සංචරණ සීමා කඩකරන්නන් සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම්

සංචරණ සීමා කඩකරන්නන් සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම්

*********************************************

සංචරණ සීමා කඩකරන්නන් සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම්

(04.06.2021 – 21:00 +0530 – hirunews.lk/sinhala)

​හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු ආහාර ද්‍රව්‍ය රුපියල් 1000 ක සහන මල්ලක් ලෙස ලබාදීමේ වැඩසටහනක් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ආරම්භ කෙරුණා.

මේ අතර සංචරණ සීමා කඩකරන්නන් සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

සංචරණ සීමා පණවා ඇති අද (04) දිනයේත් කොළඹ නගරයට විශාල රථ වාහාන ප්‍රමාණයක් ඇතුලු වන ආකාරය දක්නට ලැබුණා.

බස්නාහිර පළාතට ඇතුලු වන සහ පිට වන ස්ථාන 14 කදී ගත වූ දිනයේ සිදු කරන ලද පරික්ෂාවන් වලදී පුද්ගලයින් 4191 ක් සමග ඔවුන් පැමිණි වාහන 2369 ක් පරික්ෂාවට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මීට අමතරව සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් අතර ගමන් කිරීමට තැත් කළ පුද්ගලයින් 275 ක් ආපසු හරවා යවා තිබෙනවා.

මේ අතර කළුතර දකුණ රථ වාහන අංශය විසින් මාර්ග බාධක යොදා මගීන් හා වාහන පරික්ෂාවක් සිදු කළ අතර මාතර සිට ජාතික රෝහල දක්වා යැයි සඳහන් බස් රථයක් පරික්ෂා කිරීමට යාමේදී එය පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියකු යතුරුපැදියකින් හඹා ගොස් අදාල බස් රථය පරීක්ෂා කිරීමේදී එම බස් රථය තුළ සෞඛ්‍ය අංශයේ නොවන වෙනත් රජයේ සේවකයින්ද ගමන් ගන්නා බව අණාවරණ වී තිබෙනවා.

මේ අතර පෑළියගොඩ මැනිං වෙළදපොලේ එලවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයත් උද්ගව ඇති බවට වෙළෙදුන් පෙන්වා දෙනවා.

මේ අතර සතොස ඇතුළු අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘත කිරීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ගමන් කළ පුද්ගලයින්ට පොලිසිය දැඩිව අවවාද කළා.

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් සතොස හරහා අද (04) ආරම්භ කෙරුණා.

ඒ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන්.

මේ අතර, පනවා ඇති සංචරණ සීමා නොතකා දේව මෙහෙයන් සඳහා සහභාගි වූ 14 දෙනෙක් නිරෝධායනයට යොමු කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබෙනවා.

++++++++++++++++++++++

(04.06.2021 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (04) දිනයේ සටහන් වුනා.

ඒ මරණ 48 ක්. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1656 ක් ලෙසටයි.

අද (04) දිනයේ දිනයේ කිසිදු කොවිඩ් මරණයක් වාර්තාවී නොමැති අතර අද (04) තහවුරු කළ මරණ සිදුවී ඇත්තේ පසුගිය මැයි මස 11 වනදා සිට ඊයේ (03) දිනය දක්වායි.

මෙම පිරිස අතර කාන්තාවන් 23 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු වනවා.

ඉන් නිවසේදී 18 දෙනෙකු මියගොස් ඇති අතර එක් අයෙක් රෝහල්ගත කරන අවස්ථාව වන විට මියගොස් තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී 29 දෙනෙකු මියගොස් තිබෙනවා.

අද දිනයේ මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 3398 ක් ද වාර්තාවුනා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 199,254 ක් වාර්තාවී ඇති අතර ඉන් 33,317 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 164,281 ක්.

++++++++++++++++++++++

(05.06.2021 – 06:20 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනය තුල පුද්ගලයින් 975 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

ඒ අනුව නිරෝධායන නීතිය ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 22,950 ක් එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++

(05.06.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරන වැඩසටහන යටතේ ඊයේ (04) දිනයේදී සයිනෝෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 38,943 කට සහ කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 501 දෙනෙකුට ලබා දී තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) දිනයේදී එන්නත්කරණයට ලක් කළ මෙරට පුද්ගලියන් සංඛ්‍යාව 39,444 ක්.

මේ අතර මෙරට එන්නත්කරන වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් නිවේදනයක් ප්‍රධාන වසංගත විද්‍යාඥවරයාගේ අත්සනින් යුතුව නිකුත්කර තිබෙනවා.

+++++++++++++++++++++++

(05.06.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය විසි හතර (24) තුළදීත් අලුතින් කොරෝනා ආසාදිතයන් 3410 ක් වාර්තාවී තිබෙනවා.

එයින් 3398 ක් ‘අලුත් අවුරුදු පොකුරෙන්’ වාර්තා වූ අතර, විදේශ ගතව සිට පැමිණි 12 දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා.

එමෙන්ම මෙරටින් තවත් කොරෝනා මරණ 48 ක් ඊයේ (04) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1656 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිතයින් 1884 දෙනෙකු ඊයේ (04) සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

සුවය ලැබූ මුළු සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 1,64,281 ක් ලෙසයි.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ලබා ගත් ජෛව සාම්පල 96 ක් උපයෝගි කරගනිමින් කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳ පරික්ෂණ ක්‍රියාත්මක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදි ඔහු කියා සිටියේ ඉදිරි සති දෙක තුන (2-3) තුළ අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙන බවයි.

මේ අතර ස්පුටිනික් එන්නත් 65,000 ක් ලබන සතියේ දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා.

ඉන් එන්නත් 15,000 දෙවන (2) මාත්‍රාව සඳහා ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවා.

එසේම ජීවිත අවදානම නොතකා කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් හෝ ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ පහසුකම් ලබාදීම වෙනුවට ආණ්ඩුව සෞඛ්‍ය සේවකයන්ට සේවා අනිවාර්ය කිරිම පමණක් සිදුකර ඇති බවයි ෴

++++++++++++++++++++

(05.06.2021 – 09:13 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත මෘත දේහයක් අවසන් කටයුතු සඳහා රැගෙන යමින් තිබු ගිලන් රථයකට ආරක්ෂාව සැපයු වෑන් රථයක් වටවල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් පොලිස් නිලධාරීයෙක් (1) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (05) උදෑසන මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොවිඩ් ආසාදිත 79 හැවිරිදි කාන්තාවගේ මෘත දේහයක් හැටන් සිට ඔට්ටමාවඩි ප්‍රදේශයට රැගෙන යන අවස්ථාවේදි ඊට ආරක්ෂාව සඳහා ගමන් ගත් වැන් රථයක් ගිනිගත්හේන 59 කිලෝමිටර් කණුව අසලදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණය සමඟ අදාළ වැන් රථය මාර්ගයේ ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති බව පොලිසිය සඳහන් කළා.

ඉන් වැන් රථයේ ගමන් ගත් හැටන් පොලිසිය අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙකු ජිවිතක්ෂයට පත් වුණා.

එහි සිටි පොලිස් සැරයන්වරයෙකු (1), කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙන්ම වැන් රථයේ රියදුරා (1) ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

+++++++++++

@@@@@@@@@@@@@@@@

(04.06.2021 – 21:15 +0530 – hirunews.lk/sinhala)

දේශීය මට්ටමින් කාබනික පොහොර නිශ්පාදනය කිරීමට හැකි බැවින් කිසිඳු පොහොර ආනයනයක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

කෙසේවෙතත් වෙනත් රටවල තිබෙන කසළ කාබනික පොහොර මුවාවෙන් මෙරටට ආනයනය කිරීමේ කූඨ උවමනාවක් මතුව ඇති බවට සැකයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා.

******************************************

(04.06.2021 – 22:53 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාවත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වැසි ජලයට දැවි තෙල් මිශ්‍ර වී තිබෙනවා.

ඒවා කැළණි ගඟට එක්වීමේ අවදානමක් පැවතීම හේතුවෙන් එම තත්වය වැළැක්වීමට සහ ඉන්ධන පැතිරීම වැළැක්වීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.

පැවති දැඩි වර්ෂාපතනය හමුවේ පිරිපහදුවෙන් ඉවත්වන ඉන්ධන නැවත පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි තුලට (Separator Tanks) වැසි ජලය ඇතුලුවී පිටාර ගලා ගොස් තිබෙනවා.

වැසි ජලය සමග එක්වූ එම ඉන්ධන පැතිර යාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගංවතුර තත්වයක් ඇතිවී ඇති අතර වැසි ජලය සමග මිශ්‍රවී ඇති මෙම දැවිතෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩුවීමෙන් පසු කැළණි ගඟේ ජල මට්ටම අඩුවීමත් සමග පට්ටිවෙල ඇල හරහා කැළණි ගඟට එක්වීමේ අවදානමක් පවතින බවයි.

ඒ අනුව දැවි තෙල් මිශ්‍රිත ජලය කැළණි ගඟට එක්වුවහොත් කැළණි ගඟෙන් ජලය ලබාගන්නා බියගම සහ අඹතලේ ජල පවිත්‍රාගාර මගින් පානීය ජලය බෙදාහැරීමට ද බලපෑමක් ඇතිවිය හැකියි.

එම බලපෑම මැඩපැවැත්වීමට මෙන්ම ප්‍රදේශයේ සිදුවිය හැකි පාරිසරික බලපෑම මැඩපැවැත්වීම සඳහා පාවෙන ඉන්ධන බාධක (Floating Boom) යෙදීමටත් එම දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් (Oil Skimmer) මගින් පෙරා ඉවත් කිරීමටත් කටයුතු සිදුකරමින් පවතින බව නාවික හමුදාව කියාසිටියා ෴

******************************************

(05.06.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (05) දිනය තුල විටි විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට පමණ තද වැසි ද ඇතිවිය හැකියි.

වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

සෙසු ප්‍රදේශ වල අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

******************************************

(05.06.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (04) පෙරවරුවේ පැවැත් වුණා.

ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එම හමුවේදී කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ කෙරෙහි ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස්වරිය එන්නත්කරණ ක්‍රියාවලියට ලබාදිය හැකි සහාය පිළිබඳව අදහස් පළ කළා.

වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහායට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳව ද මහ කොමසාරිස්වරියගේ අවධානය මෙහිදී යොමු තිබෙනවා.

2030 වසර වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත්, සූර්ය ශක්තිය ගබඩාකරණයට සහ සම්ප්‍රේෂණයට සහාය වීමටත් ඇය එකඟතාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපතිවරයා ගත් තීරණය මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

මේ අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටි බව සඳහන්.

******************************************

(05.06.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු (4) අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

දැඩි වර්ෂාපතනයත් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයට නායයැමේ අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවා තිබුණා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල – දෙවනගල පස්කන්දක් කඩා වැටිමෙන් නිවසක් යටවී ඇති බවටයි පොලිසිය වාර්තා වි ඇත්තේ ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර යැවු බව මවනැල්ල පොලිසිය සඳහන් කළා.

මේ අතර, කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි ෴

******************************************

(05.06.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

සීනි නිෂ්පාදනයේදී ඉවතලන අපද්‍රව්‍ය භාවිත කර කාබනික පොහොර නිෂ්පාදනයට සැලසුම් සකස් කර ඇති බව සෙවනගල සීනි සමාගම පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර මහතා සඳහන් කළේ ඒ සඳහා මෙතෙක් වාර්ෂිකව රසායනික පොහොර සඳහා වැය කල රුපියල් කෝටි 25 ක මුදල යොදා ගැනීමට හැකියාව පවතින බවයි.

රසායනික පොහොර භාවිත කිරීමෙන් ලබා ගත් ඵලදාව නොවෙනස්ව කාබනික පොහොර භාවිතා කිරීම තුලින් පමණක් ඒ ආකාරයෙන්ම ලබා ගත හැකිද යන්න පිළිබදව සිදුකළ පර්යේෂණ වලින් අනතුරුවයි සෙවනගල සීනි සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව, මේ වනවිට සීනි සමාගම තුල අතිවිශාල කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ අංගනයක්ද ඉදිවෙමින් පවතින බව එහි විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා මහනුවර ප්‍රදේශයේදී ඊයේ (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි නොමැති වීම හේතුවෙන් මෙරට තුල කාබනික පොහොර නිෂ්පාදනය අසීරු කටයුත්තක් බවයි.

එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට මෙරට නීතිය තුල ප්‍රතිපාදන නොමැති බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

මෙවන් පසුබිමක් තුල ඊයේ (04) කොළඹ පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ කාබනික පොහොර ආනයනය කිරිමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

මෙරටට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් රට තුල නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව ඔහු සදහන් කළා ෴

******************************************

(05.06.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

රටපුරා සංචරණ සීමා පනවා ඇතත් නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම පවත්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ පසුගිය රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 08 වනදා දක්වා කල් තැබූ හෙයින් එදින රැස්වීම අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවයි.

මීට අමතරව, ලබන 9, 10 සහ 11 දිනවලදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ලබන සඳුදා (07) රැස්වනවා.

එදින පෙරවරු 09:30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වේත්‍රධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

(05.06.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ඇදහැලෙන වැසි අදින් පසුව ක්‍රමයෙන් අඩුවෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ සබරගමු පළාත් වලට අද (05) දිනයේ මිලිමිටර් 100 දක්වා තද වැසි ඇති විය හැකි බවි කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදිකා රණවීර මහත්මිය ප්‍රකාශ කළා.

පවතින වැසි තත්ත්වය හමුවේ කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගලයන් 1,30,000 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ කළුගඟ ද්‍රෝනියේ ගංවතුර අවදානම් නියෝගය අද (05) දහවල් දක්වා දීර්ඝ කරන බවයි.

හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මධුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කළුගං නිම්නයේ පහත් බිම්වල දැනට පවතින ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ ද පවතිනු ඇති.

එමෙන්ම අත්තනගලු ඔය ද්‍රෝනියේ මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ගංවතුර තත්ත්වය සුළු වශයෙන් වැඩිවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියා ෴

******************************************

(05.06.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම සහ සිදුවූ විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය ඉල්ලිමක් කරනවා.

ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

මේ අතර නෞකාවෙන් මුහුදට එක්ව වෙරළට ගොඩගැසූ අපද්‍රව්‍ය ටොන් 300 ක් පමණ දැනට එක්රැස් කර ඇති බව, ගුවන් හමුදාව පැවසුවා.

එසේම ශ්‍රී ලංකාව මුහුදු තීරයට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරින්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඊයේ (04) ඉදිරිපත් වුණා.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ හා ධීවරයින් පිරිසක් විසින්.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා නාරා ආයතනය මෙන්ම, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා ෴

******************************************

(05.06.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව් (4) දෙනාගෙන් දියණියගේ සිරුර (1) සොයාගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පස් කන්දට යටවී නිවසේ සිටි මව, පියා මෙන්ම, ඔවුන්ගේ 23 හැවිරිදි දියණිය සහ 29 හැවිරිදි පුත්‍රයා අතුරුදන් වූ අතර අනෙක් තිදෙනා (3) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

(05.06.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි 53 හැවිරිදි මවගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

මේ අතර 57 හැවිරිදි පියාගේ සහ 23 හැවිරිදි දියණියගේ සිරුර ද මිට පෙර සොයා ගැනුණා.

සිද්ධියෙන් අතුරුදන් වූ පුත්‍රයාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි ෴

මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ හතර (4) දෙනාගෙම සිරුරු මේ වන විට සොයා ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *