ගිනි ගැනීමට ලක්වන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු (2) ජාතික රෝහලට

ගිනි ගැනීමට ලක්වන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු (2) ජාතික රෝහලට

*********************************************

ගිනි ගැනීමට ලක්වන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු (2) ජාතික රෝහලට

(25.05.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු (2) ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, නෞකාවේ ගින්න වර්ධනය වීමත් සමඟ එහි තිබූ බහාළුම් 08 ක් මේ වනවිට මුහුදට වැටී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළා.

කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා ඇති සිංගප්පූරුවට අයත් ටොන් 37,000 ක් බරැති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ බහාලුම් 1,486 ක් සමන්විත අතර එහි ගින්නක් හට ගනු ලැබුවේ පසුගිය 19 වනදායි.

නෞකාවේ හටගෙන ඇති ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සිංගප්පූරු සමාගමක් ද හවුල් වී තිබෙනවා.

(25.05.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමකට ලක්වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදාගන තිබෙනවා.

එමගින් ගිනි නිවීමේ රසායනික නෞකාව මතට ගුවනින් හෙලීමට නියමිතයි.

එමෙන්ම, ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කරලීම සඳහා නෞකාව නාවික සැතපුම් 50 ක් පමණ ඈතට රැගෙන යාමට කටයුතු කර ඇති බව සඳහන්.

මේ අතර කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ මෙම නෞකාවේ 25 දෙනෙකුගෙන් යුත් සමස්ත කාර්ය මණ්ඩලය අද (25) ඉන් ඉවත් කර ගැනුණා.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත් වීමෙන්.

නෞකාවේ සාමාජිකයින් දෙදෙනෙකු (2) ද එහි ඇති වූ පිපිරීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම, නෞකාවේ ගින්න වර්ධනය වීමත් සමඟ එහි තිබූ බහාළුම් 08 ක් ද මුහුදට වැටී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.

කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා ඇති සිංගප්පූරුවට අයත් ටොන් 37,000 ක් බරැති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාළුම් 1,486 ක් සමන්විත අතර එහි ගින්නක් හට ගනු ලැබුවේ පසුගිය 19 වනදායි ෴

(25.05.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට කොළඹ පිටත වාරයේ නැංඟුරම් ලා ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් මුහුදට වැටුණු කන්ටේනර් අතරින් කන්ටේනර් තුනක (3) එපොක්සිරේසින් (Epoxy Resin) නම් රසායන ද්‍රව්‍ය අඩංගුව ඇති බවට වාර්තා වනවා.

මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් අසලට නොයන ලෙසත් යම් ලෙසකින් එම කන්ටේනර් ඇස ගැටුනහොත් ඒවා ඇති ස්ථාන පිළිබඳව පොලිසියට හෝ ධීවර කාර්යාලය දැනුම්වත් කරන ලෙසත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙරළාසන්න ප්‍රදේශ වල ධීවර කාටයුතුවල යෙදෙන සුළුපන්න ධීවරයින්ට සහ අනෙක් ධීවරයින්ට දැනුම් දෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ මෙම කන්ටේනර් තුල ඇති රසායන ද්‍රව්‍ය මගින් ස්වසන අපහසුතා සහ ආසාත්මිකතා ඇති කරන බවයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබුනේ මේ ආකාරයෙන්.

(25.05.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය රජය වෙරළාරක්ෂක යාත්‍රා දෙකක්, ගුවන් යානයක් සහ ටග් යාත්‍රාවක් යොදවා තිබෙනවා.

මේ අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් හා කොටස් කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට පැමිණිය හැකි බැවින් රසායනික ද්‍රව්‍ය ඇතුළත් ඒවා ඇල්ලීමෙන් වළකින්නැයි දැනුම් දීමක් කර තිබෙනවා.

දුටු වහාම පොලිසිය හෝ 117 අමතන්න ෴

******************************************

(25.05.2021 – 09:48 +0530 – hirunews.lk/sinhala)

වටවල පොලිස් වසමට අයත් හුදකලා කර ඇති වැලිඔය වත්ත පහල කොටසේ වතු නිවාස පේලියක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස රැසකට හානි සිදු වී තිබෙනවා.

මේ අතර බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය ඊයේ (24) රාත්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇති බවත්, ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්වි විවෘත කර ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ෴

******************************************

(25.05.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර හුවමරුව සහ නව කැළණි පාලම සම්බන්ධ කරමින් කණුමතින් ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ‘චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන්’ සමාගම වෙත භාරදීමට තීරණය වී තිබෙනවා.

මෙම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන්නේ ඉදිකොට පවත්වාගෙන ගොස් භාරදීමේ හෙවත් BOT පදනම යටතේයි.

මෙම මාර්ග එම පදනම යත්තේ ඉදිකිරිම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.

ඒ අනුව සිදුකළ ලංසු කැඳවීම් තාක්ෂණික කමිටු අනුමැතියෙන් පසුවයි මෙම සංවර්ධන කටයුත්ත අදාල චීන සමාගමට පැවරීමට තීරණය කර ඇත්තේ.

මේ අතර වාහන සීමිත ප්‍රමාණයක් හෝ ආනයනය නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීම පිළිබඳව අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සංවාදයට ලක්වුණා.

එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ එම සීමාවන් පවතිද්දී වී-8 වර්ගයේ සුඛෝපභෝගි වාහන කිහිපයක් ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ණයවර ලිපි නිකුත් කර ඇත්තේ මන්ද යන්නයි.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා බැංකුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ගණුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බැවින් එවැනි තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කළ නොහැකි බවයි.

******************************************

(25.05.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති යාස් සුළි කුණාටුව මේ වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉදිරි පැය 12 තුල ඉතා චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (26) අලුයම් කාලයේ ඉන්දියායේ ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති.

මේ අතර, යාස් සුළි කුණාටුව හේතුවෙන් උතුරු අන්දමන් සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමගින් වැඩිදුරටත් කියා සිටියේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 90 ත්, 100 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවයි.

යාස් සුළි සුළඟේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින වටා මුහුදු ප්‍රදේශවලද තද වැසි ඇතිවිය හැකියි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටර් 03 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමිට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ නිසා නැවත දැනුම් දෙනතුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ මෙන්ම දිවයින වටාම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස එමඟින් දැනුම් දෙනවා.

දැනට මෙම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසටද කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කෙරෙනවා.

මේ අතර, ගත වූ පැය 24 ක කාලය තුල රත්නපුර – ගලේබොඩ ප්‍රදේශයට ඊයේ මිලිමීටර් 181.5 ක ඉහළ වර්ෂාපතනයක් ලැබුණු අතර, කෑගල්ල – දෙහිඕවිට ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 173.5 ක්.

රත්නපුර – වේවැල්වත්ත ප්‍රදේශයට මිලිමීටර් 157 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

එමෙන්ම, කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි පහත් බිම් වල මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.කේ.සී. සුගීශ්වර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (25) සහ හෙට (26) දිනයේදීත් තද වැසි ඇතිවුවහොත් රත්නපුරයට මහ ගංවතුරක අවදානමක් පවතින බවයි.

එමෙන්ම, කැළණි ගඟ, නිල්වලා ගඟ සහ මහවැලි ගඟේ ජල මට්ටම් ද මේ වනවිට ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර, කුකුළේ ගඟ ජලාශයේ වාන්දොරටු දෙකක් (2) විවෘත කිරීම හේතුවෙන් බුලත්සිංහල – මෝල්කාව මාර්ගය මේ වනවිට ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 5 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වලට යළි හෙට (26) පස්වරුව දක්වා නාය යෑම් අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

@@@@@@@@@@@@@@

(25.05.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වසර අවසාන වීමට පෙර සමස්ත ජනගහනයෙන් සියයට 60 ත් 70 ත් අතර ප්‍රමාණයක් එන්නත්කරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍යකරන එන්නත් මාත්‍රා මිලියන 15 ක් චීනයේ සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 14 ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක් වශයෙන් මෙලෙස මිලදී ගැනීමට තීරණය කෙරුණා.

ඒ සඳහා ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට මණ්ඩල අනුමැතිය හිමි වුණා ෴

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීට පෙර කොවිඩ් ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට ද හඳුනා ගැනුණා ෴

+++++++++++++++++

(25.05.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් තෙවැනි (3) රැල්ල හේතුවෙන් මෙරට රෝහල් පාද්ධතිය තුල ඉහළ ගොස් ඇති ඔක්සිජන් ඉල්ලුම සපුරාලීමට වහාම පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පළාත් මට්ටමින් හඳුනාගත් රෝහල් 25 ක් තුළ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි පරිදි නළ මඟින් ඔක්සිජන් සැපයෙන විශේෂිත අධි සත්කාර එක්ක 25 ක් ස්ථාන ගත කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම තෝරාගත් දුර බැහැර ප්‍රදේශවල පිහිටි රෝහල් 15 ක් තුළ ඔක්සිජන් ජනන යන්ත්‍ර 15 ක් ස්ථාපිත කිරීමටත් එක් දිස්ත්‍රික්කයක් සඳහා ජංගම ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 100 බැගින් දිස්ත්‍රික්ක 25 සඳහා එවැනි යන්ත්‍ර 2500 ක් සැපයීමටත් සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හරහා ඔක්සිජන් සිලින්ඩර් සඳහා වන ඉල්ලුම අවම වනු ඇති.

එමෙන්ම හදිසි අවස්ථවක භාවිතය සඳහා මාසිකව ද්‍රව ඔක්සිජන් ලීටර් 120,000 බැගින් ආනයන කර ප්‍රමාණවත් ආරක්‍ෂිත තොග පවත්වා ගැනීමටත් සෞඛ්‍ය අමත්‍යංශය තීරණය කර ඇති අතර ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴

++++++++++++++++++++++

(25.05.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කිරීමත් සමඟ අද (25) දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළඳසැල් අසල රැඳී සිටින අයුරු නිරීක්ෂණය වන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඇතැම් වෙළඳසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර, පෑලියගොඩ මැනිං වෙළඳපොල අද (25) දිනයේත් විවෘත වූ අතර එළවළු රැගත් ලොරි 350 කට වැඩි සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.

මිල ගණන් පිළිබඳ සලකා බැලීමේදී එළවළු කිලෝවක් රුපියල් සියයේ (100) සිට 200 අතර මිලකට අලෙවි වන බවයි මැනිං වෙළඳපොලේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේද අද (25) අලුයම් කාලයේ සිට තොග වෙළඳුන් මිලදී ගැනීම් සඳහා රැඳී සිටි බව එහි ගිය අප වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම, සංචරණ සීමා ලිහිල් කරනු ලැබුව ද ලබන ජුනි 07 වනදා දක්වා මත්පැන් අලෙවිසැල් විවෘත නොකරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

++++++++++++++++++++

(25.05.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

නිවසේ අසනීප තත්ත්වයෙන් සිටින වැඩිහිටි අයෙකු වේ නම් රෝහලකට රැගෙන යෑමට මැලි නොවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර, ඊයේ (24) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,971 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊයේ (24) වාර්තා වූ ආසාදිතයින් සමඟින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,67,172 ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ ආසාදිතයින් අතරින් එක් අයෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයකු වන අතර සෙසු 2,970 දෙනා අලු‍ත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින්.

ගෙවුණු දිනයේ හඳුනා ගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 605 දෙනෙකු වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඉන් 87 දෙනෙකු ගල්කිස්සෙන් වාර්තා වී තිබුණා.

ඊයේ (24) හඳුනාගත් ආසාදිතයින් අතර කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 472 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 395 දෙනෙකුද වනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඊයේ (24) වාර්තා වූ ආසාදිතයින් ගණන 223 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේ තහවුරු කළ කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 33 අතරින් 5 ක් සිදුව ඇත්තේ ඊයේ (24) දිනයේ වන අතර එම මරණ 5 ටම හේතුව කොවිඩ් නියුමෝනියාවයි.

අනෙක් මරණ 28 සිදුව ඇත්තේ පසුගිය 17 වනදා සිට 23 දක්වා කාලය තුළදී බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

ගතවූ දිනයේ තහවුරු කළ මරණ 33 අතරින් 11 ම සිදුව ඇත්තේ නිවෙස් තුළදී වීම විශේෂත්වයක්.

මෙම මරණ 33 සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,243 ක් දක්වා ඉහළ ගියා.

කෙසේ වෙතත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ අසනීප තත්ත්වයකින් පෙලෙන්නේ නම් රෝහලකට යෑමට මැලිනොවන ලෙසයි.

මේ අතර, වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂතාවක් දක්වමින් සිදුකරන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් අද (25) පෙරවරුවේ සිට කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත් වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් ඊයේ (24) අනතුරු ඇඟවීමක් සිදු කළා.

කෙසේ වෙතත්, එම ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සංගම් කටයුතු කර තිබුණා.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 338,493 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ද පුද්ගලයින් 516,259 දෙනෙකුට ලබාදී අවසන්.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් ගණන 14,984 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *