බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට

බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට

*********************************************

බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවරට

(23.05.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පසු කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිට පළාත්වලට ගෙන යමින් මහනුවර දිස්ත්‍රික්කයේ එය ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ අනුව ඉදිරි සතියේ මෙරටට ලැබෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් පළමු එන්නත් තොගය සම්පුර්ණයෙන්ම එම දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

දිවයින පුරා අයුර්වේද රෝහල් 50 ක් අතරමැදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++

(23.05.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) බලා සිටියදී සිදුකළ පහරදීමකින් පසු ඇදවැටී බස් රථයකට යටවීමෙන් මියගිය වැලිගම පුද්ගලයාට සාධාරණයක් ඉටු කරන ලෙස ඔහුගේ ඥාතීන් ඉල්ලා සිටිනවා.

අදාළ පුද්ගලයාට පහර දීමේ සිද්ධියේ දර්ශන ඊයේ (22) අප වාර්තා කළා.

අදාළ සිද්ධියේදී මියගොස් තිබුණේ 47 හැවිරිදි තිදරු (3) පියෙක්.

එම පවුලේ මව හා තවත් දරුවන් දෙදෙනෙකු (2) නිවසේ නිරෝධානයට ලක්කර තිබීම හේතුවෙන් පවුලේ සාමාජිකයින්ට රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා මෙම පුද්ගලයා වැලිගම නගරයට පැමිණ තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රීයේයි.

එහිදි කිසියම් පිරිසක් මොහුට පහරදී ඇති බව වාර්තා වුණා.

ඔහුගේ බිරිඳ හා දරුවන් පැවසුවේ වැලිගම පොලිසිය විසින් ඔහුට පහරදි ප්‍රධාන මාර්ගයට ගෙනවිත් දමා තිබියදි බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ නිකුත් වූ CCTV දර්ශනවල ඔහු බස් රථයට යටවන දර්ශනය පමණක් සටහන් වීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් සැක පළ කළා.

එවන් පසුබිමක ඥාතීන්ගේ සැකය තහවුරු කරමින් ඊයේ (22) දිනයේ නිකුත් වූ CCTV දර්ශන අනුව පෙනීයන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) බලා සිටියදී කිසියම් පුද්ගලයෙකු අදාළ තිදරු පියාට පහර දීම නිසා ඔහු පාර මැද ඇදවැටී පසුව බස් රථයකට යටවන බවයි.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙස පවුලේ ඥාතීන් ඉල්ලා සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්කර සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා (2) පෙරේදා රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන්පසු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

සිද්ධියේදී මියගිය පුද්ගලයාට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් දේහය පවුලේ ඥාතීන්ට ලබාදී නොමැති අතර ඥාතීන්ඉල්ලා සිටින්නේ නැවතත් කොවිඩ් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

++++++++++++++++++++++

(23.05.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාසයකට ප්‍රමාණවත් අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ සියල්ල කිසිදු හිඟයකින් තොරව ගබඩාවල පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පිටකොටුව තොග වෙළඳපොලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණාත්මකව පවතීද යන්න පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (23) එක්වෙමින්.

සංචරණ සීමා පැවතියද අවශ්‍ය භාණ්ඩ තොග පිටකොටුව තොග වෙළඳ හුවමාරුවෙන් ගැටලුවකින් තොරව ලබා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1612 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 128,617 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2254 ක් හඳුනාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++

(23.05.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත ඊයේ (22) සිය නගර සභා බල ප්‍රදේශයේ කොරොනා ආසාදිතයකුගේ නිවසට ගොස් ඇති බව වාර්තා වනවා.

නගරාධිපතිවරයා මෙලෙස ගොස් ඇත්තේ පසුගිය දිනක දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේන් හමු වු කෙරොනා රොගියෙකුගේ දුක සැප සෙවීමට බවයි වාර්තා වන්නේ.

කොවිඩ් රෝගින්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමේ සෞඛ්‍යය මාර්ගෝපදේශ ද නොසලකා ඔහු මෙම ගමනේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට ද මුදා හැර තිබෙනවා.

නගරාධිපතිවරයාගේ මෙම පුදුම උපදවන ගමන පිටත්ව ඇත්තේ නගර සභා සෞඛ්‍ය අංශ ලවා ආරක්ෂිත ඇදුම් කට්ටලයක් ගෙන්වාගෙන එය ඇඳගෙන වීමත් විශේෂත්වයක්.

නගරාධිපතිවරයා මෙලෙසින් සියලු ආරක්ෂා සහිතව සිටියදී ඔහු සමග පැමිණි නගර සභා සේවකයන් පැලඳ සිටියේ සාමාන්‍ය මුහුනු ආවරණ පමනයි.

සපත්තුවේ සිට විෂබීජ හරණය කරමින් එයද ඡායාරූපයට ගනිමින් සේවක සෞඛ්‍යය අනතුරේ හෙලමින් නගරාධිපතිවරයා සිදුකල මෙම ක්‍රියාව නගර සභා සේවකයන්ගේ දැඩි නොසතුටට හේතු වී තිබෙනවා.

මීට පෙර කොවිඩ් අවධානම ඉහලින්ම තිබියදී පාපැදි තරඟයක් පැවැත්වීම හේතුවෙන් මෙම නගරාධිපතිවරයා අධිකරණයෙන් දැඩි අවවාද ලැබුවෙක්.

කෙසේ වෙතත් නගරාධිපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ගමනටම හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් නගරාධිපතිවරයා මෙම ගමන යනුයේ කොවිඩ් ආසාදිතයින් වැඩි වීම හේතුවෙන් අප්‍රේල් මාසයේ 30 සිට මැයි 20 දක්වා දඹුල්ල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කොට සංචරණ සීමා පවා පනවා තිබූ පසුබිමක වීම විශේෂත්වයක්.

දඹුල්ල නගර සභා බල ප්‍රදේශයෙන් වසම් 13 න් පමණක් රොගින් 454 ක් මේවන විට සොයා ගෙන ඇති අතර අප්‍රේල් 22 න් පසු දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේන් වාර්තා වූ රෝගින් සංඛ්‍යාව 308 ක්.

+++++++++++

නගර සභා සේවකයින්ගේ ජිවිත අනතුරේ හෙළූ දඹුල්ල නගරාධිපතිගේ ‘කොරෝනා ෆොටෝ ෂුට් එක’

(23.05.2021 – nethgossip.lk)

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත ඊයේ (22) නගර සභා බල ප්‍රදේශයේ කොරොනා ආසාධිතයකු බැලීමට ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. පසුගිය දිනක දඹුල්ල නගර සීමාවේ තිත්තවැල්ගොල්ල ගම් ප්‍රදේශයෙන් හමු වු කෙරොනා රොගියෙකු ගේ නිවසට ඔහු මෙසේ ගොස් ඇත්තේ නගර සභාවේ තවත් සේවක පිරිසකුත් සමගයි.

මෙම ගමනේදී නගරාධිපතිවරයා නගර සභා සේවකයින් ලවා ගෙන්වා ගත් මුලු සිරුරම ආවරණය වන පරිදි වූ ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇද සිටි අතර අනෙකුත් සේවකයින් මූණු ආවරණ පමණක් පැලද අතිශයෙන්ම අනාරක්ෂිත ලෙස සිට තිබෙනවා.

එහිදී ඔහු සිය මූනු පොතේ දැමීමට ‍තමා මෙම ඇදුම් කට්ටලය ඇද සිටින අයුරු ඡායාරූප ගැනීමක් හා වීඩියෝ ගත කිරීමක් කර ඇත. නගරාධිපතිවරයගේ මෙම ගමනේ මුඛ්‍ය අභිමතාර්ථය වුනේද මේ ඡායාරූප ලබා ගැනීම බවයි හෙළි වී ඇත්තේ.

මෙහිදී නගරාධිපතිවරයා රෝගියා වෙසෙන නිවසට යෑමට පෙර ‍ආරක්ෂිත ඇදුම් කට්ටලය අදින අවස්ථාවේ සිට ගලවන අවස්ථාව දක්වාත් පාවහන් විෂබීජ හරණය කරන අවස්ථාද රෝගියාගේ නිවසේ සිටින පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කරමින් නිවස තුළ ඔබ මොබ යමින් උපදෙස් දෙන අයුරුත් ඡායාරූප ගත කිරීමට නගර සභා සේවකයින් ට උපදෙස් දී ඇත.

නමුත් ඒ කිසිදු නගර සභා සේවකයෙක් කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකර නගරාධිපතිවරයා සමග රෝගියා සිටි නිවස පුරාම ඔබ බොබ යමින් ඡායරූප ගැනීම කර ඇත.

නගරාධිපතිවරයා මේ ආකාරයෙන් නිරූපන ශිල්පියකු වී නගරසභා සේවකයින්ගේ හා නගර වැසියන්ගේ ජීවිත අනතුරේ හෙළමින් කළ වගකීම් විරහිත ක්‍රියාව පිළිබඳ මේ වනවිට නගරය පුරා විරෝධතාවක් මතු වෙමින් ඇත.

පසුගිය දින කිපය පුරාම දඹුල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරොනා රොගින් විශාල ප්‍රමාණයක් හමු වු අතර අප්‍රේල් 30 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා දඹුල්ල පොලිස් බල ප්‍රදේශය හුදලා කොට සංචරණ සීමද පනවා තිබුණා.

කොරොනා පළමු රැල්ලේදී රටම වසා තිබුණු අවස්තාවේදී වගකීම් විරහිත ලෙස බයිසිකල් ධාවන තරගයක් පැවැත්වූවේද මේ නගරාධිපතිවරයාය. ඒ වරදට මොහුට අධිකරණයෙන් දැඩිව අවවාද කර ඇත.

එවන් පසුබිමක නගරසභාවේ දේපොල හා සේවකයින් අවභාවිතා කරමින් නිරූපණ ශිලිපියකු වෙමින් තමන්ගේ පෞද්ගලික අභිමාතාර්ථයක් ඉටු කර ගැනීමට දඹුල්ල නගරයේ ජනතාව පමණක් නොව රටටම බෝග බෙදා හරින ආර්ථික මධ්‍යස්ථානයක් ඇති නගරයක් ලෙස රටේම ජනතාව අනතුරේ හෙලමින් කටයුතු කළ නගරාධිපතිවරයාට එරෙහිව බලධාරීන් ගන්නා පියවර කුමක් දැයි ජනතාව විමසිල්ලෙන් බලාසිටී ෴

++++++++++++++++++++

(23.05.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 25 වන අඟහරුවාදා පැය කිහිපයකට සංචරණ සීමා ලිහිල් කරනු ලබන්නේ අත්‍යාවශ්‍ය ආහාර හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමාට ආසන්නතම වෙළඳසැලෙන් සිය අවශ්‍යතාවය සපුරාගෙන නිවසට වී සිටීම අනිවාර්ය බවයි.

එහිදී සාමාන්‍ය දිනක මෙන් කටයුතු කිරීමක් අපේක්ෂා නොකරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මෙහිදී සිදුකරනු ලබන්නේ සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. ආහාර අලෙවිසැල් සහ ඖෂධ අලෙවිසැල් වලට අමතරව, ඉන්ධන පිරවුම් හල් ද ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ස්ථාන එදිනට විවෘත කිරීමට අවසර හිමිවනවා.

මත්පැන් අලෙවිසැල් හෝ මහජන ඒකාරාශි වීම් සඳහා හේතු වන අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථාන එළඹෙන 25 වනදා විවෘත කිරීමට අවසර නැහැ. එදින රාත්‍රී 11 ට යළි සංචරණ සීමා පැනවෙන අතර, එය ලිහිල් වන්නේ 28 වන සිකුරාදා අලුයම 4 ටයි.

මේ අතර, 29, 30 දින දෙකෙහි එළඹෙන සති අන්තයේ සංචරණ සීමා සම්බන්ධයෙන් ගනු ලබන තීරණ පිළිබඳව 27 වනදා දැනුම්දීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

++++++++++++++++++

(23.05.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (23) තහවුරු වුණා. තමා සහ බිරිඳ ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබුණේ ට්විටර් සටහනක් තබමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින කිහිපයේම පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම හේතුවෙන් සී.සී.ටී.වී. දර්ශන මගින් ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගන්නා මන්ත්‍රීවරුන් සියලු‍දෙනාට කොරෝනා පරීක්ෂණවලට යොමුවන්නැයි උපදෙස් ලබාදෙන බවයි

ඊයේ (22) සිය බිරිඳට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා සිදුකළ කොරෝනා පරික්ෂාවේදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබුණේ.

අනතුරුව තමන්ට සිදුකළ කොරෝනා පරික්ෂාවේදී තමන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව විපක්ෂ නායකවරයාගේ ට්වීටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ‍මේ මස 18, 19 සහ 20 යන දිනවලදී පාර්ලිමේන්තු සැසිවලට සහභාගී වුණා.

19 වැනිදා බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසළ පැවති විජයග්‍රහණ සැමරුම් උත්සවයටද එක්ව සිටි විපක්ෂ නායකවරයා පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම ඉදිරියේ පැවති විරෝධතාවකටද එක්වුණා.

එමෙන්ම, පසුගිය 21 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති වැඩසටහන් කිහිපයකටද ඔහු එක්ව සිටියා.

මේ අතර, විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතයෙකු වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ තමන් ස්වයං නිරෝධායනයට යොමුවන අතර තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද කොරෝනා පරීක්ෂණවලට ලක්වීමට නියමිත බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදසාට සහ ඔහුගේ බිරිඳට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබුණා.

එසේම, අද (23) දිනයේදී රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 1612 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,28,607 ක්.

මේ අතර, ආයූර්වේද රෝහල් 50 ක් අතරමැදි කොරෝනා ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (23) තීරණය කළා. ඒ, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

@@@@@@@@@@@@@@@

(23.05.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීමට ගුවන් හමුදාව සූදානමින් සිටින බවට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඒ සඳහා හෙලිකොප්ටර් යානා 9 ක් සූදානම් කර ඇති බවයි.

ඒ අනුව, බෙල් 212 හෙලිකොප්ටර් යානා 5ක් , බෙල් 412 හෙලිකොප්ටර් යානා 2 ක් , එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 2 ක් මෙන්ම, විශේෂ පුහුණුව ලැබූ ගුවන් හමුදා විශේෂ කාර්ය බලකා භට පිරිසක් සමඟ සූදානම් කර තිබෙනවා ෴

ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ෴

******************************************

(23.05.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

බිබිල, මැදගම ප්‍රදේශයේ පාසලක නිධානයක් හාරමින් සිටි එම පාසලේ විදුහල්පති අතුළු හයදෙනෙකු (6) අද (23) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගක් සැකකරුවන් සමඟ භාණ්ඩ සහ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාර විදුහල්පතිවරයා මීට පෙරත් නිදන් හැරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(23.05.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් පත් කිරීමේදී අධිකරණය ලබාදී ඇති නියෝගය ප්‍රකාරව කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

පූජ්‍ය අලුදෙණියේ සුබෝදි හිමියන් ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස පත්වීමට එරෙහි ක්‍රියාවන් වළක්වාලන වාරණ නියෝගයක්, කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබුණේ පෙරේදා (21) දිනයේදීයි.

අමරපුර ශ්‍රී කළ්‍යානි වංශ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් වෙත සහ තවත් ස්වාමින් වහන්සේ සිව් (4) නමකට අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබුණා.

මෙම වාරණ නියෝගය නිකුත් කළ සෙසු ස්වාමින් වහන්සේලා වන්නේ පූජ්‍ය කොටපොල අමරකිත්ති, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති, පූජ්‍ය හම්බෙගමුවේ අස්සජි සහ පූජ්‍ය බලංගොඩ ධම්මාලෝක යන හිමිවරුන්.

මීට අමතරව, පූජ්‍ය අලුදෙනියේ සුබෝධි හිමියන් විහාරාධිපති වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම්, අවහිර කිරීම් සහ විහාරස්ථානයේ පරිපාලන කටයුතුවලට මැදිහත්වීම වළක්වාලමින් ද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම වාරණ නියෝග පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැන ගැනීම පිණිස එම නියෝග වල පිටපත් නිකුත් කරන ලෙසට ද කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ නියෝග කර තිබුණා.

පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් විශේෂ විහාර සම්ප්‍රදායක් අදාල වන බවයි.

එය පෙර නඩු තීන්දු මගින් ද ලේඛන සහ අමරපුර කල්‍යාණිවංශ පාර්ශවයේ ව්‍යවස්ථාව මගින් ද පිළිගෙන ඇති නීති තත්ත්වයක් බවත් පෙන්වා දී තිබුණා.

සේරුවිල මංගල රජමහා විහාරයේ චෛත්‍ය වර්ධන සමිතිය විසින් පූජ්‍ය අලුදෙණියේ සුබෝදි හිමිපාණන් විහාරාධිපති ධුරයට පත් කිරීම නීත්‍යානුකූල බවත් ඊට පටහැනි කවර හෝ පත් කිරීමක් නීතිය ඉදිරියේ අවලංගු වන බවත්, පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් නඩු විභාගයේදී පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, විහාරාධිපති හිමිවරුන් පත් කිරීමේ සේරුවිල විහාර සම්ප්‍රදායට අනුව පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් පසුගියදා සේරුවිල විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත්කරනු ලැබුවා.

ඒ සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන්, ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදනය වී අපවත් වීමත් සමගයි. නඩුව යළි ලබන මස 4 වනදා කැඳවීමට නියමිතයි ෴

******************************************

(23.05.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට (24) සිට ලබන 26 වනදා දක්වා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට ඉදිරි දින 3 තුලදී ඉතා තද වැසි ඇතිවිය හැකියි. එම පළාත්වලට හෙට (24) දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි අතර, අනිද්දා (25) මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, හැටන් – කොටගල – ඩ්‍රේටන් වතු යායේ දුරකථණ රැහැන් කුළුණකට අකුණුසැර වැදීමකින් එහි සිටි කම්කරුවන් 17 දෙනෙකු කම්පනයට පත්ව රෝහල් ගත කර තිබෙනවා.

එමෙන්ම, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 5 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කලේ ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක සඳහා අද (23) පස්වරුවේ සිට මෙම නායයාමේ අනතුරු ඇගවීම ක්‍රියාත්මක බවයි.

පවතින තත්ත්වය මත ගංවතුර සඳහා අවදානමකට ලක්ව සිටින දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් සහන ලබාදීමේ වැඩසටහන් ආරම්භ කිරීමට ද රජය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීමට ගුවන් හමුදාව සූදානමින් සිටින බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඒ සඳහා හෙලිකොප්ටර් යානා 9 ක් සූදානම් කර ඇති බවයි.

මේ අතර, බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ආශ්‍රිතව වර්ධනය වී ඉන්දියාවට දෙසට යොමුවන ‘යාස්’ චන්ඩ මාරුතයෙන් ඔඩීෂා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 3 කට දරුණු බලපෑමක් ඇතිවිය හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇඟවීමක් කළා.

මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී ඇති එය චන්ඩ මාරුතයක් ලෙස ලබන 26 වනදා ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළට ළගා වනු ඇතැයි අපේක්ෂිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *