කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

*********************************************

කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

(25.05.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

කැළණි, කළු, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැළණි ගඟ, කෙහෙල්ගමුව ඔයෙන් මෙන්ම, ග්ලෙන්කෝස් සහ නෝර්වුඩ් යන ස්ථානවලින් පිටාර මට්ටමට ආසන්නව පවතින බවයි.

එසේම, කළු ගඟ, රත්නපුරයෙන් පිටාර ගලා ඇති අතර, මඟුර සහ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නව පවතිනවා.

නිල්වලා ගග, පානදුගමින් සහ අත්තනගලු ඔය – දූනමලෙන් පිටාර මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

(25.05.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක කාලය තුල රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්ක වලට දැඩි වර්ෂාවක් පතිත වී තිබෙනවා.

මේ අතරින් වැඩිම වර්ෂාපතනය වන මිලි මීටර් 181.5 වාර්තා වන්නේ රත්නපුර, හැලේබොඩ ප්‍රදේශයෙන්.

එමෙන්ම කෑගල්ල, දෙහිඕවිට ප්‍රදේශයට පතිත වී ඇති වර්ෂාව සටහන් වන්නේ මිලි මීටර් 173.5 ක් ලෙසින්.

මීට අමතරව වේවැල්වත්ත, නාවලපිටිය, බුලත්කොහුපිටිය, වෙලේබොඩ ආදී ප්‍රදේශවලට මිලිමීටර් 130 ඉක්මවූ දැඩි වර්ෂාපතනයක් සිදුව තිබෙනවා.

ඊයේ (24) දිනය තුලදී දිස්ත්‍රික්ක 04 ක ස්ථාන 20 ක මිලිමීටර 100 වැඩි වර්ෂාපතනයක් වාර්තාවීම විශේෂ සිදුවීමක්.

ඊයේ (24) දිනය තුල ඇතිවූ වර්ෂාපතනයක් පිළිබද වාර්තාවේ අවම වර්ෂාපතනය ලෙස සටහන් වන්නේ කෑගල්ල අරණායකට ඇදහැලුණු මිලි මීටර් 74.5 ක වර්ෂාපතනයයි.

දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය අද (25) දිනය තුළදීත් පැවතිය හැකි බවට අනාවැකි පලකරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට මිලි මීටර් 150 ඉක්මවූ වැසි අද (25) දිනය තුලත් අපේක්ෂා කළ හැකි බවයි.

එමෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකි බැවින් විශේෂයෙන්ම පස් කඳු කඩා වැටීම් සහ නාය යාම් කෙරෙහි දැඩි අවධානයකින් පසුවන ලෙසත් අනතුරු අඟවනවා.

එමෙන්ම උතුරු සහ උතුරු මැද පළාත් හරහා පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර දැඩි සුළං බලාපොරොත්තු විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී එම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ඉක්මවා යා හැකි බවටත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

******************************************

(25.05.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමග තමන් පොහොර හිඟයහකට මුහුණ පා ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

රජයේ මෙම හදිසි තිරණය හේතුවෙන් තමන්ද දැඩි අසීරුතාවකට පත්ව ඇති බව දේශීය මල්වගාකරුවන් පවසනවා.

රසායනික පොහොර නොමැති වීමෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් මේ වන විට මුහුණ දී සිටින්නේ දැඩි ගැටලුවකටයි.

මේ සූරියවැව යාය 550 ප්‍රදේශයේ අක්කර 700 ක පමණ සිදුකර ඇති වී වගාවයි.

රසායනික පොහොර නිසි වෙලාවට නොලැබීම හේතුවෙන් ප්‍රදේශයේ ගොයම් පැළ කහ පැහැ ගැන්වී ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා.

ගොවීන් වැඩිදුරටත් පවසන්නේ මිලදීගැනීමට ප්‍රදේශයේ වෙළෙඳසැල්වල ප්‍රමාණවත්ව පොහොර තිබුණද වෙළෙඳුන් ඒවා සඟවා තබා ගනිමින් වැඩි මිලට අලෙවි කරන බවයි.

දියතලාව පහලකඳුරුගමුව ගම්මානයේ පවුල් 250 කගේ පමණ ප්‍රධාන ජීවනෝපායමාර්ගය වන්නේ මල්ව ගාවයි.

නමුත් රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමඟ වගා කටයුතු කරගත නොහැකිව තමන්ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව දියතලාව මල්වගාකරුවන් පවසනවා.

එමෙන්ම මේ වන විට වගාබිම්වල අස්වනු නෙලන කාලය පැමිණ ඇතත් කොවිඩ් වසංගතයත් සමඟ ආගමික ස්ථාන වසාතැබෙන බැවින් හා මංගල සහ අවමංගල්‍ය උත්සව නොපැවැත්වෙන බැවින් තම අස්වැන්න විකුණාගත නොහැකිව මොවුන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවටයි.

******************************************

(25.05.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

ඉංගිරිය, නම්බපාන කැටකැඩඇල්ල පාලම අසළ මාර්ග බාධකයේ දී හෙරොයින් මත්කුඩු තොගයක් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝගී බිරිඳට බෙහෙත් ගෙනයන මුවාවෙන් මොහු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවයි පොලිසිය සඳහන් කළේ.

රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට නිලධාරීන් නවතන ලෙස සංඥා කිරීමෙන් අනතුරුව සැකකරු එකවරම බිස්කට් පැකට්ටුවක් එම ආරක්ෂක නිලධාරීන් වෙත දිගුකර එම ස්ථානයෙන් ගැලවී යාමට උත්සාහ කර තිබෙනවා.

පසුව ආරක්ෂක නිලධාරීන්ට එම පුද්ගලයා පිලිබඳ සැක පල වී පරික්ෂා කිරීමේදී මෙම හෙරොයින් සොයාගෙන තිබෙනවා.

මෙම හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව පොලිසිය අප කල විමසීමකදී සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු වන අතර හොරණ එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පරීක්ෂණ වලින් හෙළිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

******************************************

(25.05.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

හෙටට (26) යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයේදී ඡායා චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදාවනවා.

හෙට (26) පස්වරු 06:23 ට නැගෙනහිර ගිණිකොණ ක්ෂිතිජයෙන් චන්ද්‍රයා නැග ආ වේලාවේ සිට ග්‍රහණය අවසානය වන පස්වරු 07:20 තෙක් වන කාලයේදී ශ්‍රී ලංකාවට මෙම ඡායා චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ.

මෙය 2019 වසරෙන් පසු සිදුවන පළමු චන්ද්‍රග්‍රහණය වන අතර ඔස්ට්‍රේලියාව, අමෙරිකාව හා ගිණිකොණ දිග ආසියාව වැනි ප්‍රදේශවලට දිස් වන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසටයි.

මෙම ග්‍රහණයේ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් පූර්ණ ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් වන්නේ නැහැ ෴

******************************************

ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාගේ තත්ත්වය බරපතලයි

(25.05.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) සවස කොළඹ වෝඩ් පෙදෙසේ ඇවිද යමින් සිටියදී සිහිසුන්ව බිම ඇදවැටී අනතුරට ලක්වූ ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ ස්වාමිපුරුෂයා වන උපාලි ජයසිංහගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මෙලෙස හදිසි අනතුරට ලක්වන්නේ ඊයේ (24) සවස ශරීර සුවතාව සඳහා ඇවිදිමින් සිටියදීයි.

මෙම ඇදවැටීම හේතුවෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදුවී ඇති අතර අධික රුධිර වහනයක්ද සිදුවී ඇති බව වාර්තා වනවා.

නිවස ආසන්නයේ ඇදවැටුණු උපාලි ජයසිංහ එලෙස විනාඩි විස්සක (20) පමණ කාලයක් සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ අවස්ථාවේ ඒ අසලින් ගිය වෛද්‍යවරයෙකු මෙම සිද්ධිය දැක ඔහු මැදිහත්ව උපාලි ජයසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුත කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්වූ උපාලි ජයසිංහ වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර ඔහු රෝහල් ගතකරන විටත් සිහිසුන් තත්ත්වයේ සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරුණු උපාලි ජයසිංහ ඊට ටික වේලාවකට පසුව කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයකට ඇතුලත් කර තිබෙනවා.

මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

+++++++++++

******************************************

(25.05.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය ඉරණමඩු වැවේ ජලය කුඹුරු වෙත රැගෙන යන ඇළක තිබි පුද්ගල මළ සිරුරක් අද (25) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත අදාළ ඇළේ පාවෙමින් තිබු පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

මේ අතර මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ තිබියදිද අද (25) උදැසන තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක කොටස් හමුවු බව මන්නාරම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ නරක් වු පුද්ගල මළ සිරුරක් එලෙස හමුව ඇති අතර, අදාළ මළ සිරුරේ අස්ථි කොටස් ද දැක ගැනීමට හැකිවන බවයි.

මළ සිරුරුරේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගායට යොමුකොට ඇති බවද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවනු ලබනවා ෴

******************************************

(25.05.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස ඇති වූ ගින්න මේ වනවිට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පසුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බව නාවික හමුදාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පැවසුවේ මුහුදේ රළු ස්වභාවය මත මේ වනවිට නෞකාව දකුණු පසට මදක් ඇලව පවතින බවයි.

එසේම, කාලගුණික තත්ත්වයේ වෙනස්වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය, ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇතැයි ද නාවික හමුදාව පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත ප්‍රජාවට එම මුහුදු ප්‍රදේශය මඟ හැර තම ධීවර කටයුතුවල නිරත වන ලෙසටයි නාවික හමුදාව දැනුම් දෙන්නේ.

ගින්න නිවා දැමීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ‘විභාව් – වජ්රා’ නෞකා ද්විත්වයත්, වෙරලාරක්ෂක බලකායට අයත් ඩ්‍රෝණ යාත්‍රාවක් සහ ටග් යාත්‍රාවක් යොදවා ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් හා කොටස් කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට පැමිණිය හැකි බැවින් රසායනික ද්‍රව්‍ය ඇතුළත් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි.

එවන් ද්‍රව්‍ය දුටු වහාම පොලීසියට හෝ 117 අංකයට දැනුම් දෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නා.

මේ අතර ගිනිගන්නා නැවේ අලුත්ම ගුවන් දර්ශන පෙන්වා දෙන්නේ එම නැව අවට ජල තලයේ යම් කිසි තෙල් පැල්ලමක් වැනි දෙයක් ඇති බවයි.

කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ අද (25) උදෑසන සිදුකල ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී බරපතල පරිසර හානියක් නිරීක්ෂණය නොවූ බවයි.

******************************************

(25.05.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පෝය නිමිත්තෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 240 කට හෙට (26) දිනයේ නිදහස ලබා දීමට නියමිතව ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා ෴

******************************************

(25.05.2021 – 18:59 +0530 – hirunews.lk/sinhala)

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ග ගත සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයන් සමඟ ඊයේ (24) පැවති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාවේ වන ආවරණය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවූ අතර, ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වන ඝණත්වය ඉහළ නැංවීමේදී මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ආහාරයට ගත හැකි වගාවන්ට ප්‍රමුඛත්වය ලබාදීම වැදගත් බවයි.

******************************************

(25.05.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍ර වෙනුවට, වාහන ගෙන්වා එම වාහන වල තීරුබදු රහිත වටිනාකම පමණක් අය කිරීමට මීට පෙර රජය ගෙන තිබූ තීරණය අත්හිටුවූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ද සඳහන් කළා.

ඊයේ (24) රැස්වූ කැබිනට් මණ්ඩලය රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන තීරණය කර තිබුණේ සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට පැවති යෝජනාව අත්හිටුවීමටයි.

කෙසේ වෙතත්, අවශ්‍යතාවය මත ගිලන් රථ, බවුසර් ආදිය ගෙන්වීමට රජය අවසර ලබාදී තිබෙන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

තමන් මුහුණදෙන අපහසුතා සැලකිල්ලට ගෙන වාහන සහ කොළඹින් නිවාස පහසුකම් ලබාදෙන ලෙසට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව අප මීට පෙර වාර්තා කළා ෴

@@@@@@@@@@@@@@@@@@

(25.05.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා සහය ලබාදීමේ අරමුණින් ඇමෙරිකාවෙන් රුපියල් මිලියන 13 ක් වටිනා කොරෝනා පරීක්ෂණ කට්ටල තොගයක් ලබාදී තිබෙනවා.

එම කොරෝනා පරීක්ෂණ කට්ටල 4700 ක තොගය ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙනුවෙන්, ඇමෙරිකානු පැසිෆික් නාවික බලකා කණ්ඩායම විසින්, රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත භාර දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානුෂීය ආධාර හා ආපදා ප්‍රතිචාර වැඩසටහන යටතේ එම පරිත්‍යාගය සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1808 ක් හඳුනාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++

(25.05.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර නිලධාරීන් කොවිඩ් ආසාධිත තත්වයට පත්වුවහොත් ඔවුන්ට පහසුකම් සහිතව ප්‍රතිකාර ලබාදීම සදහා අගුණුකොලපැලැස්ස නව බන්ධනාගාර පරිශ්‍රය තුල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භකර තිබෙනවා.

මෙහි පහසුකම් සහිත නිවාස 06 ක් සකස්කර ඇත.

එහි එකවර නිලධාරීන් 50 දෙනෙකුට ප්‍රතිකාර ලබාදිය හැකි අතර නිලධාරීන්සගේ පවුලේ සාමාජිකයන් ආසාධිත වුවහොත් ඔවුන්ටද එකටසිට ප්‍රතිකාර ලබාදීමට හැකිවන පරිදි මෙය සකසා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වෛද්‍යවරයෙකු ද අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ද ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මෙහි ප්‍රතිකාර සදහා ඇතුලත් කරනු ලබන නිලධාරීන්ගේ සියළුම සුභසාධන කටයුතු සම්බන්ධව කටයුතු කිරීම සදහා බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙකු යටතේ කාර්යය මණ්ඩලයක් යොමු කිරීමට කටයුතු යොදා ඇත.

කිසියම් බන්ධනාගාර නිලධාරියෙකු ආසාධිතයෙකු බවට පත්වූ අවස්ථාවල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත්වීම සදහා 011 467 7101 අංකය ඔස්සේ බන්ධනාගාර කොවිඩ් පාලන කමිටුව වෙත දැන්වීමෙන් අවශ්‍ය පහසුකම් සම්පාදනය කල හැකියි ෴

සංචරණ සීමා උල්ලංඝනය කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් වෛද්‍ය ලාංඡනය අවභාවිත කළ පුද්ගලයින් තුන් දෙනෙකු (3) කොළඹදී අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(25.05.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ගලේවල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ ඉබ්බංකටුව ප්‍රදේශයේදී අද (25) දින කොරොනා ආසාදනය වූ හතර දෙනෙකු (4) රැගත් බන්ධනාගාර බස් රථයක් ඉන්ධන ප්‍රවාහනය කරන බවුසරයක ගැටීමෙන් එම රැදවියන් හතර දෙනා (4) සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල වාරියපොල බන්ධනාගාරයක සිට කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියන් හතර දෙනෙකු (4) යාපනය බන්ධනාගාරය වෙත රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයක් සහ කන්තලේ ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් බව පොලිසිය සඳහන් කළා.

කොරෝනා ආසාදනය වූ රැඳවියන් හතරදෙනා (4) ප්‍රතිකාර කිරීම් සඳහා ගිලන්රථ මගින් යාපනය බන්ධනාගාර රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබෙනවා.

සෙසු තුවාලකරුවන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව ගලේවෙල පොලිසිය සඳහන් කළා.

අනතුරට හේතුව බවුසර් රථයේ රියදුරුට නින්ද යෑම බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුර සිදු වීමත් සමඟ කිසියම් පිරිසක් ඉන්ධන බව්සරයේ බැටරි සොරාගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

++++++++++++++++++++

(25.05.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද (25) සංචරණ සීමා ලිහිල් කළ අතර ඇතැම් ප්‍රදේශවල ජනතාව රථවාහනවල ගමන් කරමින් ලබාදුන් උපදෙස් උල්ලංඝනය කරන ආකාරයක් දක්නට ලැබුණා.

පාගමනින් පැමිණ ළඟම වෙළඳසැලෙන් භාණ්ඩ මිලදී ගන්නා ලෙස දැනුවත් කර තිබූ අතර, ඇතැම් පිරිස් විල්බැරෝ උපයෝගි කරගෙන භාණ්ඩ ප්‍රවාහනය කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඇතැම් ස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, සැලකිය යුතු පිරිසක් සංචරණ සීමාවන්ට යටත්ව කටයුතු කළ බවට ද ප්‍රදේශ රැසකින් වාර්තා වුණා.

මේ අතර, වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් සහ වෛද්‍ය ලාංඡනය අවභාවිත කරමින් කටයුතු කළ තිදෙනෙකු ද පොලීසිය අද (25) කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, සංචරණ සීමා පනවා තිබියදී නිරෝධායන නීති උල්ලංඝනය කර නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 3 දෙනෙකු ද බේරුවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ද අද (25) විවෘත කර තිබූ අතර, මත්ස්‍ය මිල ගණන් ඉහළ මට්ටමක පැවති බව වාර්තා වනවා.

දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අද (25) අලුයම 4 ට ලිහිල් කෙරුණු අතර එය අද රාත්‍රී 11 ට යළි බලාත්මක වනවා.

ඒ අනුව, ජුනි 7 වනදා දක්වා එය බලපැවැත්වෙන අතර, මැයි 31 සහ ජුනි 4 යන දිනයන්හි යළි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතයි.

+++++++++++++++++++

(25.05.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාවය අනුව ග්‍රාම නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසටද එන්නත් ලබානොදීමට විරෝධය පළ කරමින් ග්‍රාම නිලධාරීන් අද (25) මධ්‍යම රාත්‍රි දොලහේ සිට වැඩවර්ජනයක නිරත වීමට සූදානම් වනවා.

වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂතාවක් දක්වමින් සිදුකරන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් අද (25) පෙරවරුවේ සිට කොරෝනා මර්දන කටයුතුවලින් ඉවත් වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් ඊයේ (24) අනතුරු ඇඟවීමක් සිදු කළා.

කෙසේ වෙතත්, එම ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කළේ සෞඛ්‍ය ඇමතිවරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ටද එන්නත ලබාගැනීමට අවස්ථාව ලබාදීමට එකඟත්වය පළ වී තිබුණා.

ඒ අනුව, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එන්නත් ලබාදීමෙන් අනතුරුව මෙලෙස ක්ෂේත්‍ර රාජකාරීවල නිරත තම පිරිසටද එන්නත් ලබාදීමට පියවර ගත යුතු බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා කියා සිටියේ.

මේ අතර, චීනය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක (05) තොගය අද (25) රාත්‍රි දහයට (10) දිවයිනට ළඟාවීමට නියමිතයි.

මීට පෙර චීනය විසින් එම එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළා.

එසේම, රුසියානු ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000 ක්ද ලබන සිකුරාදා දිවයිනට ලැබීමට නියමිතව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

මේ අතර කොවිඩ් මරණවල අවසන් කටයුතු කිරීම සඳහා ඝන කඩදාසිවලින් නිර්මාණය කළ කාඩිබෝඩ් උපයෝගී කරගනිමින් සැකසූ මිනී පෙට්ටි භාවිත කිරීම අද (25) පළමුවරට සිදුකෙරුණේ කොහුවල ආදාහනාගාරයේදීයි.

එය නිර්මාණය කර ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින්.

මේ අතර, කොරෝනා ආසාදිත බන්ධනාගාර නිලධාරීන්ට සහ නේවාසිකයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අඟුණුකොලපැලැස්ස නව බන්ධනාගාර පරිශ්‍රය තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *