ලිට්‍රෝ ගෑස් : ‘රත්තරන් බිජු දමන කිකිලිය’ ඈවර කිරිමට – අගමැති, ඇමති බන්දුලත් ඒකාබද්ද කැබිනට් පත්‍රිකා සකසයි

ලිට්‍රෝ ගෑස් : ‘රත්තරන් බිජු දමන කිකිලිය’ ඈවර කිරිමට – අගමැති, ඇමති බන්දුලත් ඒකාබද්ද කැබිනට් පත්‍රිකා සකසයි

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීම මගින් ජනාධිපතිතුමාගේ සද්භාවය අහෝසි වේ – සාහිත්‍යසූරි ගුණදාස අමරසේකර

ඩී.එස්. ව්‍යාපෘතියට ජනපති තිත තිබ්බේ ඇයි – ආදි සිසු ගම්මන්පිල හෙළි කරයි

*********************************************

ලිට්‍රෝ ගෑස් : ‘රත්තරන් බිජු දමන කිකිලිය’ ඈවර කිරිමට – අගමැති, ඇමති බන්දුලත් ඒකාබද්ද කැබිනට් පත්‍රිකා සකසයි

(02.06.2021 – 12:12 +0530 – lankaleadnews.com)

2019 වසර අවසානය වනවිටත් රුපියල් බිලියන 7 ක් පමණ ශුද්ධ ලාබයක් සහ 75% ක් පමණ වෙළඳපොළ හිමිකාරිත්වයක් තිබූ ලිට්‍රෝ ගෑස් සමාගම තමා යටතට නතුකර ගැනීමට ලාෆ් ගෑස් සමාගමේ හිමිකාරිත්වය යහපාලන රජය සමයේ පටන් විවිධ හැඩතල ඔස්සේ ගැසූ උප්පරවැට්ටි වැලැක්වීමට ලිට්‍රෝ ගෑස් සමාගමේ වෘත්තීය සමිතිවලට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

රාජ්‍ය නායකයා, අමාත්‍යවරුන්, ආයතන පාලකයින්, නිලධාරීන්, සේවකයන්, ගෑස් බෙදාහරින්නන්, අලෙවිකරුවන් කොතෙක් බිලී බාගැනීමට තැත්කලද සේවක වෘත්තීය සමිති විසින් අධිකරණයේ පවරන ලද නඩුවට අදාලව 2019 දෙසැම්බර් ලද නඩු තීන්දු ප්‍රකාරව මෙම අන්ත දූෂිත ගණුදෙනුව තාවකාලිකව හෝ වලක්වා ගැනීමට හැකිවීම ලිට්‍රෝ ගෑස් සේවක මණ්ඩලය මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ලද සුවිශේෂී ජයග්‍රහණයක් විය.

රුපියල් බිලියන 7 ක පමණ වාර්ෂික ශුද්ධ ලාබයක් සහ 75% ක් පමණ වූ වෙළඳපොළ හිමිකාරිත්වක් තිබූ පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගම එම ඉලක්කය ලඟාකර ගැනීම සඳහා එහි කලමණාකාරීත්වය සහ සේවක මණ්ඩලය ඉමහත් කැපවීමෙන් වසර ගණනාවක් පුරා කල සේවය මහත් රුකුලක් විය.

නමුත් පසුගිය වසර දෙකකටත් (2) අඩු කාලයක් තුල මෙම ආයතනය නැවතත් විශාල වශයෙන් පාඩුලබන ආයතනයක් බවට ඇද දැමූයේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලයේ මහාපරිමාණ වංචා, අමනෝඥ තීරණ, ආයතනට දැරිය නොහැකි අති විශාල වේතන සහ වරප්‍රසාද ලබාගැනීම් හේතුවෙනි. ඒ මගින් ඔවුන් ඔවුන්ගේ දෙවන (2) ඉලක්කයද ළඟාකර ගත්හ. ඒ ලිට්‍රෝ ගෑස් සමාගම පාඩුලබන ආයතනයක් බවට ජනතාවට ඒත්තු ගැන්වීමයි.

එවන් නඩු තීන්දුවක් තිබියදීත් වර්තමාන රජය යටතේත් වෙනත් වටයකින් හොර සිල්රෙදි පොරවාගත් චෞරයින් නැවතත් කලඑළි බසිමින් සිටී. මේ මජර දූෂිත තක්කඩියන් ජනතාවට පෙන්වන්න යන්නේ දැනට පාඩු ලබන ලිට්‍රෝ ගෑස් සමාගම ගොඩගත හැකි එකම ක්‍රමය සහ දේශීය වෙළඳපොළේ ගෑස් මිල ස්ථායීව පවත්වා ගැනීමේ එකම ක්‍රමය මෙම සමාගම් දෙකේ බද්ධ කිරීම බවයි.

ලාෆ් ගෑස් සමාගමේ හම්බන්තොට ටර්මිනල් පර්යන්තය යනු වෙළඳපොළ උපාය මාර්ගිකව ඉතාමත් දුර්වල සහ අසමත් තීන්දුවකි. එය ඔවුන්ගේ වැරදි තක්සේරු සහ වැරදි සැලැස්මක් මිස මේ රටේ ජනතාව විසින් වන්දි ගෙවිය යුතු වරදක් නොවේ.

දැන් ඔවුන් අවසන් තුරුම්පුව අදිමින් සිටී. ඒ මේ රාජ්‍ය ආයතනය බේරා ගැනීමට නම් ලාෆ් ගෑස් සමාගම සමග ඒකාබද්ධ කිරීමකට යා යුතුයැයි මහා භාණ්ඩාගාරය හරහාම යෝජනා කර මේ වන විටත් යෝජිත කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ලෙසද සකසා අවසන් කර ඇත. මෙම කුප්‍රකට ගනුදෙනුව සාර්ථක කරගතහොත් චෞරයින් ගේ අතයට සිදුවන ගනුදෙනුව රුපියල් බිලියන ගණනකි.

සමාගම් දෙකක් ඒකාබද්ධ කිරීමේදී (Merge) සාමාන්‍ය සංසිද්ධිය වන්නේ එම සමාගම් දෙකටම වාසි සැලසීමයි. (Win Win Situation) නමුත් මේ බංකොලොත් වී ඇති ලාෆ් ගෑස් සමාගම සහ පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගම සමග ඒකාබද්ධ කිරීමේදී සිදුවන්නේ ලාෆ් ගෑස් සමාගමේ දැනට ඇති රුපියල් බිලියන 22 ක් පමණ වූ ණය බර මේ රටේ ජනතාව පිට පටවා ඩීල් කාර තක්කඩියන් කල්ලියක් බිලියන ගණනක් ජනතා මුදල් කොල්ල කෑමකි.

ලාෆ් ගෑස් සමාගමේ මෙතරම් ණය බරක් පෙන්වීමට හේතුවන අනෙක් ප්‍රමුඛ කරුණ වන්නේ ලාෆ් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයම සාමාජිකත්වය දරමින් ඩුබායි රාජ්‍යයේ පිහිටුවා ඇති Slogal Energy නම් සමාගම හරහා ගෑස් මිලදීගෙන, මෙරටට ආනයනය කිරීමේදී නැවත වරක් එම Slogal Energy සමාගමට විශාල ලාබයක් දී රැගෙන ඒමයි. එමගින් ඔවුන් පෙන්වනේ මෙරටට ගෑස් ආනයනයේදී අධික පිරිවැයක් දැරීමට සිදුවන බවයි. මෙම මිල විකෘතිකරණය හරහා කරන බදු වංචාවද අති විශාලය. එමගින් ඔවුන් කරන්නේ ගෑස් මිල අධික බව මවාපා ව්‍යාපාරය පාඩු ලබන බව හඟවා කූඨ ලෙස බැංකුවලින් ගත් ණය පැහැර හැරීමයි.

පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගමට මෙවන් වංචාකාරී සමාගමක් සමග ඒකාබද්ධ කිරීමකට කිසිසේත් යා නොහැකි අතර ගනුදෙනු කිරීමක් වුවද ආචාර සම්පන්න නොවේ.

මේ රටේ ජනතාව සතු මහා අනර්ඝ සම්පතක් වූ ලිට්‍රෝ ගෑස් සමාගම මෙම කූඨ ඩීල් කාරයන්ගේ ග්‍රහණයට නතුවුවහොත් ගෑස් මිලදී ගැනීමේදී දැනට ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරවී ලාෆ් ගෑස් හිමිකාරිත්වය දරන ඩුබායි Slogal Energy හරහා ගෑස් ලබාගැනීමට ලිට්‍රෝ ගෑස් සමාගමටද සිදුවන අතර මෙමගින් ගෑස් සැපයීමේ ඒකධිකාරය වක්‍රාකාරයෙන් ලාෆ් ගෑස් සමාගම නතුකර ගනී. මින් සිදුවන්නේ 75% ක වෙළඳපොළ හිමිකාරිත්වයක් තිබූ රාජ්‍ය සමාගම අසරණ කරමින් බංකොලොත් වී තිබූ ලාෆ් ගෑස් සමාගම ශ්‍රී ලංකාවේ ගෑස් ඒකාධිකාරයක් අත්කර ගැනීමයි.

තවද මෙම කුප්‍රකට ව්‍යාපාරිකයා මේ වනවිටත් මෙම රාජ්‍ය සමාගම සමග ඒකාබද්ධ කිරීම ගැන ප්‍රසිද්ධ කර කොටස් වෙළඳපොලේ ඉතාමත් අඩු මුදලකට අලෙවි වෙමින් තිබූ ලාෆ් කොටස් වටිනාකම කෘතිමව 40% කින් පමණ වැඩි කර ඒ නිසාවෙන්ම මේ ඒකාබද්ද කිරීමේදී ලාෆ් ගෑස් සමාගමේ කොටසක් සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම ගෙවිය යුතු මුදල ඉතා ඉහල අගයකින් වැඩිකර ඇත.

රුපියල් බිලියන 22 ක් පමණ වූ ණය බරක් උසුලා සිටින ලාෆ් ගෑස් සමාගමට රාජ්‍ය බැංකුවලින්ද ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක තවත් රාජ්‍ය ආයතනයක් මෙයට කරගැසීමට යෑම මහත් විමතියට කරුණක් නොවේද ?

කිසිම පූර්ව අධ්‍යයනයකින් තොරව ලිට්‍රෝ සේවක මණ්ඩලයේ නිර්දේශද නොතකා හරිමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සකස් කර ඇති යෝජිත කැබිනට් පත්‍රිකාව විහිලුවක් වන්නේ ‘සෞභාග්‍යයේ දැක්ම’ නම් වූ ඒ අපූරු පොත් පිංචේ සහ මේ ක්‍රියාවලියේ කරුණු කාරණා කෙතරම් දුරට සැසඳේදැයි සිතන විටය.

මෙවන් වංචනික, බංකොලොත් වූ සමාගමක් සමග ඒකාබද්ධ වීමෙන් පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ වෙළඳපොළ කීර්තිනාමය එක රැයින් විනාශ වී යාම ‘සක්කරයාගේ පුත් වයිමා’ටද නතරකළ නොහැක්කකි.

මේ එවන් වූ රාජ්‍ය සම්පත් මජර දූෂිත සොර කල්ලිවලින් බේරාගෙන රටේ අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට ජනතාව සිහි බුද්ධියෙන් සිටිය යුතුම යක්ෂයා ගේ හෝරාවයි.

විශේෂ ලියුම්කරැවෙකු විසිනි

https://www.youtube.com/watch?v=XgMLArmwmK4

******************************************

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීම මගින් ජනාධිපතිතුමාගේ සද්භාවය අහෝසි වේ – සාහිත්‍යසූරි ගුණදාස අමරසේකර

(31.05.2021 – 16:35 +0530 – lankaleadnews.com)

ගරු ජනාධිපතිතුමනි,

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීම මගින් ඔබතුමාගේ සද්භාවය අහෝසි වේ – කිසිසේත්ම ඊට ඉඩ නොදෙන ලෙස ඉල්ලීම.

ආනයනික කෘෂි රසායන සඳහා සීමාවක් පැනවීමට ඔබතුමා විසින් ගනුලැබූ තීන්දුව ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් උපාය මාර්ගික තීන්දුවකි. වස විෂ නැති ගොවිතැන් ප‍්‍රචලිත කිරීම මගින් මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නයට විසදුම් සෙවීම සඳහා ඔබතුමා විසින් ගනු ලබන උත්සාහය ඉතා සද්භාවයෙන් යුතුව කෙරෙන දෙයක් බවද අපි තරයේ විශ්වාස කරමු. නමුත් ඇත්ත වශයෙන්ම එම තීන්දුව හුදු මහජන සෞඛ්‍ය හෝ කෘෂි නිෂ්පාදන පද්ධතිය අරක්ෂා කිරීම යන මතු පිටින් පෙනෙන අරමුණු ඉක්මවා යන දේශපාලන ආර්ථික පෙරළියක ආරම්භයකි. එනම් හරිත විප්ලවය නම් වූ ක‍්‍රියාවලිය හරහා ලෝකය පුරා ආහාර නිෂ්පාදන පද්ධතීන් පරාධීනත්වයට නතු කිරීමේ මහා දේශපාලන ආර්ථික කුමන්ත‍්‍රණය පරාජය කිරීම සඳහා ගනු ලබන ආරම්භක පියවරකි.

හරිත විප්ලවය යනු යටත් විජිත සමයේදී සිදුකළ ආකාරයට භූමිය කොල්ලකමින් ස්වදේශික ජනයා ශ‍්‍රම වහල්භාවයේ ගිල්වමින් පවත්වාගෙන යනු ලැබූ නිෂ්පාදන පද්ධතිය නිදහස ලබාදීමෙන් පසු තවදුරටත් වඩා ප‍්‍රතිඵලදායක ලෙස පවත්වාගෙන යෑම සඳහා යොදාගත් වඩා දියුණු සහ විද්‍යාවේ නාමයෙන් අලෙවිකරනු ලැබූ සංකල්පයකි. එහිදී කෘෂී රසායනික ද්‍රව්‍ය, බීජ සහ නව තාක්ෂණය යන යෙදවුම් මුල්කරගෙන වෙළෙන්ඳපොළ, තාක්ෂණය සහ නීතිය යොදා ගනිමින් මහා සමාගම්වල ගෝලීය ඒකාධිකාරයක් ගොඩනගනු ලබයි. ඒ තුළ ගොවියා සහ මහා සමාගම් අතර වැඩවසම් සබඳතාවයක් ගොඩෙනැගෙන අතර සමස්ථ නිෂ්පාදන පද්ධතිය බාහිර යෙදවුම් මත යැපෙන පරාධීන තත්වයකට පත්කෙරේ. ලෝකයේ ආහාර නිෂ්පාදන තොගයෙන් 75% කුඩා ගොවීන් විසින් නිපදවන තත්වයක් යටතේ මහා සමාගම් විසින් ලෝක ආහාර වෙළෙඳපොළ හසුරුවනු ලබන්නේ ඒ ආකාරයට ය. ඒ අනුව ඔබතුමා විසින් ගනුලැබූ තීන්දුව නිවැරදිව විග‍්‍රහ කිරීමේදී එය අප රටේ නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීමේ විප්ලවයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

ඒ නිසා ඊට එරෙහිව ප‍්‍රතිවිප්ලවයක් දියත් වන බවට අපට නම් කිසිදු සැකයක් නැත. එහිදී ගෝලීය මහා සමාගම් විසින් නඩත්තු කරන විදුවතුන් යැයි හදුන්වාගන්නා යම් නිලධාරීන් ප‍්‍රතිවිප්ලවයේ ඉදිරිපෙල සටන්කරුවන් බවට පත්වනු ඇත. ඔවුන්ගේ මූලික සටන් උපාය මාර්ගය තුළ සටන් උපක‍්‍රම දෙකක් හඳුනාගත හැක. පළමු වැන්න ඔබතුමාගේ සද්භාවය ප‍්‍රශ්න කිරීමය. දෙවැන්න ඔබතුමා විසින් ගනුලැබූ තීන්දුව තාක්ෂණිකව නිවැරදි නොවන බව සහ එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ නොහැකි බවට ප‍්‍රභල මතවාදයක් තහවුරු කිරීමය. ඊනියා ප‍්‍රතිවිප්ලවවාදීන් එම උපක‍්‍රම දෙකම ඉතා සාර්ථකව යොදාගන්නා බව අප විසින් නිරීක්ෂණය කරනු ලබයි.

ඔබතුමාගේ සද්භාවය අභියෝගයට ලක්කිරීම සඳහා යොදාගත හැකි ඉතා දියුණු ප‍්‍රවේශයක් වන්නේ ඔබතුමාගේ තීන්දුව ඉහත සඳහන් කළ දේශපාලන ආර්ථික උපායමාර්ගය මත පදනම් වන්නක් නොව එය යම් ජාවාරම්කාරයින් පිරිසකට වෙළෙඳපොළක් බිහිකිරීම සඳහා කරනු ලබන සුක්ෂම මෙහෙයුමක් බව තහවුරු කිරීමය. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය සඳහා ආණ්ඩුව විසින් ඉඩ ලබාදුනහොත් ප‍්‍රතිවිප්ලවකාරයින්ට වාසි සහගත ලෙස ඔවුන්ගේ මතවාදය තහවුරු වේ. විශේෂයෙන්ම ඊලඟ කන්නය සඳහා රසායනික පොහොර තොග ප‍්‍රමාණවත් වන බවට ආණ්ඩුවේ පාර්ශ්ව විසින් තර්ක ඉදිරිපත් කරන අතර කාබනික පොහොර ආනයනය සඳහා කිසිදු විද්වත් සංවාදයකින් තොරව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීම මගින් සතුරාගේ මතවාදයන් වඩාත් හොදින් තහවුරු වේ.

ඔබතුමාගේ තීන්දුවට සතුරු බලවේග වල දෙවන උපක‍්‍රමය වන රසායනික පොහොර තහනම නිසා බරපතළ අස්වනු අඩුවීමක් සිදුවිය හැකිය යන මතවාදය විසින් ඕනෑම ආණ්ඩුවක් දෙවරක් සිතා බැලීමට පොළඹවන බවට සැකයක් නැත. ඒ නිසා ඊට තාක්ෂණිකව දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ යුතුය. නමුත් ජනමාධ්‍ය මගින් එම යුතුකම ඉටු කරන බවක් පෙනෙන්නේ නැත. යම් ව්‍යාජ විද්වතුන් අස්වැන්න 60% අඩුවිය හැකි බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව මත ප‍්‍රකාශ කරන්නේ එසේ ඔවුන්ට පාළුගෙයි වළං බිදීමට හැකි වී ඇති නිසාය. එහිදී රසායනික ද්‍රව්‍යය මගින් මරාදමා ඇති පස පුනර්ජනනය කිරීම සඳහා ගත විය හැකි වසර 2 -3 කාලය තුළ යම් අස්වනු අඩුවීමක් සිදුවිය හැක. ඊට මුහුණ දීමෙන් තොරව එනම් ශල්‍යකර්මයකින් තොරව පිළිකාව සුවකළ නොහැකි බව පමා වී හෝ පිළිගැනීමට සිදුවේ. ලෝකයේ බෝහෝ රටවල විශේෂයෙන්ම ඉන්දියාවේ ‘ශුන්‍ය පිරිවැය’ වගාක‍්‍රම මගින් එසේ කෙටිකාලීනව සුළු වශයෙන් අඩුවිය හැකි අස්වැන්න පසුව තිබුණු මට්ටමටත් වඩා වැඩි වන බව ඔප්පු වී ඇත. ඊට අමරතව කාබනික හෙවත් ස්වභාවික ගොවිතැන් ක‍්‍රම යොදාගැනීමේදී ඒක බෝගවගාව වෙනුවට බෝග විවිධත්වය දිරිමත් වන බැවින් සමස්ථ ආහාර තොගයේ වැඩිවීමක් සිදුවේ. ඒ අනුව රසායනික පොහොර තහනම සමග ආහාර සංස්කෘතියද වෙනස් කර ගැනීමට බලකෙරේ. එය ඉතා හොඳ දෙයකි.

ඒ අනුව පෙනීයන්නේ විශේෂයෙන්ම සතුරු ප‍්‍රතිප‍්‍රහාරවලට මුහුණදීම සඳහා හදිසි සහ අහඹු තීන්දු ගැනීම වෙනුවට විධිමත් උපායමාර්ගික ප්‍රවේශයකට අනුව කටයුතු කිරීමට සිදුවන බවය. අප සංවිධානය විසින් ඊට අදාළව දොළොස් වැදැරූම් උපායමාර්ගික ප‍්‍රවේශයක් ඔබතුමා වෙත ඉදිරිපත් කර ඇත. ක‍්‍රියාකාරකම්, වැඩසටහන් හෝ පරිපාලන යන්ත‍්‍රණ සහ ක‍්‍රමවේද ප‍්‍රතිඵලදායක වන්නේ උපාය මාර්ගික ප‍්‍රවේශය නිවැරදි සහ ප‍්‍රතිඵලදායක වන්නේනම් පමණි. උපාය මාර්ගික ප‍්‍රවේශය වැරදිනම් එතැනින් පහළ සියල්ල නිෂ්ඵල හෙවත් සතුරාට වාසි සහගත ලෙස අසාර්ථක වනු ඇත.

විශේෂයෙන්ම මහජනයා හෝ විද්වතුන් සමග නිසි සංවාදයකින් තොරව හදිසි අවශ්‍යතාවයක් ලෙස අමාත්‍ය මණ්ඩල ප‍්‍රත‍්‍රිකාවක් ඉදිරිපත් කොට කාබනික පොහොර ආනයනය සඳහා අවසර ගැනීමට උත්සාහ කිරීම තුළ උපාය මාර්ගික ප‍්‍රවේශයේ දුප්පත්කම පැහැදිලි වේ. ඒ නිසා පළමුවෙන්ම කාබනික පොහොර වර්ග කිසිවක් ආනයනයට ඉඩ නොදෙන බව ස්ථිරසාරව ප‍්‍රකාශකිරීම ඉතා වැදගත් වේ. අඩුතරමින් අමාත්‍යමණ්ඩල පත‍්‍රිකාව පිළිබඳ තීන්දුව කල්දැමීම මගින් සද්භාවය පෙන්වීම ඉතා වැදගත් වේ. එසේ නොමැතිනම් එතැන් පටන් ආරම්භ වන්නේ ඔබතුමා විසින් ගනුලැබූ වටිනා ඓතිහාසික තීන්දුවට පහර දී බිම දැමීමේ ක‍්‍රියාවලිය බව අපට නම් කිසිදු සැකයක් නැත. විශේෂයෙන්ම ආනයනික ජෛව කාබනික පොහොර වල අඩංගු වන ක්ෂද්‍ර ජීවීන් නිසා අත්විය හැකි ජෛව අපදාව මගින් දිර්ඝ කාලීනව කෘෂි නිෂ්පාදන පද්ධතියට සිදුවිය හැකි හානිය සිතා ගැනීමටවත් නොහැක. එවැනි තත්වයකදී ඔබතුමාගේ කිර්තිනාමයට සිදුවන හානිය මගින් අනාගතයේදී අවසන් කිරීම සඳහා අප විසින් දෑස් දල්වාගෙන බලා සිටින මහා පරිවර්ථනයන්ට බලවත් අගතියක් සිදුවනු ඇත.

දෙවනුව සඳහන් කළ යුත්තේ ප‍්‍රයෝගිකව හෝ තාක්ෂණිකව මේ නිශ්චිත මොහොතේ කාබනික පොහොර ආනයනයට ඉඩදීම කිසිසේත්ම සාධාරණිකරණය කළ නොහැකි බවය. දැනටමත් අප රටේ විද්වතුන් විසින් සොයාගත් ජෛව පොහොර මහා පරිමානයෙන් නිෂ්පාදනය කෙරෙන තත්වයක් තුළ පළමුව කළ යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා සහය ලබාදීමය. දෙවනුව කොම්පොස්ට් පොහොර යන දේශියව ගොවිපොළ ආශ‍්‍රිතව පවතින කෘෂි අපද්‍රව්‍යය වලින් නිපදවිය යුතු දෙයක් මිස වෙනත් ස්ථානයක නිපදවා අනයනය කොට මධ්‍යගතව බොදාහැරිය යුතු දෙයක් නොවේ. නාගරික අපද්‍රව්‍ය වලින් මහා පරිමානයෙන් නිපදවන පොහොර පවා ප‍්‍රදේශය ආශ‍්‍රිතව බොදා හැරීම වඩා තර්කානු කූල වේ. ඒ අනුව ජාතික සංවිධාන ලෙස අප ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ කාබනික පොහොර ආනයනයට කිසිසේතම ඉඩ ලබා නොදෙන ලෙස සහ අප විසින් ඉදිරිපත් කළ 12 වැදැරුම් උපාය මාර්ගික ප‍්‍රවේශය පිළිබදව දැඩි අවධානය යොමුකරන ලෙසය.

තෙරුවන් සරණයි !

සාහිත්‍යසූරි ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2021.05.25

******************************************

ඩී.එස්. ව්‍යාපෘතියට ජනපති තිත තිබ්බේ ඇයි – ආදි සිසු ගම්මන්පිල හෙළි කරයි

(02.06.2021 – am.lk)

ඩී.එස්. සේනානායක විදුහලට අයත් සහ ඊට ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් වල කොටසක් රජයට පවරාගෙන ක්‍රියාත්මක කිරීමට ගිය ව්‍යාපෘතිය නතර වීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයා විශේෂ කරුණු දැක්වීමක් කරයි.

ඩී.එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතියට නැගුණු විරෝධය හමුවේ ජනපතිවරයා එම ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කළ බවය.

එහෙත් එම ව්‍යාපෘතියට පසුබිම් වූ කතාව බොහෝ දෙනෙකු නොදන්නා බව සදහන් කරන ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝ පටයක් ද නිකුත් කොට තිබේ.

මෙම ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙලෙස පවරා ගෙන තිබුණේ වාහන නතර කර තබන රථගාලක් සඳහා බව මාධ්‍ය විසින් ප්‍රචාරය කළද ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ඊට ඩී.එස්. සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් සඳහා නිල නිවාස 4 ක්, මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස සංකීර්ණයක් ඇතුළු මහල් රැසකින් යුතු බහු කාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා වී තිබේ.

ජනපතිවරයා එම ස්ථානයෙන් ගමන් කරද්දී ඩී.ඇස්. සේනානායක විදුහල ඉදිරිපිට ඇති කඩ සංකීර්ණය දැක එය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගෙන මෙම ව්‍යාපෘතිය යෝජනා කළ බවද ගම්මන්පිල අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඩී.එස්. සේනානායක විදුහලේ සමාරම්භක විදුහල්පති ආර්.අයි.ටී. අලස් මහතාගේ පුත්‍රයන් දෙදෙනෙකු වන ටිරාන් අලස් සහ හර්ෂ අලස් යන මහත්වරුන් ගේ මැදිහත්වීමද ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මින් ටිරාන් අලස් මහතා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනත යටතේ ජනපතිවරයා විසින් මැයි 19 වන දින 2228 / 27 යන අංකය යටතේ නිකුත් කට තිබූූ අති විශේෂ ගැසට් පත්‍රිකාව මගින් අදාළ ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට පියවර ගෙන තිබුණි.

පවරා ගැනීමට නියමිතව තිබූ භූමිය ප්‍රමාණය පර්චස් 100 කි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *