හුමාලය අල්ලන්න ගිහින් මුහුණ පුළුස්සා ගත් පුද්ගලයින් රෝහල්වල

හුමාලය අල්ලන්න ගිහින් මුහුණ පුළුස්සා ගත් පුද්ගලයින් රෝහල්වල

*********************************************

හුමාලය අල්ලන්න ගිහින් මුහුණ පුළුස්සා ගත් පුද්ගලයින් රෝහල්වල

(24.05.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ හුමාලය අල්ලා ගැනීමට මේ දිනවල බොහෝ දෙනෙකු හුරුවී සිටිනවා.

එත් සමඟ අධික උෂ්ණත්වයෙන් යුත් හුමාලය මුහුණට අල්ලා මුහුණ පිළිස්සුනු බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව හුමාලය ඇල්ලීමට ගොස් උණු වතුර ශරීරයට වැටීමෙන් පිළිස්සුම් තුවාල ලැබූවන් ද දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.

සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවේ මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමේදී ඉතා පරික්ෂාකාරී ලෙස කටයුතු කිරීමට ජනතාව සිහියේ තබාගත යුතු බවයි ෴

++++++++++++++++++++++++

(24.05.2021 – 09:44 +0530 – hirunews.lk/sinhala)

විදේශීය අරමුදල් එක්රැස් කර ගැනීම සඳහා ආයතනික අංශයට වැඩි අවස්ථාවක් ලබාදීමට මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඒ සඳහා බලපවත්වන රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගැනෙනු ඇති.

මෙරටට විදේශ විනිමය ආකර්ශනය කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මහබැංකුව මගින් මේ වනවිට සලකා බලමින් සිටිනවා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මෙරටට විදේශ විනිමය ගලා ඒම මන්දගාමී වී පැවතීම ඊට හේතුවයි.

මේ නිසා විදේශ විනිමය අරමුදල් එක්රැස් කර ගැනීම සඳහා ආයතනික අංශයට සුදුසු වාතාවරණයක් සැලසීමට මහබැංකුව කටයුතු කරමින් සිටින බව සඳහන් ෴

+++++++++++++++++++++

සති තුනකට (3) වැඩි කාලයක සිට මඩ වළක වැටී දිවි ගෙවන ඇත් පැටවා

(24.05.2021 – 09:37 +0530 – hirunews.lk/sinhala)

රෝගාතුර වූ ඇත් පැටවෙකු මඩ වලක වැටී සිටින බවට පුවතක් වවුනියාව, පුතුර් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම ඇත් පැටවා සති තුනකට (3) අධික කාලයක සිට මෙලෙස මෙම මඩ වලෙහි වැටී සිටින බවටයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වවුනියාව වනජීවී කාර්යාලයට දන්වා සිටිය ද මේ දක්වා මෙම සත්වයාට ප්‍රතිකාර කිරීමට ඔවුන් කිසිදු පියවරක් ගෙන නොමැති බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ප්‍රදේශවාසීන් නගන තවත් චෝදනාවක් වන්නේ මෙම ඇත් පැටවාට ප්‍රතිකාර කිරීමට උත්සාහ දැරීමේදී එම සත්වයා මිය යාමට ඉඩ ඇති බවට අදාළ ප්‍රදේශය භාර පශු වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කළ බවයි.

කෙසේ වෙතත් මෙම මෙම ඇත් පැටවාට නිසි ප්‍රතිකාරයක් නොලදහොත් තවත් දින කිහිපයකින්ම මිය යාමට ඉඩ ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

(24.05.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala)

රෝගාතුර වූ ඇත් පැටවෙකු මඩ වලක වැටී සිටින බවට පුවතක් වවුනියාව, පුතුර් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම ඇත් පැටවා සති තුනකට (3) අධික කාලයක සිට මෙලෙස මෙම මඩ වලෙහි වැටී සිටින බවටයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ඒ අනුව ඊයේ(23) වවුනියාව වනජිවි නිළධාරීන් විසින් ඇත් පැටවාව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩ වගුරෙන් ගොඩට ගෙන තිබෙනවා.

පසුව වනජිවි දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් පශු වෛද්‍ය නිළධාරී සහ පිරිසක් එක්ව ඇත් පැටවාට ප්‍රරතිකාර ලබා දුන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

++++++++++++++++++++++

(24.05.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

දැනට රට තුල ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් දුරස්ථව ලබා ගැනීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහබැංකුව විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, සාමාජිකයන්ට තම සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය තැපෑලෙන් ගෙන්වා ගත හැකියි.

ඒ සඳහා ජාතික හැඳුනුම්පතේ සහ සේවක අර්ථසාධක අරමුදල් බී-කාඩ් පතේ පිටපතක් සාමාජික අත්සන සමඟ කොළඹ – 01, ජනාධිපති මාවතේ අංක 30 දරණ ස්ථානයේ, පස්වන කුළුණේ 12 වන මහලේ, පිහිටි මහබැංකු සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයා වෙත යොමුකළ යුතුයි.

ශේෂය දැන ගැනීම සඳහා වූ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ බව සනාථ කිරීම සඳහා කෙටි පණිවුඩයක් එවීමට ජංගම දුරකථන අංකයක් ද එහි සටහන් කරන ලෙසයි මහබැංකුව ඉල්ලා සිටින්නේ ෴

+++++++++++++++++++++

(24.05.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

දැනට භාවිත වන කොරෝනා වෛරස් එන්නත් සියල්ල වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වීමේ අවස්ථාවට එරෙහිව ඉහළ රැකවරණයක් සලසන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

දැනට ලොව භාවිත කරන කොරෝනා වෛරස් එන්නත් 8 ක ශක්‍යතාව මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර, සියලු වර්ගයේ කොරෝනා විකෘත ප්‍රභේදවලට එරෙහිව ඉහලම ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ ‘ෆයිසර් බයෝඑන්ටෙක්’ කොරෝනා එන්නතයි.

ඇමෙරිකාවේ – ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩයාමක් සිදුකළ එම අධ්‍යයනයේදී හෙළි වී ඇත්තේ ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, ඇස්ට්‍රාසෙනකා, ස්පුට්නික්, නොවවැක්ස්, සිනොවැක් සහ සයිනොෆාම් යන එන්නත් සියල්ල මගින් මෙලෙස කොවිඩ් ආසාදිතව මරණයට පත්වීම වැළැක්වීමට පිටිවහලක් ලැබෙන බවයි ෴

++++++++++++++++++++

(24.05.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පවතින මෙම කාලසීමාව තුල 2020/2021 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී මාර්ග ගත ක්‍රමයට (online) පමණක් අයදුම්පත් යොමුකිරීම ප්‍රමාණවත් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

ලබන මස 11 වනදා දක්වා Online ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමට පහසුකම් සලසා ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කර සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා ෴

++++++++++++++++++++++

(24.05.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් තම නිර්මාණ ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකිවීම නිසා වෙසක් තොරණ නිර්මාණකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

බැලූ බැල්මට ඉතා සුන්දර වුවත් තොරණ නිර්මාණය වන්නේ චිත්‍ර ශිල්පීන්, විදුලි කාර්මිකයන්, වඩු කාර්මිකයන් ඇතුළු විශාල පිරිසකගේ එක්වීමෙන්.

එලෙස තොරණ නිර්මාණය ජීවනෝපාය කර ගත් පුද්ගලයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අඩපණ වූ තම කර්මාන්තය වෙනුවෙන් කවර හෝ සහනයක් ලබාදෙන ලෙසටයි.

++++++++++++++++++

(24.05.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 1965 අංකය ඇමතීමෙන් ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් සිය ගැටලු දැනුම්දිය හැකියි.

පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංකය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සම්බන්ධිතයි ෴

+++++++++++++++++++

(24.05.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (24) පෙරවරුවේ විවෘත කෙරුණා.

ඒවා හෙට (25) දිනයේත් විවෘතව තැබෙන බවයි වෙළඳ අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේ.

ඒ අනුව, තඹුත්තේගම, දඹුල්ල, පෑලියගොඩ ඇතුළු දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අද (24) විවෘත කිරීමත් සමඟ එළවලු තොග වැඩි වශයෙන් පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පෑලියගොඩ – මැනිං වෙළඳපොල අද (24) පෙරවරුවේ තොග වෙළඳාම සඳහා විවෘත කිරීමත් සමඟ එළවළු තොග වැඩි වශයෙන් ලැබුණු බවයි එහි වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා සඳහන් කළේ.

දිවයින පුරා පැනවූ සංචරණ සීමා අද (24) දිනයේත් ක්‍රියාත්මක වන අතර නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය ද උපයෝගි කර ගනිමින් පොලීසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.

දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හෙට (25) අලුයම 4 ට ලිහිල් කළ ද ශ්‍රී ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය නොවන බවයි එහි සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් දුම්රිය ගමන්වාර කිහිපයක් හෙට (25) දිනයේදී ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කළා.

මේ අතර, මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේදී ග්‍රාම නිලධාරි සහතිකය හෝ විශ්වවිද්‍යාල සහතිකය හෝ වෙනත් සහතික ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති, මාහාචර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ රටේ පවතින කොවිඩ් අවදානම හේතුවෙන් සිසුන්ට මෙම සහනය ලබාදී ඇති බවයි.

@@@@@@@@@@@@@@@@@

(24.05.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

කුකුළේ ගඟ ජලාශයේ වාන්දොරටුවක් අද (24) පෙරවරුවේ විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව, ඉංගිරිය, පාලින්දනුවර සහ බුලත්සිංහල අවට පහත් බිම්වල වාසය කරන ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එමගින් දැනුම් දෙනවා ෴

******************************************

(24.05.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, දෙවට මුහුදු තීරයේ ඔරුවක් පෙරලී 16 හැවිරිදි පාසල් සිසුවෙකු අද (24) අලුයම අතුරුදන්ව තිබෙනවා.

ඔරුව අනතුරට පත්වන අවස්ථාවේ එහි තිදෙනෙකු (3) සිට ඇති අතර අනෙක් දෙදෙනා (2) ගොඩට පිහිනා දිවි බේරාගෙන ඇති බවයි ගාල්ල වරාය පොලිසිය පැවසුවේ.

පොකිරිස්සන් ඇල්ලීම සදහා එලා තිබූ දැල් රැගෙන එම සදහා යමින් සිටියදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඔරුව රළ පහරකට හසුව මෙම අනතුර මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

දිවිබේරා ගත් දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරෙන් අතුරුදහන්ව ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි කටුගොඩ, මුල්වත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් ෴

******************************************

(24.05.2021 – 12:43 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ. බායිස් හදිසි අනතුරකින් මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඔහු ගමන් ගත් රථයේ රියදුරු අද (24) පස්වරුවේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සෙසු සැකකරුවන් දෙදෙනා (2) ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ. බායිස්, තවත් පිරිසක් සමඟ වනාතවිල්ලුව – රාල්මඩුව වැවෙන් ස්නානය කර කැබ් රථයකින් පැමිණෙමින් සිටියදී ඉන් ඇද වැටී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ (23) පස්වරුවේයී.

මොවුන් මත්පැන් පානය කර ස්නානය කිරීමෙන් අනතුරුව, අපරීක්ෂාකාරි ලෙස කැබ් රථයට නැගී ගමන් ආරම්භ කළ බව රාල්මඩුව වැව ආසන්නයේ සිටි පිරිසක් පොලීසියට ප්‍රකාශ ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මියගිය 52 හැවිරිදි කේ.ඒ. බායිස්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) පුත්තලම මහරෝහලේදී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

******************************************

(24.05.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය මගින් වැලි ප්‍රවාහනය කිරීමට අවසර ලබාදුන්නේ නිසි ක්‍රමවේදයකට මෙන්ම, ලාභ ලබා ගැනීමේ අරමුණින් බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ඊයේ (23) සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින්.

කොරෝනා වසංගතය නොතකා දුම්රියෙන් වැලි ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් මේ වනවිට අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක බවට එම සන්ධානය ඊයේ (23) චෝදනා කළා ෴

******************************************

(24.05.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී පවතින අතර, අද (24) එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට නියමිතයි.

පසුව ඉදිරි පැය 24 තුල එය චන්ඩ සුළි කුණාටුවක් වී අනිද්දා (26) දිනයේදී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට නියමිතයි.

යාස් ලෙස නම් කෙරුණු මෙම චන්ඩමාරුතය ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට විශාල හානියක් සිදුකරනු ඇතැයි අපේක්ෂිතයි.

ඉන්දීය කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ පැයට කිලෝමීටර් 155 ත් 185 ත් අතර වේගයක් සහිත චන්ඩමාරුතය අනිද්දා සවස් කාලයේදී ඉන්දීය වෙරළ තීරයෙන් ඇතුළු වනු ඇති බවයි.

එහිදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීමට ජාතික ආපදා ප්‍රතිචාර බලකාය මෙන්ම යුද හමුදාව සහ වෙරළාරක්ෂකයන් ද සීරුවෙන් තබා තිබෙනවා.

සුළි සුළගේ පථය පිහිටි ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි බටහිර බෙංගාල ප්‍රාන්ත බලධාරින් ප්‍රකාශ කළේ.

‘යාස්’ චන්ඩ මාරුතය ඇති කිරීමට හේතුවන බංගොල බොක්කේ අවපීඩන පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා.

මේ අතර, නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *