කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අඟවයි

කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අඟවයි

*********************************************

කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අඟවයි

(02.06.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර ආනයනය කිරීම සුදුසු නොවන බවට පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ඊට එක් හේතුවක් ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර හරහා ඇතැම් භෝගවලට හානි කර දෑ පැමිණිය හැකි බවයි.

2021 මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර ලක්ෂ පහකට (5) අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් රජයේ පොහොර සමාගම් හරහා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

එසේම අනෙකුත් භෝග හෙක්ටයාර ලක්ෂ හයකට (6) පමණ අවශ්‍ය කාබනික පොහොර, එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශවලට අනුව ආනයනයට බලපත්‍ර හිමි සමාගම් මගින් ගෙන්වා ගොවීන් වෙත බෙදාහැරීමටයි තීරණය කර ඇත්තේ.

මහ කන්නය සඳහා හෙක්ටයාර 2,24,000 කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමට තීරණය වී තිබෙනවා.

දැනටමත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍ර ලාභී කාබනික පොහොර නිෂ්පාදකයින් 27 දෙනෙකු සිටින අතර, ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව සැළකීමේදී ඔවුන්ගෙන් අදාළ පොහොර අවශ්‍යතාව සපුරාගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා කියා සිටියේ කාබනික පොහොර ආනයනය කිරීමට රජයට අවසර නොමැති බවයි.

එසේම පවතින තත්වය යටතේ මල් පැලයක් වුවද මෙරටට රැගෙන පැමිණියහොත් එහි පස් රට තුළට ගෙන ඒම තහනම් වනවා.

එලෙස තහනම් කර ඇත්තේ එවැනි ද්‍රව්‍ය හරහා මෙරට පරිසර පද්ධතියට හානිවිය හැකි පරපෝෂිතයන්, ව්‍යාධිකාරක, රෝග කාරක පැමිණිය හැකිවීම බවයි නීතීඥ පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

එවැනි තත්වයක් තුළ කාබනික පොහොර විශාල ප්‍රමාණයක් ගෙන ඒම කිසිසේත් සිදු නොකළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ ෴

******************************************

(02.06.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ වීසා බලපත්‍ර සහ නාවික හැදුනුම්පත් භාවිතා කරමින් සංචාරයක නිරත වන බවට පවසා රුමේනියාවට පලා යාමට උත්සාහ කළ තරුණයින් සිව් (4) දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමාවේ ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් මඩකලපුව සහ යාපනය ප්‍රදේශවල පදිංචි අවුරුදු 21, 31, 36 සහ 41 යන වයස්වල පසුවන්නන්. ඉන් දෙදෙනෙකු (2) සතුව රුමේනියානු වීසා බලපත්‍ර දෙකක් (2) ද තිබූ බව වාර්තා වනවා.

මොවුන් අප්‍රිකාවේ සියරාලියොන් රාජ්‍යය බලා පිටත්ව යාමට තුර්කියේ ස්ථාම්බූල් නුවර බලා පිටත්ව යන ගුවන් යානයකින් මෙලෙස පිටවීමට උත්සාහ දරා තිබෙනවා ෴

******************************************

(02.06.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට ගිලෙමින් පවතින ‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවෙන් යම් කිසි තෙල් විසිරීමක් වුවහොත්, එය පාලනය කිරීම සඳහා විසිරුම් කාරක ඉසීමේ පහසුකම් සහිත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමාරක්ෂා’ නෞකාව ඒ ආසන්නයට යොමු කර ඇති බව වාර්තා වනවා.

මේ වනවිට කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇද ගෙන යාමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර වාරයේ යම් කිසි තෙල් විසිරීමක් සිදු වුව හොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමටයි ‘සමාරක්ෂා’ නෞකාව කැඳවා ඇත්තේ.

(02.06.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

පානදුර සිට කොළඹ හරහා මීගමුව – කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරතවීම තහනම් කර තිබෙනවා.

‘එම්.වී. පර්ල් එක්ස්ප්‍රස්’ නෞකාව ගිලෙමින් පවතින බැවින් නැවත දැනුම් දෙනතුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර තෙල් විසුරුමක් සිදුවුවහොත් විසුරුම්කාරක ඉසීමේ පහසුකම් සහිත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමාරක්ෂා නෞකාව’, ගිලෙමින් පවතින ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ආසන්නයට යොමුකර තිබෙනවා.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ දක්වා ගිලෙමින් පවතින නෞකාවෙන් තෙල් විසුරුමක් සිදුවන බවට වාර්තාවී නොමැති බවයි.

ඊට අමතරව තෙල් විසුරුමක් සිදුවුවහොත් ඊට මුහුණදීම සඳහා කුඩා යාත්‍රාවක්ද දික්ඕවිට ධීවර වරායේ ස්ථානගත කර ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටියා ෴

(02.06.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම නතර කර තිබෙනවා.

නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීම ඊට හේතුව බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියා.

නෞකාව මේ වන විට පවතින ස්ථානයේ ගැඹුර මීටර් 22 ක් පමණ වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මීටර 186 ක දිගින් යුත් මෙම නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට බහලුම් 1,486 ක් රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ නැංගුරම් ලා තිබියදී පසුගිය 20 වනදා ගිනි ගැනීමට ලක්ව තිබුණා.

@@@@@@@@@@@@@@@@@

(02.06.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැනවීමත් සමග පීඩාවට පත්වූ තෝරාගත් පවුල් වෙනුවෙන් රුපියල් 5000 සේ දීමනාව ලබාදීම අද (02) සිට ආරම්භ කෙරෙනවා.

රජයේ විවිධ දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල්වලට මෙන්ම සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපාය පවත්වාගෙන යා නොහැකි පවුල් වෙත ද මෙම දීමනාව හිමි වනවා.

මේ සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන බවයි සිය අමාත්‍යාංශයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ.

එක් පවුලක් වෙනුවෙන් එක් දීමනාවක් හිමි වන අතර සෑම මසකම 07 වන දා ගෙවනු ලබන සමෘද්ධි දීමනාවට අදාළ හිඟ මුදලත් සමග මෙම 5000 සේ දීමනාව ලබාදෙනු ඇති.

මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් රුපියල් 5000 සේ දීමනාව හිමි වන පවුල් වර්ගීකරණය කර ඇති ආකාරය සදහන් කර තිබුණා.

ඒ අනුව ඌන පූර්ණ ගෙවීම් මත රුපියල් 5000 හිමි වන පවුල් සානුකම්පිත දීමනාව හිමි වන පවුල් සහ දීමනාව සම්පූර්ණයෙන්ම හිමි වන පවුල් ලෙස එය වර්ගීකරණය කර තිබුණා.

ඒ අනුව වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප්, ධීවර විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර ලැබෙන පුද්ගලයින්ට එම දීමනාවට ඉතිරි මුදල් එක් කර 5000 දක්වා ගෙවනු ලබනවා.

මධ්‍යම රජයෙන් ගෙවන අනෙකුත් දීමනා නොලැබී සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව හෝ ආබාධිත දීමනාව හෝ වකගඩු දීමනාව යන එක් දීමනාවක් පමණක් දැනට ලැබෙන විට ඔවුන්ට පමණක් සුවිශේෂී වන සේ රුපියල් 3000 ක සානුකම්පිත දීමනාවක් ද ගෙවනු ඇති ෴

+++++++++++++++++++++

(02.06.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළදී නව කොරෝනා ආසාදිතයින් 2,877 ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 189,241 දක්වා ඉහළ ගියා.

ඊයේ (01) වාර්තාවූ ආසාදිතයන්ගෙන් 2,845 ක් අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි තිස් දෙදෙනෙකු (32) ද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව රෝහල් ගතව ආසාදිතයන් 34,343 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 1,53,371 ක්.

මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,500 සීමාව ඉක්මවා ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව 1,527 ක් බවයි.

ඊයේ (01) දිනයේ කොරෝනා මරණ 43 ක් මෙරටින් වාර්තාවී ඇති අතර, ඊයේ (01) දිනය තුළ පමණක් එක් මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊට අමතරව මැයි විසිවනදා (20) සිට මැයි 31 දක්වා කාලය තුළ මරණ 42 ක් වාර්තාවුණා.

මැයි 30 වනදා පමණක් මරණ 15 ක් වාර්තාවී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම මරණ 43 න් 31 ක් පිරිමි පුද්ගලයින් වන අතර, කාන්තාවන් 12 දෙනෙකුද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

නිවසේදී මරණ හතක් (7) වාර්තාවී ඇති අතර, රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය සංඛ්‍යාව 36 ක්.

එමෙන්ම මහනුවර දී ස්පුට්නික් එන්නත ලබාදීමේදී එක් (1) මාත්‍රාවක් පමණක් ලබාදීමට සුදුසු බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සිදුකළ ප්‍රකාශය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඊයේ (01) අදහස් පළ කළා.

ඒ, කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ස්පුට්නික් එන්නත ලබාදීම පසුගියදා මහනුවර දී ආරම්භ කළ අතර එහිදී එන්නත ලබාගත් පුද්ගලයින්ට කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා වෙනම පත්‍රිකාවක් ලබාදී තිබුණා.

එහි තිබූ මුද්‍රාවක දැක්වුණේ ‘ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි’ යන්නයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ (01) එක්වෙමින් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශේෂඥ කමිටුවේ අනුදැනුම සහිතව එය සිදුවූවක් බවයි ෴

+++++++++++++++++++++

(02.06.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

ලොව හදිසි භාවිතය සඳහා චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙලෙස හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් චීනයේ දෙවන (2) කොරෝනා එන්නත ලෙසයි මෙය සැළකෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදීමට පෙර දැනටමත් රටවල් රැසක් මෙම එන්නත භාවිතයට ගනු ලබනවා ෴

+++++++++++++++++++++++

(02.06.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් සහභාගී වී සිටී පිරිස අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක සිටින බවයි වාර්තා වන්නේ.

භාගේශ්වරී මධුෂිකා ගුණසේකර වන ඇය සමගි ජන බලවේගය නියෝජනය කරන්නියක්.

මෙම උපන් දින සාදයට මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා වන චමල් සුශාන්ත ගුණසේකර ද සහභාගි වී තිබෙනවා.

මෙම සාදයට එක්වූ තවත් හය (6) දෙනකු ඊයේ (01) අත් අඩංගුවට ගත් අතර ඔවුන් අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සිය අනන්‍යතාවය හෙළි වීම වළක්වා ගැනීම සඳහා කොටුව පොලිසියට මධුෂිකා ගුණසේකර ලෙස සිය නම ලබා දී තිබෙනවා.

ඇයගේ සැමියා නම ප්‍රකාශ කර ඇත්තේ චමල් සුශාන්ත ලෙසයි.

නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය තිස්වැනිදා රාත්‍රියේ කොළඹ තරු පන්තියේ හෝටලයක උපන් දින සාදයක් සංවිධානය කිරීම නිසා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණී පියුමි හංසමාලි යන අය අත්අඩංගුවට ගැනුනා.

පසුව ඔවුන් කොලඹ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මිට පෙර මුදා හැරුණා.

(02.06.2021 – 12:07 +0530 – hirunews.lk/sinhala)

චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසියට කැඳවා තිබෙනවා.

ඒ රථ වාහන නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බවටයි වාර්තා වන්නේ.

පසුගිය 31 වැනිදාකොළඹ තරු පහේ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවති උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරුණා.

ඔහු උසාවියෙන් බැහැරව යන අවස්ථාවේදී උසාවිය ඉදිරිපිට මාර්ගයේ සිදුකළ රථ වාහන වරදක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසියට කැඳවා තිබුණේ.

චන්දිමාල් ජයසිංහගේ රියදුරා උසාවියෙන් බැහැරව යන අවස්ථාවේ උසාවිය ඉදිරිපස මාර්ගයේ බෙදීම් රේඛා හරහා රථය ධාවනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ චන්දිමාල් ජයසිංහ මේ වනවිට භාවිත කරන සුඛෝපභෝගී ජීප් රථය නිසි අයුරින් ඔහුවෙත පවරාගෙන නොමැති බවයි ෴

(02.06.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරුපහේ හෝටලයක සංවිධාන කර තිබූ උපන්දින සාදයට සහභාගිවූ තවත් හත්දෙනෙකු (7) කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්ට අද (02) පෙරවරුවේ පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී තිබූ අතර, ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සාදයට එක්වූ තවත් හයදෙනෙකු (6) ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන්ද ඇතුලුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 13 ක්.

මීට පෙර මෙම සාදයට අදාළව දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණා ෴

++++++++++++++++++++++

(02.06.2021 – 12:23 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5 ක් මෙම වසරේ මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහි පළමු (1) කොටස, ජුලි මස මුලදී මෙරටට ලැබීමට නියමිතයි.

ඒ අනුව එන්නත් මාත්‍රා 300,000 ක් දිවයිනට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ.

මේ අතර ස්පුට්නික් එන්නතේ එක් (1) මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත්ද යන්න තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණයක් ආරම්භ කර ඇති බවයි එහි ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ෆයිසර් එන්නත් තොගයෙන් මාත්‍රා ලක්ෂ 3 ත්, 4 ත් අතර ප්‍රමාණයක් ලබන මාසයේදී මෙරටට ගෙන්වන බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගැනීමෙන් පසු එහි ප්‍රතිදේහ මාස 06 ක් කාලයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර, ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත්ද යන්න තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ ඒ සඳහා දැනට ස්පුට්නික් එන්නත ලබාදෙන පුද්ගලයන්ගේ රුධිර සාම්පල ලබා ගනිමින් ඔවුන්ගේ ප්‍රතිදේහ සහ ප්‍රතිශක්තිය වර්ධනය වන ආකාරය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙන බවයි.

ඒ සඳහා වන සාම්පල එක්රැස් කිරීම අද (02) සිට ආරම්භ කළ බව ද ඔහු කියා සිටියා.

අදාළ පර්යේෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ස්පුට්නික් එන්නතේ එක් (1) මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් ද එසේ නැතිනම් දෙවන (2) මාත්‍රාවක් ද ලබා ගත යුතු ද යන නිශ්චිතව තහවුරු කළ නොහැකි බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, රුසියානු ස්පුට්නික් එන්නත නිෂ්පාදනය කරන සමාගම පවසා ඇත්තේ සියයට 79.4 ක සාර්ථකත්වයක් පවතින බැවින් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් බවයි.

එසේ වුවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ අදාළ එන්නත ලියාපදිංචි කර ඇත්තේ මාත්‍රා දෙකක් (2) ලබාදීමට බවයි.

ඊයේ (01) දිනයේදීත් මෙරටින් ආසාදිතයින් 2877 ක් වාර්තා වූ අතර, ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව සංඛ්‍යාව 654 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 646 ක් වාර්තා වුණා.

පසුගියදා ආසාදිතයින් වාර්තා වීම අඩු වෙමින් පැවති පිළියන්දලින් ඊයේ (01) දිනයේ රෝගීන් 82 කු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 281 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ යම් ප්‍රතිශතයක ඔක්සිජන් අවශ්‍යතාවක් ද මේ වන විට මතුව ඇති බවයි.

++++++++++++++++++++++

(02.06.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නත් මිලියන දෙකක් (2) ජුනි පළමු සති දෙක (2) තුල මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

එම මාත්‍රා මිලියන දෙකෙන් (2) පළමු (1) මාත්‍රා මිලියනය (1) මේ මස 6 වනදා මෙරටට ලැබීමට නියමිත අතර දෙවන (2) මාත්‍රා මිලියනය (1) මෙමස 09 වනදා ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය වරයා වැඩි දුරටත් පැවසුවේ ෴

++++++++++++++++++++

(02.06.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ ජනතාවට ලබාදෙන රුපියල් පන්දහසේ (5000) දීමනාව ගොවි ජනතාවට ලබාදීමේදී කොන්දේසි පනවා ඇති බවට පොළොන්නරුව ගොවි ජනතාව චෝදනා කරනවා.

මේ අතර තමන්ට රසායනික පොහොර නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණදී ඇතැයි බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++

(02.06.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම් ඇතුළු සීමිත රාජකාරී සඳහා හෙට (03) සිට තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

අදාළ ගෙවීම් කාඩ්පත් හෝ වැඩිහිටි හැදුනුම්පත ඉදිරිපත් කොට තැපැල් කාර්යාල වෙත පැමිණීමේ හැකියාව පවතින බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

මේ අතර, නිවෙස්වල සිටින රෝගීන් සඳහා රජයේ රෝහල්වල සායන වෙතින් නිකුත් කරන ඖෂධ බෙදා හැරීම ද හෙට (03) සිට ආරම්භ කරන බව තැපැල්පතිවරයා කියා සිටියා. ඒ සම්බන්ධයෙන් ගැටළු පවතින්නේ නම් 1950 කෙටි දුරකථන අංකය අමතා තොරතුරු ලබා ගත හැකියි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *