මැයි මස 31 වනදා සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවයි

මැයි මස 31 වනදා සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවයි

*********************************************

මැයි මස 31 වනදා සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවයි

(28.05.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

මැයි මස 31 වනදා සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ජූනි මස 07 වනදා දක්වා මෙම සංචරණ සීමා අඛන්ඩව දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් දිසාපතිවරුන් හරහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම රථ හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

+++++++++++++++++++++++

(28.05.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

තමන්ට එන්නත් ලබා නොදී රාජකාරි කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජය ගත් තීරණය මර්දනකාරී ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කළා.

එන්නත් ලබා නොදෙන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමටයි ඔවුන් මීට පෙර තීරණය කළේ.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරී සේවයද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමඟ ඔවුන්ට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීමට නොහැකිවී තිබෙනවා ෴

+++++++++++++++++++++++

(28.05.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) දිනයේත් මෙරටින් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 2584 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 429ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

දෙහිවලින් සහ පාදුක්කෙන් 51 දෙනෙකු බැගින් වාර්තා වන අතර අවිස්සාවේල්ලෙන් 33 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

නවගමුවෙන් 34 සහ මිරිහානෙන් 30 දෙනෙකු වාර්තා වනවා.

මොරටුව සහ පිළියන්දලින් 26 දෙනා බැගින් වාර්තා වන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

දෙවනුවට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 415 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 356 දෙනෙකු සහ නුවරඑළියෙන් 162 කු වාර්තා වනවා.

රත්නපුරයෙන් 156 දෙනෙකු සහ ගාල්ලෙන් ආසාදිතයින් 155 ක් වාර්තා වන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++

(28.05.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවස්ථා දෙකකදී පැනගිය කොරෝනා ආසාදිතයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රාගම ඉහළගම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙක්.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඊයේ (27) සිදුකරන ලද කොරෝනා පරීක්ෂා වලදී නව ආසාදිතයින් 30 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,74,861 දෙනෙකු වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1325 ක් ලෙසයි.

තවදුරටත් ආසාදිතයින් 29,747 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 1,43,789 ක්.

++++++++++++++++++++++

වෛද්‍යවරියගේ රාජකාරියට බාධා කළ සමන් ලාල් රිමාන්ඩ්

(28.05.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණය අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු අද (28) දහවල් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන් දුරුගොඩ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මොරටුමුල්ල ප්‍රදේශයේ ඊයේ (27) පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුරදී තමා විසින් ලබාදුන් කූපන් පත්‍රවලට අනුව එන්නත් ලබාදීම සිදුකරන ලෙසට නගරාධිපති මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනූජා තිලකරත්න මහත්මිය ඇතුලු වෛද්‍යවරුන්ට බලපෑම් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය පොලිසියට පැමිණිලි කර තිබූ අතර, නගරාධිපති අත්අඩංගුවට ගනු ලැබුවේ නීතීඥවරියක මාර්ගයෙන් අද (28) පෙරවරුවේ ගල්කිස්ස පොලිසිය වෙත භාරවූ අවස්ථාවේදියි.

නගරාධිපති අධිකරණය වෙත රැගෙන ගිය අවස්ථාවේ පාක්ෂිකයන් කිහිපදෙනෙකු අධිකරණ පරිශ්‍රයෙන් පිටත රැඳි සිටිමින් නගරාධිපතිවරයාට සහය පළ කර සිටියා.

ඊයේ (27) එන්නත්කරණ වැඩසටහන අතරතුර උණුසුම් තත්වයක් ඇතිවූයේ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප්‍රකාශ කිරීමත් සමඟයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍ය නිලධාරින් විසින් පොලීසියට පැමිණිලි කළ අතර, ඒ අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වුණේ.

කෙසේ වෙතත් නගරාධිපති අද (28) උදෑසන ගල්කිස්ස පොලීසිය වෙත භාරවුණා.

අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති මේ වනවිට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ජුනි මස 11 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකලේ.

මේ අතර එන්නත් ලබාගැනීමට පැමිණි පිරිසක් වෙත මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබාදුන් නිල මුද්‍රාව සහිත කූපන් පත් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කථාබහක් මතුව තිබෙනවා.

ඒ, නගරාධිපති නිල නොලත් මහේස්ත්‍රාත් සහ සාම විනිසුරු ලෙස අදාළ නිල මුද්‍රාවේ දක්වා තිබීම හේතුවෙන්.

+++++++++++++++++++++

(28.05.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 26 වනදින බූස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොවිඩ් ආසාදිත රැඳවියන් පිරිසක් රැගෙන යාමේදී එම බස් රථයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියා අද (28) නැවත බන්ධනාගාරයට භාර වී තිබෙනවා.

මෙම ආසාදිතයා බන්ධනාගාර බස් රථයෙන් පළාගියේ එම බස් රථයේ ජනේලවලට සවිකර තිබූ යකඩ දැලත් ඉවත් කරමින්.

මෙසේ භාරවූ රැඳවියා යළිත් ප්‍රතිකාර සඳහා අඟුණුකොළපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

අදාළ රැඳවියා නැවත බන්ධනාගාර නිලධාරීන් වෙත භාරවී ඇත්තේ පානදුර ප්‍රදේශයේදී බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පවසනවා ෴

++++++++++++++++++++

(28.05.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත්ව ඇති අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 දීමනාව ලබාදීම ලබන සතිය වන විට ආරම්භ වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++

(28.05.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් ආදායම අහිමිවූ පුද්ගලයන් හට ලබාදෙන රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබන ජූනි මස 02 වනදා සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එමෙන්ම කිසියම් දීමනාවක් ලැබීමට සුදුසු එහෙත් දැනට එම දීමනාව නොලැබෙන අයටද අදාළ පන්දහසේ (5000) දීමනාව ලබාදීම සිදුකරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මීට අමතරව දැනට රජයේ දීමනාවක් ලබන එහෙත් එම දීමනාව රුපියල් පන්දහසට (5000) අඩුනම් ඉතිරි මුදලද පියවීම මේ හරහා සිදුකරන බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මේ මස 31 වනදා සිට රුපියල් 1000 ක මුදලකට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක් ඇතුළත් සහන මල්ලක් ලබා දීමට කටයුතු කරන බවයි.

මේ අතර හුදෙකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයේ ජනතාවට බෙදාදීම සඳහා ගබඩා කර තිබූ රුපියල් පන්දහසේ (5000) සහනාධාර මළු 15 ක් සොරකම් කළ පුද්ගලයින් හයදෙනෙකු (6) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අදාළ ගබඩාවේ මුරකරුද අයත් ෴

+++++++++++++++++++

(28.05.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

මීළඟ එන්නත්කරණ වැඩසටහන් යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්වල ක්‍රියාත්මක කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

@@@@@@@@@@@@@@@

ගිනිගන්නා නැවේ පොලිතින් කැට මාරවිල වෙරළටත් – මීගමුව කළපුව වැසේ

(28.05.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් වූ මුහුදේ ගිනි ගනිමින් පවතින රසායනික ද්‍රව්‍ය සහිත ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඉදිරිපස කොටස් වල ගිනි නිවීමේ කටයුතු බොහෝ දුරට අවසන් කර ඇති බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ගිනි ගනිමින් පවතින නෞකාවේ පිටුපස කොටසේ ගිනි නිවීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.

නෞකාවේ තිබී මුහුදට වැටුණු ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන අඩු ඝණත්ව පොලිතීන් කැට මේ වනවිට මාරවිල වෙරළ තීරය දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මෙම පොලිතින් කැට මොරටුව වෙරළ තීරයෙන්ද සොයාගත් බවයි.

මේ අතර අද (28) දිනයේදීත් මීගමුව සහ පමුණුගම වෙරළට මියගිය මත්ස්‍යයින් සහ බහලුම් කිහිපයක් ගොඩගසා තිබූ බව හිරු වාර්තාකරුවන් කියා සිටියා.

එමෙන්ම නෞකාවේ ඉන්ධන සහ අපද්‍රව්‍ය මගින් සිදුවන හානි වලක්වා ගැනීම සඳහා මීගමුව කලපුව සයුරට විවර වන මුඛය බාධක යොදා වසා දැමීමට සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගනු ලැබුවා.

නෞකාවේ රසායනික ද්‍රව්‍ය සහ ඉන්ධන එක්වීම මගින් මෙරට සාගර කලාපයට සිදුව ඇති බලපෑම පිළිබද පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

එම පර්යේෂණ කටයුතු වල නිරත ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ දීප්ත අමරතුංග මහතා සඳහන් කලේ දික්ඕවිට සිට මීගමුව දක්වා වන මුහුදු කලාපයේ පර්යේෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි.

ඒ අනුව දකුණු මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු අද (28) සිට ආරම්භ කර තිබෙනවා.

මෙම තත්වය සමග මුහුදු මත්ස්‍යයන් ආහාරයට ගැනීමට බිය නොවන ලෙසයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී මෙරට මුහුදු තීරය තුල ගිනිගැනීමට ලක්වීම පිළිබදව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ අරාබි මුහුදේදී අදාල නෞකාවේ බහාලුම් 2 ක නයිට්‍රික් ඇසිඩ් කාන්දුවක් සිදුවන බවට අනාවරණය වීමත් සමග කටාර් රාජ්‍යය, නෞකාවට එරට වරායට ඇතුලුවීමට අවසර ලබා නොදුන් තත්වයක් තුල එවැනි අවදානම් නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුලුවීම බරපතල ප්‍රශ්නයක් බවයි.

මේ අතර ගිනිගැනීමට ලක්වූ නෞකාවේ කොටස් සහ සමුද්‍රිය ජල සාම්පල අධිකරණ නියෝගයක් මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.

එසේම නෞකාවෙන් වෙරළ වෙත ගසාගෙන ආ පොලිතින් කැට අඩංගු උර 25 ක් උස්වැටකෙයියාව ප්‍රදේශයේදී පුද්ගලයින් තුන්දෙනෙකු (3) විසින් අලෙවි කිරීමට සූදානම් කර තිබියදී පමුණුගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අද (28) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව නෞකාවේ සිදුවූ ගිණිගැනීම හේතුවෙන් මෙරට සාගර කලාපයට සිදුව ඇති හානියත් ධීවර කර්මාන්තය ඇතුලු ඒ ආශ්‍රිත රැකියාවන්ට සහ ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම පිළිබදව අවධානය යොමු කල යුතු බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිදරව් කර නෞකාව මෙරට සාගර කලාපයට ඇතුලු වූයේ කුමන පාරශවයක අවසරයකට යටත්වද, ඒ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද සහ සිදුවූ හානිය තක්සේරු කර වන්දි ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

******************************************

(28.05.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – උරුත්තිකුරම් – ශිවනගර් ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය විශාල ප්‍රමාණයේ බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

ශිවනගර් ඝනදෙවි කෝවිල් භූමිය පවිත්‍ර කිරීමේදී මෙම බෝම්බය ප්‍රදේශවාසීන්ට ඊයේ (27) හමුව ඇති අතර, ඉන් අනතුරුවයි පොලිසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත්තේ.

අදාළ බෝම්බය පැවති යුද සමයේ ගුවන් යානයක් මගින් හෙළන ලද්දක් බවට සැක කෙරෙන අතර, ඉදිරියේදී එය නිශ්ක්‍රිය කිරීමට පියවර ගන්නා බවයි කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(28.05.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩරයේ ධාරිතාව වෙනස්කර වෙළදපොළට නිකුත් කිරීම තුළින් පාරිභෝගිකයන්ට පාඩුවක් සිදුවන නිසා එම සමාගමට නඩු පැවරීමට අදාළ උපදෙස් ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගෑස් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

******************************************

(28.05.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධනය ගැන නිරන්තරයෙන් කතාවන යුගයක සංවර්ධනය නොදුටු දැඩි අවදානම් සහගත මාර්ග පිළිබඳව ද විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.

අද (28) ‘රතු මිනිත්තුව’ දිග හැරෙන්නේ තාවකාලික පැලැස්තර හමුවේ තවමත් අවදානම් සහගතව පවතින තලාව – හිඟුරන මාර්ගය පිළිබඳවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *