මෙරට කොරෝනා මරණවලින් සියයට 46 ක් අවුරුදු පොකුරෙන්

මෙරට කොරෝනා මරණවලින් සියයට 46 ක් අවුරුදු පොකුරෙන්

*********************************************

මෙරට කොරෝනා මරණවලින් සියයට 46 ක් අවුරුදු පොකුරෙන්

(24.05.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ 1210 අතරින් 558 ක්ම අප්‍රේල් 15 වැනිදායින් පසුව වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ‘අවුරුදු පොකුරේ’ මරණ සංඛ්‍යාව, සමස්ත මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සියයට 46.1 ක්.

එසේම, ‘අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුර’ ආරම්භ වීමෙන් අනතුරුව අප්‍රේල් 15 වැනිදායින් පසුව මෙරටින් කොරෝනා ආසාදිතයින් 67,912 ක් හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (23) මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 2,959 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 164,201 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (23) වාර්තා වූ ආසාදිතයින් අතරින් 14 දෙනක් විදේශගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර සෙසු 2,945 දෙනා ‘අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආසාදිතයින්.

ගෙවුණු දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 554 දෙනෙකු වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 391 ක් වාර්තා වූ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 198 ක්.

මීට අමතරව අනුරාධපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වුණා.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 330,998 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 514,259 දෙනෙකුට ලබාදී අවසන්.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් ගණන 14,984 ක්.

එමෙන්ම, වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂත්වයක් දක්වමින් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ආරම්භ වී ඇතැයි, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දෙනවා.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ පවතින අවදානම එක් වෘත්තියකට පමණක් සීමා නොවන්නක් නිසා සියලු‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ට එක හා සමානව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර, බිම් මට්ටමේ රාජකාරී කරන සියලුම දෙනාට කොරෝනා එන්නත ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් නොකළහොත් හෙට (25) පෙරවරුවේ සිට සියලු කොරෝනා රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

පරිපූරක වෛද්‍ය සේවය ඇතුළු වෘත්තීය සමිති 18 ක් නියෝජනය කරන එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

මේ අතර, මේ මස 31 වැනිදා වනවිට ග්‍රාම නිලධාරීන් සියලුම දෙනා වෙනුවෙන් අවම සෞඛ්‍ය පහසුකම් හා එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙමින් එන්නත්කරණය සඳහා යොමු නොවන්නේ නම් ජුනි මස 01 වැනිදා සිට කොරෝනා සහන සේවා සැපයීමේ කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයද ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 ත්, 15 ත් අතර සංඛ්‍යාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ට ස්වයං නිරෝධායනය වී කොරෝනා පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙස දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු (2) ද විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව වර්තා වනවා ෴

(24.05.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල, අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා සහ තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරුන් මෙලෙස, ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ලබන බදාදා (26) කොරෝනා පරීක්ෂණයකට යොමුවීමට නියමිත අතර, ආචාර්ය හර්ෂ ද සිල්වා හෙට (25) දිනයේදී කොරෝනා පරීක්ෂණයක් වෙත යොමුවීමට ද නියමිතයි ෴

++++++++++++++++++++++++++

(24.05.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පුන් පොහොය දිනයේදී සෞඛ්‍ය නීතිරීති වලට එකඟව නිවසට වී ආගමික වතාවත්වල නිරත වන ලෙස මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

++++++++++++++++++++

(24.05.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති දින වල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම පිළිබඳ කරනු පැහැදිලි කිරිමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ මේ වන විට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙනවා.

+++++++++++

+++++++++++++++++++++

(24.05.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ලබන ජුනි මස 7 වනදා අලුයම 4 දක්වා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා බලපැවැත්වෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ හෙට (25) දිනයේ මෙන්ම, ලබන 31 වනදා සහ ජුනි මස 04 වනදා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවස්ථාව හිමිවන බවයි.

එහිදී පවුලේ එක් සාමාජිකයෙකු පමණක් ළඟම ඇති වෙළඳසැලට ගොස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට යා හැක්කේ පා ගමනින් පමණක් වන අතර වාහන පාවිච්චි කර බඩු භාණ්ඩ ලබා ගැනීමට යාමට අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

සියලුම සුරාසැල් ජුනි 7 වනදා දක්වා වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා ෴

සංචරණ සීමා තාවකාලිකව ඉවත් කරන හෙට (25) කිසිදු පොදු මගී ප්‍රවාහාන සේවාවක් ක්‍රියාත්මක නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා ෴

+++++++++++++++++++++

(24.05.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මරණ වල වැඩි ප්‍රතිශතය, දීර්ඝකාලීන බෝ නොවන රෝගීන් බවත් එය මේ වන විට සියලු වයස් කාණ්ඩ දක්වා වර්ධනය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය පවසනවා.

ඇය මෙම අදහස් පළකර සිටියේ අද (24) සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ තත්ත්වය වැඩි අවධානයට ලක් කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බෝ නොවන රෝගීන් සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

බෝ නොවන රෝගීන් සඳහා වෛද්‍ය සායන පැවැත්වීමේ ක්‍රමවේද මෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශ සදහා ජංගම සායන මගින් ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීමටත් ක්‍රමවේද සකස් කර තිබෙන බවයි ඇය පවසන්නේ.

මේ අනුව වෛද්‍ය නිර්දේශ මත එකවර මාස 2 කට වැඩි කාලයක් සඳහා රෝගීන්ට ඖෂධ ලබා දෙනු ඇති.

එමෙන්ම නිවෙස් තුළ එක්තැන් වී සිටින රෝගීන් සඳහා සෞඛ්‍ය පහසුකම් නිවසට ගොස් ලබා දීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බවයි බෝ නොවන රෝග අධ්‍යක්ෂවරිය කියා සිටියේ.

මීට අමතරව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ රුධිර මට්ටම හා සීනි මට්ටම් පරික්ෂා කිරීමට ද රෝහල් තුළ වෙනම ස්ථානයක් වෙන් කර ඇති බවයි මෙහිදී පැහැදිලි කළේ.

++++++++++++++++++++

(24.05.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

හෙට (25) අලුයම 4 සිට රත්නපුර-කුරුවිට ග්‍රාම නිලධාරී වසම, දෙල්ගමුව නගර කොටස, අම්බලන්ගොඩට අයත් ඌරවත්ත, කිරිබත්ගොඩට අයත් ඊරියවැටිය, ඩයගමට අයත් සන්දිරිගම සහ NLDB සත්වගොවිපල හුදෙකලා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2283 ක් හඳුනාගෙන තිබෙනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1296 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 129,903 ක් ෴

@@@@@@@@@@@@@@@@

(24.05.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය අත්හිටුවීමත් සමඟ මෙවර යල කන්නයේදී දේශීය අර්තාපල් වගාව සිදු කිරීමට නොහැකිව ඇති බව ගොවීන් චෝදනා කරනවා.

වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, කැප්පෙටිපොල සහ ඇටම්පිටිය ආදී ප්‍රදේශ ආවරණයවන පරිදි හෙක්ටයාර් දෙදහසක (2000) පමණ වපසරියක යල කන්නයේ දී දේශීය අර්තාපල් වගාව කර සිදුකරන බව ගොවීන් පවසනවා.

බිම් සැකසුව ද පොහොර නොමැතිව වගාව කර ගැනීමට නොහැකිව අසරණව සිටින ගොවීන් චෝදනා කරන්නේ පවතින සීමිත රසායනික පොහොර ප්‍රමාණය ද කළු කඩ මිළට අලෙවි වන බවයි.

******************************************

(24.05.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල දින 3 ක් වසා තබන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, මැයි 26, 27 සහ 28 දිනවල මත්ස්‍ය වෙළඳපොල වසා තැබෙනු ඇත.

කෙසේ නමුත්, හෙට (25) දිනයේ නියමිත පරිදි මත්ස්‍ය වෙලඳපොලේ කටයුතු සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ෴

******************************************

(24.05.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 24 තුලදී බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, මධ්‍යම, උතුරු, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි අතිවනවිට සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ඔවුන් ජනතාවට දැනුම් දෙනවා ෴

******************************************

(24.05.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 සඳහාම තීරු බදු රහිත වාහන බලපත්‍ර වෙනුවට වාහනයක් ලබා දිමට ජානාධිපති ගෝඨාභය රාජාපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම තීරණ ගෙන ඇත්තේ නව පාර්ලිමේන්තුව පත් වූ මුල් කාලයේදී බවටයි වාර්තා වන්නේ.

අප කළ විමසිමකදී වාහන නියාමන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කලේ මන්ත්‍රීවරු සඳහා මේ මොහාතේ වාහන ආනයන කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ මේ අනුව මන්ත්‍රීවරුන් වෙත යම් දිනක හිමි වන්නේ බලපත්‍රයක් වෙනුවට වාහනයක් බවයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ මේ දිනවල සාමාජ මාධ්‍ය ඔස්සේ පල වන රුපියල් බිලියන 3.5 වටිනා සුඛෝපභෝගී ජීප් රථ 277 ක් ආනයනය කිරීමට රජය සැරසෙන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු වශෙයෙන්.

අදාළ සමාජ මාධ්‍ය වාර්තා පේනවා දී තිබුනේ මෙලස සුඛෝපභෝගී රථ වාහන ගෙන්වීම සඳහා මෙරට රාජ්‍ය බැංකුවක් හරහා ණය වර ලිපි ගොනුද විවෘත කර තිබු බවයි.

ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත් කෙසේ වෙතත් මේ අවස්ථාවේ එවැනි රථ වාහන ගෙන්වීමක් කිසිසේත් සිදු නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියා.

මේ පිළිබඳව අද (24) කැබිනට් හමුවේදී සාකච්ඡා වී අතර මෙම යෝජනවා අද අත් හිටුවා ඇති අතර මේ මොහාතේ සිට කිසිදු වාහනයක් ගෙන්විමට තීරණයක් ආණ්ඩුව ගෙන නොමැති බවටයි වාර්තා වන්නේ

******************************************

(24.05.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග මෝසම ස්ථාපිත වීම හේතුවෙන් ඉදිරි පැය 24 තුලදී බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, මධ්‍යම, උතුරු, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි අතිවනවිට සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘යාස්’ සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුල චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි බලපෑම් හේතුවෙන් ද හෙට (25) දිනයේ සිට 27 වනදා දක්වා බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

‘යාස්’ චන්ඩමාරුතය ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට විශාල හානියක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ පැයට කිලෝමීටර් 155 ත් 185 ත් අතර වේගයක් සහිත චන්ඩමාරුතය අනිද්දා සවස් කාලයේදී ඉන්දීය වෙරළ තීරයෙන් රට තුලට ඇතුළු වනු ඇති බවයි.

එහිදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීමට එරට ජාතික ආපදා ප්‍රතිචාර බලකාය මෙන්ම යුද හමුදාව සහ වෙරළාරක්ෂකයන් ද සීරුවෙන් තබා තිබෙනවා.

සුළි සුළගේ පථය පිහිටි ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි බටහිර බෙංගාල ප්‍රාන්ත බලධාරින් ප්‍රකාශ කළේ.

මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා.

කුකුළේ ගඟ ජලාශයේ වාන්දොරටුවක් අද (24) විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඉංගිරිය, පාලින්දනුවර සහ බුලත්සිංහල අවට පහත් බිම්වල වාසය කරන ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එමගින් දැනුම් දෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *