හිමිකම් යෝජනාවක් නොවන බව සඳහන් කළ හැකි බවයි විදේශ අමාත්‍යාංශයේ මතය වුණේ.

මෙය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන එන ලද්දක් බව ලක් රජයේ අදහසයි.

අනතුරුවයි ශ්‍රී ලංකා රජය සිය ප්‍රතිචාරය වොෂිංටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා, කොන්ග්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවේ සහ එම සභාවේ ආසියාව පිළිබඳ අනු කමිටුවේ නියෝජිතයින් වෙත සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත යොමුකර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා රජය පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන චෝදනා අඩංගු යෝජනාවේ අන්තර්ගතයට දැඩි ලෙස විරුද්ධ බවයි. පක්ෂග්‍රාහී සහ සනාථ නොකළ, යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු වන බවද රජය දන්වා තිබෙනවා.

1997 සිට එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද එල්ටීටීඊය ‘සන්නද්ධ ස්වාධීන සංවිධානයකට’ සමාන කරන අදාල යෝජනාව යථාර්ථයන් වැරදි ලෙස නිරූපණය කරන බවද ලක් රජය එහිදී පවසා තිබෙනවා.

සියලු‍ම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සහ නිදහස් කිරීම සඳහා වූ මානුෂීය මෙහෙයුම 2009 මැයි මාසයේදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙහිදී පුලුල් ලෙස අවධාරණය කරනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *