කොවිඩ් නිසා අහිමිව ගිය වෙසක් සැමරුම්

කොවිඩ් නිසා අහිමිව ගිය වෙසක් සැමරුම්

*********************************************

කොවිඩ් නිසා අහිමිව ගිය වෙසක් සැමරුම්

(27.05.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය හමුවේ මෙවරත් වෙසක් උත්සවය සැමරීමට සිදුවුණේ බෞද්ධ ජනතාවට නිවසේ සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසකම ජනතාව මාර්ග දෙපස හා විවිධ ආයතන පරිශ්‍ර වෙසක් සැරසිලි වලින් අලංකාර කර තිබුණා.

2019 වසරේ පාස්කු ප්‍රහාරයත් 2020 වසරේ කොවිඩ් වසංගත තත්ත්වයත් හේතුවෙන් වෙනත් දින වල වෙසක් උත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන වෙසක් තොරණ, දන්සල, වෙසක් කලාප පැවැත්වුණේ නැහැ.

ඒ කොවිඩ්-19 තෙවන (3) රැල්ල අන් සියල්ලටම වඩා ප්‍රභලව ජන ජීවිත වලට එල්ල කල අවදානම හේතුවෙන්.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වෙසක් සැරසිළි දක්නට ලැබුණා.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වෙසක් මංගල්‍යය වෙනුවෙන් අලෝකවත් කර තිබුනා.

කුරුදුවත්ත පොලිසියේ වෙසක් නිර්මාණ ආලෝකවත් කෙරුණේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින්.

කොවිඩ් වෛරසය සංකේතවත් කරමින් නිර්මාණය කර තිබූ පහන් කූඩුවක් අනුරාධපුර ප්‍රදේශයෙන් දක්නට ලැබුනා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුවද හැටන් ප්‍රදේශයේ තරුණයින් මෙම පහන් කූඩු නිර්මාණය කර තිබුණේ ජලය මතයි.

(27.05.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට මෙවර වෙසක් උත්සවය සැමරීමට සිදුවූයේ නිවසට සීමා වෙමින්.

එවන් පසුබිමක නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය දූදරුවන්ගේ හැකියාවන් ඔප්නැංවීමට ඔන්ලයින් ක්‍රමයට බැතිගී සරණියක් සංවිධාන කර තිබුණා.

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි නයනා ලක්ෂිතා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සංකල්පයක් පරිදි මෙවර සම්බුදු තෙමඟුලට සමගාමීව බැති ගී සරණියක් සංවිධාන කර තිබුණා.

කොවිඩ්-19 වසංගය හමුවේ ජනාධිපති බාලිකාවියන් ඊට සහභාගී වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ විද්‍යා සංගමය සෑම වසරකම සංවිධානය කරන ‘ඉසිවර වෙසක් බොදු විදු ඇස’ සමස්ත ලංකා කථික තරගාවලිය මෙවර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.

ඊට දිවයින පුරා පාසල් රැසක සිසු සිසුවියන් සහභාගී වූ අතර, Science Society of Isipathana College නිල යූ ටියුබ් ගිණුම ඔස්සේ තරගකරුවන්ගේ දක්ෂතා ඇගයීමට ඔබට අවස්ථාව හිමිවනවා.

පාසල් මාධ්‍ය වංශ කතා ඉතිහාසයට නවමු අත්දැකීමක් එක්කරමින් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය සෑම වසරකම සංවිධාන කරන ‘අඬහැරය’ සමස්ත ලංකා ත්‍රෛ භාෂා මාධ්‍ය තරගාවලිය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එළැඹෙන 5 වැනිදා ආරම්භ වනවා.

සෙන් ජෝන්ස් කොලේජ් නුගේගොඩ නිල වෙබ් අඩවියෙන් මෙන්ම MBU of St Johns College නිල ෆේස්බුක් සහ යූ ටියුබ් පාසල් ගිණුම ඔස්සේ පාසල් දූදරුවන්ට ඊට සහභාගී වීමට අවස්ථාව උදාවනවා.

+++++++++++++++++++++

(27.05.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා උල්ලංඝණය කිරීම් පිළිබඳව සොයා බැලීමට යුධ හමුදාවේ 53 වන සේනාංකයේ හැට (60) දෙනෙකු ගෙන් යුත් යතුරුපැදි බලකායක් අද (27) රාජකාරී ආරම්භ කළා.

මෙහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (27) ආරම්භ කළ බවයි යුද හමුදාවේ 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා කියා සිටියේ.

එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සංචරණ සීමාවන්ට අනුගත නොවන පුද්ගලයින් සොයා ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් පොලිසිය හා එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් අද (27) සිට ආරම්භ කළා.

මෙම මෙහෙයුම සිදුකරනු ලබන්නේ චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨය, කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, අනුරාධපුර, වව්නියාව, පලාලි, වීරවිල, මුලතිව් සහ දියතලාව යන ගුවන් හමුදා කඳවුරු සම්බන්ධීකරණය කරමින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද (27) සිට සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ මෙහෙයුම් තවදුරටත් දැඩි කරන බවයි.

++++++++++++++++++++

(27.05.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ රෝගීන් මහමඟ මිය යද්දී කොවිඩ් ආසාධිතව අපේ රටේ මහ මඟ දමා ගොස් සිටි වයෝවෘද්ධ යුවළක් රෝහල් ගත කර සුව කළ පුවතක් අයි.ඩී.එච්. රෝහලේ වාර්තා වනවා.

මීට සතියකට පමණ පෙර දී මෙම මහලු යුවල වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහමග දමාගොස් තිබුණා.

ප්‍රදේශවාසින් කියා සිටියේ මෙම යුවලගේ පුතා විසින් මෙලෙස මෙම මහලු යුවල මඟ දමා ගිය බවයි.

ඇවිද ගැනීමට පවා නොහැකිව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම යුවළට ඒ අසල සිටි පිරිස් වරින් වර උදවු උපකාර කර තිබෙනවා.

නමුත් දිනෙන් දින ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වුයේ මෙම වයසට ලැබියම යුතු නිසි සැලකිල්ල සහ අවධානය නොමැති කමින්.

කෙසේ වෙතත් මේ යුවලට කොරෝනා ආසාදිත වී ඇති බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පසුව හඳුනා ගැනෙනවා.

ඒ අනුවයි ඔවුන් මැදිහත්ව මහමග වැටී සිටි මෙම යුවළ අයි.ඩී.එච්. රෝහල වෙත භාර දීමට කටයුතු කරන්නේ.

අයි.ඩී.එච්. රෝහලේ දී ලැබෙන ප්‍රතිකාර සහ කරුණාව හමුවේ ඔවුන් දෙදෙනා (2) පූර්ණ සුවය ලබනවා.

කෙසේ වෙතත් සුවය ලැබූ ඔවුන් දෙදෙනා (2) බාර ගැනීමට කිසිවකුත් ඉදිරිපත් වී නැහැ.

මේ හේතුවෙන් ඒම මහලු කාන්තාව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාර නිලධාරි හරහා කළුතර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකට භාර දීමට කටයුතු කළා.

සුවය ලැබූ වයසක පියාට යම් මානසික ආබාධයක් ඇති බව හෙළිවීම නිසා ඔහු අංගොඩ රෝහල වෙත භාරදී තිබෙනවා.

ඔහුගේ මානසික ආබාධය සුව වීමෙන් අනතුරුව එම මහලු පියාත් කලුතර වැඩිහිටි නිවාසයටම භාර දීමටයි සෞඛ්‍ය නිලධාරීන් තීරණය කර ඇත්තේ.

@@@@@@@@@@@@@@@@

(27.05.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – එරක්කන්ඩි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (27) අලුයම ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි ධීවරයන් බව සඳහන්.

මෙම පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන මොවුන් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තය සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ ෴

******************************************

(27.05.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) පෙරවරුවේ අත්සන් තැබූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද (27) සිට බලාත්මක වනවා.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 91 කින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

තුන්වර (3) කියවීමේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 149 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 58 ක් පමණයි ෴

******************************************

(27.05.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් සෞඛ්‍ය අවධානම පවතින අවස්ථාවන්හි වසා තිබෙන කෝවිල්වල භාණ්ඩ සොරාගත් කල්ලියක පුද්ගලයින් පස් දෙනෙකු (5) අද (27) අත්අඩංගුවට ගත් බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ වවුනියාව, පූවරාසන්කුලම හා තාලිකුලම ප්‍රදේශයන්හි කෝවිල්වල භාණ්ඩ සොරා ගැනීම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන සැකකරුවන් පූවරසන්කුලම ප්‍රදේශයේ කෝවිලකින් හා තාලිකුලම ප්‍රදේශයේ කෝවිල් භාණ්ඩ මෙලෙස සොරාගෙන තිබෙනවා.

ඔවුන් සොරකම් කර තිබු ජල පොම්ප පහක් (5), ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලයක්, කෝවිලක පිං කැටයක් හා සොරා ගැනීම් වෙනුවෙන් භාවිතා කළ යතුරුපැදියක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්දයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

ඉන්දියාවෙන් නිවූ ශ්‍රී ලංකාවේ නැව් ගින්න

(27.05.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ ගින්න මේවන විට සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබෙනවා.

ඒ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ යාත්‍රා 3 ක් සහ ඩ්‍රෝන ගුවන්යානාවක් සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ මේවන විට ගින්න බොහෝ දුරට පාලනය කර ඇති අතර නෞකාව හොඳින් දර්ශනය වන බවයි.

එමෙන්ම ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල ඉදිරි පැය කිහිපයේදී නෙලා ගැනීමට හැකිවනු ඇති බවටත් ඔවුන් විශ්වාසය පළ කරනවා.

++++++++++++++

+++++++++++++++++++

වෙනත් රටවල් ප්‍රතික්ෂේප කළ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව, ශ්‍රී ලංකාව භාර ගැනීමේ සිද්ධිය පිලිබඳව කරුණු අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිට වෙරළට ගොඩගැසී ඇති රසායනික අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය නිසා, සිදුව ඇති පරිසර හානිය පිළිබඳව සොයා බැලීමට සරුක්කුව ප්‍රදේශයේ අද (27) සිදුකළ සංචාරයකදීයි.

මෙම සිද්ධියෙන් සිදුවූ පරිසර හානිය පිලිබඳ සෙවීමට තවත් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී සඳහන් කළා ෴

******************************************

(27.05.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කල හදිසි වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග
පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවාය බලහරුව ප්‍රදේශයේ සිට මහියංගනය දක්වා මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදීයි අදාල සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම ගංජා වල වටිනාකමක රුපියල් ලක්ෂ දෙකකට (2) අධික වන අතර අත්අඩංගුවට ගත් සැකකරු බලහරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිහක (40) පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්දයෙන් මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබන අතර සැකකරු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(27.05.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ වේල්ල හරහා වැටී ඇති මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන මාසයක කාලයක් සඳහා එම වේල්ල මත සියලු ප්‍රවාහන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, එම වේල්ල හරහා අරංගල හා කලපිටිය යන ප්‍රදේශවලට ගමන් ගන්නා ජනතාවට බස් රථ ධාවනය වේල්ල ආසන්නයට පමණක් සිදුකිරීමටත්, වේල්ල හරහා පාගමනින් ගොස් යළි බස් රථ මගින් ගමන් කිරීමටත් ප්‍රවාහන පහසුකම් සැලසීමටත් පියවර ගෙන ඇති බවයි මහවැලි කලාප ආශ්‍රිත ඇළ වේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

අදාළ මාර්ගය මෙලෙස ගිලා බැසීමට හේතුව විද්‍යාත්මකව හඳුනා ගැනීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස විෂය භාර රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා අද (27) එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *