දිවයිනටම සංචරණ සීමා – නීති කඩන අය සොයන්න පොලීසියේ 22,000 ක්

දිවයිනටම සංචරණ සීමා – නීති කඩන අය සොයන්න පොලීසියේ 22,000 ක්

*********************************************

දිවයිනටම සංචරණ සීමා – නීති කඩන අය සොයන්න පොලීසියේ 22,000 ක්

(21.05.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා දැඩි සංචරණ සීමා තවත් පැය කිහිපයකින් ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද (21) රාත්‍රී 11 ට ආරම්භ වන සංචරණ සීමා ලබන 25 වනදා අඟහරුවාදා අලුයම 4 ට තාවකාලිකව ඉවත් කිරීමටයි නියමිතව ඇත්තේ.

එහෙත්, එදිනම රාත්‍රී 11 ට දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා යළි පැනවෙනවා. එය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ 28 වනදා සිකුරාදා අලුයම 4 ටයි.

මේ අතර, සංචරණ සීමා පැනවෙන කාලසීමාව තුල ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් නොවන පරිදි අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ඒ අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් මත සියලු තීරණ ගෙන ඇති බැවින් ජනතාව වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම තීරණයක් ගැනීමට පසුබට නොවන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බලධාරින් අතර පැවති සාකච්ඡාවෙන් පසු ගනු ලැබූ තීරණ පිළිබඳ පැහැදිලි කිරීමට රජය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඊට එක්වූ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ 24 සහ 25 යන දෙදින දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවයි.

කෙසේ වෙතත්, ලබන 27 සහ 28 යන දෙදින ද ගොවීන්ගේ නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා ආර්ථික මධ්‍යස්ථාන 7 ක් විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව, දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ හා ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස විවෘතව තැබෙනවා.

සංචරණ සීමා පනවනු ලැබුව ද, ධීවර කටයුතුවලට සහ මත්ස්‍ය තොග වෙළඳාමට අවහිරතාවක් නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මේ අතර, රජය අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අද (21) රාත්‍රියේ සිට මෙහෙයුම් ආරම්භ කරන බවයි.

මේ අතර, අද (21) රාත්‍රියේ සිට දින 3 ක් ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් අද (21) වෙළඳසැල් වෙත පැමිණි තත්ත්වයන් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සංචරණ සීමා පැනවෙන කාලසීමාව අතරතුර සිදුකරනු ලබන සීමා ලිහිල් කිරීම් වලදී භාණ්ඩ මිලදී ගැනීමට එක්රැස් නොවන ලෙසත්, පදිංචි ස්ථානවලින් පිටව යාමට උත්සාහ නොකරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

+++++++++++++++++++++

(21.05.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයින් නිවෙස්වල හුදෙකලා කර රැඳවීමේ ක්‍රමවේදය අද (21) කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, අද (21) මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2891 ක්.

කොරෝනා ආසාදිතයින් 2,891 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,57,677 දක්වා අද (21) ඉහළ ගියා.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 1,828 දෙනෙකු අද (21) දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

එය දිනකදී සුවය ලැබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද වන අතර, ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 125,360 ක්.

මේ අතර, පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා රටම ආවරණය වන පරිදි දින 14 ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අද (21) රජයෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, තුල්හිරියේ පිහිටි ඇඟලු‍ම් කර්මාන්තශාලාවේ සේවකයන් 380 දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජයේ පාර්ශ්ව සමග සමීපව කටයුතු කරමින් සිටින බව කම්හල අයත් එම්.ඒ.එස්. (MAS) ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එසේම, හුස්ම ගැනීමේ අපහසුතා සහ උණ පවතින්නේ නම් වහාම රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ නිවෙස් තුළ සිටින ළමයින් අනාරක්ෂිත තත්ත්වයකට, හුදෙකලා වීමකට, හිංසනයකට හෝ අපයෝජනයකට ලක්වන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකතන අංකයට දැනුම්දෙන ලෙස එම අධිකාරිය ඉල්ලීමක් කළා.

++++++++++++++++++++++++

(21.05.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 647 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද (21) දිනයේ පමණක් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 3538 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 158,324 ක් හමුවී තිබෙනවා ෴

++++++++++++++++++++++++

(21.05.2021 – 23:14 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම වළකාලමින් නිකුත් කළ චක්‍රලේඛය මගින් සෞඛ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

++++++++++++++++++

වසංගතය හමුවේ හෙල වෙදකමට අවස්ථාවක් ලබාදෙන ලෙස බල කරමින් මහා සංඝරත්නය 21-05-2021 දින පැවති මාධ්‍ය සාකච්චාව

https://www.youtube.com/watch?v=gjn3ne2P_8Y

@@@@@@@@@@@@@@@@@

(21.05.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 36 තුලදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කරන බවයි.

මේ අතර, උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හෙට (22) වනවිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම්දෙනතුරු එම මුහුදු ප්‍රදේශය තුල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා ෴

******************************************

රසායනික නෞකාවේ ගින්න නිවන්න ගුවන් හමුදාවත් – අවශ්‍ය වුවහොත් විදේශ සහය

(21.05.2021 – 18:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවේ ගින්න, පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ගින්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ නාවික හමුදාවේ මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් පිරිසක් අදාළ නෞකාව ආසන්නයට අද (21) දහවල් ළගා වුණා.

එහිදී සිදුකළ පරීක්ෂණවලට අනුව එම ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට ද සහය ලබාගත යුතු බවයි තීරණය කෙරුණේ.

ඉන් අනතුරුව ගුවන් හමුදාවට අයත් අයත් බෙල් 212 හෙලිකොප්ටර යානයක් මගින් රසායනික ද්‍රව්‍ය ඉසීමක් සිදුකළ බව නාවික හමුදාව සඳහන් කළා.

සිංගප්පූරු සමාගමකට අයත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැමැති මෙම නෞකාවේ බහාළුමක රසායන ද්‍රව්‍ය කාන්දුවීමක් ගින්නට හේතුවී තිබෙනවා.

නෞකාව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හසීරා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කර තිබූ අතර මේ වනවිට එම නෞකාව කොළඹ, වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් නැංගුරම්ලා තිබෙනවා.

නෞකාව පිලිපීන, චීන, ඉන්දීය සහ රුසියානු ජාතිකයින්ගෙන් සමන්විත 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.

එහි නයිට්රික් ඇසිඩ් ටොන් 25 ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාළුම් 1486 ක් තිබෙන බව සඳහන්.

ගින්න හේතුවෙන් නෞකාවේ සමතුලිතතාවයට බලපෑමක් නොමැති බව ද නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියා.

ගින්න පාලනය කිරීමේ මෙහෙයුම්වලට තවදුරටත් නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ ඩෝරා යාත්‍රා දෙකක් (2) සහ නෞකා දෙකක් (2) යොදවා තිබෙනවා.

ගින්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ස්ථානයට ළගා වූ විශේෂඥ කණ්ඩායමේ නියෝජිතයෙකු වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ගින්න පාලනය කිරීමට නොහැකිවුවහොත් ඒ සඳහා විදේශයන්හි සහය ද ලබා ගැනීමට කටයුතු කරන බවයි.

+++++++++++

******************************************

(21.05.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තරයේ විවිධ බලවේග විසින් වරාය නගරය පිළිබඳව බිල්ලෙක් මවමින් ආයෝජකයින් එලවා දැමීමට දරණ උත්සහයේ කොටස්කරවෙකු නොවන ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ (20) සම්මත කරගත් වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳව අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

******************************************

(21.05.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

වරාය නගර පනත සම්මත කර ගැනීම මගින් මෙරට ස්වාධීනත්වයට බලපෑම් එල්ලවී ඇතැයි විපක්ෂය චෝදනා කරනවා :

******************************************

ගිනි ගන්න පලස්තැන්නේ අපි නොදන්න කතාව | පලස්තීනය – ඊශ්‍රාලය ගැන ඇඟ කිළි පොළා යන හෙළිදරව්ව (21.05.2021)

[ Who was the Mastermind behind the Attack? – Rauff Hakeem (07.04.2021) ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *