කළු දිලීර ආසාදිතයන් තවමත් මෙරටින් හමුවී නැහැ – සෞඛ්‍ය අංශ කියයි

කළු දිලීර ආසාදිතයන් තවමත් මෙරටින් හමුවී නැහැ – සෞඛ්‍ය අංශ කියයි

*********************************************

කළු දිලීර ආසාදිතයන් තවමත් මෙරටින් හමුවී නැහැ – සෞඛ්‍ය අංශ කියයි

(23.05.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන ‘බ්ලැක් ෆන්ගස්’ හෙවත් ‘කළු දිලීර’ ආසාදන තත්ත්වය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රාන්ත හතක් (7) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර, අම්පාර ප්‍රදේශයෙන් ද, කළු දිලීර ආසාදිතයකු වාර්තා වූ බවට විවිධ වාර්තා පළ වුණා.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදි සෞඛ්‍ය අංශ තහවුරු කළේ එවන් ආසාදිතයකු වාර්තා වී නොමැති බවයි.

කොරෝනා ආසාදනය වී ප්‍රතිශක්තීකරණය දුර්වල වූ රෝගීන්ට වැඩිවශයෙන් වැළඳෙන බ්ලැක් ෆන්ගස් නම් දිලීර ආසාදන තත්ත්වය ඉන්දියාවෙන් බහුලව වාර්තා වූයේ අප්‍රේල් මස අග භාගයේදී.

මේ වනවිට මෙම දිලීර ආසාදන තත්ත්වය ඉන්දියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර, දිලීර ආසාදිත රෝගීන් දහස් ගණනක් හඳුනාගෙන තිබෙනවා.

මෙම දිලීර ආසාදනයෙන් 90 දෙනෙකු පමණ දැනට මියගොස් ඇති අතර, එය සැලකිල්ලට ගිනිමින් ඉන්දියාවේ රාජස්ථාන්, ගුජරාට්, උත්තර් ප්‍රදේශ් සහ ඔඩීෂා ඇතුළු‍ ප්‍රාන්ත මෙම දිලීර ආසාදන තත්ත්වය වසංගතයක් ලෙස නම් කිරීමට පියවර ගත්තා.

මෙවන් තත්ත්වයක් මත කළු දිලීරය අසාදනය වූ පුද්ගලයෙකු අම්පාරෙන් වාර්තා වු බව විවිධ ප්‍රචාරයන් පැතිරී ගියා.

කෙසේ වෙතත් එය අසත්‍ය ප්‍රචාරයක් බව අම්පාර දිස්ත්‍රික් රෝහලේ ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය උපුල් ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළා. ආදාළ රෝගියා 39 හැවිරිදි පුද්ගලයකුවන අතර ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

එමෙන්ම, කොරෝනා වෛරසය සමග ඉන්දියාවේ පැතිර යන මාරාන්තික විය හැකි කළු පුස් රෝගයට අපිරිසිදු මුව ආවරණ ද බලපෑ ඇති බවට මතයක් ඉදිරිපත් වී තිබෙනවා.

වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ අපිරිසිදු මුව ආවරණ දිගු කලක් භාවිත කිරීම මෙන්ම, හොඳ වාතාශ්‍රයක් නොමැති වීම මෙම රෝගය ඇති වීමට හේතුවක් බවයි.

කෙසේ නමුත්, ඒ සඳහා ඔප්පු කළ හැකි සායනික සාධක නොමැති බවට තවත් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් තරඟ කරනවා. ඇතැම් වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ උත්තේජක වර්ග අනිසි ලෙස භාවිත කිරීම ද කළු පුස් රෝගය ඇති වීමට හේතුවක් බවයි.

එමෙන්ම, කොරෝනා ආසාදනය නිසා ශරීරයේ ප්‍රතිශක්තිය බෙහෙවින් දුර්වල වීම නිසා ද, කළු පුස් රෝගයට ගොදුරු විය හැකි බව ඇතැම් වෛද්‍යවරුන්ගේ මතයයි.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 691 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනය තුල වාර්තා වූ මුළු කොරෝන ආසාදිතයන් ගණන 2945 ක් ෴

රෝහලක් වෙත රැගෙන එන කොරෝනා රෝගීන් විනාඩි 15-30 අතර කාලයකදී රෝහලට භාර ගත යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා ෴

තවත් කොවිඩ්-19 ආසාදිත මරණ 32 ක් මෙරටින් වාර්තා වනවා. මෙම මරණ 32 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1210 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

(24.05.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 636 දෙනෙක් ඊයේ (23) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නිරෝධායන නීතිය ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුල එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව මේ දක්වා එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් සංඛ්‍යාව 12,748 බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++

(24.05.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

අද (24) අලුයම සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ වනවිට විශාල වශයෙන් එළවළු තොග ලැබෙන බවට තොරතුරු වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (24) දිනයේ ආර්ථක මධ්‍යස්ථාන විවෘත කිරීමට ගත් තීරණයත් සමඟ ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට එළවළු රැගත් රථ ආර්ථික මධ්‍යස්ථානය ප්‍රධාන මාර්ගය දෙපස නවතා ඇති ආකාරය දක්නට ලැබුණු බවයි.

උදෑසන වන තුරුම එළවළු තොග රැගත් ලොරි ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල් කරගැනීමට නොහැකිව බරපතළ තත්ත්වයක් ද දැක ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල ද සීඝ්‍රයෙන් අද (24) දිනයේ ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.

මේ වන විටත් එළවළු කිලෝ ලක්ෂ 70 ඉක්මවූ තොගයක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන්නට ඇති බව එහි වෙළෙඳ සංගමයේ නියෝජිතයන් පවසා සිටියා ෴

++++++++++++++++++++

(24.05.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පැනවූ සංචරණ සීමා අද (24) දිනයේත් ක්‍රියාත්මකයි.

හෙට (25) අලුයම 4 ට සංචරණ සීමා කෙටි කාලසීමාවක් සඳහා ලිහිල් කළ ද එම කාලසීමාවේදී ජනතාව කටයුතු කළ යුත්තේ අත්‍යාවශ්‍ය ආහාර හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (23) ප්‍රකාශ කළා.

එමෙන්ම, හෙට (25) රාත්‍රී 11 ට යලි දිවයින පුරා පනවන සංචරණ සීමා ලබන 28 වන සිකුරාදා අලුයම 04 ට ලිහිල් කළ විටද, අත්‍යාවශ්‍ය සේවා සලසා ගැනීමට අදාළ නියමයන් එලෙසින්ම ක්‍රියාත්මක වනවා.

ආහාර හා ඖෂධ වැනි ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම සඳහා මෙහිදී අවස්ථාව හිමිවන අතර, ළඟම ඇති වෙලඳසැල් ඒ සඳහා යොදා ගන්නා ලෙසයි රජය ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම, ලබන 29 සහ 30 යන දිනවල එළඹෙන සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබඳව 27 වනදා තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු තීරණය කෙරෙනු ඇති.

එසේම, අද (24) සහ හෙට (25) දිනයන් පෑලියගොඩ මැනිං වෙළඳපොළ තොග වෙළඳාම සඳහා විවෘත වනවා.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 636 දෙනෙකු ඊයේ (23) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර, එය දිනක් තුළ මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++

(24.05.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 2,959 වාර්තා වීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1,64,201 දක්වා ඉහළ ගියා.

ඊයේ (23) දිනයේදී රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 1612 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,28,607 ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 34,416 ක් පමණයි.

මේ අතර පවතින තත්ත්වය මත ජනතාව තම ආරක්ෂාව වෙනුවෙන් නිවසට වී සිටිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරනවා ෴

+++++++++++++++++++++++

(24.05.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙමින් පවතින ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරින් දැනුවත් කළත් මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි.

ඇතැම් සෞඛ්‍ය සේවකයන්ට මුදල් ගෙවා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමටද සිදුව ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කළා.

මේ අතර, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා වසංගතය නොතකා දුම්රියෙන් වැලි ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව, දුම්රිය ආඥා පනත මගින් විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇති බලය වැරදි ලෙස අර්ථකථනය කර අදාළ සමාගමට වාසි වන අයුරින් මෙම කටයුතු සිදුවන බවද ඔවුන් පෙන්වා දෙනවා.

යාම් සහ ඒම් සඳහා සම්පූර්ණ මුදල් ලබා ගැනීම වෙනුවට අදාළ ගාස්තු සියයට 50 කින් අඩු කිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ.

එමෙන්ම, මෙහිදී අදාළ ප්‍රවාහන (බඩු ?) දුම්රියේ එක් ගමන් වාරයකින් රුපියල් 1,69,000 ක පමණ මුදලක් දෙපාර්තමේන්තුවට පාඩු වන බවද ඔවුන් සඳහන් කළා ෴

++++++++++++++++++++++

(24.05.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය ආශ්‍රිතව අද (24) දිනයේදීත් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙහෙයුම් සිදුකිරීමට පොලිසිය සැලසුම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ කොළඹ නගරයේ මහල් නිවාස හා වතු ආශ්‍රිතව ඊයේ (23) සිදුකළ මෙහෙයුමේදී පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

+++++++++++++++++++

23-05-2021

+++++++++++++++++++

(24.05.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

රෝගියෙකුට ඖෂධ රැගෙන යන මුවාවෙන් සංචරණ සීමා පවතින කාලයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ඉංගිරිය – කැටකැදැල්ල මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් පරීක්ෂා කිරීමකදී ඊයේ (23) මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200 ක් සොයා ගත් බවයි.

රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කාරියක් වෙත ලබාදීම සඳහා මොහු මෙම මත්ද්‍රව්‍ය රැගෙන යන බවයි අනාවරණ වී ඇත්තේ ෴

++++++++++++++++++

‘Drive through’ පීසීආර් සහ ඇන්ටිජන් පරික්ෂණ අත්හිටුවයි

(23.05.2021 – 23:12 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික රෝහල් සහ රසායනාගාර සඳහා එම අමාත්‍යාංශ විසින් නිකුත්කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර ඇත.

එම රෝහල් සහ රසායනාගාරවල පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධයෙන් පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයක් නිකුත්කරමින් ඉල්ලා සිටී.

  1. මෙම පරික්ෂණය කළ යුත්තේ විශේෂඥ වෛද්‍ය නිලධාරී හෝ කාර්යභාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශයට අනුව පමණි.
  2. සාම්පල ලබාගැනීමෙන් පසු අදාළ ආයතන විසින් වාර්තා නිකුත් කරන තෙක් රෝගීන්ට ආයතනය/නිවස තුළ හුදකලාවීමට උපදෙස් දියයුතු අතර ඒ බවට අදාළ රසායනාගාර හෝ රෝහල් බලධාරීන් විසින් තරයේ සුපරීක්ෂණය කිරීමට වගබලා ගත යුතුය.
  3. රෝගියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය, අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හා රෝගීයා දැනුවත් කිරීම රෝහල් / රසායනාගාර භාර නිලධාරීයාගේ වගකීමකි.
  4. ඉහත වගකිවයුතු නිලධාරීන්ගේ නිර්දේශ අනුව, ආසාදිත රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කළ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසික පහසුකම් ලබාදීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුය.
  5. පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම නිශ්චිත හා ආරක්ෂිත ස්ථානයක සිදුකළ යුතු අතර ‘Walk in’ or ‘drive through’ රෝගීන් සඳහා පරික්ෂණ කිරීමට අවසර නොමැත.
  6. අදාළ බලධාරීන් විසින් මෙම මාර්ගෝපදේශය පිළිනොපදින බව යම් හෙයකින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා වුවහොත් කොවිඩ්-19 පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ලබා දී ඇති අවසරය අවලංගු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කටයුතු කරනු ඇත.
  7. විදේශ සංචාර අරමුණ මත සිදුකරන පී.සී.ආර්. පරික්ෂණ හා වැඩබිම් ආශ්‍රිතව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති කොවිඩ්-19 පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මෙම මාර්ගෝපදේශ අදාළ නොවේ.

එබැවින් තවදුරටත් වැඩබිම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, කොවිඩ්-19 ආවේක්ෂණ සහ රසායනාගාර පරික්ෂණ සඳහා දැනට නිකුත් කර ඇති “Screenig and laboratory testing for covid-19 for employees in workplaces” මාර්ගෝපදේශයට අනුකූලවද කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ දන්වා සිටී ෴

+++++++++++++++++++++++

කොවිඩ් හින්ද මම වින්ද මේ දුක අහලවත් පරිස්සම් වෙලා ජීවිතේ බේර ගන්න – Truth with Chamuditha (23.05.2021)

@@@@@@@@@@@@@@@@@@

(23.05.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම නගරාධිපති කේ.ඒ බායිස් හදිසි අනතුරකින් මිය ගොස් තිබෙනවා ෴

පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ බායිස්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු ඇතුළු පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පොලිසිය විසින් කරන ලද ස්වසන වායු පරික්ෂාවේදී ඔවුන් බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සභාපතිවරයා තවත් පිරිසක් සමඟ වනාතවිල්ලුව – රාල්මඩුව වැවෙන් ස්නානය කර කැබ් රථයකින් පැමිණෙමින් සිටියදී ඉන් ඇද වැටී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ (23) පස්වරුවේයි.

රෝහල් ගතකරන අවස්ථාවේ ඔහු ජීවතක්ෂයට පත්ව සිට ඇති අතර සභාපතිවරයාගේ සිරුර මේ වනවිට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴

******************************************

(24.05.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අද (24) දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ පළාත් 05 කට තද වැසි සහ සුළං පිළිබඳ අධි අවදානමක් පවතින බවට කාලගුණ අංශ ඊයේ (23) අනතුරු අඟවනු ලැබුවා ෴

******************************************

(24.05.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ඡන්ද ගණන් කරන ඉලෙක්ට්‍රොනික පද්ධතිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ඊයේ (23) දිනයේදි එම ආයතනයේ නිලධාරින් පිරිසක් විසින් මෙය පරික්ෂාවට ලක් කළ බවයි වාර්තා වන්නේ.

කතානායකවරයාගේ ඉල්ලීමකට අනුව තාක්ෂණ අමාත්‍යංශය විසින් ඒ සඳහා සහයෝගය ලබාදී තිබුණා.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයේදී ගණනය කිරීම නිසි පරිදි සිදුනොවුණු බවට ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුවයි අදාල පරීක්ෂාව සිදුකර ඇත්තේ.

එදින පැවති දෙවනවර (2) කියවීමේ ඡන්ද විමසීමේදී මෙලෙස ගණනය කිරීම් නිසි පරිදි සිදුනොවූ බවටයි ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, කතානායකවරයාට පැමිණිලි කර ඇත්තේ ෴

******************************************

(24.05.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ඊසාන දිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ආශ්‍රිතව පැවති පීඩන අවපාතය අද (24) දිනයේදී සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය ඊලඟ පැය 24 තුළදී ‘යාස්’ චණ්ඩ මාරුතය බවට පත්වී ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටාම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මෙම තත්ත්වය මත අද (24) සිට ලබන 26 වනදා දක්වා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වීම හේතුවෙන් අද (24) දිනයේදීත් දිවයිනේ පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළේ.

එමෙන්ම, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 05 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කලේ ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක සඳහා ඊයේ (23) පස්වරුවේ සිට අද (24) පස්වරුව දක්වා මෙම නායයාමේ අනතුරු ඇගවීම ක්‍රියාත්මක බවයි.

මේ අතර, ඉගිනිමිටිය , දැදුරුඔය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු කිහිපයක් ඊයේ (23) පස්වරුවේ සුළු වේලාවකට විවෘත කෙරුණා.

ඒ පවතින වැසි තත්ත්වය මත ජලාශයේ ජල මට්ටම පාලනය කර ගැනිම සඳහායි.

මේ වනවිට දිවයින පුරා පිහිටි වාරි ජලාශවල ජල මට්ටම සියයට 68 මට්ටමේ පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

******************************************

(24.05.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් බතික් පහන් කූඩු ප්‍රදර්ශනයක් මැයි 26 වනදා සිට සතියක් පුරා පැවැත්වෙන අතර, එය මාධ්‍ය හරහා ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මෙම බතික් පහන්කූඩු ප්‍රදර්ශනය කොළඹ මහනගර සභාව සමග ඒකාබද්ධව මහනගර සභා භූමියේදී පැවැත්වෙන බවයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය අගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

රටේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ බතික් වෙසක් පහන් කූඩූ ජන සහභාගිත්වයකින් තොරව විද්‍යුත් හා මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

ඉදිරි පොසොන් පොහොය දිනයේදී බතික් පහන් කූඩූ ප්‍රදර්ශනය කිරීමට ජනතාව උනන්දු කිරීම, දේශීය නිෂ්පාදනවලට නැඹුරු කිරීම මෙන්ම දේශීය කර්මාන්තකරුවන්ට නව වෙළඳපොලක් හඳුන්වාදීම මෙහි අපේක්ෂාව වනවා.

******************************************

ටිපර් රථයක් අඩි 70 ක් ප්‍රපාතයට

(23.05.2021 – 16:27 +0530 – sinhala.adaderana.lk)

මහියංගනය – මහනුවර මාර්ගයේ 18 වංගුවට පහළ ගුරුළුපොත ප්‍රදේශයේදී වැලි පැටවූ ටිපර් රථයක් අද (23) අනතුරට ලක්ව පුද්ගලයෙක් මියගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, 63 කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථය අඩි 70 ක පමණ ප්‍රපාතයකට පෙරළී එම අනතුර සිදුව ඇති බවය.

ටිපර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව එම අනතුර සිදුව ඇති අතර අනතුරින් ලොරි රථයේ සහයක ලෙස සිටි රථයේ හිමිකරු මියගියේය.

එලෙස මියගොස් ඇත්තේ උඩවත්ත ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 21 ක අයෙකි.

එමෙන්ම ටිපර් රථයේ රියදුරු තුවාල ලබා මේවන විට මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *