වරාය, ඉන්ධන, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

වරාය, ඉන්ධන, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

*********************************************

වරාය, ඉන්ධන, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

(27.05.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන සේවා, ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින් අත්‍යාවශ්‍ය සේවා බවට නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අණ පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කොරෝනා තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමේ අඛන්ඩ සේවාවක් අවශ්‍ය බැවින්, කොරෝනා නිවාරණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අවධානයට ලක් කර මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.

ඒ අනුව, වරාය අධිකාරිය, ඉන්ධන සැපයුම සහ බෙදා හැරීම, රේගු කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, අත්‍යාවශ්‍ය සේවා යටතට පත් කෙරෙනවා.

ග්‍රාම නිලධාරින් සමෘද්ධී සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් ඇතුළු සියලුම ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරින් මෙන්ම මහබැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ කටයුතු ද ඊට අයත්.

මේ අතර ජුනි 7 වනදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක අතර, මැයි 31 සහ ජුනි 4 වනදා ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ළඟම වෙළඳසැලට පාගමනින් යාමට අවස්ථාව හිමිවනවා.

අදත් (27) කොළඹ නගරයට ඇතුළු වන වාහන පොලීසිය විසින් දැඩි පරීක්ෂාවකට ලක් කළා. ඊයේ (26) දිනයේදී එලෙස සිදුකළ පරීක්ෂාවලින් වාහන 28 ක් පොලිස් භාරයට ගෙන තිබුණා.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ 20 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වූ විවාහ මංගල උත්සවයක් වෙන්නප්පුව පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්හිටුවීමට කටයුතු කළා.

මීට සහභාගි වූ පිරිස ජා-ඇල ප්‍රදේශයේ සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෙන්නප්පුවට පැමිණ ඇති අතර, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවත්, සියලුදෙනාම නිරෝධායනයට යොමුකර ඇති බවත් වාර්තා වනවා.

++++++++++++++++++++

(27.05.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජනක් ප්‍රේමලාල් මහතාට ද කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

ගායන ශිල්පී දයාන් විතාරණ මහතා ෆේස්බුක් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.

කොරෝනා වැළඳුණු ජනක් ප්‍රේමලාල් රංගවේදීයා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1411 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 143,789 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1782 ක් හඳුනාගෙන තිබෙනවා ෴

මැයි මාසයේ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි සහ මහජන ආධාර දීමනා ගැනීමට නොහැකි වූ අයට පමණක්, හෙට (28) සහ අනිද්දා (29) පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා තැපැල් කාර්යාල විවෘතයි ෴

++++++++++++++++++++

(27.05.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 50,000 ක් අද (27) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මීට පෙර ස්පුට්නික් එන්නතේ මාත්‍රා 15,000 ක් දිවයිනට ලැබුණු අතර, ඉන් පුද්ගලයින් 14,984 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

මෙරට කොව්ඩ් මර්දන එන්නත්කරණය අද (27) සිට ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලදීද සිදුකෙරෙන අතර එම කටයුතු අද (27) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

මෙතෙක් බස්නාහිර පළාතේ පමණයි එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූණේ.

මේ අතර, පුද්ගල මරණයක් කොරෝනා ආසාදිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කර තිබෙනවා.

නව චක්‍රලේඛයට අනුව කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයෙකු බවට තහවුරු කිරීම සඳහා වෛද්‍යවරුන් අනුගමනය කළ යුතු නිර්ණායක හඳුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව කිසියම් අයෙකු කොරෝනා රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බවට සායනිකව තහවුරු කිරීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බව එම නිර්ණායකවල ඇතුළත්.

එසේම මරණයට ප්‍රධානතම හේතුව කොරෝනා බවට සාක්ෂි ඇත්නම් පමණක් එය කොරෝනා ආසාදිත පුද්ගල මරණයක් ලෙස තහවුරු කළ යුතු වනවා.

අද (27) මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,782 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,74,059 දක්වා ඉහළ ගියා.

එසේම, අද (27) දිනයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 1,411 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,43,789 ක්.

මේ අතර, කාත්තන්කුඩිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 37 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පොලිස් ස්ථානයේ නිලධාරීන් 87 දෙනෙකුට ඊයේ (26) සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් 37 දෙනා හඳුනාගෙන ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

තවත් කොරෝනා ආසාදිතයන් 790 ක් වාර්තා වනවා. ඒ අනුව අද මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2572 ක් ෴

+++++++++++++++++

(27.05.2021 – 23:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 27 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1325 ක් ලෙසටයි.

ඒ අතරින් මරණ 4 ක් අද (27) දිනයේදී සිදුවී තිබෙනවා.

ඔවුන් බඩල්කුඹුර, බේරුවල සහ මාතලේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 64, 76 සහ 69 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සහ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවක්.

රුසියානු ස්පුට්නික් v කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා 50,000 ක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණ තිබෙනවා. ඒ රජය විසින් රුසියාවෙන් ඇනවුම් කල ස්පුට්නික් – v එන්නත් මාත්‍රා තොගයේ දෙවැනි (2) කොටස ලෙසටයි ෴

+++++++++++++++++

@@@@@@@@@@@@@@@

කිසිදු වරායක් සිය නෞකාව ප්‍රතික්ෂේප කර නැහැ – ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ මව් සමාගමෙන් ප්‍රකාශයක්

(27.05.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවට කටාර් සහ ඉන්දීය වරායන්ට ඇතුලුවීමට ඉඩ ලබා නොදුන් බවට පළවන මාධ්‍ය වාර්තා එම නෞකාවේ සිංගප්පූරු මව් සමාගම ප්‍රතික්ෂේප කරනවා.

හිරු ප්‍රවෘත්ති මේ සම්බන්ධයෙන් එම සමාගමෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ‘එක්ස් ප්‍රෙස්’ නැව් භාණ්ඩ ප්‍රවාහන සමාගමේ ප්‍රකාශකයෙකු කියාසිටියේ ‘එම් වී එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාව ඉන්දියාවේ හසීරා සහ කටාර් රාජ්‍යයේ හමාන් වරායන්ට පිවිස භාණ්ඩ ගොඩබෑමේ සහ පැටවීමේ කටයුතු සිදුකළ බවයි.

එහිදී නයිට්‍රික් අම්ලය සහිත එක් කන්ටේනරයක කාන්දුවක් සිදුවන බව දැන ගැනීමෙන් අනතුරුව එම කන්ටේනරය මෙම වරායන්හි ආරක්ෂිතව ගොඩබෑමට අවසර ඉල්ලා තිබෙනවා.

කෙසේවෙතත් එම වරායන් එම අවසර ලබාදී නැත්තේ එවැනි රසායන ද්‍රව්‍ය ගබඩාකර තැබීමට හෝ මෙහෙයවීමට අවශ්‍ය විශේෂඥ දැනුම එම වරායන් සතුව නොමැති බව පවසමින්. ඉන් අනතුරුවයි නෞකාවේ ඊළග ගමනාන්තය වන කොළඹ වරාය කරා ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාව ගමන් අරඹා ඇත්තේ.

එසේ පැමිණීමෙන් අනතුරුව කොළඹ පිටත වරායේ නැංගුරම්ලා තිබියදී අදාළ නයිට්‍රික් ඇසිඩ් අඩංගු කන්ටේනරය අවටින් ගින්න ආරම්භ වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම නයිට්‍රික් ඇසිඩ් තොගය කුමන රටකට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුනේදැයි හෙළිවී නැහැ.

නෞකාවේ ඊළග ගමනාන්තය ලෙස දැක්වුනේ ඉන්දියාවයි.

මේ අතර නෞකාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිළි කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අද (27) සවස මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ මෙම නෞකාව කොළඹ වරායට අයත් CICT බහලු පර්යන්තයේ සේවාවන් ලබාගැනීමට සැලසුම් කළ නෞකාවක් බවයි.

පසුගිය 19 වනදා රාත්‍රියේ පිටත වරායට පැමිණි මෙම නෞකාව ගුවන්විදුලි පණිවුඩ ඔස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලක මැදිරිය අමතා පවසා ඇත්තේ එය එදින මධ්‍යම රාත්‍රියේ වරායට පැමිණෙන බවයි.

කෙසේවෙතත් ඒ අවස්ථාවේ වරායේ නැංගුරම්පොළ සූදානම් නොමැති බැවින් එය පිටත වරායේ නැංගුරම්ලා තිබෙනවා.

ඒ මොහොතේදීත් නැව තුල කිසිදු විශේෂිත සිද්ධියක් පිළිබඳ දැනුම්දීමක් සිදුවී නැහැ.

මේ සම්බන්ධයෙන් වරාය අධිකාරිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් :

+++++++++++

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පාවී ආ සුන්බුන් එකතු කළ සමහරුන්ට ආසාත්මිකතා

******************************************

ජෝ බයිඩ්න් හමුවූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා

(27.05.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ලොව බලගතුම පුද්ගලයා ලෙස තවමත් සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සමීපව සුහද කතාබහක නිරත වීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.

ලෝක නායකයන් පවා ඇතැම්විට ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට කාලය වෙන් කර ගන්නේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.

එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා මහතා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන් විශ්ව ෆොන්සේකා මහතා එලෙස ජනපති බයිඩ්න් හමුවූයේ එක්සත් ජනපද වෙරළාරක්ෂක ඇකඩමියේ නාවික නිර්මාණ සහ ඉංජිනේරු ශිල්පය පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධි සහතිකය ලබා ගැනීමටයි.

විශ්ව ෆොන්සේකා මහතා ඇමෙරිකාවේ කනෙටිකට් – නිව් ලන්ඩන් හි වෙරළාරක්ෂක ඇකඩමියේ 140 වන උපාධි ප්‍රධානෝත්සවයේදී අදාළ ගෞරව උපාධිය ලබා ගත්තා.

ඔහු සමඟ ඊට එක්වූයේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු සම්පත් වික්‍රමරත්න මහතායි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා බවට පත්වූ මෙම උත්සව අවස්ථාවට ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම, ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ අණදෙන නිලධාරි අද්මිරාල් කාල් ෂුල්ට්ස් ද එක්වුණා.

උපාධි සහතිකය ලබා ගැනීමට පැමිණි විශ්ව ෆොන්සේකා මහතා සමඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක යෙදීමට ද අමතක කළේ නැහැ.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන විශ්ව නාවික හමුදාවට එක්වන්නේ 2015 වසරේදීයි.

සිය පුතු ලද ජයග්‍රහණය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළ විශ්ව ෆොන්සේකා මහතාගේ මව වන ශ්‍රියානි සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ මෙය තමන්ට සිහිනයක් මෙන් හැඟෙන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *